ප්‍රශ්නය : –
ස්වාමීන් වහන්ස,
i. සාමාන්‍ය බෞද්ධයෙකුට තම එදිනෙදා කටයුතුවල යෙදෙන අතරම නිවනම අරමුණු කරගත් මාර්ගයක ගමන් කළ හැකිද..?
ii. ගිහි ජීවිතයේ හිඳිමින් ශීලය ආර්ය ශීලයක් කරගන්නේ කෙසේද…?
iii. සමාධිය ආර්ය සමාධියක් කරගන්නේ කෙසේද..?
පිළිතුර :-
දැන් මෙතැනදී ඕනෑම ගිහි පින්වතෙකුට කාන්තා වේවා, පිරිමි වේවා, මේ ජීවිතය තුළ දී සෝවාන්, සකෘදාගාමී, අනාගාමී යන ඵලයන්ට පත්වෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඕනෑම පුරුෂයෙකුට, කාන්තාවකට මේ ධර්ම මාර්ගය තුළ ගමන් කර, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කර සෝවාන්, සකෘදාගාමී, අනාගාමී යන ඵලයන්ට පත්වෙන්න පුළුවනි.
නමුත් බුදුරජාණන් වහන්සේ නිරතුරුවම ගිහි පින්වතුන්ලාට ඉලක්කය හැටියට පෙන්වන්නේ මේ ජීවිතයේ සෝවාන් ඵලයට පත්වෙන්න කියන කාරණයයි. දුවා දරුවන් පෝෂණය කරමින්, ඉඩකඩම්, දේපළ පරිහරණය කරමින්, යානවාහන, ගෙවල් දොරවල් පරිහරණය කරමින්, ඒවා කෙරෙහි තෘෂ්ණාව හීන කර ගනිමින් මේ ජීවිතයේ සෝවාන් ඵලයට පත්වෙන්න කියන ඉලක්කය තමයි බුදුරාජණන් වහන්සේ දෙන්නෙ. ඒ නිසා නිරතුරුවම විචිකිච්චාව කියන කාරණයෙන් බැහැර වෙන්න. මොකද අපි තුළ විචිකිච්ඡාව, සැකය තියෙනවා පින්වතුනි. මේ විචිකිච්ඡාව කියන්නේ මොකක්ද, අපි තුළ සැකයක් තියෙනවා මේ ජීවිතයේ සතර අපායෙන් මිදෙන්න බැහැ, මේ ජීවිතයේ කෙනෙකුට සෝවාන් ඵලයට පත්වෙන්න බැහැ, නැවත වතාවක් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතිවෙන තුරු සෝවාන් ඵලයට කෙනෙකුට පත්වෙන්න බැහැ කියන සැකය.
මේ සැකයෙන් මුලින්ම මිදෙන්න පින්වතුනි. මේ සැකය තිබෙන තාක්කල් ඔබට මේ මාර්ගය තුළ ගමන් කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ සහතිකයක් දෙනවා, ධර්මය සන්දිට්ඨිකව තිබෙන තාක්කල් ඒ උතුම් ආර්ය මාර්ගයේ ඵලයන් ලබන්න ලෝකයාට පුළුවන් කියලා. ධර්මය සන්දිට්ඨිකව තියෙනවා පින්වතුනි. ධර්මය සන්දිට්ඨිකව තියෙනවා කියන්නේ මේ උතුම් ප්‍රාතිමෝක්‍ෂයන් ආරක්‍ෂා කරගෙන ජීවත්වෙන දස දහස් ගණනක් උපසම්පදා භික්ෂූන් වහන්සේලා මේ ලෝකයේ ජීවත් වෙනවා. මේ උතුම් ශීලයන් ආරක්‍ෂා කරගෙන, උපසම්පදා භික්ෂූන් වහන්සේලා චතුරාර්ය සත්‍යය දේශනා කරනවා, ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරනවා. ඒ කියන්නේ ධර්මය අපේ ඇස් පනාපිටම අපි ඉදිරියේ තිබෙනවා පින්වතුනි. එහෙමනම් විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න. බැහැයි කියන විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න. බැහැර වෙලා අර පරමාදර්ශී චරිත මේ ගිහි ජීවිතය තුළ සිට, මේ ගිහි ජීවිතය තරණය කරලා සෝවාන් ඵලයට පත් වුණා වූ පරමාදර්ශී චරිත ඔබේ ජීවිතයේ පරමාදර්ශය බවට පත්කර ගන්න.
කවුද මේ ජීවිතයේ සෝවාන් ඵලයට පත් වූ පරමාදර්ශී චරිත, අර විශාඛාව බලන්න, අනේපිඬු සිටුතුමා, නකුල මාතා, නකුල පිතා, වේළුකණ්ඨකී නන්ද මාතාව, උග්ග ගෘහපතිවරයා මේ ගිහි ජීවිත ගත කරමින් මේ ගිහි ජීවිතයේ උතුම් අධිගමයන් කරා ගිය අය පින්වතුන් බලන්න, විශාඛාවට දරුවන් විසිදෙනෙක් සිටියා. මුනුපුරු, මිනිබිරියන් සිය ගණනක් සිටියා. එහෙමනම් බලන්න දරුවො ඉන්නවා කියන කාරණය මේ ගමන යන්න අපට බාධාවක් වෙන්නේ නැහැ. අනේපිඬු සිටුතුමා කියන්නේ කෝටිපති ව්‍යාපාරිකයෙක්. ජේතවනය රන්කාසිවලින් අතුරනවා. ඒ සා ධනයක් තිබුණා පින්වතුනි. එහෙමනම් මම ධනවතෙක් කියන කාරණය මේ ගමන යන්න අපට බාධාවක් නැහැ. එතකොට බලන්න වේළුකණ්ඨකී නන්ද මාතාව ගෙදරක හිටිය මැදිවියේ අම්මා කෙනෙක්. නන්ද කියන එකම දරුවාගේ අම්මා. මේ අම්මා අනාගාමී උපාසිකාවක් පින්වතුනේ, කාම, රාග, පටිඝයන් නැහැ. එයා කාමය ගැන හඳුනන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ වේළුකණ්ඨකී නන්ද මාතාව සතරවරම් දෙවියන් එක්ක දිවැසින් කතා කරනවා කියා පින්වතුනි. එයාට දෙවියන් එක්ක දිවැසින් කතා කරන්න පුළුවන්.
එතකොට බලන්න උග්ග ගෘහපතිවරයා බිරින්දෑවරු පස් දෙනෙක් සමග එක ගෙදරක සිටියා. මේ බිරින්දෑවරු පස්දෙනා ළඟට කතා කර කියනවා මම බුදුරජාණන් වහන්සේ ළඟට බණ අහන්න යනවා කියලා. ගොස් සද්ධර්මය ශ්‍රවණය කරනවා. ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කරලා, මෙනෙහි කරලා, කාම, රාග, පටිඝයන් නැති කරලා, තුනී කරලා අනාගාමී ඵලයට පත්වෙනවා, පින්වතුනි. අනාගාමී ඵලයට පත් වුණාට පස්සේ මේ උග්ග ගෘහපතිවරයා ගෙදරට එනවා. ගෙදරට ඇවිත් බිරින්දෑවරු පස්දෙනා ළඟට අඬ ගසා කියනවා, අදින් පස්සේ මම ඔබලා සමග කාමයෙහි ඇසුරක් නැහැ. මට දැන් එවැනි සිතුවිලි සකස් වෙන්නේ නැහැ. ඔබලා කැමති කෙනෙක් විවාහ කරගෙන යන්න. කැමති කෙනෙක් සහෝදරියෝ හැටියට මේ ගෙදර ජීවත් වෙන්න කියලා. එක බිරිඳක් කියනවා මට අහවලා විවාහ කරගෙන යන්න ඕනෑ කියලා. එයා ගෙනැල්ලා අතපැන් වත්කර විවාහ කර දීලා දායාද දීලා පිටත් කරනවා. අනිත් බිරින්දෑවරු හතරදෙනා කියනවා අපි සහෝදරියෝ වගේ මේ ගෙදර ඉන්නවා කියලා. එහෙමනම් බලන්න උග්ග ගෘහපතිවරයා කියන අනාගාමී උපාසකතුමා බිරින්දෑවරු හතර දෙනෙක් සහෝදරියන් හැටියට එක ගෙදර ජීවත් වුණ කෙනෙක්.
එහෙමනම් පින්වතුනි, කොතැනකවත් බාධාවක් ඇතිවෙන්නේ නැහැ. කොතැනකවත් විචිකිච්ඡාවක්, සැකයක් ඇති වෙන්නේ නැහැ, මේ ගිහි ජීවිතය ගත කරමින් මේ උතුම් අධිගමයන් කරා යන්න පුළුවන් කියන සහතිකය බුදුරජාණන් වහන්සේ අපට ලබලා දෙනවා. එහෙමනම් මුලින්ම විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න. විචිකිච්ඡාවෙන් බැහැර වෙලා ධර්මය කෙරෙහි, මාර්ගය කෙරෙහි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇති කර ගන්න. ඒ විශ්වාසය ඇතිකරගෙන අර පරමාදර්ශී ජීවිත ගත කළා වූ පරමාදර්ශය ඔබේ ජීවිතවලට එකතු කර ගන්න. විශාඛාව ජීවත් වුණේ යම් සේද මම විශාඛාවක් වෙනවා කියලා දකින්න. විශාඛාවට ජීවිතයේ මැදිවයසේ දී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් කියනවා භාග්‍යවතුන් වහන්ස මට වරයන් අටක් ඕනේ කියලා. මොනවද මේ වරයන් අට…,
1. දිවි හිමියෙන් සියලු භික්ෂූන් වහන්සේලාට වැසි සළු පිදීමට.
2. දිවි හිමියෙන් සියලු භික්ෂූන් වහන්සේලාට ආගන්තුක බත පිදීමට.
3. දිවි හිමියෙන් සියලු භික්ෂූන් වහන්සේලාට ගමික බත පිදීමට.
4. දිවි හිමියෙන් සියලුම ගිලන් භික්‍ෂූන් වහන්සේලාට සත්ප්‍රාය ආහාර සකස් කොට පිදීමට.
5. දිවි හිමියෙන් ගිලන් භික්‍ෂූන්ට උවැටන් කරන භික්‍ෂූන් වහන්සේලාට අවශ්‍ය ආහාර පිදීමට.
6. දිවි හිමියෙන් ගිලන් භික්‍ෂූන්ට අවශ්‍ය ඖෂධ වර්ග පිදීමට.
7. ඔබ වහන්සේ අන්ධකවින්ද නුවර වැඩ සිටියදී දේශනා කළ පරිදි දස වැදෑරුම් වූ ආනිසංස ලැබෙන කැඳ මාගේ දිවි හිමියෙන් භික්‍ෂූන් වහන්සේලාට පිදීමට.
8. දිවි හිමියෙන් භික්‍ෂුණින් වහන්සේලාට දිය සළු (උදක සාටිකා) පිදීමට.
කවුද මේ.., සෝවාන් ඵලයට පත් වූ විශාඛා උපාසිකාවයි. බුදුරජණන් වහන්සේ මේ වර අට අනුදැන වදාළා. එතකොට බලන්න වේළුකණ්ඨකී නන්ද මාතාව, උග්ග ගෘහපතිවරයා, අනේපිඬු සිටුතුමා එක වතාවට පන්සියයක් ස්වාමීන් වහන්සේ ගෙදරට වඩම්මවනවා. පන්සියයක් ස්වාමීන් වහන්සේලා ගෙදරට වැඩමකරවලයි දානය පූජා කරන්නේ පින්වතුනි. එහෙමනම් බලන්න මේ මාර්ගඵල ලාභී උපාසක, උපාසිකාවන් කොයි තරම් ශාසනය උදෙසා, ස්වාමීන් වහන්සේලා උදෙසා, මේ ශාසනික සේවාවන් සිදු කළා ද කියා. නමුත් බලන්න අපේ සමාජයේ කෙනෙක් සෝවාන් ඵලයට පත් වුණා කිව්වොත් කුමක්ද සිද්ධ වෙන්නේ. එදායින් පසුව එයා පන්සලට යන්නේ නැහැ පින්වතුනි. එයා ස්වාමීන් වහන්සේලාට වන්දනා කරන්නේ නැහැ. බුදු පිළිම වහන්සේලාට වන්දනා කරන්නේ නැහැ. පන්සලට සිල් ගන්න යන්නේ නැහැ. ඇයි..? මම සෝවාන් ඵලයට පත්වෙලා කියලා, පින්වතුනි. බලන්න සමාජය කොයිතරම් විකෘතීන් කරා ගමන් කරනවාද කියා. ඇයි මේ සමාජය විකෘතීන් කරා ගමන් කරන්නේ පින්වතුනි. එයට හේතුව තමයි, අර පරමාදර්ශී චරිත අනුව අපේ ජීවිත ගොඩනඟා ගන්න අපි දක්‍ෂ නැහැ.
ඒ නිසා ඔබ චිත්තයක් ඇතිකර ගන්න. මම මේ ජීවිතයේ සතර අපායෙන් මිදෙනවාය කියන චිත්තය. ඡන්දය, කැමැත්ත ඇතිකර ගන්න. එහෙම කැමැත්ත ඇතිකරගෙන ඔබ තුළින්ම ඔබ තීන්දුවක් ගන්න විශාඛාව ජීවත් වූයේ යම් සේද මම එවැනි කෙනෙක් වෙනවා කියා චිත්තයක් ඇති කර ගන්න. අනේපිඬු සිටුතුමා ජීවත් වුණේ යම් සේද මම එවැනි කෙනෙක් වෙනවා කියා චිත්තයක් ඇති කර ගන්න. වේළුකණ්ඨකී නන්ද මාතාව, උග්ග ගෘහපතිවරයා ජීවත් වුණේ යම් සේද මම එවැනි කෙනෙක් වෙනවා කියා චිත්තයක් ඇතිකර ගන්න. ලෝකය යන දිශාවට යන්න එපා පින්වතුනි. මොකද ලෝකය යන්නේ දුක දිශාවටමයි. මොකද ලෝකය අයිති මාරයාටයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකය යන දිශාවට යන්න එපා. මේ ධර්ම මාර්ගය තුළ ගමන් කරන කෙනා උඩුගං බලා යන කෙනෙක් පින්වතුනි. එයා දුක පැත්තට, මුහුද පැත්තට ගලාගෙන යන කෙනෙක් නොවේ. එයා උඩුගං බලා යන විට ලෝකයා ඉදිරියේ ඔබ අමුත්තෙක් වෙන්න පුළුවන්. ලෝකයා ඉදරියේ ඔබ පිස්සෙක්, පිස්සියක් කියා ලෝකයා කියන්න පුළුවන්. නමුත් මේ කොතැනකදීවත් ඔබේ ගමන ඔබ බාධා කරගන්න එපා පින්වතුනි…!
මොකද මුළු ලෝකයම ඔබට අහිමි වුණත් බුදුරජාණන් වහන්සේ ඔබ ළඟ ඉන්නවාය කියන විශ්වාසය ඔබ ඇතිකර ගන්න. මේ ධර්ම මාර්ගය තුළ ඔබ ගමන් ගනිද්දී මුළු ලෝකයම ඔබට නැති වුණත් බුදුරජාණන් වහන්සේ ඔබ ළඟ ඉන්නවාය කියන විශ්වාසය හිතේ ඇති කර ගන්න. මුළු ලෝකයම අත්වැල් බැඳගෙන කරට අත දාගෙන හිටියත් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ අපි ළඟ නැත්නම් පින්වතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමා තුළ ඉන්නවාය කියන විශ්වාසය තුළ ධර්මයේ සන්දිට්ඨික භාවය ජීවමානව පවතින මේ මොහොතේ මේ ජීවිතයේ සෝවාන් ඵලයට පත්වෙන්න පුළුවන් කියන විශ්වාසය ඇතිකර ගන්න…!
ii.) ශීලය ආර්ය ශීලයක් බවට පත් කරන්නේ කෙසේද..?
පිළිතුර :-
ශීලය ආර්ය ශීලයක් බවට පත්කරනවාය කියන්නේ ශීලය විදර්ශනා නුවණින් දකිනවා කියන එකයි. අපි කොච්චර සිල් සමාදන් වුණත් අපිට ලැබෙන්නේ භවයයි පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආවා වූ භව ගමනේ දී මුණ ගැසුණා වූ සම්මා සම්බුද්ධ ශාසනවල ඔබලා සිල් සමාදන් වෙන්න ඇන්ද සුදු සිල් රෙදි එක ගොඩක් ගැසුවොත් එය ගිජ්ජකූඨ
පර්වතයට වඩා විශාලයි කියලා පින්වතුනි. එහෙමනම් බලන්න ඔබලා ඒ සා සංසාරයේ සිල් සමාදන් වෙලා තියෙනවා. නමුත් ඒ සා සිල් සමාදන් වෙලා අපි ප්‍රාර්ථනා කළේ, අපි ලැබුවේ, කුමක්ද…? භවයමයි පින්වතුනි.
අපි ශීලය විදර්ශනා නුවණින් දැක්කේ නැහැ. ශීලය ආර්ය ශීලයක් බවට පත් කළේ නැහැ. දැන් ඔබ හිතන්නකෝ පංචශීලය සමාදන් වෙනවා. පංච ශීලය සමාදන් වෙලා සිල් පද පහ ඇස් දෙක වගේ ආරක්‍ෂා කර ගන්නවා. ආරක්‍ෂා කළා වූ සිල්පද ආවර්ජනය කරනවා. ආවර්ජනය කරමින් ශීලයේ සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය දකිනවා. සංස්කාරයන්ට බැඳෙන්නෙ නැහැ. මම මුලින් මතක් කළා, ශීලයේ සංස්කාරයන් මොනවාද කියලා. ශීලයේ සංස්කාරයන් තමයි..,
1. මහත් වූ භෝග සම්පත් ලබනවා.
2. තමාගේ කීර්ති රාවය පැතිරෙනවා.
3. ඕනෑම සභාවකට නොබියව යනවා.
4. සිහි මුළා නොවී මැරෙනවා.
5. මරණින් මතු සුගතියේ උපදිනවා.
එහෙමනම් මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි පින්වතුනි. සිල් සමාදන් වෙමින් සමාදන් වුණා වූ ශීලය රැක ගනිමින්, ඒ රැකගන්නා වූ ශීලයේ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. සිල් සමාදන් වෙලා අනාගතයේ දෙවියෙක් වේවා කියා චිත්තයක් ඇති වුණොත් ඔබ ශක්‍රයා වෙලා ඉඳලා සතර අපායට වැටුණ හැටි සිහිපත් කරන්න. සිල් සමාදන් වෙලා ඔබට බ්‍රහ්මයෙක් වෙන්න කියා චිත්තයක් ඇති වුණොත් ඔබ රූපාවචර, අරූපාවචර බ්‍රහ්මතල වල කල්ප ගණන් ඉඳලා ආයිමත් සතර අපායට වැටුණ සැටි සිහිපත් කරන්න. සිල් සමාදන් වෙලා ඔබට නැවත මනුෂ්‍යයෙක් වේවා කියා චිත්තයක් ඇති වුණොත් ඔබ සක්විති රජවෙලා ආයිමත් සතර අපායට වැටුණ හැටි සිහිපත් කරන්න. ශීලයේ සංස්කාරයන්ට බැඳෙන්න එපා. ශීලය තුළින් සුගතියේ උපතක් කියන සිත සකස් වෙන විටම ඒ සුගතියේ තිබෙන්නා වූ අනිත්‍යභාවය නුවණින් දකින්න. එහෙම නැත්නම් ඒ සිතේ අනිත්‍ය භාවය දකින්න දක්‍ෂ වෙන්න.
මෙන්න මේ විදිහටයි ශීලය ආර්ය ශීලයක් බවට පත්වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් පෙර ශීලය දඹදිව තිබුණා පින්වතුනි, මහාමායා දේවියගේ මව්කුසට අපේ සිදුහත් කුමාරයා එන දවසේ එතුමිය උපෝසථ ශීලයක් සමාදන් වෙලයි තිබුණේ. එහෙමනම් ශීලය කියන්නේ බුදුරජාණන් වහන්සේ පනවපු දෙයක් නොවේ. බුදුරජාණන් වහන්සේ කුමක්ද කළේ, සමාජයේ තිබුණා වූ ශීලය ආර්ය ශීලයක් බවට පත් කළා. ආර්ය ශීලය කියන්නේ විදර්ශනා නුවණ, ප්‍රඥාව සකස් වෙන්නා වූ ශීලයයි. ඒක තමයි ආර්ය ශීලය…!
iii.) සමාධිය ආර්ය සමාධියක් බවට පත්කර ගන්නේ කෙසේද…?
පිළිතුර :-
ඔබ කොච්චර නම් සමාධිය වැඩුවත්, සමාධිය වඩා ඔබ කොච්චර ධ්‍යාන තල පුහුණු කරගෙන සිටියත්, විදර්ශනා නුවණක් ඔබට සකස් කරන්නේ නැහැ. ධ්‍යාන උපාදාන කරගත්තොත්, සමාධියට හිත ගියොත් ඔබ රූපාවචර, අරූපාවචර බ්‍රහ්මතල වලයි උප්පත්තිය ලබන්නේ. මේවා ලෞකික බ්‍රහ්ම තල පින්වතුනි. මාර්ගඵල පැත්තට ඔබේ සිත යන්නේ නැහැ. එතකොට සමාධිය ආර්ය සමාධියක් කරන්න නම් ඔබ මුලින්ම ධ්‍යානයක් සකස් කරගෙන ඒ ධ්‍යානයන් විදර්ශනා නුවණින් දකින්න දක්‍ෂ වෙන්න ඕනේ. ඒ ධ්‍යානයන්ගේ අනිත්‍ය භාවය දකින්න දක්‍ෂ වෙන්න ඕනේ. මේ ධ්‍යානයන්ගේ අනිත්‍ය භාවය දකින මොහොතේ සමාධිය ආර්ය සමාධියක් බවට පත්වෙනවා පින්වතුනි….!!!
තෙරුවන් සරණයි…!!!
උපුටා ගැනීම – අතිපූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් කරනු ලැබූ දහම් කරුණු, පැහැදිලි කිරීම් හා අන්තර්ජාලයෙන් උපුටා ගන්නා සාකච්ඡා මගින්, විජේ ගුණවර්ධන මහතා විසින් සකස් කළ “කාලේන ධම්ම සාකච්ඡා” නම් වූ දහම් පොතෙන් ඔබ සැමගේ ධර්මාවබෝධය සඳහා උපුටා පිළිගන්වමු…!!!
උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…