කුසලය සහ පින කියන්නේ එකම කාරණයක් ද?

පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ‘හාමුදුරුවනේ කුසලය සහ පින කියන්නේ එකම කාරණයක්‌ද?’ කියලා. මෙය පිංවතුන්ලා නිතර ස්‌වාමීන්වහන්සේලාගෙන් විමසන ප්‍රශ්නයක්‌. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ දේශනා කරනවා, කුසලය කියලා කියන්නේ කාරනා 10 කට කියලා. එම කාරනා දහය තමයි සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමය වරදවා හැසිරීමෙන් වැළකීම, බොරුකීමෙන්, පිසුනාවාචා, පරුෂාවාචා, සම්ප්‍රප්පලාපා කීමෙන් වැළකීම, අනභිධ්‍යාව, අව්‍යාපාදය, සම්මා දිට්‌ඨිය යනු කුසලය කියලා. ඉහත කාරණා 10 ට තමයි සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ කුසලය කියලා කියන්නේ.

කුසල් මූලයන් හැටියට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා අලෝභ, අදෝෂ, අමෝහය කියලා. මේ කාරණා දහය පිංවත් ඔබට මේ ආකාරයට ගන්නත් පුළුවන්. ඒ කයෙන් සිදුවෙන්නා වූ කුසල් 3 යි, වචනයෙන් සිදුවෙන්නා වූ කුසල් හතරයි, මනසින් සිදුවෙන්නා වූ කුසල් තුනයි කියලා. ඉහත කාරණා 10 ට තමයි කුසල් කියලා කියන්නේ.

එතකොට පින කියලා කියන්නේ කුමකටද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින යනු යහපත්, සිත්කළු, මන වඩන සැපයට කියන තවත් නමක්‌ය කියලා. එහෙමනම් පින කියන්නේ සැපයට කියන්නා වූ තවත් නමක්‌. දැන් පිංවත් ඔබට කුසලය කියන වචනයේ අර්ථයත්, පින කියන වචනයේ අර්ථයත් හොඳින් පැහැදිලියි. පින කියන කාරණයත්, කුසලය කියන කාරණයත් අර්ථයන් දෙකක්‌. නමුත් මේ කාරණා දෙක හේතුඵල අනුව එකට සම්බන්ධ වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. යමෙක්‌ කුසල් ධර්මයන් ජීවිතය තුළින් වඩනකොට, ඔහු තුළ සැපය, ඒ කියන්නේ පින ඇතිවෙනවා. යම් පිංවතෙක්‌ සැපයෙන් ජීවත්වෙනවානම් ඔහු ජීවත්වෙන්නේ කුසල් ධර්මයන් ජීවිතය තුළින් සිදුකරගන්නා නිසාමයි. පිංවත් ඔබ ධර්මානුකූලව සැපයෙන් ජීවත්වෙනවාය යන්නෙන් කියවෙන්නේ ඔබ තුළ කුසලයත්, පිනත් දෙකම තිබෙනවාය කියන කාරණයයි. පිංවතුන් වචන වල අර්ථයන් පසුපස හඹායැම හැකිතාක්‌ අඩුකර අනිත්‍ය ධර්මය තුළින්ම විතර්ක සකස්‌කොට දෙන සිත දෙස බලන්න දක්‍ෂ වෙන්න. එවිට ඔබට පෙනේවි ඔබ පිළිතුර තුළ සිටිමින්ම පිළිතුරු සොයන බව.