ඔබ සැබවින්ම ධර්මානුකූල බෞද්ධ පින්වතෙක් ද?

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ නමක් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනක් දස පාරමී ධර්මයන් පුරලා, උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ, ලෝකයාට චතුරාර්ය සත්‍ය කියන එකම ධර්මය දේශනා කිරීමටයි. උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය කියන්නේ, මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයටයි. පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේ් සැබැවින්ම සරණ ගියා කියන්නේ, බුදුරජාණන්වහන්සේ කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති කොටගත් සැබෑම බෞද්ධයෙක්ය කියලා කියන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ජීවිතයට එකතු කොට ගත්තාය කියන කාරණයයි.

පිංවත් ඔබ, ඔබේ හෘදසාක්‍ෂියට තට්ටු කරලා අවංකවම ඔබෙන් අහන්න, ඔබ සැබැවින්ම ධර්මානුකූලවම බෞද්ධ පිංවතෙක්ද කියලා. පිංවත් ඔබ අර්ථවත්ම බෞද්ධයෙක් කියලා දැනගන්න මිණුම්දණ්ඩ තමයි, මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ජීවිතයට එකතු කොටගෙන ජීවත් වීම. චතුරාර්ය සත්‍ය නොදැනීිම අවිද්‍යාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන්වහන්සේ සූත‍්‍රගත ධර්මයේදී ඇස් ඇති පුරුෂයෙක් ගැන දේශනා කරනවා. මේ ධර්මයේ සඳහන් ඇස් ඇති පුරුෂයා කියලා කියන්නේ, කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය ලබන, ආර්යයන් වහන්සේලා ඇසුරු කරන සද්ධර්මය ශ‍්‍රවණය කරන, ධර්මය නුවණින් මෙනෙහි කොට ජීවිතයට දරාගන්නා පිංවතාටයි. පිංවත් ඔබට සුන්දර දීප්තිමත්, හොඳින් පෙනෙන ඇස් දෙකක් තිබුණත්, පිංවත් ඔබ, තවමත් චතුරාර්ය සත්‍ය ධර්මයන් ජීවිතයට එකතු කොට නොගත්ත පිංවතෙක් නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබ ඇස් ඇති, ජාති අන්ධයෙක්ය කියල. ඔබ ලෝකය දකින්නේ ලෝකය හැටියටමයි. එවැනි ජාති අන්ධ පිංවතා දුක දකින්නේ සැපයක් හැටියට. දුකට හේතුව දකින්නේ, මුදල් නොමැති වීම හැටියට. දුකෙන් මිදීම හැටියට දකින්නේ, ධනවත් භාවයට පත්වීම. දුකින් මිදීමේ මාර්ගය හැටියට දකින්නේ, ශීලාචාර ධර්මයන් සදාචාරාත්මක ධර්මයන් මරාගෙන ලෝභ, ද්වේෂ, මෝහ ධර්මයන් වඩවාගෙන මුදල් සෙවීමයි. තාවකාලික සැපයක් කරගසාගෙන අනාගත දුකම පොදි බැඳගන්නා මාරධර්මයන්ගේ ග‍්‍රහණයට වර්තමානයේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථය ගොදුරුවෙලා.

ලෝකයාට විවේකයක් නැහැ සිතන්න. ලෝකයාට සිතේ සංහිඳියාවක් නැහැ. හොඳ නරක හඳුනාගන්න, ලෝකයාට පූර්වාදර්ශයක් නැහැ. ඉන්ද්‍රිය සංවරය ඇතිකොට ගන්න, ඇයි ලෝකයට මෙහෙම වෙලා තිබෙන්නේ? දුකින් මිදීමේ එකම මාර්ගය, ධනය, නිලතල, සම්පත් දේපළ අධ්‍යාපනය කියන මිථ්‍යා ධර්මයන්, ජීවිතයට එකතුකොට ගැනීම නිසා. බුදුරජාණන් වහන්සේ ඉපදීම දුකයි කියන කොට, අපේම බෞද්ධ පිංවතුන්, ලක්‍ෂ ගණන්, කෝටි ගණන් වියදම් කරලා. පංචනීවරණ කාමච්ඡුන්දයන් වඩමින්, ඉපදීම සමරන්න උපන්දින සාද පවත්වනවා. මත්වතුර, රසමසවුළු නොහික්මුණු අසංවර විලාසිතා, ආගන්තුක ඇවතුම් පැවතුම් තුළින් මේ ලැබුවා වූ සුන්දර පිංවන්ත ජීවිතය, නැවත සතර අපායේ උපතකට අවශ්‍ය සාධක ඇති කොට ගැනීම උදෙසාම මෙහෙයවනවා.