මේ දිනවල කැලයේ හැම තැනම පුංචි, පුංචි, සුදුපාට මල් පිපිලා. කැලයේ මල් පිපුණහම කැලය හරිම ලස්සනයි. ඒ මල්වල ලස්සන බලන්න, කවුරුවත්ම අහල පහලකවත් නැහැ. කැලයේම පිපිලා, කැලය ලස්සන කරලා, ඒ මල් කැලයේම පරවෙලා යනවා. බුදුසමිඳුන් ඉදිරියේ ඇති, සත්‍යයේ පූජාසනයක් මත පූජාවෙලා, පරවී යන්න මේ මල් වාසනාවන්ත නැහැ.
මීමැස්සන්ට නම්, මේ මල් සෙල්ලම් බඩු ගානයි, කැලෑ මලේ සුවඳේ ආශ්වාදයෙන් ගුම්, ගුම් හඬනඟා, මීමැස්සෝ සිත්සේ රොන් උරා බොනවා. මල ගැන වගක්වත් මීමැස්සන්ට නැහැ. රොන් උරා බී සතුටුවුණ මීමැස්සෝ, ආපසු මල දෙස නොබලාම පියාඹා යන්නේ, තමන්ගේම මීවදයට. මලේ රසය මීමැස්සන්ට පූජා කරලා කැලයේ කැලෑ මල්, කැලයේම පරවෙලා යනවා. මීමැස්සන්ගේ ආත්මාර්ථකාමීභාවය නිසාදෝ, කැලෑ මලේ පිහිටෙන් පෝෂණය කළාවූ මීවදයත් කවුරුන් හෝ මනුෂ්‍යයෙක් ඩැහැගෙන යනවා.
වනයේ වන මල් පිපෙනවා, මීමැස්සෝ මීවද බඳිනවා, මනුෂ්‍යයෝ මීවද කඩාගන්නවා, අවසානයක් නැති ගමනක්, ලෝකය ඉදිරියේ තිබෙනවා. කාලය වේගයෙන් ගලාගෙන යනවා, ලෝකය අපි ළඟ නතර කරලා.
ලෝකය අපි ඉදිරියේ, නතරවී තිබෙනවාය කියලා අපිට පෙනුනත්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තෘෂ්ණාවේ සැඩපහර, ලෝකය යටකරගෙන ගලාගෙන යනවාය කියලා. පින්වත් ඔබ ඇසෙන් පි‍්‍රයමනාප රූපයන් දකිද්දී, ඇස හරහා තෘෂ්ණාවේ සැඩපහර ගලාගෙන යනවා. පින්වත් ඔබ කනෙන්, කැමැති, අකැමැති ශබ්දයන් අසද්දී, තෘෂ්ණාවේ සැඩ පහර කන හරහා ගලාගෙන යනවා. පින්වත් ඔබේ නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින්, කැමැති, අකැමැති දැනීම් සකස් වෙද්දී, තෘෂ්ණාවේ සැඩ පහර වේගයෙන්, ඉහත ආයතනයන් හරහා ගලාගෙන යනවා, කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත් ඔබේ ආයතන හයේ ඵස්සය තුළින් ගලාගෙන යන, මේ තෘෂ්ණාවේ සැඩ පහර පටිච්චසමුප්පන්නව භවයෙන්, භවයට ඔබව ගසාගෙන යනවා.
පින්වත් ඔබ සිතනවා ඔබ ඉන්නේ සතුටෙන්ය කියලා, ඔබ සිතනවා, ඔබ සිටින්නේ තෘප්තියෙන්ය කියලා, ඔබ සිතනවා ඔබ සිටින්නේ ජයග‍්‍රාහීවය කියලා, ඔබ සිතනවා, ඔබ සිටින්නේ විනෝදයෙන්ය කියලා, නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් ඔබ, තෘෂ්ණාවේ සැඩ පහරට හසුවී, කරවටක් දුක නමැති සාගරයේ, ගිලී සිටින පින්වතෙක්ය කියලා.
පින්වත් ඔබ මොහොතක් දෑස් දෙක පියාගෙන දකින්න, තව මොහොතකින් පින්වත් ඔබ, කට, දිව, නහර පිනවන, රස බොජුන්, මත් වතුර සොයාගෙන යන පින්වතෙක් වෙන්න පුළුවන්, පින්වත් ඔබ තව මොහොතකින්, ලස්සන, විසිතුරු, මෝස්තර විලාසිතා සහිත ඇඳුම් පැළඳුම් ආභරණ, සොයාගෙන, සාප්පු සවාරි යන කෙනෙක් වෙන්න පුළුවන්. පින්වත් ඔබ, සති අන්තයේ විනෝදය, විවේකය, සොයාගෙන, ඈත දුරබැහැරක, යන පින්වතෙක් වෙන්න පුළුවන්. සමාවෙන්න පින්වත, ඔබ තෘෂ්ණාවේ සැඩ පහරට අසුව, ගසාගෙන යන පින්වතෙක් බවට පත්වෙලයි සිටින්නේ. ඔබ තුළ සකස් වෙන සෑම ඇලීමේ, ගැටීමේ සිතක් පාසාම පින්වත් ඔබ තෘෂ්ණාවේ සැඩ පහර වේගවත් කොට ගන්නවා.
කාමයේ කෙටි ආස්වාදයට, රූපයේ කෙටි ආස්වාදයට, සැපය යැයි, තෘප්තිය යැයි, ජයග‍්‍රහණය යැයි, විනෝදය යැයි, රැවටෙන මනුෂ්‍යයෝ, ලන්තෑරුම් එළියේ ආලෝකයට ලොල්වී පිච්චී මියයන පළඟැටියන් මගේ කෙටි සැපය ඉදිරියේ සතුටු වී, දුක ඉදිරියේ පසුතැවෙනවා. දුකත්, සැපත් දෙක ඉදිරියේදීම, පින්වත් ඔබ තෘෂ්ණාවේ සැඩ පහරට ගසාගෙන යනවා.
ඇස තුළින් කන තුළින් ගලාගෙන යන තෘෂ්ණාවේ සැඩ පහර වේගවත් වෙන්න වේගවත් වෙන්න, සතර අපාය නමැති දිය සුළියේ ග‍්‍රහණයට ඔබ කොටුවෙන්න පුළුවන්.
කෙටි කාමයේ ආශ්වාදය, කෙටි රූපයේ ආශ්වාදය, ඔබලා හරිම, රැවටිලිකාර ධර්මතාවයන් දෙකක්, මෙය සටහන් තබන භික්‍ෂුව, ගිහි ජීවිතය තුළ, මේ රැවටිලිකාර ධර්මයන් දෙකට, මොනතරම් රැවටිලා තිබෙනවාද, සක්කායදිට්ඨිය, මමත්වයේ දැඩිභාවය ආශ්වාදය ඔබේ පිය උරුමයයි. මමත්වයේ දැඩිභාවයේ පිය උරුමයෙන් ලද ජාන ශක්තිය, මගේ ලේ, මස්, සම් ඇට මිදුළු හරහා කිඳාබැස, ඔබ ඇතිකළා වූ ප‍්‍රවාදය සුළුපටු නම් නොවේ, මට මතකයි, අතීතයේ යම් දවසක, ඔබ මට කියනවා, පැවිදි වෙන්න අවශ්‍ය නැහැ, පිනට දහමට ලැදි යුවතියක් කසාද බැඳලා, ධර්මයේ හැසිරෙමුයි කියලා. මට මතකයි තවත් දවසක ඔබ මට කියනවා, පිනට දහමට ලැදි යුවතියක් සමග විවාහවෙලා, දරුවෙක් හදලා, අපි දෙදෙනාම පැවිදි වෙමුය කියලා. පිනට දහමට ලැදි යුවතියක්ය කියන අර්ථය, මාව ගොඩාක් තෘෂ්ණාවේ සැඩ පහරට කොටු කරන්න උත්සාහ ගත්තා.
මට මතකයි, මා පැවිදිවීම සඳහා ගෙදරින් නික්ම යන්න දින දෙක තුනකට පෙරාතුව, මගේ කාමරයේ දුරකථනය, උදේ අටට පමණ නාද වුණා. දුරකථනයෙන් කතා කළේ කාන්තා කටහඬක්, ඇය මා හඳුනන කාන්තාවක්. ඇය මට වසර පහකට මෙහා හමුවෙලා තිබුණෙ නැහැ. ඇය දුරකථනයෙන් එකපාරටම යෝජනා කළා මාව හමුවෙන්න අවශ්‍යයි කියලා. මම ඇයට ප‍්‍රකාශ කළා, මම පැවිදි වෙන්න තීරණය කරලයි තිබෙන්නේ කියලා. ඇය ගත් කටටම ප‍්‍රකාශ කළේ, ඔයාට මොළේ හොඳ නැතිද, කියලා. දැන්ම මහණවෙන්න එපා, වයසට ගිහින් මහණවෙන්න කියලා. මම ඇයට ප‍්‍රකාශ කළා මගේ තීරණයේ වෙනසක් නැහැය කියලා.
උතුම් පැවිදිභාවයට පත්වීම සඳහා, නිවසින් පිටවී යාමට දින දෙක තුනකට, පෙරාතුව, උදේ පාන්දර අටට පමණ, ඍද්ධියෙන් පැමිණි මාරදූතියක් සේ, දුරකථනයෙන් මා සොයා පැමිණි, අනුන්ගේ ඇසෙන්, මනසින්, ගලා බසින තෘෂ්ණාවේ සැඩ පහරක්, මා වළක්වා ගත්තේ, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ දේශනාකොට වදාළ සංසාර බිය, සංසාර ගැඹුර තුළින්මය, ආශ්වාදයේ අනිත්‍යභාවය තුළින්මය.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ධර්මයේ නොහැසිරෙන, සංසාර බිය, කාමයන්ගේ නිසරුභාවය නොහඳුනන, නිදිමතට, විනෝදයට, ලොල්වෙමින්, ආහාරයට ගිජුවෙමින්, කාලා, බීලා, විනෝදවෙලා ඒ මේ, අත පෙරළෙමින් නිදන, අනුවණ පින්වතා, අවිද්‍යාවේ අන්ධභාවය නිසාම, කැමැත්තෙන්ම මේ තෘෂ්ණාවේ සැඩ පහරට බිලිවී, නැවත, නැවත මව් කුසවලට ගොඩගසනවාය කියලා.
මෙය සටහන් තබන භික්‍ෂුව, දෑස් දෙක පියාගෙන මොහොතක් දකිනවා, ඇස තුළින් දැක්කාවූ කැමැති, අකැමැති රූපයන්, නිසා මනස තුළින් ගලා බසින තෘෂ්ණාවේ සැඩ පහර, පටිච්චසමුප්පන්නව මව් කුසවල් ලක්‍ෂ කීයකට නම් ගොඩගසන්නට ඇතිද කියලා. ඕපපාතික උපත්, ලක්‍ෂ කීයකට ගොඩගසන්නට ඇතිද කියලා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඔබට පෙනෙන ඔය ජලයෙන් පිරුණු, මහා සාගරය කියන්නේ, සාගරයක් නොවේය කියලා. ඔය මහා සාගරය කියන්නේ, ජල කඳක් පමණක්මය කියලා. ඔය ජල කඳට සීමාවක්, මායිමක්, අවසානයක් තිබෙනවා. නමුත් ඇසේ ඵස්සය නිසා, කනේ, දිවේ, නාසයේ, මනසේ ශරීරයේ පස්සය නිසා, සකස්වෙන තෘෂ්ණාවේ මහා සැඩ පහර, අතීතයේ, කල්ප විනාශයන් දස දහස් ගණනක්, පසුකොටගෙන, සීමාවක්, මායිමක්, අවසානයක් නොමැතිව පටිච්චසමුප්පන්නව ගලාගෙන ඇවිත් තිබෙනවා.
විඤ්ඤාණය නමැති මැජික්කරුවා, උපාදානය නමැති සුදු හුණු කැටයෙන්, භවය නමැති කළුලෑල්ලේ, සංස්කාර නමැති පුළුන් කොට්ටයෙන් මක, මකා, සිතුවම් කළා වූ අලූත්, අලූත්, මනුෂ්‍ය, දිව්‍ය, බ‍්‍රහ්ම, සතර අපා, සත්ව රූපවල, විවිධත්වය හිමිකාරිත්වය, පින්වත් ඔබ නුවණින් මෙනෙහි කොට දැකීමට දක්‍ෂ වෙන්න.
විඤ්ඤාණය නමැති මැජික්කරුවා සුදු හුණු කැටයත්, කළු ලෑල්ලත්, පුළුන් කොට්ටයත් උපයෝගී කොටගෙන භව ගමනේ මෙතෙක් කරගෙන පැමිණි ඇඟ කිලිපොලා යන අතිබිහිසුණු සූක්‍ෂ්ම මේ මැජික් සූදුව, පින්වත් ඔබ වර්තමානයේත් නොදකින්නේ, අවිද්‍යාවේ අඳුර නිසාමය. දැනුමට, බුද්ධියට, පළපුරුද්දට, හසුනොවන, මේසා සාහසික භව දුකක්, පටිච්චසමුප්පන්නව පින්වත් ඔබට උරුමකොට දුන්, විඤ්ඤාණය නමැති සූක්‍ෂ්ම මැජික්කරුවා, පෝෂණය කරන, අවිද්‍යා අඳුරේ සැඟවී පින්වත් ඔබට මුකුළු කරන, සංස්කාර නමැති අසත්පුරුෂ රූපසුන්දරියගේ, අසත්පුරුෂභාවයත්, සුන්දරත්වයත් යන දෙකම තෘෂ්ණාවේ සැඩ පහර වේගවත් කොටදෙන එකම කාසියේ දෙපැත්ත බව, පින්වත් ඔබ ධර්මානුකූලව දකින්න.