මාරයාට ඇස් දන්දීම.

රාත‍්‍රිය උදාවෙන්න හොඳටෝම ළඟයි. තවත් ටිකකින් කුටියේ ලන්තෑරුම පත්තු කරන්න ඕනේ. පින්වත් ඔබත් හිරු අවරට ගොස් උදාවෙන මේ රාත‍්‍රියේ දී, තම නිවසේ තිබෙන විදුලි බල්බ සියල්ලක්ම ආලෝකමත් කරාවි. ලන්තෑරුම් එළියෙන් කුටිය ආලෝකමත් වුණත්, විදුලි බුබුලූ වලින් පිංවත් ඔබගේ නිවස ආලෝකමත් වුණත්, මේ ආලෝකයන්ට පුලූවන්ද අපේ ජීවිත ආලෝකමත් කරන්න. රාත‍්‍රියට දැල්විලා උදෑසනට නිවීයන ආලෝකය හරියට, අපේ පටිච්චසමුප්පන්න භවගමන වගේ, නැවතීමක් නැහැ. තෘෂ්ණාවේ තෙල් තිබෙන තාක්කල් නිවි නිවි දැල්වෙනවා. මැරෙනවා නැවත උපදිනවා.

මේ උදාවෙන රාත‍්‍රියේ දී භික්ෂුව ගිහි පිංවතුන්ලාගෙන් විමසුවොත්, පිංවත් ඔබලා තුළ වැඩි වශයෙන් සකස් වෙන්නේ සරාගී සිත්ද, විරාගී සිත්ද කියලා, පිංවත් ඔබ ඊට පිළිතුරක් දෙන්නේ නැහැ. නමුත් මෙය සටහන් තබන භික්ෂුව දන්නවා, ලෝකය අයිති ලෝකයටයි කියලා. එ් කියන්නේ ලෝකය අයිති රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන්ටය කියලා. පිංවත් අපි ඵස්සය තෘෂ්ණාවෙන් පෝෂණය කරන තාක්, ලෝකය ලෝකයටම අයිති වෙනවා.

ගෞරවණීය පින්වත, මේ උදාවෙන සුන්දර රාත‍්‍රිය, “ඔබව” ලෝකයට අයිති වෙන්න දෙන්න එපා. මේ සුන්දර රාත‍්‍රියේ අයිතිය විදර්ශනාමය ප‍්‍රඥ්‍යාවට ලබාදෙන්න. ප‍්‍රඥ්‍යාවේ ආලෝකය පිංවත් ඔබ, පිරිනිවී යනතෙක්ම නොනිමී තිබෙන ආලෝකයක්.

පරිසරයේ වියළි ගතිය නිසාම, භික්ෂුවගේ දෑස් දෙක ටිකක් කෙවෙනවා. ජීවිතය වයසට යනකොට ශරීරයේ සම, නියපොතු, නහර වියළිලා යනවා වගේ. දෑස් වලත් වියලි ගතිය වැඩියි දැන්. පරිසරයේ අඳුර ආලෝකය වෙන්කොට හඳුනාගන්න, භික්ෂුවට උපතින්ම ලැබුණු මේ ඇස් දෙක, අතීත සංස්කාරයන්ගේම ඵලයකි. භික්ෂුව තම දෑස් දෙකින් සම්මුති ලෝකය දකිත්දී, අතීත සංස්කාරයන්ට කෘතවේදී වෙනවා. සංස්කාර ඔබමයි, භික්ෂුවට මේ සළායතනයන් දායාද කළේ, එ්ත් සංස්කාර ඔබ මොනතරම් නම් චපලයෙක්ද.

අතීත කුසල් සංස්කාරයන් හේතුවෙන්ම ඔබ සුන්දර සළායතනයන් අපිට දායාද කරලා, එම සළායතනයන්ගේ ඵස්සයෙන්, අකුසල් මූලයන් ඇති කරලා, අපේ පටිච්චසමුප්පන්න සළායතනයන් මොනතරම් නම් විකෘතීන්ට ඔබ ලක්කරනවාද?

සංස්කාරයෝ ලෝකය ලස්සන කරනවා, ලෝකය අස්වද්දනවා, ලෝකය රෝගී කරනවා, ලෝකය මරා දමනවා, පටිච්චසමුප්පන්නව ලෝකය නැවත උපද්දවනවා. පටිච්චසමුප්පාද ක‍්‍රියාවලියේදී අවිද්‍යාවේ විධායක බලය විසින්, සංස්කාරයන්ට තුනෙන් දෙකක අධිපතිවාදි බලයක් ලබාදී තිබෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ මේ අධිපතිවාදි මාර ධර්මයන් පරාජය කොට දැමීමේ මාර්ගය අපිට දේශනා කිරීමටයි. එ් උතුම් ව්‍යායාමය සඳහා බුදුරජාණන් වහන්සේ අපිට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මුවහතින් මොනවට පන්නරය ලැබූ, සතර සතිපට්ඨානය නමැති විදර්ශනාත්මක අවියයි ලබාදෙන්නේ.

අපි දක්ෂවිය යුතුයි, මේ විදර්ශනාත්මක අවිය උපයෝගිකොටගෙන, මාරධර්මයන් තුළින්ම මාරධර්මයන් පරාජය කොට දමන්න. අපි අනාගතයේ කවදාහරි දවසක රූපය කායානුපස්සනාවෙන් දැකලාමයි රූපය නිරෝධය කරන්නේ. වේදනාවෝ වේදනානුපස්සනාවෙන් දැකලාමයි වේදනාව නිරෝධය කරන්නේ. සංඥ්‍යා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන් විදර්ශනාත්මකව දැකලාමයි මේ ධර්මයන් අපි නිරෝධය කරන්නේ. අපිට සිද්ධ වෙනවා උපක‍්‍රමශීලීව මාරධර්මයන්ම, අපේ නිවීමේ මාර්ගයට උපකාරක ධර්මයන් බවට පත්කොට ගන්න. මාරධර්මයන් දෙසත් උපේක්ෂාවෙන් දකින්න.

චතුරාර්්‍ය සත්‍යය ධර්මයන් නිවැරදිව නුවණින් මෙනෙහි කොට, දුකට හේතුව පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව බව, තමා තුලින්ම එ්හිඵස්සිකව දකින පිංවතා, තෘෂ්ණාවට මුල් අදියරේදීම අභියෝග කරන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන්. ආර්්‍ය මාර්ගයේ සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප හෙවත් ලෞකික ප‍්‍රඥාව විසින් පිංවත් ඔබව බුදුරජාණන් වහන්සේට අදාළව, ධර්මරත්නයට අදාළව, සංඝරත්නයට අදාළව ඔබව නිවැරදිව ස්ථානගත කරනවා. ඉදිරියේදී ඔබට අවශ්‍ය වෙන විදර්ශනාමය ප‍්‍රඥ්‍යාව උදෙසා අවශ්‍ය ජවය ඔබට ලබාදෙන්නේ උතුම් තෙරුවන් කෙරෙහි ඇති කොටගත්තා වූ නිවැරැුදි දැක්මයි.
උතුම් තෙරුවන් කෙරෙහි නියත විශ්වාසයට පැමිණෙන පිංවතා, අධිවේගයෙන් ආර්්‍ය අෂ්ඨාංගික මාර්ගය තරණය කරන්නේ නැහැ. හීන වීර්්‍යයෙන් මාර්ගය තුළ ප‍්‍රමාදිවෙන්නෙත් නැහැ. ඔහු හඳුනාගෙනයි සිටින්නේ, දුකට මුල තෘෂ්ණාවයි කියලා. අධිවීර්්‍යයත්, හීන වීර්්‍යයයත් තුල තෘෂ්ණාව නොවෙනස්ව සැඟවිලා තිබෙනවා. ඔහු දන්නවා උපේක්ෂාව අයිතිත් තෘෂ්ණාවටමයි කියලා. තෘෂ්ණාව උපද්දවන ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවන් යන විඳීම් තුනම, දුකට හේතුවෙන නිසාම, ඔහුට මාර්ගයේ පූර්වාදර්ශී කමටහන බවට පත්වෙන්නේ, සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය වූ ලෞකික ප‍්‍රඥාවේ අර්ථයන්මයි.

මෙය සටහන් තබන භික්ෂුව නිවීමේ මාර්ගය තුළදී පාර අසාගත්තේ, සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ගෙන්. ඉදිරියේදී අපි ලැබීමට බලාපොරොත්තු වෙන විදර්ශනාත්මක ප‍්‍රඥ්‍යාවට, වර්තමානයේ අපිට නිවැරදිව පාර කියා දෙන්නේ ලෞකික ප‍්‍රඥ්‍යාව විසින්. ගෞරවණීය පිංවත දැන් ඔබ පාර අසා දැනගන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වන උතුම් ධර්මරත්නයෙන්මයි. උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් සහ සම්මා සංකප්පයන්ගේ අර්ථයන් නිවීමේ මාර්ගයට ඔබට ජවය ලබාදෙන සැබෑම කළ්‍යාණමිත‍්‍රයායි.

නිවීමේ මාර්ගය නිවැරදිව ඔබට කියාදෙන ලෞකික ප‍්‍රඥ්‍යාව නමැති කළ්‍යාණ මිත‍්‍රයා, පිංවත් ඔබව යොමුකරන්නේ ශීලයේ ශක්තියෙන් පෝෂණය වූ ඉන්ද්‍රීය සංවරය දිශාවටයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවෝ පිංවත් ඔබගේ සළායතනයන් සංවර කරනවා. සීමාවක් ගැන සිහියෙන් සළායතනයන් පරිහරණය කරනවා. පංචනීවරණ ධර්මයන් වැඩෙන සීමාවට නොව, සප්තබොජ්ඣංගයන් මෝදුකොට ගැනීමට අවශ්‍ය සීමාවට ආහාර ගන්නවා. අනවශ්‍ය නින්ද ධර්මයෙන් වද බැහැපු ජීවිතයක ලක්ෂණයක් බව දකිනවා. ඔහු ජීවිතය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පහසුකොට ගන්න ශීලය උපකාරක ධර්මයක් බවට පත්කොට ගන්නවා. ශීලය ඔහුට ආභරණයක් නොවේ, ශීලය ඔහුට මාර්ගයක්ම වෙනවා.

සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්පයන්ගෙන් අර්ථවත් වෙන ලෞකික ප‍්‍රඥ්‍යාවෙන් නිවීමේ මාර්ගය නිවරදිව පෝෂණය නොකරගත් පිංවතුන්ලා නිරතුරුවම ශීලය ආභරණයක් කොට ගන්නවා. තම ශීලය සමාජයට පෙන්වනවා. තම ඇසෙන්, කනෙන්, නාසයෙන්, ශරීරයෙන් ශීලයේ සංවරභාවය වැගිරෙනවා. එවිට ඔහු කෘතිම මනුෂ්‍යයෙක් වෙනවා. එම පිංවතා තුළ දෝරෙ ගලන්නේ ශීලය කෙරෙහි සක්කායදිට්ඨිය බව තේරුම් යන්නේ නැහැ.
නිවීමේ මාර්ගය වඩන පිංවත් ඔබ, සමාජය තුළ ජීවත්වෙන ලේ, මස් වලින් සැදුන ස්වභාවික මනුෂ්‍යයෙක් වෙන්න. ශීලය ජීවිතයට බරක් නොව, සැහැල්ලූවක් කොට ගන්න. ශීලයේ සංස්කාරයෝ අනිත්‍ය බව දකිමින්, ශීලය තුළ ස්ථාවර වෙන්න. ශිල්වත්භාවය තිබෙන්නේ ලෝකයට විවෘතකොට පෙන්වන්නට නොවේ, එ් ආශ්වාදජනක සිත, සංවර කොටගන්න බව හොඳින් තේරුම්ගන්න.

ආර්්‍ය අෂ්ඨාංගික මාර්ගය සතු ශීලයට අදාල මාර්ග අංග තුන තුළ, පිංවත් ඔබව ශක්තිමත්ව ස්ථානගත කරන්නේ, ලෞකික ප‍්‍රඥ්‍යාව නමැති කළ්‍යාණ මිත‍්‍රයා විසින්මය. දැන් පිංවත් ඔබ ශීලය තුල නිවැරදිව ස්ථානගත වී හමාරය. පිංවත් ඔබට දැන් මාර්ගයේ ඉදිරි දුර තරණය කිරීමට, කළ්‍යාණමිත‍්‍රයින් දෙදෙනෙක් උපකාරකරනු ඇත. එම දෙදෙනා ලෞකික ප‍්‍රඥ්‍යාව සහ ශීලය නමැති කළ්‍යාණ මිත‍්‍රයින් දෙදෙනායි. පිංවත් ඔබ නිවීමේ මාර්ගය තුළ දැන් උත්සාහ ගන්නේ, තමා අර්ථවත්ව ශක්තිමත් කොටගත් ශීල විශුද්ධිය තුළින් චිත්ත විශුද්ධිය ඇතිකොට ගැනීමය.

පිංවත් ඔබට උපකාර කරන කළ්‍යාණ මිත‍්‍රයින් දෙදෙනා සම්මා වායා, සම්මා සති, සම්මා සමාධි උදෙසා ඔබව යොමු කරන්නේ හෙට දවසේ මම සෝවාන් ඵලයට පත්වෙනවාය කියන අධිවේගයකින් නොවේ. හෙට දවසේ මම රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන සකස්කොට ගන්නවාය කියන අධිවේගයකින්ද නොවේ, පිංවත් ඔබ හොඳින් මතක තබා ගන්න, දැන් ඔබට පාර කියාදෙන්නේ, ලෞකික ප‍්‍රඥ්‍යාව සහ ඉන්ද්‍රීය සංවරශීලය නමැති කළ්‍යාණමිත‍්‍රයින් දෙදෙනායි. ඇලීම් සහ ගැටීම් ඉදිරියේ, සැප සහ දුක් වේදනා ඉදිරියේ, අසංවර නොවන, නමුත් තෘෂ්ණාවේම ගිණුමට අයිති උපේක්ෂාව තුලයි, ඔහුගේ සළායතනයන් ඵස්සය තුළ ක‍්‍රියාත්මක වෙන්නේ.

ඇලීම් සහ ගැටීම් අවම කල සිතක, මාර්ගය කෙරෙහි හදිස්සියක්, ඉක්මනක්, හිස ගිනිගැනීමක්, තරඟකාරීත්වයක් ඇති වීමේ ඉඩකඩක් නැහැ. ලෞකික ප‍්‍රඥ්‍යාව නමැති කළ්‍යාණ මිත‍්‍රයා ඔහුගේ ඵස්සයට, ඇඟිල්ලෙන් ඇන කියාදෙනවා, සම්මා දිට්ඨියේ අර්ථයක් වෙන කර්මය කර්මඵල විශ්වාසය ගැන. අතීත සංස්කාරයන් හේතුවෙන් යන ගමනක් අපි මේ යන්නේ. අතීතයේ අංගුලිමාල කළ දෙය, බාහියදාරුචිය කළ දෙය, අතීතයේ පුංචි සංකිච්ච පොඩි හාමුදුරුවෝ කළ දෙය අපිට කරන්න බැහැ. අපි සියල්ලෝම සංස්කාරයන්ගේ එකිනෙකට වෙනස් ධර්මතාවයන් තුළයි ක‍්‍රියාත්මක වෙන්නේ. එ් නිසා අපි ඉක්මන්විය යුතු නැහැ. ප‍්‍රමාදවිය යුතුත් නැහැ. අපි මාර්ගය තුළ අප‍්‍රමාදීවීම පමණක්මයි කළ යුත්තේ.

මෙය සටහන් තබන භික්ෂුව අධිගමයන් කෙරෙහි, ධ්‍යාන සම්පත් කෙරෙහි ඉක්මන්කාරීව, හදිස්සියෙන්, හිසගිනි ගැනීමෙන් කටයුතු කළ භික්ෂුවක් නොවේ. ලෞකික ප‍්‍රඥ්‍යාව සහ ශීලය නමැති කළ්‍යාණ මිත‍්‍රයින් දෙදෙනාගේ නිවැරදි යොමුකිරීම මත, මාර්ගය තුළ අප‍්‍රමාදී වූ භික්ෂුවක්. ධර්ම මාර්ගයේ කොතනකටවත් භික්ෂුව යොමු වුනේ නැහැ, හේතුඵල ධර්මයන් විසින් භික්ෂුව යොමුකලා. පිංවත් ඔබ මාර්ගය තුළ අප‍්‍රමාදීව කටයුතු කරන්න. ආර්්‍ය මාර්ගයේ අර්ථයන් තුළින්, ඔබ තුළ වැඩෙන සප්ත බොජ්ඣංගයෝ පිංවත් ඔබව ගමනාන්තය දක්වාම මෙහෙයවාවි.

අපි කලබල වෙන්නේ, ඉක්මන් මිච්ඡුා අධිගමයන් පසුපස දුවන්නේ, මිච්ඡුා ධර්මයන් පසුපස දුවන්නේ, අපි තුළ සප්ත බොජ්ඣංගයන් නොවැඩෙන නිසාමයි. සප්ත බොජ්ඣංගයන් අපි තුල නොවැඩෙන්නේ, ලෞකික ප‍්‍රඥ්‍යාවේ සහ ශීලයේ කළ්‍යාණමිත‍්‍රභාවයන්, පිංවත් ඔබ ජීවිතයට එකතුකොට ගැනීමට ප‍්‍රමාදීවීම නිසාමයි. පිංවත් ඔබ තුළ දැන් වැඩෙන්නේ කෘතිම මාර්ගයක්, මිච්ඡුා මාර්ගයක්. එ් නිසාම අපි මිච්ඡුා අධිගමයන්ගේ ගොදුරු බවට පත්වෙනවා.

ආර්්‍ය අෂ්ඨාංගික මාර්ගය තුල පිංවත් ඔබ නිවැරදිව ගමන් කරද්දී, භික්ෂුව නැවතත් ලෞකික ප‍්‍රඥ්‍යාව සහ ශීලය නැමති කළ්‍යාණ මිත‍්‍රයින් දෙදෙනාගේ අත්‍යාවශ්‍යභාවය පිංවත් ඔබට සිහිපත් කොටදෙනවා. පිංවත් ඔබට සමාධියට අදාළව අභියෝගාත්මක ඉලක්කයක් ඉදිරියේදී තිබෙනවා සපුරාගන්න. එ් තීරණාත්මක ඉලක්කය තමයි, ලෞකික මාර්ගයෙන්, පිංවත් ඔබව ලෝකෝත්තර මාර්ගයට යොමු කරන සම්මා සමාධිමත් සිත. පිංවත් ඔබ සම්මා සමාධිමත් සිතක්, පංචනීවරණ පහව ගිය සිතක්, ධ්‍යානගත සිතක් සකස්කොට ගත්තාය කියන්නේ, මාරයාගේ දෑස් අන්ධ කළාය කියන කාරණයයි. පංචඋපාදානස්කන්ධ මාරයා පරාජය කිරීමට නම්, මේ තෘෂ්ණාවෙන් ජවසම්පන්න මාර ධර්මයන් ඔබ යම් පමණකට හෝ අඩපණ කරන්න ඕනේ. උතුම් සම්මා සමාධිය ඊට සුන්දර අවස්ථාවක් ඔබට ලබාදෙනවා. තාවකාලිකව මාරයාගේ දෑස් අන්ධකොට දමනවා. එ් කියන්නේ මාරයාගේ දෑස් වසාදමනවා.

මාරයාගේ දෑස් අන්ධකරනවාය කියන කාරණයේ අර්ථය වෙන්නේ, කාමච්ඡුන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡුා යන නිවනට විපක්ෂ ධර්මතාවයන් තාවකාලිකව යටපත්කොට, නිවනට පක්ෂවූ සප්ත බොජ්ඣංගයන් තුළින් පිංවත් ඔබේ ප‍්‍රඥ්‍යාවේ දෑස් මතුකොට ගැනීමේ මාර්ගයට අවතීර්ණ වීමට, සුදුසු අවස්ථාව එළඹුනාය කියන කාරණයයි.

සම්මා සමාධියේ සැබෑම අර්ථය වෙන්නේ, මාරයාගේ දෑස් අන්ධකොට, පිංවත් ඔබේ ප‍්‍රඥ්‍යාවේ දෑස් මතු කොට ගැනීමට සුදුසු පරිසරය තමා තුළින් සකස්කොට ගත්තාය කියන කාරණයයි. තවම පිංවත් ඔබ ලෞකික මාර්ගය තුළයි ස්ථානගත වී සිටින්නේ. එය අමතක කරන්න එපා. කලබල වෙන්නත් එපා. කලබල වුනොත් ආයෙමත් ඔබ මාරයාට ඇස් දුන්නා වෙනවා.

මාරයාගේ කෙලෙස් වැගිරෙන, දකින දකින සිත් වශීකරන, නෙතු අගින් බලත්දී රාගයම මතුවෙන, විරාගී, සරාගී මාර දෑස්, සම්මා සමාධිමත් සිතෙන්, ධ්‍යානගත සිතෙන්, අන්ධකොට දමන ඔහු, මුලින්ම විදර්ශනාවෙන් අභියෝග කරන්නේ අවිද්‍යාවටයි. අවිද්‍යාවේ මූල බීජය වන, පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවටයි.
පටිච්චසමුප්පාද ක‍්‍රියාවලියේ විධායක බලය හිමි අවිද්‍යාවට, ඔහු විදර්ශනාවෙන් අභියෝග කරද්දී, අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන සංස්කාරයන් සතු තුනෙන් දෙකේ බලයත්, අභියෝගයට ලක්වෙනවා. සංස්කාරයෝ අභියෝගයට ලක්වෙත්දී, සංස්කාරයන් හේතුවෙන් සකස් වෙන විඤ්ඤාණය විදර්ශනාවේ අනසකට යටත් කොටගැනීමට පසුවෙන්නේ, අවිද්‍යාවෙන් තවදුරටත් තෘෂ්ණාවේ සැපයුම් ශක්තිමත්ව ඵස්සයට නොලැබෙන නිසාමයි.

2020 සැප්තැම්බර් 20 වන ඉරු දින

ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න…
තෙරුවන් සරණයි

සියළුම ලිපි සඳහා පිවිසෙන්න: www.maharahathunwadimagaosse.org