ඔබ වහන්සේ ගිහි ජිවිතයේදී විවාහ නොවී, පැවිදි වූයේ ඇයි ?

දැන් විශ්වවිද්‍යාලවල, පාසල්වල ළමයි අපට මුණගැහුණම අහන්නේ ‘ස්‌වාමීන්වහන්ස, පංතියෙ අනෙක්‌ ළමයින් හොඳින් පාඩම් කරනවිට වැඩියෙන් ලකුණු ගන්නවිට මට හරි ඊර්ශ්‍යාවක්‌ ඇතිවෙනවා. මේක මගේ අධ්‍යාපන කටයුතුවලටත් බාධාවක්‌ වෙනවා. මේකට මොකද කරන්නේ’ කියලා. පාසල් වියේදීම තරඟකාරීත්වය නිසා දරුවන්ගේ ජීවිත සක්‌කායදිට්‌ඨියෙන් පිරෙනවා. මේ මමත්වයේ දැඩිභාවය සකස්‌ වෙන්නේ රැකියාව, විවාහය, අවසන් ඉලක්‌කය කරගෙනයි. අම්මා තාත්තාත් දරුවන්ගේ සක්‌කායදිට්‌ඨියට පොහොර දමනවා. දරුවන්ට පොහොර දමන්නේ තමන් තුළත් අස්‌වැන්නට කැමත්ත තිබෙන නිසා. මොකක්‌ද මේ සමාජය බලාපොරොත්තුවන අස්‌වැන්න? ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්.

මේ සටහන ලියන භික්‍ෂුවටත් ගිහි ජීවිතයක්‌ තිබුණා. මගේ ළමා, තරුණ කාලයේ මගේ අම්මා තාත්තා බලාපොරොත්තු වුණෙත් ඉහත අස්‌වැන්නමයි. ඒත් අම්මා තාත්තා කියපු දෙය මම නම් කළේ නැහැ. දෙමාපියන් මෙහෙම කීවේ අවංකවම අපිට ඇති ආදරය නිසා. දෙමාපියන් සැප හැටියට දකින්නේ ඔතැනයි. ඒ පිංවතුන්ට ඉන්එහාට ධර්මානූකූල දැක්‌මක්‌ තිබුණේ නැහැ. නමුත් මොකක්‌දෝ සංස්‌කාර කුසල් ශක්‌තියක්‌ නිසා දෙමාපියන්ට නැති ඉවක්‌ ජීවිතය ගැන මට තිබුණා. දෙමාපියන් ඒ ගැන අතෘප්තියෙන් හිටියේ.ඒත් මට අවශ්‍ය වුණේ දෙමාපියන්ගේ මෝහය තෘප්තිමත් කිරීම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ තෘප්තිමත් කිරීම පමණයි මට අවශ්‍ය වුයේ.

බුදුරජාණන් වහන්සේ උදෙසා යමක්‌ අතහරින්න පිංවත් ඔබ බියවෙන්න එපා. මොකද අතහරින්න යමක්‌ ඔබට තිබෙනවා නම් ඒ දෙය ඔබට ලැබුණේ සද්ධර්මය නිසාමයි. ඒ නිසා පිංවත් ඔබට ලැබුණු දෙය සද්ධර්මය උදෙසාම අතහැර, භවයේ මෙතෙක්‌ නොලද එකම දෙය අයිතිකරගන්න. ජීවිතයේ ඉතිරිව ඇති කෙටි කාලය, සතර අපායෙන් එතෙර වීම සඳහා කැපකර, අකුසල් සංස්‌කාර හේතුවෙන් සකස්‌ වන කල්ප ගණනාවක අතිශය දුක්‌, විනාශකාරී ස්‌වභාවයන් නුවනින් මෙනෙහිකර, වලක්‌වා ගැනීමට දක්‍ෂවන්න.

ජීවිතයේ හිස්‌ බව දකිමින්ම ජීවත්වන්න.

වරක් පින්වත් මහත්මයෙක් විමසුවා, ඔබ වහන්සේ ගිහි ජීවිතයේදී විවාහ නොවී, පැවිදි වූයේ ඇයිද කියලා.

භික්‍ෂුව ඒ මහත්මයාට ප්‍රකාශ කළේ ‘මහත්තයෝ, මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත්වන සෑම පුරුෂයෙක්ම, ස්ත‍්‍රියක්ම අතීතයේ මට බිරිඳවෙලා, ස්වාමි පුරුෂයා වෙලා තිබෙනවා. මට පෙම්වතෙක්, පෙම්වතියක් වෙලා තිබෙනවා. මට අතීතයේ බිරිඳක්, ස්වාමි පුරුෂයෙක්, පෙම්වතෙක්, පෙම්වතියක් නොවූ කිසිම සත්ත්වයෙක් මේ ලෝක ධාතුවේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකයේ සිටින සෑම සත්ත්වයෙකුටම මම අතීතයේ ආදරය කරලා තිබෙනවා. විවාහ ගිවිසගෙන තිබෙනවා. ඒ නිසා මහත්තයෝ අතීතයේ ආදරය කර තිබෙන අයට නැවත ආදරය කරන්න යන එකේ තේරුමක් නැහැ. ඒ නිසාමයි මම පැවිදි වූයේ’ කියලා.

අතීතයේ බිරින්දෑවරු, ස්වාමිපුරුෂයන්, පෙම්වතුන්, පෙම්වතියන් කියන බාහිර රූපයන් නිසා මම හෙළු කඳුළු මහා සාගරයේ ජලයට වැඩියි. අතීතයේ බිරින්දෑවරු, ස්වාමිපුරුෂයන් අහිමිවීම නිසා, අතහැරයෑම නිසා, සිත්රිදවීම් නිසා, අන්‍ය සැමියන් බිරින්දෑවරු සමග එක්වී දුන් කායික මානසික පීඩාවන් නිසා, මරාදැමීම් නිසා, කාමය වරදවා හැසිරීම් නිසා, විරහ වේදනාවන් නිසා, අතීතයේ බාහිර රූපයන් මගේ කරගැනීම නිසා මම හෙළා ඇති කඳුළුයි මහා සාරගයේ ජලකඳ දකින විට භික්‍ෂුවට සිහිපත් වෙන්නේ.