කුසලයක් කර, මෙනෙහි කල යුත්තේ කුමක් ද?

ප්‍රශ්නය : –

ස්වාමීන් වහන්ස, දානයක්, පිංකමක් කුමක් හෝ කුසලයක් කිරීමෙන් පසුව ඒවායේ ආනිසංස මෙනෙහි කරමින් ඒවා අනිත්‍ය බව දැක එවලේම සිතින් අත් හැරීම ද කළ යුත්තේ එහෙම නැත්නම් නැවත නැවත ඵස්සය මෙනෙහි කරමින් සතුටුවෙමින් එහි ආනිසංස දකිමින් අනිත්‍යය දැකීම ද කළ යුත්තේ..?

පිළිතුර :-

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හේතූන් කීපයක් නිසා කෙනෙක් දන් දෙනවා කියා.

1.) එක්කෙනක් ඉන්නවා එයා මෙලොව දී ලබමී කියන බලාපොරොත්තුවෙන් දන් දෙනවා. මෙලොවදි ලබමී කියන්නේ මට විවාහයක් සිදු වේවා, මගේ දියුණුව සැලසේවා, මම පොහොසත් වේවා, මගේ රෝගය දුරුවේවා කියල ප්‍රාර්ථනා කරමින් දන් දීමයි. එයාගේ බලාපොරොත්තුව මෙලොව දී යම් සැපයක් ලැබීම.

2.) ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව කෙනෙක් ඉන්නවා එයා දන්දෙන්නේ පරලොව දී ලබමී කියන බලාපොරොත්තුවෙන්. ඒ කියන්නේ මරණින් පසු මම දෙවියෙක් වේවා, සශ්‍රීක මනුෂ්‍යයෙක් වේවා කියා ප්‍රාර්ථනා කරගෙන එයා දන්දෙනවා.

3.) තව කෙනෙක් ඉන්නවා එයා පරම්පරාවෙන් එන නිසා දන් දෙනවා. ඒ කියන්නේ මගේ සීයා, මගේ ආච්චී, මගේ අම්මා, මගේ තාත්තා අහවල් ආරණ්‍යයට අහවල් දවසේ දන් දෙනවා. ඒ නිසා මම ඒක නොකඩවා පවත්වාගෙන යනවා කියලා දන් දෙනවා.

4.) තව කෙනෙක් දන් දෙනවා හිතේ සතුට නිසා. එයා වෙන මුකුත් දන්නේ නැහැ. එයා දෙන්නෙ අනුන් සතුටු කිරීම සඳහා. එයා කෙනෙකුට බත් පිඟානක් දීලා එයා ඒ බත් පිඟාන කනවා දැකලා සතුටු වෙනවා. කෙනෙකුට ඇඳුමක් දීලා එයා ඒ ඇඳුම අඳිනවා දැකලා සතුටු වෙනවා. ඉන් එහා දෙයක් එයා දන්නෙ නැහැ.

5.) තව කෙනෙක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා එයා දන් දෙන්නේ මහණ බමුණන්ට ජීවත් වීමට වෙනත් ක්‍රමයක් නැහැ. ඒ අය විවාහක නැහැ. ඒ අය මුදල් උපයන්නේ නැහැ. ඒ නිසා ඒ ගොල්ලන්ට දන් දෙනවා කියන කාරණය තුළ සිට දන් දෙනවා කියා.

නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ කිසිම දානයක් මහත්ඵල මහානිසංස නැහැ කියලා. ආනිසංස තියෙනවා. මහත්ඵල මහානිසංස නැහැයි කියලයි කියන්නෙ. ආනිසංස නැහැ කියලා කියන්නේ නැහැ. සැපය, සුගතියේ උපතක් තියෙනවා. නමුත් මහත්ඵල මහානිසංස නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ කිසිම දානයකින්. බුදුරජාණන් වහන්සේ මහත්ඵල මහානිසංස දානය කියන්නේ සිතට අලංකාරයක් උදෙසා දෙන දානයටයි. සිතට පරිෂ්කාරයක් උදෙසා දෙන දානයටයි. සිතට අලංකාරයක්, සිතට පරිෂ්කාරයක් කියන්නේ මොන සිතට ද..? මේ සමථ විදර්ශනා සිතටයි. සමථ විදර්ශනා සිත කියන්නේ කුමකට ද..?

මේ රූපය දුකයි කියලා, දැක්කා වූ සිතට. මේ වේදනාව, මේ සංඥාව, මේ චේතනාව, මේ විඤ්ඤාණය අනිත්‍යයි, දුකයි කියා දැක්කා වූ සිතට. ඒ නිසා ඒ සිත දුකයි කියා දැක්කා වූ සිත තව තවත් ශක්තිමත් කරගන්න. ඒ අනිත්‍යයි කියලා දැක්කා වූ සිතට අලංකාරයක් උදෙසා, පරිෂ්කාරයක් උදෙසා දන් දෙන්න කියලයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ දානය තමයි මහත්ඵල මහානිසංස දානය. එහෙමනම් අපි දන්දීම තුළින් බලාපොරොත්තු වෙන්නෙ මොනවද..? නිරතුරුවම අප තුළ වැඩෙන්නා වූ සමථ විදර්ශනා සිත ශක්තිමත් කර ගැනීම. සමථ විදර්ශනා සිත ශක්තිමත් කර ගන්නවා කියන්නේ මොකක්ද ..? දන් දෙමින් දානයේ අනිසංස ජීවිතයට ලබමින් ඒ ආනිසංසයන්ගේ අනිත්‍ය භාවය දැකීමයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අනුව කොහොමටත් පින්වතුන්ලාට දානයෙන් තොරව නිවන් මගට යන්න බැහැ. සමහර ගිහි පින්වතුන් කියනවා ස්වාමීන් වහන්ස අපි භාවනා කරන අය. අපි දන් දෙන්නේ නැහැ කියලා. එහෙම ධර්මයක් බුදු දහමේ නැහැ. උග්ග ගෘහපතියා අනාගාමී ඵලයට පත් වී දන් දුන්නා. වේළුකණ්ඨකී නන්ද මාතාව අනාගාමී ඵලයට පත් වී දන් දුන්නා. සෝවාන් ඵලයට පත් වූ අනේපිඬු සිටුතුමා දන් දුන්නා. එහෙමනම් කවුරු හරි කියනවා නම් මම භාවනා කරන කෙනෙක්, මම දන් දෙන්නේ නැහැ කියලා ඒක ධර්මයට එකඟ නැහැ. මොකද දානය තමයි අපිට අත්හැරීමේ අයන්න, ආයන්න කියලා දෙන්නේ.

සාක්කුවේ තියෙන රු. 100 දානයට අත්හැරීමට අපි කැමති නැත්නම් අපි මේ රූපය මගේ නෙවෙයි කියලා අත් හරින්න අපට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අතනින් තමයි අත්හැරීමට පුරුද්ද සකස් කරලා දෙන්නේ. ඒ නිසා දානයේ සැබෑම අර්ථය තමයි දන් දෙමින් ආයුෂ, වර්ණය, සැපය, බලය, ලබමින් ඒ ආයුෂ, වර්ණ, සැපය, බලයේ අනිත්‍ය භාවය දැකීම. දන් දීමෙන් අපිට ආයුෂ, වර්ණ, සැපය, බලය ලබෙනව. මොකද ආයුෂ, වර්ණ, සැපය, බලය අත්‍යවශ්‍යයි. ආයුෂ, වර්ණ, සැපය, බලයෙන් තොරව අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වඩන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා දන් දෙමින්, ආයුෂ, වර්ණ, සැපය, බලය ජීවිතයට ලබමින් ඊට පස්සේ ඒවායෙහි අනිත්‍යභාවය දකිනවා. ඒ නිසා දන් දීලයි දානය නිසා තමන් සතුටු වෙන්න ඕනැ.

දානයේ දිට්ඨ ධම්ම වේදනීය කුසල විපාකයක් තියෙනවා. ඔබ හිතුවත් නොහිතුවත් ඔබට ලැබෙන දිට්ඨ ධම්මවේදනීය කුසල විපාකයක් තියෙනව. ඒක කාටවත් වළක්වන්න බැහැ. දානයේ දිට්ඨ ධම්ම වේදනීය කුසල විපාකය තමයි දන්දෙන මොහොතේ ඇතිවන කායික මානසික සැනසිල්ල. ඒ කායික, මානසික සැනසිල්ල නිසා ලේ ධාතුව පිරිසිදු වෙනව. ශරීරය ප්‍රසන්න වෙනව. ඒ කියන්නේ නිරෝගී භාවය ආයුෂ, වර්ණ, සැපය, බලය ජීවිතයට එකතු වෙනවා. ඉතින් ඒක තමයි ආයුෂ, වර්ණ, සැපය, බලය කියන්නේ. දන්දීල ආයුෂ, වර්ණ, සැපය, බලය ලබමින් එහි අනිත්‍යභාවය දකිනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ආයුෂ, වර්ණ, සැපය, බලය ජීවිතයට ලබන්න ඕන. ඒ නිසා නිරතුරුව දන් දෙමින් අපි මේ ඇස අනිත්‍යයි කියලා දකින්න ඕන. මොකද මේ ඇසෙන් පෙනෙන්නේ ඇස පෝෂණය වී පවතින්නේ දානය නිසාමයි. දන් දෙමින් මේ රූපය අනිත්‍යයි කියලා දකිද්දී දානයේ ආනිසංස වල අනිත්‍ය භාවය දකිනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ආනිසංස ජීවිතයට ලබන්න ඕන. ආනිසංස ලබන්නෙ නැතුව අනිත්‍යය දකින්න බැහැ. ආනිසංස අනිවාර්යයෙන්ම අපට ලැබෙනව. ඒ හේතුඵල ධර්මයක්. ලැබිල ලැබුණ දේ අනිත්‍ය භාවය දකිනව.

බුදුරජාණන් වහන්සේ කියනව නිරතුරුවම දුන්නා වූ දානයන් සිහිපත් කරන්න කියලා. මේ මහත්තයාට ඔතන වාඩිවෙලා ඉඳලා මීට අවුරුදු දහයකට ඉස්සෙල්ලා දුන්නු දානයක් සිහිපත් වුණොත් මොකක්ද ලැබෙන්නේ. තව තව සතුට, ප්‍රීතිය ලැබෙන්නේ. ඒක හේතුඵල ධර්මයක්. එතකොට සතුට, ප්‍රීතිය කියන්නේ ආයුෂ, වර්ණ, සැපය, බලය. ඒව ලබල ඕනෙ, ඒවායෙහි අනිත්‍ය භාවය දකින්න. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනව නිරතුරුවම දුන්නා වූ දානයන් ආවර්ජනය කරන්න, සිහිපත් කරන්න, මෙනෙහි කරන්න. මෙනෙහි කරමින් දානය නිසා ලැබුණා වූ අනිසංසයන්ගේ අනිත්‍යභාවය දකින්න. දන් දීම නිසා මට ආයුෂ, වර්ණ, සැපය, බලය ලැබුණා. නමුත් මට තේරෙනව සෑම ගතවන නිමේෂයකම ඒ ආයුෂ, වර්ණ, සැපය, බලය අනිත්‍ය භාවයට පත් වෙනවා කියලා. එතකොට අනිත්‍යභාවය දකින මොහොතේ දානයේ අනිසංසයන්ගේ අනිත්‍ය භාවය දකිනවා. ඉතින් එතන තමයි දානයට දෙන්න තියෙන සැබෑම අර්ථය.

නමුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝයා අරමුණු කරගෙන දෙන දානයයි, ශ්‍රේෂ්ඨතම දානය කියලා. සංඝයා අරමුණු කරගෙන දෙන දානය. මහා ප්‍රජාපතී ගෝතමිය බුදුරජාණන් වහන්සේට ගෙනල්ල චීවරයක් පූජා කරනව. බුදුරජාණන් වහන්සේ කියනව “ගෝතමිය මට පූජා කරන්න උත්සාහ කරන්න එපා. සංඝයාට පූජා කරන්න” කියලා. ඒවගේ තුන් වතාවක් විතර ඇවිටිලි කරනව බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. ඒත් බුදුරජාණන් වහන්සේ එය අනුමත කරන්නේ නෑ. සංඝයාට පූජා කරන්න කියනවා. සංඝයාට පූජා කරන දේ ආනිසංස වැඩියි. නමුත් සංඝයාට පූජා කරද්දී, ඒ පූජාවන් සංඝයාට පූජා කරන තැන බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා නම්, රහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා නම්, ඒ කණ්ඩායමට සංඝයා අරමුණු කරගෙන දෙන්නා වූ දානයමයි ආනිසංස පක්ෂය වැඩි. ගුණාත්මක භාවයෙන්, සීලයෙන් වැඩිවෙන්න වැඩි වෙන්න ඒ ගොල්ලන්ට දෙන්නා වූ ආනිසංස ප්‍රමාණය වැඩියි. ඒ නිසා සංඝයා අරමුණු කරගෙනයි දන් දෙන්න ඕන.

බුදුරජාණන් වහන්සේට දානයක් දුන්නත් සංඝයා අරමුණු කරගෙන නම් දානය පූජා කරන්නෙ ඒ දානයේ ආනිසංස වැඩියි. සංඝයා අරමුණු කරගෙන දානය පූජා කරද්දී ඒ දානය පිළිගන්නේ රහතන් වහන්සේලා නම් ඒ දානයේ ආනිසංස වැඩියි. දානය පිරිනමද්දී පිළිගනිද්දී එතන ඉන්නෙ අනාගාමී ස්වාමීන් වහන්සේලා නම් ඒ දානයේ ආනිසංස වැඩියි. ඒ වගේ ගුණාත්මක භාවයෙන් අවබෝධාත්මක භාවයෙන් වැඩි පිරිසකට සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න. ඒවායේ තියෙන්නා වූ ආනිසංස පක්ෂය වැඩියි.

එහෙම නැතුව හැම සංඝික දානයකටම එකම අනිසංසය ලැබෙන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේලාගේ අවබෝධාත්මක භාවය වැඩි වෙන්න වැඩි වෙන්න, ගුණාත්මක භාවය වැඩි වෙන්න වැඩිවෙන්න ඒවායින් ලැබෙන්නා වූ ආනිසංස පක්ෂය වෙනස් වෙනව…!!!

තෙරුවන් සරණයි…!!!

උපුටා ගැනීම – අතිපූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් කරනු ලැබූ දහම් කරුණු, පැහැදිලි කිරීම් හා අන්තර්ජාලයෙන් උපුටා ගන්නා සාකච්ඡා මගින්, විජේ ගුණවර්ධන මහතා විසින් සකස් කළ “කාලේන ධම්ම සාකච්ඡා” නම් වූ දහම් පොතෙන් ඔබ සැමගේ ධර්මාවබෝධය සඳහා උපුටා පිළිගන්වමු…!!!

උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…