මල් පහන් පූජා කරලා ලබන පිනෙන් නිවන් අවබෝධ කරගන්න පුලුවම් ද?

ගරු ස්වාමීන් වහන්ස, කෙනෙක් මල් පහන් පූජා කරලා කුසල ශක්තියක් රැස් කර ගන්නවා. ඒ තුළින් ම ඔහුට නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන් ද?

බැහැ දරුවෝ. මල් පහන් පූජා කළා කියලා නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් කියන කාරණයක් ධර්මයේ නැහැ. නමුත් ඕනෑම කෙනෙක් තමුන් ක්‍රියාකාරී වෙන්නේ තමුන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය මතයි. ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්න වැඩෙන්න එයා ධර්මයේ ඉස්සරහට ගමන් කරනවා. ඉන්ද්‍රිය ධර්මයන් නොවැඩෙන්න නොවැඩෙන්න එයා ප්‍රාථමික තැන්වල හිරවෙලා ඉන්නවා. ධර්ම මාර්ගය කියන්නේ මාර්ගයක්. ⁣පියවරෙන් පියවර, පියවරෙන් පියවර අපි ඉස්සරහට යන්න ඕනේ.

ඒ නිසා කෙනෙක් මල් පූජා කරනවා, පහන් පත්තු කරනවා, පන්සල් යනවා කියන කාරණය වැරදියි කියලා අපිට කොතැනක වත් කියන්න බැහැ. ඒක අත්‍යවශ්‍ය දෙයක්. මොකද සෝවාන් ඵලයට පත්වුණ කෙනාත් මල් පූජා කරනවා. පහන් පත්තු කරනවා. පන්සල් යනවා. අනාගාමී ඵලයට පත්වුණ කෙනාත් මල් පූජා කරනවා. පහන් පත්තු කරනවා. බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන පන්සල් යනවා. ඒ නිසා මේවා එපා කියලා කොතැනකවත් අපට කියන්න බැහැ.

නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ මේ දේවල් ධර්මයේ සැබෑ අර්ථයන් උදෙසා කළමනාකරණය කරගන්න. ඔබ පහනක් පත්තු කරලා මේ පහන් ආලෝකය දකිද්දී “බුදුරජාණන් වහන්සේලාට මම මෙවැනි පහන් ලක්ෂ ගණනක් පූජා කරලා ඇති”යි කියලා දකින මොහොතේ ඔබ තුළ විදර්ශනා නුවණයි සකස් වෙන්නේ.

එහෙම නැත්නම් “මේ පහන් ආලෝකය යම් මොහොතක නිවී යන්නා සේ මගේ මේ ජීවිතයත් නිවී යනවා” කියන කාරණය මොහොතක් දකින්න පුලුවන් නම් ඒ පහන් ආලෝකය තමයි මහත්ඵල මහානිසංස පහන් ආලෝකය. මල් පූජා කරලා මේ මල් මැළවෙනවා, තව මොහොතකින් පරවෙනවා කියන කාරණය මොහොතක් දකින්න පුළුවන් නම් ඒක තමයි මල් පූජා කරලා ලබන්න තියෙන උතුම් ම ආනිසංසය. “මේ මල පරවෙනවා වගේ මගේ ජිවිතය කොච්චර ලස්සන වුණත්, සුන්දර වුණත් මේ ලස්සන සුන්දර ජීවිතයත් පරවෙලා, මැළවිලා යනවා” කියලා දකින්න පුළුවන් නම් ඒක තමයි මල් පූජා කිරීමේ සැබෑ අර්ථය.

ඒ නිසා නිරතුරුව ම අපි මල් පූජා කරමින්, පහන් පූජා කරමින් මේ කටයුතු කරමින් අපි දක්ෂ වෙන්න ඕනෑ මේවාත් විදර්ශනා නුවණින් දකින්න. එහෙම නැතුව පහන් පූජා කරලා “සාදු! සාදු! බුදුරජාණන් වහන්සේට පූජා වේවා!” කියන තැනින් පිනක් විතරයි සකස් වෙන්නේ. ඒ පින අනිත්‍ය වූ සංස්කාරයක්. ඒ නිසා නිරතුරුව අපි දක්ෂ වෙන්න ඕනේ මේ දේවල් සිද්ධ කරමින් මේ දේවල් විදර්ශනා නුවණ සකස් කෙරෙන තැනට පෙරල ගන්න.

මේ දේවල් විදර්ශනා නුවණ සකස් කෙරෙන තැනට පෙරල ගත්තොත් අපි පහන් පූජා කිරීම ම, අපි මල් පූජා කිරීමම අපි සම්මා සතියක් ඇති කිරීම සදහා උපයෝගී කරගත්තා වෙනවා. ඒ නිසා ඒවා අපි කරන්න ඕනේ. කරලා දක්ෂ ආකාරයෙන් ඒවා ගලපා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ.