පිංවත් ඔබ, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන් යනු දුක යැයි තවම හඳුනාගෙන නැහැ. පිංවත් අහිංසක ඔබ, එය කෙසේ නම් හඳුනාගන්නද? අවිද්‍යාව නමැති ”ජාති අන්ධයා” පිංවත් දෑස් පෙනෙන ඔබව, තෘෂ්ණාවේ මත්පෙත්තෙන්, මත්කුඩෙන්, මත්වතුරෙන් ඇලීම් සහ ගැටීම් සිහින ලෝකවල මත්කරලයි තිබෙන්නේ. මුහුණට දමන මුව ආවරණය සාක්කුවේ දමා ගත් අපි, කොරෝනාව ඉන්දියාවට භාරදුන් අපි, ආත්ම දෘෂ්ටියෙන් අපි පිංවන්ත යැයි, ලෝභ, ද්වේෂ, මෝහයන්ම ශක්තිමත් කොටගත් අපි, පසුගිය කාලයේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් පසුපස හඹාගියේ, ආත්ම දෘෂ්ටියේ කුණු හැව, තෘෂ්ණාවෙන් තව, තවත් හොඳ හැටි පෝෂණය කොටගෙනයි.
අවිද්‍යාව නමැති ”ජාති අන්ධයා” අපට පොවන, අපිව ඇබ්බැහි කරන, තෘෂ්ණාවේ මත්පෙති, මත්පෙති ගැන අබමල් රේණුවක තරම්වත් සිහිකල්පනාවක් නැති අහිංසක අපි, රාත‍්‍රියට රූපවාහිනියේ ප‍්‍රවෘත්ති නරඹලා, උදෑසනට පත්තර පිටුව කියවලා, අහවල් ප‍්‍රදේශයේ, මෙච්චර මත්කුඩු, මත්පෙති, අත්අඩංගුවට ගත්තාය කියලා, අසත්පුරුෂ මත්ද්‍රව්‍ය මුදලාලිලාව අත්අඩංගුවට ගත්තාය කියල. එ්වාට අත්පොළසන් දීල, එ්වා තුළින් ආශ්වාදය ලබන්නේ, අපි කාගේ, කාගෙත් අවිද්‍යාවේ අන්ධ දෑස්වලට තව, තවත් ඇලීම් සහ ගැටීම් නමැති ඇඟිලි තුඩුවලින් අනිමින්මයි.
සංසාර බිය, සංසාර ගැඹුර, සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් නොදකින, ආශ්වාදයේම සිරකරුවන්, මාරයාගේම ලෝකය ශක්තිමත් කරන්නේ, හරියට මත්කුඩු මුදලාලිගේ ගිණුම් තර කරන මත්කුඩු ලෝලීන් වගේමයි. ඇත්තටම අපි හැමෝම අවිද්‍යාව නමැති කුඩු මුදලාලිගේ, සංස්කාර නමැති ගිණුමට කෝටි ගණනින්, ඇලීම් සහ ගැටීම් තැන්පත් කරමින් ජාති, ජරා, ව්‍යාධි, මරණ, වැල් පොලිය ඇතෙක් බරට ලබනා අස්වැන්න ”ජීවිතය” යැයි සතුටින් පිළිගන්න ආශ්වාදයේ මත්ලෝලීන් පිරිසක්මයි. භික්ෂුවත් ඇතුළුව.
පිංවත් අපි හැමෝම, සමගියෙන් එකතු වෙලා, මුළු රටටම පෙනෙන්නට, ලොකු දැන්වීම් පුවරුවක් සවිකරමු. ”අවිද්‍යාවේ අන්ධයා, මනුෂ්‍ය ප‍්‍රජාවම විනාශ කරන, ජීවිතය අකුසලයෙන් පෙරාදමන ”කුසලයේ අක්මාව”, දියකොට හරින, මනුෂ්‍යයාව පටිච්ච්සමුප්පන්නව, තිරිසනෙක්, පේ‍්‍රතයෙක්, නිරසතෙක්, අසුරයෙක් බවට පත්කරන, අති භයානක වසංගතයක්සේ පැතිර යන, ”තෘෂ්ණාවේ මත්පෙත්ත” වහ වහා අත්අඩංගුවට ගන්නය කියලා.
හෙරොයින් මුදලාලිලා, අයිස් මුදලාලිලා අත්අඩංගුවට අරගෙන, එ් ආශ්වාදයෙන් අපිත්, තෘෂ්ණාවේ මත්පෙති ගන්නවා නම්, අපිත් අංක එකේ මත්ලෝලීන් පිරිසක්ම නේද කියලා, ධර්මානුකූලව සටහන් තබනවා. හැබැයි ඉතින් අවිද්‍යාවේ අන්ධයා අලෙවි කරන තෘෂ්ණාවේ මත්පෙත්ත, අපේ ගෞරවණීය පොලීසියේ මහත්වරුන්ට හෝ ආරක්ෂක හමුදාවේ මහත්වරුන්ට නම්, අත්අඩංගුවට ගන්න බැහැ. මොකද දන්නවද, එ් අහිංසක පිංවතුන්ලාත් මාත‍්‍රාව ඉක්මවා ගිය ප‍්‍රමාණයට තෘෂ්ණාවේ මත්පෙති, මත්කුඩු පාවිච්චි කරලයි සිටින්නේ.
කරුණාකරලා පිංවත් ධර්මයට කැමැති සියල්ලෝම කල්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය, සද්ධර්ම ශ‍්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම තුළින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථය ජීවිතයට එකතු කොටගන්න. එවිට පිංවත් ඔබව තෘෂ්ණාවේ මත්පෙත්තෙන් විනාශ කරන, අවිද්‍යාව නමැති ජාති අන්ධයා, ඔබ තුළින්ම අත්අඩංගුවට ගන්නා, විදර්ශනා ප‍්‍රඥාව නමැති සත්පුරුෂ පොලිස් නිලධාරියා, ඔබ තුළින්ම මතුවේවි. අන්න එ් අත්අඩංගුවට ගැනීමයි, මේ ලෝක ධාතුවේ, ශ්‍රේෂ්ඨම මත්ද්‍රව්‍ය වැටලීම වෙන්නේ.
අවිද්‍යාව හේතුවෙන් මනුෂ්‍යයා කුසල් සහ අකුසල් සංස්කාරයන් රැුස්කොටගන්නා ආකාරයත්, කුසල් සංස්කාරයන් දුර්වල වෙද්දී, අකුසල් සංස්කාරයන් විසින් ජරා, ව්‍යාධි, මරණ බියට අදාළ දැනීම් සකස්කොටදෙන, ධර්මානුකූල හේතුඵලධර්මයන් සමාජය තුළින් සක්සුදක් සේ විවෘතව බලද්දී, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්මා සම්බුද්ධ ඥානයේ උත්තරීතරභාවයමයි අපිට සිහිපත්වෙන්න ඕනේ. පිංවත් ඔබ තෙරුවන් සරණ සෙවනේ ලැබූ, මේ උතුම් ජීවිතයේ වටිනාකමමයි සිහිපත් වෙන්න ඕනේ. එවිටයි පිංවත් ඔබේ සිත, සද්ධර්මයේ අර්ථයන් කෙරෙහි සෘජුව පිහිටන්නේ. සැකය, විචිකිච්ඡුාව, විතර්කයන් නැති, සද්ධර්මය කෙරෙහි සෘජුව පිහිටියා වූ සිතයි, පංචනීවරණ ධර්මයන්ගෙන් තොර, සමාධිමත් සිතක් බවට පත්වෙන්නේ. එ් සමාධිමත් සිතයි, කොරෝනා අකුසලය සතර සතිපට්ඨාන ධර්මයන් තුළ විසිරුවා දැකීමේ මාර්ගය වෙන්නේ.
එකිනෙකට ගැලපී යන හේතුඵල ධර්මයන්, ධර්මයේ ඕපනයික ගුණය තුළින් ජීවිත ගතවෙද්දී, බුදුරජාණන් වහන්සේටමයි භික්ෂුව හදවතින් වන්දනා කරන්නේ. මේ මොහොතේ පිංවත් ඔබත් බුදුරජාණන් වහන්සේට හදවතින් වන්දනා කළා නේද? පිංවත, එහෙත් එම වන්දනාව ආර්ය වන්දනාවක් නම් නොවේ. උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් පරිපූර්ණ වූ, බුදුරජාණන් වහන්සේට දක්වන වන්දනාව, ආර්ය වන්දනාවක් බවට පත්වෙන්නේ, මේ උතුම් වන්දනාවට හේතු වූ සියලූම සංස්කාරයෝ අනිත්‍ය යැයි දකිමින් සිදුකරන වන්දනාවයි.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියා, උතුම් ධර්මරත්නය සහ සංඝරත්නය යම් දිනයක අනිත්‍ය වී යාවි, එ් උතුම් තෙරුවන් සරණ දකින්න, අසන්න, සරණ යන්න, අපි ලැබුවා වූ සියලූම සංස්කාරයෝ අනිත්‍ය වී යනවා. අනිත්‍ය වී යන ධර්මතාවයන් හේතුවෙන් තවදුරටත්, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්, එපා යැයි අවබෝධයෙන් දකිමින්, බුදුරජාණන් වහන්සේ උදෙසා හදවතින්ම නැගෙනා වන්දනාවයි, සාදු කාරයයි සැබෑම ආර්ය වන්දනාවක්, ආර්ය සාදුකාරයක් බවට පත්වෙන්නේ. එය ඔබ භාග්‍යවතුන් වහන්සේට ප‍්‍රතිපත්තියෙන්ම කරන පූජාවක්ද වෙනවා.
මහරහතුන් වැඩි මග ඔස්සේ. දිවයින ඉරිදා සංග්‍රහය. 2020.10.18