දානය ගැන කතා කරද්දී දරුවෝ අපේ සමාජයේ හුගාක් වෙලාවට තියෙන අය තමයි දන් දෙන්නේ. නැති අය හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ තියෙන අයගෙන් ලබන්න. ඔතන හරිම දුර්වල කමක් නැති අය කරන. මොකද ඉස්සෙල්ලාම දකින්න ඕන මේ ඇති පිරිසක් බිහි වුණේ කුමක් නිසාද? පෙර ජීවිතයේ දානය නිසා. දන් දෙන්න පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් කෙනෙකුට ලැබුණේ කුමක් නිසාද? ඒ පුද්ගලයා පෙර ජීවිතයේ ආයුෂ, වර්ණ, සැපය, බලය දන් දුන්න. ඒ නිසා එයාට මේ ජීවිතයේ ආයුෂ, වර්ණ, සැපය, බලය ලැබුණ.
එතකොට කෙනෙක් දුප්පත් භාවයට පත් වෙලා තව කෙනෙක් ගෙන් ලබන ස්වභාවයට පත් වෙන්නේ ඇයි? එයා පෙර ජීවිතයේ දන් දුන්නේ නැහැ. ඒ නිසා ආයුෂ, වර්ණ, සැපය, බලය හීනයි. එතකොට මුලින්ම දුප්පත් කෙනා නැත්නම් දන් ලබන කෙනා හිතන්න ඕනේ “මම මේ කෙනෙක්ගෙන් ලබන්න තරමට පත් වුණේ ඇයි” කියල. එතකොට එහෙනම් එයා දකින්නේ පෙර ජීවිතයේ දානයේ දුර්වල භාවයමයි.
ඒ නිසා ලබන අය හැම වෙලාවෙම හිතන්න ඕනේ අනුන්ගෙන් යමක් ලබනවා වගේම මමත් දන් දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ දවසකට රුපියල් දාහක් හම්බ කරන කෙනා රුපියල් සීයක් දන් දෙන්න. නමුත් දවසකට රුපියල් සීයක් හම්බ කරන කෙනා රුපියල් දහයක් දන් දෙන්න දක්ෂ වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ යමෙකුට කවුරු හරි ගිහිල්ලා බත් පාර්සලයක් දෙනවා නම්, අවම වශයෙන් ඒ කෙනා ලැබුණා වූ බත් පාර්සලයෙන් බත් කටක් සතෙකුටවත් දීලා දානමය පිනක් ඇතිකර ගන්න දක්ෂ වෙන්න ඕනේ.
නමුත් ඒ දන් ලබන කෙනා එහෙම නැත්නම් ඒ ආධාර ලබන අය කොයිම වෙලාවකවත් ඒ ගොල්ලො දන් දෙන්න ඕන කියලා හිතන්නේ නැහැ. ඒ ගොල්ලො හුගාක් වෙලාවට හිතන්නේ අර අය අපිට ඇවිල්ල දෙන්න ඕනේ කියන තැන ඉදන් ඒ ගොල්ලො තවත් අනාගතයටත් එවැනි දුප්පත් ස්වභාවයට අවශ්‍ය සාධකමයි රැස් කර ගන්නේ.
ඒ නිසා නිරතුරුව ම යමෙක් දන් දෙන්නේ ඇයි? එයාට ආයුෂ, වර්ණය, සැපය, බලය ලැබුණ පෙර ජීවිතයේ දානය නිසා. යමෙක් දෙන්නාගෙන් ලබන්නෙ ඇයි ඇයි ආධාරයක් හැටියට? එයා පෙර ජීවිතයේ දන් දීලා නැහැ. ඒ නිසා වැඩියෙන් ම දන් දෙන්න ඕනේ තියෙන අය නෙමෙයි. නැති අයයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ.
වර්තමාන සමාජයේ ඕක වෙන්නේ නැහැ. නැති අය කියනව අපට දන් දෙන්න දෙයක් නැහැ කියලා. තියෙන අය දන් දෙනවා. නැති අය අර අකුසල් සංස්කාරය තව තව වඩාගෙන මීටත් වඩා අන්ත වූ තැන්වලට තමයි ජීවිතයේ පල්ලෙහාට වැටෙන්නේ.
ඒ නිසා හැම වෙලාවෙම දක්ෂ වෙන්න ඔබ ආර්ථිකයෙන් දුර්වල කෙනෙක් නම්, ඔබට යමක් ලැබෙනව නම් ඒ ලැබෙන දෙයින් බත් කටක් හෝ සතෙකුට දන් දෙන්න. ඔබට ආධාරයක් වශයෙන් ලැබෙනව නම් ඒකෙන් තව කෙනෙකුට දන් දෙන්න. හැම වෙලාවෙම රුපියල් දහයක්ද ඔබ ලබන්නේ ශත පනහක දෙයක්වත් දන් දෙන්න දක්ෂ වෙන්න. එහෙම නොවුණොත් ඔබ ඔය තියෙන්නා වූ පීඩාකාරී තත්ත්වය තව තව වර්ධනය කරමින් භවයේ ඈතට යනවා මිසක් කවදාවත් ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ.