ධම්මදින්නා තෙරණියගේ කතා වස්තුව.

’’මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලෝක නායකවූ, සියළු ධර්‍මයන්හි පරතෙරෙට ගිය පදුමුත්තර නම් බුදුරජතෙම ලොව පහළවිය.

’’එකල්හි මම හංසවතී නගරයෙහි එක්තරා කුලයක පැණවත්වූ, සිල්වත්වූ අනුන්ගේ කටයුතු කරන්නියක් වීමි.

’’පදුමුත්තර බුදුරජුන්ගේ සුජාත නම් අගසව් තෙමේ විහාරයෙන් නික්ම පිඬු පිණිස යයි.

’’එකල්හි දිය අදින්නියක්වූ (මම) කළයක් ගෙන යන්නී, උන්වහන්සේ දැක පහන්වූවා, සියතින් කැවුමක් දුනිමි.

’’ඒ තෙමේ එහිම වැඩහුන්නේ වැළඳීය. එතැනින් හේ ගෙට පමුණුවා උන්වහන්සේට බොජුන් පිළිගැන්වීමි.

’’ඉක්බිති මාගේ ස්වාමි තෙමේ (මා) ස්වකීය යෙහෙලිය කළේය. නැන්දනිය සමග ගොස් සම්බුදුරජුන් වැන්දෙමි.

’’එකල්හි එම බුදුරජතෙම ධර්‍මකථිකවූ භික්‍ෂුණියක් පසසමින් එතදග්‍රස්ථානයෙහි තැබූහ. එය අසා සතුටුවූ මම,

’’සංඝයා සහිතවූ ලෝක නායක බුදුරජුන් පවරා මහ දන්දී එම තනතුර පැතීමි.

’’ඉක්බිති මේඝ නාදයකට බඳු මිහිරි ස්වර ඇති බුදුරජතෙම මට මෙසේ වදාළ සේක. ’’මාගේ උවටැනෙහි නිරතවූ සඞ්ඝයා සහිතව (මා) වළඳවන්නාවූ,

’’සදහම් ඇසුමෙහි යෙදුනාවූ, ගුණ වැඩිදියුණු කළ සිත් ඇති, සොඳුරුවූ තැනැත්තියත ප්‍රමුදිත වන්න. පැතුමෙහි විපාකය ලබන්නෙහිය.

’’මින් මතු සියක්දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේය.

’’උන්වහන්සේගේ දහම්හි දායාදීවූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්‍ධ) පුත්‍රීවූ, නම්න් ’’ධම්මදින්නා’’ නම්වූ බුද්ධ ශ්‍රාවිකාවක් වන්නෙහිය.

’’එය අසා සතුටුව එකල්හි දිවි ඇතිතාක් මෙත් සිත් ඇත්තී (සිව්)පසයෙන් පස්මරුන් දිනූ බුදුරජුන්හට පරිවරණය කෙළෙමි.

’’මැනවින් කරන ලද එම කර්‍මය කරණ කොට ගෙනද, චිත්තප්‍රණිධීන් කරණ කොට ගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)

’’කථා කරන්නවුන් අතරින් ශ්‍රේෂ්ඨවූ, බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, නම්න් කාශ්‍යප නම්වූ බුදුරජතෙම ලොව පහළවිය.

’’එම කළ රජුගේ ’සුධම්මා’ නම්න් ප්‍රකටවූ සවැනි දුව වීමි. උතුම්වූ බුදුරජාණන් වහන්සේගේ ධර්‍මය අසා පැවිද්ද රුචි කෙළෙමි.

’’(පැවිදිවීම සඳහා) පිය (රජ) තෙම අපට නොඅනුදත්තේය. එකල්හි රාජ කන්‍යාවන්වූ, සුවසේ වැඩුණාවූ, බුදේ‍ධාපස්ථානයෙහි ඇලුනාවූ, ප්‍රමුදිතවූ (එම රජුගේ) දූවරුන් සත්දෙනෙකුවූ අපි ගිහිගෙහිදීම විසිදහසක් හවුරුදු කෞමාරී බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසුරුණෙමු.

’’(එම සත්දෙන පිළිවෙළින් අප බුදුන් කල) ඛෙමාවද, උප්පලවණ්ණාවද, පටාචාරාවද, එසේම මමද, කිසා ගෝතමීයද, ධම්මදින්නාවද, සත්වැනිවූ විශාඛාවද වේ.

’’මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)

’’දැන් මේ අන්තිම භවයෙහි උතුම්වූ ගිරිව්‍රජ පුරයෙහි සියළු සැප සම්පතින් සමෘද්ධවූ, පිරුණාවූ සිටු කුලයක උපන්නී,

( _ධම්මදින්නා ථේරි අපදානය- අපදාන පාලි – ඛුද්දක නිකාය)

🌻🌻 *මෙසේ සසර ගමන ආ එම උත්තමාවිය* *ගෞතම බුදු සසුන තුළ ශ්‍රාවිකාවක් වෙයි.* 🌻🌻

එක් දිනක් ධම්ම දින්නා භික්ෂුණීයගේ ගිහිකල ස්වාමීයා වූ විසාඛ උපාසකයා බුදුගෙන් බණ අසා අනාගාමී ඵලයට පත්වී මෙසේ සිතුවේය.

මවිසින් සියළු ධනය ධම්ම දින්නාට පැවරිය යුතුය.

එතුමා පෙරාතුව එනවිට ජනේලයෙන් බලාසිටින ධම්ම දින්නා සිනා පහළ කරයි. එනමුත් එදින ඔහු ජනේලයෙන් බලාසිටින ඇය දෙස නොබැලුවේය. මේ කුමක් වීදැයි සිතා හොඳයි කෑම ගන්නා විට දැනගතිමියි කෑම අවස්ථාවේදී බත් බෙදුවාය. ඔහු අනෙක් දිනවල එන්න එකට කෑම ගනිමුයි කථාකරයි. මෙදින නිහඩවම කෑම ගත්තේය. ඇය කිසියම් කරුණකට කෝප වී ඇතැයි සිතුවාය.
අනතුරුව විසාඛ පහසුවෙන් සිටින විට ධම්ම දින්නා කථාකොට මේ ගෙයි සියළු සම්පත් ඔබම බාර ගන්නැයි පැවසුවේය.

ඇය තරහ වී නම් මෙසේ සම්පත් පවරා නොදෙයි මේ කුමක්දැයි විමසා ස්වාමීනි ඔබ මම මෙයින් පසු කිසිවක් නො විමසන්නේද , ඔබ විසින් විසිකරන ලද කෙල මෙන් ඇතිකල මගේ පැවිද්ද අනුමත කරන්න.

ඔහු ද මැනවැයි පිළිගෙන මහත් සත්කාරයෙන් භික්ෂුණී ආරාමයට ගෙන ගොස් පැවිදි කළේය.

ඇය උපසම්පදාව ලබා ධම්ම දින්නා ථෙරි නම් වූවාය ඇය විවේකය කැමතිව භික්ෂුණීන් සමග ජනපදයට ගොස් එහි වාසය කරන්නී නොබෝ දිනකින් සිවුපිළිසිඹියා රහත් බවට පත්වූවාය.

නැවත ඇය මා නිසා ඥාතීන් පින් කරන්නේයයි නැවත ද රජගහ නුවරට ආපසු ගියාය. උපාසක ඇය පැමිණි බව අසා කුමක් නිසා ආවේදැයි භික්ෂුනී ආරාමයට ගොස් තෙරණියට වැද එකත් පසෙක සිට ආර්යාවනි ඇසීමට නුසුදුසු ප්‍රශ්නයක් මම අසමි.
ඔබ කළකිරීමට පත්වූයේද? යනුවෙන් ඇසීමට ගොස් සෝවාන් මාර්ගය පිළිබඳව ප්‍රශ්න කළේය ඇය එම ප්‍රශ්න විසඳුවේය.

උපාසක ඒ පිළිවෙලට අනෙක් මාර්ග පිළිබඳවද ප්‍රශ්න අසා ඉක්ම ගිය ප්‍රශ්න විමසූවිට ඉක්මවා ගියේයයි ඇවැත්නි විසාඛ බුදුන්ගෙන් මේ ප්‍රශ්න අසන්නැයි කී විට තෙරණිය වැඳ නැගිට ,

බුදුන් වෙත ගොස් ඒ කථා සල්ලාපය සියල්ල බුදුන්ට දැනුම් දුන්හ. බුදුහු මැනවින් ඇය කියා තිබේ මගේ දියණිය ධම්ම දින්නා මගෙන් ප්‍රශ්න ඇසුවිටද පිළිතුරු දෙන ආකාරයටම ඇය ප්‍රශ්න විසඳා තිබේ. යයි පවසමින් මේ ගාථාව පැවසුහ.

යමෙකුට අතීතයේ ස්ඛන්ධ පිළිබඳව ද අනාගත ස්ඛන්ධයන්හි ද වර්තමාන ස්ඛන්ධයන්හි ද කරදර පළිබෝධයක් නැත්ද රාගාදි කිඤ්චන නැති තෘෂ්ණාදි වශයෙන් ග්‍රහණයක් නැති ඔහු බ්‍රාහ්මණ යයි මම කියමි.

යමෙකුට ඒ ඒ තන්හි තණ්හා සංඛ්‍යාත වූ කිසිවක්, නත්ථි රාගාදී කිසිත් නැත්ද. අකිඤචනං – කිසිදු ග්‍රහණයක් නැත්තේ ද, අනාදානං, බ්‍රාහමණං – බ්‍රාහ්මණයෙකැයි කියමි.

_ගෞතම බුදු සසුනේ ධර්ම කථික භික්ෂුණීන් වහන්සේලා අතරින_ ් _අග්‍ර වූ ධම්මදින්නා මහ රහත් තෙරණිය ට_ _අපගේ නමස්කාරය වේවා_ .!!

(ධම්මපදය, ධම්මපද අට්ඨකථා, අපදාන පාලි ඇසුරින්.)