බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින කියන්නේ සැපයට කියන තවත් නමක්ය කියලා. යම් පිංවතෙක් සැපයෙන් නම් ජීවත් වෙන්නේ එ් පින නිසාමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සැබෑම සම්මා පින අයිතිවන්නේ, උතුම් සම්මා දිට්ඨියේ පටන් සම්මා ආජීවෝ දක්වා, මාර්ග අංග පහකින් පෝෂණය වූ සම්මා වායාමයන්ටයි. සැබෑම අර්ථවත් සම්මා වායාමයන් තුළ, ලෞකික ප‍්‍රඥාවත්, ආජීව අට්ඨමක ශීලයේ ශක්තියත් හොඳින්ම මුහුවෙලා තිබෙන්නට ඕනේ. යම් පිංවතෙක් තුළ කර්මය කර්මඵල විශ්වාසය දුර්වල නම්, දෙමව්පියන්ගේ ගුණයන් කෙරෙහි විශ්වාසයක් නැතිනම්, දන් පුජා කිරීමට ලෝභ සිත් ඇත්නම්, කේන්තිය, හිංසාව තිබෙනවා නම්, ආජීව අට්ඨමක ශීලය දුර්වල නම්, ඔහුගේ සම්මා වායාමයන් දුර්වලවෙලා යන්නේ, වතුර නැති ගසක් මළානික වෙලා යනවා වගේමයි.
අද උදෑසන භික්ෂුවට එවැනි වතුර නැති වූ ගසක් මුණ ගැසුනා. එ් පිංවත් මහත්මයා භික්ෂුවට කියනවා, තමන් බුදුරජාණන් වහන්සේට ලක්ෂ ගණන් වැය කරලා බුද්ධ පූජාවන් පූජා කරනවා, හැබැයි වර්තමානයේ සංඝයාට දන් පූජාකරන්නේ නැහැය කියලා. උතුම් සම්මා දිට්ඨියේ වතුර අහිමි වූ මෙවන් සම්මා වායාමයන්, අවංකව අයිතිවෙන්නේ, මිච්ඡුා වායාමයන්ට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උතුම් කළ්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය අහිමි වූ කල නිවන් මාර්ගයම අපිට අහිමි වෙනවාය කියලා.
වර්තමානයේ කොරෝනා අනතුරේ පීඩාවෙන් තෙරපෙන, අපේ සමාජය දෙස බැලූවත්, ජාත්‍යන්තරය දෙස බැලූවත්, බලවත් මානසික පීඩාවන්ට පත් වී ඇති පිංවත් ජනතාව දෙස, සද්ධර්මයේ ඇසෙන් බැලූවත්, සම්මා දිට්ඨි, සම්මා සංකප්පයන් සහ ශීලයට අදාළව ආජීව අට්ඨමක ශීලයේ දුර්වලභාවයන් තුළ සිදුකරගන්නා වූ, පිනේ කටුක ඛේදවාචකය හොඳින් පෙනෙනවා.
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ග අංග පහේ දුර්වලභාවයන් තුළ සිදුකොටගන්නා පින විපාකයට පැමිණෙන්නේ බලවත් වූ අභියෝගයන් මධ්‍යයේමයි. ජීවිතයේ ලැබූ ජයග‍්‍රහණයන් නිදහසේ භුක්ති විඳින්න දෙන්නේ නැහැ. පිංවත් ඔබ වර්තමානයේ ඔබේ ජීවිත වලට ඉහත ධර්මය ගලපා බලන්න. වර්තමානයේ හුඟාක් පිංකම් සිද්ධවෙන්නේ, ලෞකික ප‍්‍රඥාවට අදාළ සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ගේ අර්ථයන් තමාගේ සක්කායදිට්ඨිය තුළ සිරගත කරලා. සම්මා ආජීවයන් විත්තිකූඩුවට නග්ගලා.
භික්ෂුව ප‍්‍රඥාවේ ඇසින් දැකලා තිබෙනවා, ලොකු සහ කුඩා පිංකම් වලදී, සම්මා දිට්ඨි, සම්මා සංකප්පයන් සහ සම්මා ආජීවයන් හඬා වැටෙනවා. මේ උතුම් ධර්මයන්ට කියාගන්න කෙනෙක් නැහැ. පැහැදිලි කොට දෙන්න කෙනෙක් නැහැ. එ් උත්තරීතර ලෞකික ප‍්‍රඥාවේ දෑස්වලින් කඳුළු රූටා වැටෙන කොට, එ් කඳුලින් තෙමීයන පින, මිච්ඡුා වායාමයන් බවටමයි පත්වෙන්නේ. පිංවත් ඔබ සුන්දර පින සම්මා දිට්ඨියේ, සම්මා සංකප්පයන්ගේ, සම්මා ආජීවයන්ගේ කඳුලින් තෙමන්න එපා. පිංවත් ඔබව දුකෙන් එතෙරටම ඇරලවන, එ් උතුම් ධර්මථාවයන්ට ඔබ කඳුළු දුන්නොත්, ඔබේ ජීවිතය කඳුළු සාගරයක්ම වේවි, හැබැයි ඉතින් පින නැමති ඔරුව ඔබ සන්තකයේ තිබෙනවා, එ් කඳුළු සාගරයේ අභියෝගයන් මැද වුව ද පැද, පැද සිටින්න.
වර්තමානයේ පිංවත් ඔබ මුහුණදී සිටින්නේ, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා ආජීවයන් හඬවා ගැලූ කඳුළු සාගරයේ, ඔබේ පින නැමති ඔරුව අභියෝගයන්ගේ කරවටක් ගිලී පදිමින් සිටීමම නේද. ධර්මය එ්හිපස්සිකයි, විවෘතව බබලනවා. පිංවත් අන්ධ පිංවතෙකුගේ දෑස් අන්ධ වුණත්, ඔහු සද්ධර්මයේ එ්හිපස්සික ගුණය තම අන්ධ දෑස් තුළිනුත් දකිනවා. හැබැයි ඉතින් ඔහු කළ්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය ලබන්නට ඕනේ.
පිංවත් ඔබ ලෝකයට බොරුකලත්, සංස්කාර ලෝකය ඔබට බොරු කරන්නේ නැහැ. කරුණාකර සැබෑම සැපය ඔබට උරුමකොටදෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයට එන්න. උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ඇතුළු වෙන ඔබ, උතුම් සම්මා දිට්ඨියේ දොරටුවෙන්ම ඇතුල්වෙන්න. කෙටි මාර්ග, අතුරු මාර්ග තුළින් සැප සොයන්න එපා. වැරදි මාර්ගයෙන් සොයන සැපය අභියෝග කන්දක්ම වේවි.
භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේට ආර්ය නමස්කාරයක්ම වේවා!, උතුම් ශ්‍රී සද්ධර්මයේ එ්හිපස්සික ගුණය, ජයග‍්‍රහණයන් ඉදිරියේදිත්, අභියෝගයන් ඉදිරියේදිත්, මේ නිමේෂයේදී අසරණ අපිට දැකගන්නට සැලැස්වුවාට, බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියත්, ලෝක ධර්මයන් නිවීයන්නේ නැහැ. ලෝකය ලෝකයමයි. ලෝකය දුකමයි. ලෝකය ජාති, ජරා, ව්‍යාධි, මරණමයි. පිංවත් ඔබ කවදාද තීරණය කරන්නේ දුක ලෝකය තුළ ඉතිරිකොට, ඔබ දුකෙන් මිදීයනවාය කියලා. කොරෝනා අකුසලය දත් විලිස්සා නැගී සිටිද්දී, පිංවත් ඔබ දුක හෝ සැප සොයන්න එපා. අවම වශයෙන් හේතුඵල ධර්මයන් දකින, උපේක්ෂාව ජීවිතයට මතුකොට ගන්න.
මෙය සටහන් තබන භික්ෂුව මේ මොහොතේ පසුවෙන්නේ සුන්දර හේතුඵල ධර්මයන් දකින විදර්ශනාමය ධර්මයේ උපේක්ෂාවෙන්මයි. භික්ෂුවගේ නොකැලඹිලි සහිත ඵස්සය, අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන සංස්කාරයන්ගේ හිරිඔතප් නැතිකම, සක්සුදක්සේ දකිනවා. මෙසේ දකිද්දී භික්ෂුවට ඉතිරිවෙලා තිබෙන්නේ, භික්ෂුවකගේ සීමාව වන සතරසතිපට්ඨාන ධර්මයන් තුල, ප‍්‍රාතිමෝක්ෂ ශීලයේ අර්ථයන් ජීවිතය කොටගෙන වැඩසිටීම පමණක්මයි. එතැනයි ජීවමාන ධර්ම විනය නැමැති ශාස්තෘන් වහන්සේ වැඩසිටින තැන. වියරු පංචඋපාදානස්කන්ධ ලෝකයේ ආරක්ෂාකාරීම තැන.
සුගතියට අදාළ කාමලෝකයන්ගෙන් එකක් වන මනුෂ්‍ය ලෝකයේ, පිංවත් මනුෂ්‍යයින් වැඩියෙන්ම පිං සිදුකොටගන්න, සුන්දර පිනෙන් පිරුණු වස්සානයයි මේ ගෙවීයන්නේ. නමුත් එ් සුන්දර පිනට මොකද වුනේ, එම පින් සොරු අරගෙන ගියාද. එහෙත් නැතිනම් අපේම අසිහිය නිසා, අපිම ලෝභ, ද්වේෂ, මෝහ සොරුන්ට බිලිදුන්නාද. මෙය සටහන් භික්ෂුව ධර්මානුකූලව සටහන් තබනවා, අපේ කඨින පිංකම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උතුම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප සහ සම්මා ආජීවයන් වැඩෙන ආකාරයට සිදුකොටගෙන නැහැය කියලා. අපි කාට බොරු කලත්, සංස්කාරයන්ට බොරු කරන්න බැහැ. ඇත්තෙන් සහ බොරුවෙන්ම උපදින සංස්කාර, සංස්කාර හේතුවෙන්ම සකස්වෙන විඤ්ඤාණය නිවැරදි දැනීම් ජීවිතගත කරනවා.
පසුගිය දිනක භික්ෂුව දානමය පිංකමකට සහභාගිවුණා. භික්ෂුව සිදුකළ පැයක පමණ අනුශාසනාවෙන් පසුව, බන්දේසියක තැබූ අටපිරිකරක් සහ සම්මාදන් කරන ලද මුදල් නෝට්ටු ගොඩක් සමග, එම බන්දේසිය භික්ෂුවට පූජා කළා. භික්ෂුව මෙසය මත තබන්න යැයි දැනුම් දුන්නා. පිංකමට සහභාගි වූ ගිහි පැවිදි පිංවතුන් හැමෝම සාදුකාර දුන්නා.
මේ සිද්ධිය සිදු වෙද්දී භික්ෂුව ධර්මයේ උපේක්ෂාවෙන්ම සද්ධර්මය දෙසම බැලූවා. උතුම් සම්මා දිට්ඨියේ, සම්මා සංකප්පයන්ගේ, සම්මා ආජීවයන්ගේ අහිංසක සත්පුරුෂ දෑස්වලින්, රූටා වැටෙන උණුසුම් කඳුළු, භික්ෂුව මනසින්ම පිසදා දැමුවේ, ගිහි පැවිදි පිංවතුන්ලාගේ සාධුකාර මධ්‍යයේමයි.
අපේම අතීත අකුසල් සංස්කාර නිසාම, වර්තමානයේ සාධුකාර මධ්‍යයේත්, අපිට සිද්ධවෙලා තිබෙන්නේ, උතුම් සම්මා දිට්ඨියේ, සම්මා සංකප්පයන්ගේ, සම්මා ආජීවයන්ගේ නෙතින් ගලන කළ්‍යාණමිත‍්‍ර භාවයේ කඳුළු ලෝකයාට සොරෙන් පිසදැමීමටයි. අපේ සැපය උදෙසා, අපේ භව නිරෝධය උදෙසා තිබෙන කළ්‍යාණමිත‍්‍ර ධර්මථාවයන් හඬවන්න එපා.
පසුගිය දවසක භික්ෂුව වායුසමනය කළ බස්රථයක වැඩියා. භික්ෂුව වැඩසිටි ආසනයේම තවත් ස්වාමීන් වහන්සේනමක් වැඩ සිටියා. වරකාපොල නගරය කිට්ටුවෙනකොට, කජු විකුණන වෙළෙඳ මහත්මයෙක්, කජු පැකට් අතේ එල්ලාගෙන, බස් රථයට ගොඩවෙලා, බැදපු කජු, ටේස්ට් කජු, රුපියල් සීයයි පැකට්ටුවක් කියලා කියන්න පටන්ගත්තා. වේලාව සවස පහට පමණ ඇති. භික්ෂුව අසලම වැඩසිටි ස්වාමීන් වහන්සේ තම බෑගයෙන් රුපියල් සියයේ කොල දෙකක් එම වෙළඳ මහතාට දිගුකොට කියනවා, මල්ලි ටේස්ට් දෙකක් දෙන්නය කියලා. කජු කෑම ලේසි වුනත්, සම්මාදිට්ඨිය මරාගෙන පින, කෑවොත්, භව අතීසාරය නම් නියතයක්ම වෙන්න පුළුවන්.
අවිද්‍යාවේ මූල බීජයෙන් සකස් වෙන තෘෂ්ණාව විසින්, මඟ සහ නොමඟ යන දෙකටම ඉහද තබන්නේ, අපේ අසිහිය නිසාමයි. ලෞකික ප‍්‍රඥාව දුර්වල පිංවතා ශීලයේ අර්ථයන් දුර්වල කොටගන්නවා වගේම, ශීලය උවමනාවෙන්ම ආරක්ෂාකොටගන්නා පිංවතා, ශීලය මගේ කොටගෙන, ශීලය තුළ මම සිටිනවා යැයි දකිමින්, තමා ඔසවා තබමින්, අනුනව පහත්කොට දකිමින් ශීලයේ සක්කායදිට්ඨිය මුවහත්කොට ගන්නේ, ලෞකික ප‍්‍රඥාවට පල නොකියා පලා බෙදමින්මයි. අවසානයේ මඟත්, නොමඟත් දෙකම, දුකටම මඟක් කොටගන්නා අපි, අවසානයේ ආවඩන්නේ ප‍්‍රමාදීභාවයටමයි.
පිංවත් ඔබට, භික්ෂුව මේ සටහන තබත්දී, භික්ෂුවගේ කුටියේ දොරකොඩ කවුදෝ සිහින් හඬින් හඬනවා, භික්ෂුවට ඇසෙනවා තොරතෝංචියක් නැතිව ඇය ඉකිගසනවා. ඔබ කවුද කියලා භික්ෂුව විමසද්දී ඇය කියනවා, මම වස්සානයයි කියලා. වස්සානය ගෙවී යන මේ නිමේෂයේ දී, සතුටින් සිනාසිය යුතු ඇය, ඇයි මේ හඬා වැටෙන්නේ. ඉකිගසමින් ඇය අපි හැමෝටම චෝදනා කරනවා. එ් අහිංසකාවිය ඉකිගසමින් කියනවා, ගිහි පැවිදි අපි හැමෝම, ඇයගේ ආත්ම ගරුත්වය විනාශ කළාය කියලා. ඇය නොනවත්වාම කියාගෙන යනවා.
බුදුරජාණන් වහන්සේ වස්සානය ලෝකයට බිහිකළේ, උතුම් විනය ධර්මයන් පනවා හොඳින් පෝෂණය කළේ, ඇය සුරැකිව පෝෂණය කරලා, අපිට භාරකළේ, මිච්ඡා දිට්ඨියෙන් ඇයව කෙලෙසන්න නොවේ. මිච්ඡුා සංකප්පයන්ගෙන්, මිච්ඡා ආජීවයන්ගෙන්, ඇයව කෙලෙසන්න නොවේ, උතුම් සම්මා දිට්ඨියේ, සම්මා සංකප්පයන්ගේ, සම්මා ආජීවයන්ගේ අර්ථයන්ගෙන් ඇයව පෝෂණය කරන්නයි. ඇයව උපයෝගී කොටගෙන පිනෙන් සහ කුසල් ධර්මයන්ගෙන් ලෝකය සශ්‍රීක කරන්නයි. වර්තමානයේ මොකක්ද මේ වෙලා තිබෙන්නේ. කොරෝනා අකුසලය විසින් වස්සානය පරාජය කරලා. පිංවත් ඔබලා පිනෙන් සහ කුසල් ධර්මයන්ගෙන්ම උපන් වස්සානයේ ආත්මගරුත්වය තුට්ටු දෙකටම ඇද දැම්මා. කඨින පිංකම්, කඨින පෙරහැර, කඨින වස්ත‍්‍ර පූජාවන්, සාංඝික දානමය පිංකම්, කොරෝනා අකුසලය වියරුවෙන් ඩැහැගෙන හමාරයි. දැන් අපිට ඉතිරිවෙලා තිබෙන්නේ, අපේම සම්මා දිට්ඨියේ, සම්මා සංකප්පයන්ගේ සහ සම්මා ආජීවයන්ගේ බරපතල දුර්වලභාවයන් නැමති ප‍්‍රමාදීභාවය, චාම් පිංකමක්, සරල පිංකමක්, වියදම් අඩු පිංකමක් ආදී වූ අකුසල් සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේ, අකුසලයේ බටර් තැවරූ, සුරතල් වචන වලින් සැනසීම පමණක්ම යැයි, වස්සානය නැමති එ් අහිංසකාවිය, කුටියේ දොරකොඩ ඉඳන් භික්ෂුවට කියමින් ඉකිබිඳිනවා.
වස්සානයේ ඇය, නගන චෝදනාවන් ඉදිරියේ භික්ෂුව කුමක් නම් ඇයට කියන්නද. කළ්‍යාණමිත‍්‍රයෙක් කතා කරද්දී කොහේ වරදක් දකින්න ද. භික්ෂුව තවමත් තමන් ඉදිරියේ තම ආත්මගරුත්වය අහිමි කළ නිසාම, ඉකිබිඳින වස්සානයේ ඇයට මතක් කළේ, සියලූ සංස්කාරයෝ අනිත්‍යයි කියලා. බුදුරජාණන් වහන්සේත් පිරිනිවී ගියා, උතුම් ධර්ම රත්නය සහ සංඝරත්නය, යම් දවසක අතුරුදහන් වෙලා යාවි, වස්සානයේ පිංවතිය, ඔබ වස්සානයේ සැබෑම අර්ථය නිත්‍ය වශයෙන් දකින්න එපාය කියලා. ඇය දිග සුසුමක් හෙලනවා භික්ෂුවට ඇසුනා. ඇයගේ මනසේ ඇඳුණ අනිත්‍ය සංඥාවේ ලේන්සුවෙන්, තම ඵස්සයේ කඳුළු පිසදාගත් ඇය, පෙනී නොපෙනී, ඈතින් ඈතට යන්න ගියා. යහපත් දේවල් අපිව හැරගියොත්, අයහපත් දේවල් අපි බිලිගනීවි. කරුණාකර ඊළඟ වස්සානයට පෙරාතුව දුක තුනීකරන සෘජු මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි සිහිය ඇතිකොට ගන්න.
ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න…
තෙරුවන් සරණයි
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ,
2020 නොවැම්බර් 01.