තෘෂ්ණාවේ රැහැන් පට ජිවිතයෙන් ලිහා දැමූ කළ.

මේ සටහන ලියන දැන් වේලාව සවස පහට පමණ ඇති. පරිසරය හොඳටෝම නිහඬයි, සප්ත බොජ්ඣංග ධර්මයන් පැලපදියම් වූ භික්‍ෂුවගේ සිතත්, පරිසරයේ නිහඬභාවයත් එකතු වූ තැන, පරිසරයත් භික්‍ෂුවගේ ජීවිතයත්, එකක් බවට පත්වෙනවා.

විවේකය හරිම ගාම්භීර ධර්මයේ අත්දැකීම් ජීවිතයට එකෟආධ්‍යාත්මික සහ බාහිර සතරමහා ධාතුව එක ගොඩකටත්, විඤ්ඤාණය සහ ආයුෂය තව ගොඩකටත් දමලා, භික්‍ෂුව මොහොතක් පංචඋපාදානස්කන්ධ ලෝකයෙන් නිදහස් වෙනවා. මේ නිදහස තාවකාලිකව ලෝකයෙන් මිදුඛා වූ නිදහසක්. විඤ්ඤාණය නමැති මැජික්කරුවාට, රූපයට බැස ගැනීමට තිබෙන නිදහස තාවකාලිකව ඇහිරුවා වූ නිදහසක්, පංචඋපාදානස්කන්ධ ලෝකය, මොහොතක් අකී‍්‍රය කළා වූ නිදහසක්.

භික්‍ෂුව නැවතත් ජීවිතයට ගොඩවෙනවා, පරිසරයේ නිහඬභාවය නැතිවෙලා, ආයෙමත් වේගයෙන් සුළං හමනවා, සතරමහා ධාතුව අනිත්‍යභාවයට පත්වෙන වේගය, නුවණින් දකින්න, ප‍්‍රඥාවේ විනිවිදභාවය අත්‍යවශ්‍යම වෙනවා. එතෙක් අපි සතරමහා ධාතුවේ අනිත්‍යභාවය ඉදිරියේ, සතරමහා ධාතුවේම උපකාරයෙන් සකස්වෙන, පචඋපාදානස්කන්ධ ලෝකය නමැති, තෘෂ්ණාවේ සැඩ පහර, වේගවත් කොට ගන්නවා. තෘෂ්ණාවේ සැඩ පහරට හසුවී පටිච්චසමුප්පන්නව ගසාගෙන යන, පින්වත් ඔබේත්, මගේත් භව ගමන, වළක්වා ගැනීමට ඇති එකම ධර්මානුකූල මාර්ගය, ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වූ, සතරසතිපට්ඨාන ධර්මයන් කෙරෙහි මනාව පිහිටුවාගත් සිහිය යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වූ සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි, මනාව සිහිය පිහිටුවා නොගැනීම නිසාම, මනුෂ්‍යයාගේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින්, ගලාබසින තෘෂ්ණාවේ සැඩ පහරේ වේගය තුළින්, මතුකොටදී තිබෙන, සමාජ විකෘතිය, සමස්ත සමාජයම, විසඳුමක් පෙනෙන තෙක්මානයකවත් නොපෙනෙන ප‍්‍රශ්නාර්ථයක් බවට පත්කොට තිබෙනවා.

දැනුම තේරුම තිබෙන බුද්ධිමතුන්, සමාජය වෙලාගෙන තිබෙන මේ ධර්මානුකූල ප‍්‍රශ්නාවලියට බොහෝම සුන්දර, අධර්මානුකූල හේතු දක්වනවා, කෙනෙක් කියනවා, ආණ්ඩුව වෙනස් විය යුතුය කියලා, තව කෙනෙක් කියනවා ව්‍යවස්ථාව වෙනස් කළ යුතුය කියලා, තවත් කෙනෙක් කියනවා දෙවියෝ කෝපවෙලාය කියලා, තව කෙනෙක් කියනවා රටේ ග‍්‍රහචාරය හොඳ නැහැය කියලා, තවත් සමහර පින්වතුන්, රටේ සිටින අයගේ, පින් මදිය කියලා, දිව්‍ය තලවල සිටින පින්වත් දෙවියන්ට අපේ රටේ අම්මලාගේ මවුකුසවල පිළිසිඳ ගන්න කියලා අධිෂ්ඨාන පූජා තියනවා. ප‍්‍රශ්නයට විසඳුම් වශයෙන්, දක්වන හේතු දෝරේ ගලාගෙන යනවා, නමුත් ප‍්‍රශ්නයට සැබෑම ධර්මානුකූල හේතුව වන, මනුෂ්‍යයාගේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් ගලාබසින තෘෂ්ණාවේ වේගවත් සැඩ පහර, ප‍්‍රශ්නයට සුන්දර විසඳුම් ඉදිරිපත් කරන ගෞරවණීය පින්වතුන්ලාත් යටකරගෙනම, හැමෝගේම ඇස් වසා තව තවත් දුක දෙසටම, අනතුර දෙසටම ගලාගෙන යනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්ත්වයාට ඇති, ලොකුම බිය, ජරා, ව්‍යාධි, මරණ, බියයි කියලා, ජරා, ව්‍යාධි, මරණ බිය ඉදිරියේ, ජීවිතයේ කොනක් ධර්මයේ ගැටගහලා, මරණ බියට, රෝග බියට, බලාපොරොත්තු බිඳවැටීමේ බියට, ධන හානි, ව්‍යාපාරික හානි, බියට, පමණක් ධර්මයේ පිළිසරණ සොයන පින්වතුන්, සද්ධර්මයේ උතුම් සැපය ලැබීම උදෙසා, අර්ථවත්ව ජීවිතයට බැඳ දැමිය යුතු, දුක ඇතිකරන, තෘෂ්ණාවේ රැහැන්පට අසිහියෙන්ම ජීවිතයෙන් ලිහා දමනවා.

තෘෂ්ණාවේ රැහැන් පට ජීවිතයෙන් ලිහා දැමූ කල, නිදැල්ලේ රූප, වේදනා, සංඥාවන් සොයාගෙන යන ජීවිතය, බොහෝම වේගවත් වෙනවා. මේ වේගය සමාජගත වෙන්නේ, ජනතාවගේ ජාතික, ආගමික, විශ්වාසයන් තුළින් පෝෂණය වුණ, සියලූම සමාජ සාරධර්මයන්, විකෘති කරමින්, ඒ වගේමයි, ස්වාභාවික පරිසරය, ස්වාභාවික සම්පත් අවිචාරයෙන් විනාශකොට දමමින්, උතුම් සාරධර්මයන්ගේ, ස්වාභාවික පරිසරයේ, වටිනාකම තබා මේ බුද්ධෝත්පාද කාලයක, තමන් ලැබූ උතුම් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකමවත්, නොහඳුනන පින්වත් මනුෂ්‍යයෝ, වර්තමානයේ, ස්වාභාවිකත්වය මරා දැමූ, අස්වාභාවික කෘති‍්‍රම ලෝකයක්, මහ පොළව මත නිර්මාණය කරමින් පවතිනවා.
ස්වභාවධර්මය මරාගෙන, ඉදිවෙන මේ අස්වාභාවික, කෘති‍්‍රම ලෝකයේ, අස්වාභාවික මනුෂ්‍යයෙක් වීම සඳහා, සුදුසුකම් ලැබීමට, ලොකු තරගයක්, සමාජය තුළ ඇතිවෙලා තිබෙනවා. අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය තුළ ඇති වී තිබෙන, විභාග පැවැත්වීමේ පෙරේතකම, තරගකාරිත්වය තුළ මේ නිර්මාණය වෙමින් පවතින, අස්වාභාවික කෘති‍්‍රම ලෝකයේ, අස්වාභාවික මනුෂ්‍යයෙක් වීම සඳහා පින්වත් ඔබ දක්වන උනන්දුව හොඳින්ම ප‍්‍රකට වෙනවා.

මුදල් මුල්කොටගත්, කාමච්ඡුන්දයන් මුල්කොටගත්, සාරධර්මයන් නොතකන, විනය වඳ බැහැපු, මේ ඉදිවෙන අස්වාභාවික කෘති‍්‍රම ලෝකයේ, ජීවත්වෙන පින්වතුන්, ධර්මය, අධර්මයෙන් වසා දමනවා, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට දෙන්නේ නවීකරණය කරපු අර්ථයන්, දුකට හේතුව තෘෂ්ණාව කියලා මේ පින්වතුන් පිළිගන්නේ නැහැ. එම පින්වතුන් කියන්නේ, දුකට හේතුව සල්ලි නැති වීම කියලා, දුකට හේතුව, ස්වයං පාලනය නොදීමය කියලා, දුකට හේතුව, සමලිංගික සේවනය, ගබ්සාව නීතිගත නොකිරීමය කියලා, දුකට හේතුව, කාන්තාවන්ට නිදහසේ මත් වතුර මිලදී ගැනීමට අවසර නොදීමය කියලා, දුකට හේතුව විකෘතියෙන්ම නවීකරණය කරනවා.

තෘෂ්ණාවේ සැඩ පහරට හසුව, මොළය සෝදාගත් පින්වත් මනුෂ්‍යයෙක්ගෙන් ඇසුවොත්, ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ ඇති වැදගත්කම කුමක්ද කියලා, එම පින්වතා පිළිතුරු දෙන්නේ, ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ මොන වැදගත්කමක්ද, ඊට වඩා අධිවේගී මාර්ගය වටිනවා, මාතරට පැයෙන් යන්න පුළුවන්ය කියලා. මේ අස්වාභාවික කෘති‍්‍රම ලෝකයේ ජීවත්වෙන පින්වතුන්, ජීවිතයෙන් වේගයක්මයි සොයන්නේ, මෙවැනි පින්වතුන්ලාට මේ උතුම් ශී‍්‍ර සද්ධර්මය හරිම හිසරදයක්, පංචශීලය ගැන කියන්නේ නැති, අකුසල් මූලයන් ගැන කියන්නේ නැති, නැවත පටිච්චසමුප්පන්න උපතක් ගැන කියන්නේ නැති, මාර ධර්මයන් සරණ යන්නයි මේ පින්වතුන්ලා සැදී පැහැදී සිටින්නේ, මේ අය, ආස්වාදය පසුපසම හඹා යමින්, මොනතරම් වෙහෙස වෙලා, යමක් ලබාගත්තත්, ඒ ලබන්නේ පරණ අත්දැකීමක්මයි, ඒ නිසාම, ජීවිතයේ තෘප්තියක් නැහැ. අතෘප්තියෙන් ආයෙමත් සොයනවා, ජීවිතවලට කිසිම විවේකයක් නැහැ. සති අන්තයේ නිවාඩුවක් ලැබුණොත්, විනෝදය සොයන්න යනවා, සෙවීමේ ඉවරයකුත් නැති, මෙතෙක් සොයා ගන්න දෙයකුත් නැති, ජීවිතය, තෘෂ්ණාවේ සැඩ පහරට හසුවී, පැද්දි, පැද්දි දුක දෙසටම ගලාගෙන යනවා, ඵස්සය අසල සැඟවී, අකුසලයට එබිකම් කරන, තෘෂ්ණාව, පින්වත් ඔබේ අසිහියෙන් උපරිම ප‍්‍රයෝජනය අරගෙන, විඤ්ඤාණය නමැති මැජික්කරුවාට පෝෂණය වීමට, ඇති තරම් සංස්කාර, නැවත නැවත එකතුකොට දෙනවා.

වර්තමාන සමාජය ආර්යඅෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වූ සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි සිහිය පිහිටුවා නොගැනීම නිසාම, අසිහියෙන් යන මේ ගමන, මනුෂ්‍ය සමාජය, මෘර්ග සංඥාව කරා ගමන් කිරීමේ, බීජයම අවස්ථාව හැටියටයි, ධර්මානුකූලව අර්ථ දක්වන්න පුළුවන්. අනාගත ලෝකයේ මනුෂ්‍යයා, ශීලයෙන් බැහැරව, මිථ්‍යා දෘෂ්ටිය කරපින්නාගෙන, තිරිසන් සතුන් සේ, හැසිරෙන, මෘග සංඥාව කරා ගමන් කරන, මෘග සංඥා කෝච්චිය, වර්තමානයේ ඉබි ගමනින්, ගමන් ආරම්භ කොට තිබෙනවා, මෙ මෘග සංඥා කෝච්චියේ ඉදිරිපස, ගමනාන්තය දැක්වෙන පුවරුවක් සවිකොට තිබෙනවා, එහි සටහන්ව තිබෙන්නේ, අවුරුදු ලක්‍ෂ 50 කට වැඩි, දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් හරහා, ගමන් කරනු ලැබේ කියලා.