දෙවියන්ද වඳින පින් බිමයි මේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සුගතිය වශයෙන් හඳුන්වන ලද සශ්‍රීක දිව්‍යතල වල දෙවියන් පවා මේ බෞද්ධ රටේ උතුම් පිංවතුන්ලා වෙනුවෙන් ආශිර්වාද කරනවා. ලක්‌ මාතාවට යහපතක්‌ වේවා, සුරක්‍ෂිත වේවා කියලා. පිංවත් ඔබ හොඳින් දැනගන්න ඕනේ සුගති භූමිවල වැඩසිටින මාර්ගඵල ලාභී නොවන සශ්‍රීක දෙවිවවරුන්, දිව්‍යාංගනාවන් කියන්නේ කවුද කියලා. පායාසී කියන සූත්‍රයේදී කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ දේශනා කරනවා සශ්‍රීක දිව්‍යතල වල වැඩසිටින දෙවියන් හැමවිටම මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයාට යොදුන් සියයක්‌ ඈතින් ඉන්නේ කියලා. එම දෙවියන් මනුෂ්‍යයාට යොදුන් සියයක්‌ ඈතින් ඉන්නේ මනුෂ්‍ය ගඳ දෙවියන්ට ඉවසන්නට බැරි නිසා. මෙතැනදී මනුෂ්‍යයාගේ ගඳ කියලා කියන්නේ මනුෂ්‍යයාගේ දහඩිය ගඳ නොවෙයි. මනුෂ්‍යයාගේ දුසිල්වත්භාවයේ ගඳ, අසත්පුරුෂභාවයේ දුගඳ, තෘෂ්ණාවේ අපුල දුගඳ ඉවසන්න, දරන්න දෙවියන්ට බැරි නිසයි දෙවියන් නිරතුරුවම මනුෂ්‍යයාට වඩා යොදුන් සියයක්‌ ඈතින් වැඩසිටින්නේ. නමුත් ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් පිරිසිදු පිංවත් මනුෂ්‍යයන් ළඟට දෙවියන් එනවා. දෙවියන් එම පිංවතුන්ට ආශිර්වාද කරනවා. පිංවත් ඔබට, මට මනුෂ්‍ය ලෝකයේ සිට සශ්‍රීක දිව්‍යතල වලට ඇති දුර යොදුන් ලක්‍ෂ ගණනක්‌ වුවද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ උතුම් ධර්ම මාර්ගය තුළ එම දිව්‍ය තලවල හඬ ගෙදර තිබෙන ගුවන් විදුලියේ හඬ තරමටම අපට සමීපකොට දී තිබෙනවා. මේ සම්මා සම්බුදු ඥානයේ උතුම් ආශ්චර්යයි. සමාධියේ ආශ්චර්යයෙන් අත්දකින ලෝකය විදර්ශනාවේ අවබෝධයෙන් අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම වශයෙන් දකිමින් ලෝකයෙන් මිදෙන මාර්ගයක්‌ බෞද්ධ අපට උරුමකර දී තිබෙනවා.

මේ ආශ්චර්යය දකිද්දී, ඇසෙද්දී, කියවද්දී තෙරුවන් කෙරෙහිමයි පිංවත් ඔබ ශ්‍රද්ධාව සකස්‌කොට ගතයුත්තේ. පිංවත් ඔබටත් මේ සම්බුදු උණුසුම උරුමයි. මාර්ගය තුළ නිවැරැදිව ගමන්කළොත් මනුෂ්‍යයින්ට යොදුන් සියයක්‌ ඈතින් වැඩසිටින දෙවියන්, දිව්‍යාංගනාවන් කියන්නේ අතීත මනුෂ්‍ය ජීවිත වල තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ, දානයේ, ශීලයේ ඵලයයි. මනුෂ්‍ය ලෝකයේ කුණුකසළ, අපුල, ගේ දොර ඉඩකඩම්, සැමියා, බිරිඳ, දූ දරුවන්, කීර්ති ප්‍රශංශා, නිලතල වලට ඇති ජන්ද රාගයේ විෂ තාවකාලිකව මරාදැමූ උතුම් ශිල්වතුන්ගේ සුගති භූමියයි සශ්‍රීක දිව්‍ය තල කියන්නේ. මෙවන් සුගති භූමිවල වැඩසිටින දෙවියන් මේ පුණ්‍යදීපයට සෞභාග්‍යයක්‌ වේවා කියලා දිව්‍ය සංගීතයෙන් ආශිර්වාද කරනවා. බලන්න පිංවත් ඔබ නොදකින, පිංවත් ඔබ නොසිතන, කහවණු, ඩොලර්, රියාල් පසුපස්‌සේ හඹායන බැංකු ගිණුමේ ඉලක්‌කම් පේළිය වැඩිකරගැනීම උදෙසාම වෙහෙසෙන පිංවත් ඔබ අමතක කළා වූ මතකයක්‌ දෙවියන්ට තිබෙනවා. දෙවිවරු දන්නවා තමන්ට මෙවන් අසිරිමත් දිව්‍ය සැපයක්‌ ලබාගැනීමට උපකාර වූ සද්ධර්මය අවංකවම, විවෘතවම, තවමත් බබළන්නේ මේ ධර්මද්වීපයේය කියලා. නමුත් මේ ධර්මද්වීපයේ උතුම් මනුෂ්‍යයින් හැටියට ඉපදිලා පිංවත් අපි මුදලට, කීර්තියට, දේපළට වැඳවැටෙමින් ඒවා මත්තේම අපේ උතුම් බෞද්ධකම දුර්වල කරගත්තත් ඒ සශ්‍රික දෙවියන් සද්ධර්මය හේතුවෙන් ලබාගත් ඒ සශ්‍රීක දිව්‍යශ්‍රීය අත්විඳිමින්ම ඒ සද්ධර්මය තවමත් බැබළෙන මේ පිංබිමට, ශ්‍රී ලංකා මාතාවට ‘නමෝ නමෝ මාතා’ කියලා නමස්‌කාර කරනවා ගීතයෙන්. මේ උතුම් රට රැකේවා, චිරාත් කාලයක්‌ දිනේවා කියලා.

දෙවියන් එහෙම මේ උතුම් රටට චිරාත් කාලයක්‌ දිනේවා කියලා ආශිර්වාද කරන්නේ ඔබ අප මෙන් කුණුකසළ ලෞකික සම්පත් බලාපොරොත්තුවෙන් නොව මේ උතුම් සද්ධර්මයේ ආරක්‍ෂාව, මේ උතුම් ධර්මය එක දිනක්‌ හෝ වැඩිපුර ආරක්‍ෂාවී පවතීවා කියන සත්පුරුෂභාවයෙන්මයි. දෙවිවරු හොඳින් දන්නවා තමන් යම් දවසක දිව්‍ය සැප අහවර වී දිව්‍ය තල වලින් චුතවුවහොත් නැවත දෙවියෙක්‌ වීමටනම් සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් නොවී පවතින්න ඕනේය කියලා. ඒ වගේම පිංවත් දෙවියන් දන්නවා මේ ගෞතම ශාසනය අවසන් මොහොත දක්‌වා රැකෙන්නේ මේ උතුම් පින් බිමේමයි කියලා.