අප බොහෝ දෙනෙක් සිතා සිටින්නේ මරණයෙන් පසු නැවත මිනිසකු වී හෝ එසේ නැත්නම් දෙවියකු වී හෝ ඉපදේ යන්නයි. බොහෝ කුසල් දහම්හි නිරත වෙමින් ප්‍රාර්ථන කරන අයුරින් ඒවා ඉෂ්ඨ වී ඉතාමත් සැපවත් මිනිස්,දිව්‍ය ආත්මයක් ලැබේ යැයි බහුතරයක් දෙනා සිතයි. “අනෙක් අයට එසේ වූවද මට එසේ නොවෙයි” යනුවෙන් යම්කිසි සුබවාදී සිතිවිල්ලක් සැම කෙනෙක් තුළම තිබේ.
නමුත් එය ඉතාමත්ම වැරදි සහගතය. සැපවත් කාරයක ගමන් කොට එයින් බැස ඊළඟ සැපවත් කාරයට ගොඩ වනවා මෙන් සුගතියෙන් සුගතියට යෑමක් සිදුවීම නම් ඉතාමත්ම ඉතාමත්ම දුර්ලබය. බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන්නේම මේ මනුෂ්‍ය ජීවීතයක් ලබා ගැනීමේ ඇති දුර්ලබ බවමය. “කණ කැස්බැවා විය සිදුරෙන් අහස බලන්නාක් ” මෙන් දුර්ලබ බවය.
එනම් එක ඇසක පමණක් පෙනීම ඇති කණ කැස්බෑවකු මේ ලෝකයේ සාගරයන්හි සැරිසරයි. මහා සාගරයට විසි කරන ලද සිදුරක් ඇති විය ගහක්ද, මේ සාගරයේ පාවී පාවී පවතී. මේ කණ කැස්බෑවා වසර සියයකට වරක් සාගර ජලයෙන් උඩට හිස ඔසවයි. එසේ ඔහු හිස ඔසවා බලන විට ඔහුගේ පෙනීම ඇති ඇස, ජලයෙන් ඉහලට එසවී ඇති විටෙක, අර පාවෙමින් පවතින විය ගසද ඔහු අසලටම පැමිණ, එකට හමුවීමේ සම්භාවිතාවය කෙතෙක්ද ..! එය බොහෝ විට සිදුවිය නොහැකිමය. නමුත් අහම්බෙන් හෝ එසේ සිදුවූවා යැයි සිතමු. එවිට කැස්බෑවාගේ පෙනීම යහපත් ඇස, අර විය සිදුරට සමපාත වීම සිදු වී, ඒ විය සිදුර තුළින් ඔහු අහස දෙස බැලීමට හැකිවිය යුතුය. එසේ ඔහු අහස දෙස බලද්දී සඳ පායා තිබෙන දිනයක්ද විය යුතුය.
මේ උපමාව දෙස ඔබ මොහොතක් කල්පනා කරන්න. විය නොහැකි සිදුවීම් කීපයක් එක වර සිදුවිය යුතුය. කැස්බෑවාට විය සිදුර හමුවීමත්, ඒ සිදුරට ඔහුගේ පෙනෙන ඇස සමපාත වීමත්, එසේ සමපාත වීම, සද ඇති දිනක වීමත්, ඒ සිදුරෙන් ඔහු අහස දෙස බැලීමත් යන අභව්‍ය සිදුවීම කීපයක් සිදුවීම කෙතරම් නම් දුර්ලභද..! ඇත්තෙන්ම විය නොහැක්කාක් මෙනි. නමුත් එය එසේමය.
ඔබට මෙය විශ්වාස කිරීමට නොහැකි වන්නේ ඔබ සතු ප්‍රඥාවේ දුබල කම නිසාමය. අනන්ත ලෝක ධාතු පිළිබඳව අඩුවක් නැති ලෝකවිදූ ගුණයෙන් යුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන්ම පිරිසිද දැක දක්වන්නා වූ කරුණු බොහෝමයක් සාමාන්‍ය ප්‍රඥාවක් ඇති අපට ගෝචර වන්නේ නැත. අපට ඒවා අදහා ගැනීමටත් නොහැකිවා මෙනි.
අප බොහෝ පුනුරුප්පත්ති කතා අසා ඇත්තෙමු. ජනගහණ වර්ධනය ගැනද දන්නෙමු. එසේ නම් මේ තරම් දුර්ලභ වන්නේ කෙසේද යන්න අපට සිතාගන්නට අපහසු වනු ඇත. නමුත් කල්පනා කර බලන්න. නිවසක ජීවත් වන මිනිසුන් ගණන කීයද ? උපරිම 10 ක් ලෙස ගනිමු . නමුත් එම නිවසේ සිටින සතුන් ගණන කොතෙක්ද ?. බල්ලා, පූසා හැරුණු කොට, කැරපොත්තන් හූණන්, මකුණන්, මැක්කන්, කූඹීන්, කෝඳුරුවන්, මදුරුවන් , බිම් කුණ්ඩන් මේ ආදී නම් දන්නා නොදන්නා තිරිසන් සත්වයන් ගණනින් කීයක් වත් සිටීද? පොල් අත්තක් සොලවා බැලූ විට විසිරී යන කූඹීන් ගණනම කොපමණද? දිනකට ආහාරයටම මරන මාළුන් ප්‍රමාණය කොතෙක්ද ?අහසේ වරකට පියාඹා යන කුරුල්ලන්, වවුලන් ආදී සතුන් ගණන කොපමණද ? ඔබට අවශ්‍ය නම් අන්තර්ජාලය පිරික්සා මේවා රූපමය වශයෙන් බලන්න. සත්වයන්ගේ ගණන, ගණනින් දැක්වීමට නොහැකි බව අවබෝධ වනු ඇත. මෑතකදී වූ ඕස්ට්‍රේලියාවේ ලැව් ගින්නෙන් මියගිය සතුන් සංඛ්‍යාව මිලියන පන්සියයකි. එයට ඇතුළත් වනුයේ ගණන් කළ හැකි ප්‍රමාණයේ සතුන් පමණකි. කූඹීන් ආදී කුඩා සතුන් මේ ගණනයන් සඳහා ඇතුළත් නොවේ. ලෝකයේ මිනිස් ගහණය සංඛ්‍යා ගත කොට ඇති වුවද, සත්වයන් ගණන ගණනය කිරීමට පවා නොහැක. මහා සාගරයේම පමණක් වාසය කරන සතුන්ගේ ගණන කොපමණ නම් වේද..! මේ දැක්වුයේ ඉතා පහසුවෙන් සිතා ගත හැකි උදාහරණ පමණි. ඇසට නොපෙනෙන ප්‍රේතයන්, අසුරයන්, යක්ෂයන් ,අපාගත සත්වයන්ගේ ගණන අනන්තය. අපරිමාණය. ඒවා ගණනින් දැක්වීමට ගණිතය දියුණු නැත. අපට සිතන්නට මොළයේ සීමාව ඉක්මවා යයි. ලෝක විෂය අචින්තය බැවින් සිහි විකල් වනවා පමණි.
මේ ලෝක ධාතුව තුළ සෑම විටම සත්වයන් මියයමින් , ඉපදෙමින් පවතී. මිනිසුන්, තිරිසන් සත්වයින්, ප්‍රේතයන්, අපාගත සත්වයන්, දෙවියන්, බ්‍රහ්මයන් ආදී අනන්ත අපරිමාණ සත්වයන් ගණනක් සෑම මොහොතකම මිය යමින් නැවත ඉපදෙමින් පවතී. ඔවුන් විවිධ වූ ආත්ම භාවයන් ලබමින් පවතී. මිනිසුන් මැරී ප්‍රේතයන් වේ; තිරිසනුන් වේ; අපායට යයි; දෙවියන් වේ; බ්‍රහ්මයන් වේ. එලෙසින්ම දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වලින් චුත වී මිනිස් ජීවිත ලබයි; තිරිසන් ජීවීත ලබයි; අපාගාමී වෙයි. තවද අපාගත සත්වයන් කල්ප ගණන් අපාය තුළ කර්මයන් ගෙවා තිරිසනුන් වෙයි; මිනිසුන් වෙයි. මේ ආදී ලෙසින් මෙය මහා විශාල සංක්‍රාන්තියකි. එකකින් එකාට මාරු වෙමින් නොනවතින ගමනකි. එකම මාර්ගයක්, එකම දිශාවකට පමණක් සිදු නොවන, උපත් වලින් පිරී ඇත. සෑම මොහොතකම විඥාණ නිරුද්ධ වෙමින්, ඇතිවෙමින්ම පවතී.
ළිඳේ සිටිනා ගෙම්බකු දකින ලෝකය ළිඳයි. එතනින් එහා ලෝක ගැන දන්නේ නැත. නමුත් අප එතනින් එහා දනිමු. අපට පෙනෙන්නේ ළිඳ කෙතරම් කුඩාද යන්නයි. මෙලෙසින්ම, අප දකින්නේද අපට පෙනෙන සීමාවේ ලෝකයයි. නමුත් බුදුවරු එසේ නොවෙති. බුදු ඇසට නොපෙනෙන ලොවක් නැත. ඒ බුද්ධ විෂය ගැන සිතීමම අපට අවිෂයය. මන්ද අපේ ප්‍රඥාව සීමිතය. මිනිස් ගහණය වැඩි වන්නේ යළි මිනිසුන්ම මැරී මිනිසුන්ම වන නිසා නම්, ඒ වැඩිවන මිනිසුන් කොහේ සිට පැමිණෙන අයද ? වෙනත් වෙනත් භව වලින් යෑම් ඊම් ඇති බවට එයම සාක්ෂියකි.
මෙසේ නුවණින් ටිකක් හෝ විමසා බැලූ විට බුදු රජාණන් වහන්සේ දක්වන ලද උපමාව නිවැරදි බව අපටම පසක් වනු ඇත. ශ්‍රද්ධාවෙන් පමණක්ම දේවල් පිළිගන්නවා වෙනුවට අපට හැකි අයුරින් නුවණ මෙහෙයවා මේවා ගැන සිතීමෙන්, ඒවායේ සත්‍යතාවය දක්නා විට ශ්‍රද්ධාව තව තවත් වැඩි වේ.
එසේ අති දුර්ලභ වූ මනුෂ්‍ය භාවයක් ලබා සිටිනා අප සිතන්නේ බොහෝ පින්කම් කළ පමණින්, ප්‍රාර්ථනා කළ පමණින් අපට නැවතත් සුගතියකම උපතක් ලැබිය හැකි බවයි. නැත. එය මුළුමනිනම සාවද්‍යයය. කොහේ ගියත් නැවත ගෙදරටම එන්නා සේ, සත්වයන්ද කුමන උපතක් කරා ගියද, නැවත මහ ගෙදර කරා එන්නා සේ නැවත නැවත පැමිණෙන්නේ සතර අපායටමය. සතර අපාය සත්වයාගේ මහ ගෙදර ලෙසින් හඳුන්වයි. මෙසේ වන්නේ ඇයි.?
අපේ සිතට නිරන්තරයෙන් සිතිවිලි ගලයි. මහා ජලාශයක සොරොව්වක් විවෘථ කලා සේ සිතිවිලි ගලන වේගය අපට සිතා ගැනීමටවත් නොහැක. සිතේ වේගය මැනීමට මිනුමක් නැත. එතරම්ම වේගවත්ය. අපේ පාලනයකින් තොරව අරමුණු වලට අනුවම ඒවා ගලයි. අපේ පාලනයේ නොමැති බව ප්‍රත්‍යක්ෂ කොට ගැනීම සඳහා විනාඩි දෙකක් භාවනා කොට බලන්න. ඔබට සිතිවිලි නවතාගෙන ඔබේ පාලනයේ තබා ගත හැකිද කියා ඔබම දැනගන්න. එකක් පසුපස එකක් සේ ඇතිවන මේ මහා සිතිවිලි කන්දරාව හේතූ හා ඵල අනුව සිදුවේ. කලින් ඇතිවූ සිතට අනුකූලව ඊට පසු ඇතිවන සිත ඇතිවේ . ඔබ තරහින් ඉන්නා විට ඒ ද්වේෂ සහගත සිතිවිලි ගලයි. එක වරම ඔබට මෛත්‍රිය ඇති වේද. නැත. එය ක්‍රමානුකූලව එකින් එක සුමට සිතිවිලි ඇතිවීම තුළින් අවසානයේ තරහ පහව ගොස් මෙත් සිතිවිලි ජනිත වේ. වේගයෙන් ක්‍රියාත්මක වන විදුලි පංකාව ක්‍රියා විරහිත කරද එය එකවර නවතින්නේ නැත. ක්‍රමයෙන් වේගය අඩුවී ගොස් නතර වේ. රත් වූ ස්ත්‍රික්කය එකවර නිවෙන්නේ නැත. ස්විචය ක්‍රියා විරහිත කළ පසු මඳ වේලාවකින් එය සිසිල් වේ. සිතද මෙලෙසින්මය. සරල වශයෙන් දක්වන්නේ නම්, ඔබ මරණ මොහොතේ ඇතිවන අවසාන සිතට අනුවම ඊළඟ භවය ඇතිවේ. මරණ මොහොතේ යම්තම් හෝ තරහක්, දුකක්,පසුතැවීමක්, භයක්, ලෝභයක්, ආශාවක්, ඊර්ෂ්‍යාවක් ආදී සිතක් පහළ වූ සැණින් ඔබ නටුවෙන් ගිළිහී බිමට පතිත වන ගෙඩියක් සේ සතර අපායටම වැටේ. නමුත් ඔබට මෛත්‍රියක්, ශ්‍රද්ධාවක්, උපේක්ෂාවක්, අනිත්‍ය ගැන හැඟීමක්, අත හැරීමක් ආදී සිතිවිලි පහළ වන්නේ නම් සුගතියක් කරා ඔබ යන්නේද එසේමය.
මරණ මොහොත යනු සැපවත්ව යන ගමනක් නොවේ. බොහෝ විට ලෙඩ වී, ගත දුබල වී, එක්තැන් වී, වේදනාවට පත් වී, අනතුරු වී ආදී ලෙසින් අනපේක්ෂිතවමය. කිසිම කෙනෙක් සතුටින් දැන දැන සිනා සී මරණයට මුහුණ දෙන්නේ නැති තරම්ය. බොහෝ දෙමව්පියන් මිය යන්නේ දරු මුණුපුරන් , ඉඩකඩම් දේපළ කෙරෙහි ආශාවෙන්මය.
කොතෙක් පින්කම් කළඳ ඔබේ සිතේ බහුලව නැඟෙන සිතිවිලි වල ස්වභාවය දන්නේ ඔබමය.
අධික හිසේ කැක්කුමකින් පෙළෙන විට ඔබට තව කෙනෙක් ඇවිත් කතා කළඳ ඇතැම් විට තරහා ඇවිස්සෙයි. මේ වේදනාව අනිත්‍යයි ලෙසින් මනසිකාර පැවැත්වීමට ඔබට හැකිද ?එසේ නම් මරණ මොහොත, හුස්ම යන මොහොත යනු ඉතා වේදනාකාරී මොහොතකි. අප කතාවට
” පණ යන වැඩක් ” කියා කියන්නේද එබැවිනි. වතුර යට හිස දමාගෙන හුස්ම නොගෙන කොතෙක් වේලා ඉන්නට හැකිද ? මහා අපහසුවෙන් අප දගළයි. අවසන් හුස්ම පොද නික්ම යන මොහොත මහා සුවදායක නම් නොවන බව දැන් ඔබට තේරුම් යනවා විය හැක. ඒ අසීරූ මොහොතේ අනිත්‍ය බව, බුදු ගුණ ආදී දේ මෙනෙහි කරන්නට නම් ඔබ කොතරම් නම් සිත පුහුණු කර තිබිය යුතුද ? අනෙක් අතට මරණ මොහොතේ සිතට කුමන ආකාරයේ හැඟීම්, මතකයන් පහළ වේදැයි අපට නිගමනය කර නොහැක. ඔබට මේ ජීවීත කාලයේ අහම්බෙන් එක් වරක් පමණක් වූ දෙයක්, ඔබට අමතකව පැවති දෙයක්, ක්ෂණයකින් සිතට නැඟෙන්නට පුළුවන. මරණ මොහොතේ ගරුක කම්ම, ආසන්න කම්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම ලෙසින් චුති සිතට මෙනෙහි වන කර්මයන් ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කොට ඇත.
ගරුක කර්ම යනු අති ප්‍රබල කර්මයන්ය. අකුසල පැත්තෙන් ආනන්තරීය පාප කර්ම හා කුසල පැත්තෙන් ධ්‍යාන,මාර්ග ඵල සිත්ය. ඒවා නියත වශයෙන්ම ඉදිරියට පැමිණේ. ආනන්තරීය පාප කර්ම සිදු කොට ඇත්නම් එය අනිවාර්යෙන් ප්‍රමුඛ වී අවීචි නරකාදියේ උපත වේ. එලෙසින්ම ධ්‍යාන, මාර්ගඵල තත්වයන්ද කුසල පැත්තෙන් අතිප්‍රබල කර්ම බැවින් ඒවා අනිවාර්යෙන් කුමන ආකාරයෙන් මිය ගියද ඉදිරියට පැමිණ සුගති උපතක් හෝ පරිනිර්වාණය වේ. ගරුක කර්ම සිදුකර ඇති පිරිස් සීමිතය. බහුලව ක්‍රියාත්මක වන්නේ ආසන්න කම්මයි. එනම් මරණයට ආසන්නම මොහොතේ සිතමින්, කියමින් හෝ කරමින් සිටි ක්‍රියාව මෙනෙහි වීමයි. ආචින්න කර්ම යනු මුළු ජීවීත කාලය පුරාම බහුලව කරමින් පැවති ක්‍රියාවන් සිහියට නැඟීමයි. කටත්තා කම්ම යනු මේ ජීවිතයේ එක් වරක් හෝ දෙවරක් හෝ එසේ නැත්තම් පෙර සංසාරේ කවර භවයක හෝ සිදු කළ කර්මයක් පෙරට පැමිණීමයි.
මෙසේ බලන විට මරණ මොහොතේ යහපත් සිතක් පෙරට පැමිණීම ඉතාම විරල බව තේරුම් යනු ඇත. බුදු රජාණන් වහන්සේ යනු සිතිවිලි මාත්‍රයකින් පවා කිසිවකු මුලා නොකරන උත්තමයෙකි. බෝධිසත්ව අවධියේ පටන් කල්ප ගණන් සත්‍ය පාරමිතාව පිරූ උතුමෙකි. උන් වහන්සේ සෑම දෙයකම ඇත්ත ඇති සැටියෙන් දක්වනු විනා අතිශයෝක්තියකින් කිසිවක් ප්‍රකාශ නොකරයි. එසේ නම් මේ මිනිස් උපත අති දුර්ලභය.
එසෙ නම් අප නිවන් අවබෝධ කර නොගතහොත්, මිනිස් උපතක් ලැබීමද මේ සා අති දුර්ලභ නම් අපට, අප අතර සිටින්නවුන්ට, අප ආදරය කරන්නන්හට, බහුලවම උරුම වන උපතවල් මොනවාද ? ඒවායේ ආයුෂ කොපමණද? විඳින්නට වන දුක් මොනවාද ? නැවත ගොඩ ඒමක් විය හැකිද ? මේවා ඉදිරියේදී විස්තරාත්මකව ඉදිරිපත් කරමු.
අප මේ සිටින්නේ කෙතරම් නම් අති භයානක උවඳුරක එළිපත්තේද යන වග දැන් ඔබට පසක් වනු ඇත. මහා සාගරයේ අනන්ත වැලි කැට අතරින් එක වැලි කැටයක් තරම් වූ මේ මිනිස් ආයුෂ ප්‍රමාණය, හිස ගිනි ගත්තත් එය අත හැර නිවන් අවබෝධයටම යෙදවිය යුත්තේ ඇයිද යන්න ඔබටම අවබෝධ වනු ඇත.
අප සිත සත්‍ය වසන් කොට මුලාවක සිහිනයක් තුළ රඳවා තාවකාලික සතුටක් ලබන්නට හැකිය. නමුත් එය මෝඩකමකි. අප පින්කමක් කොට ස්වාමින් වහන්සේලා පවා අපට කියන්නේ “මේ පිනම ඇති නිවන් දකින්න, සුගතියේ යන්න” කියාය. නමුත් සත්‍ය නම් එය නොවේ. ලක්ෂ ගණන් වියදම් කොට සතුටින් පින්කම් කළඳ , එය අවසාන මොහොතේ සිහි නොවී, කවදා හෝ සිතට නැඟි එක තරහ අවස්ථාවක් මෙනෙහි වීම සිදුවිය හැක. ඔබේ ක්ෂණ සම්පත්තිය එතනින්ම අහිමි වනු ඇත. දුගති කරා ගියවිට නැවත සුගතියක් කරා එළඹීම සිහිනයක් බඳුය. මහ පොළොවේ සිටින සත්වයන් අතරින් නිය සිළ මතට පැමිණි, නිවන් දුටු “නියත ගති පරායන” තත්වයට හෙවත් නියත වශයෙන්ම සුගතියක් කරා යන කෙනෙක් වන්නටත්, එතනින් නොනැවතී නැවත උපතක් නොලබනම තත්වයට පත්වීමටත් ඔබ උත්සාහ කළ යුතුය.
එසේ කරන්නට නම් ඔබ සිටිනා භයානක තත්වය මැනවින්ම වටහා ගත යුතුය.
දුක ගැන මනා වැටහීමක් ලබා ගත යුත්තේ එබැවිනි. මේ සියළු අවබෝධයන් නිවන පිණිසම හේතු වනු නිසැකය.
දුක ගැන, දුක්ඛ සත්‍ය ගැන මේ ලබනා අවබෝධයන් සංසාර ඕඝය තරණය කරන්නටම හේතු වනු ඇත.