කරණීයමත්ථකුසලේන
යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කෝ උජූ ච සූජූ ච
සුවචෝ චස්ස මුදු අනතිමානී
යම් ශාන්ත වූ ඒ අමා නිවන් සුවයක් වේද, එය ලබාගන්නට කැමැති දක්ෂ කෙනාට ඒ ගැන කුසලතා තියෙන්න ඕන. ඍජුකම තියෙන්න ඕන. වඩාත් ඍජු වෙන්න ඕන. ඒ වගේම ධාර්මික අවවාද අනුශාසනාවලට කීකරු වෙන්න ඕන. මෘදු මොළොක් වෙන්න ඕන. නිහතමානී වෙන්න ඕන.
සන්තුස්සකෝ ච සුභරෝ ච
අප්පකිච්චෝ ච සල්ලහුකවුත්තී
සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච
අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ
ලද දෙයින් සතුටුවන කෙනෙක් වෙන්න ඕන. කාටවත් බරක් නැතුව පහසුවෙන් යැපෙන කෙනෙක් වෙන්න ඕන. වැඩකටයුතු අඩු කෙනෙක් වෙන්න ඕන. සැහැල්ලු පැවතුම් ඇති කෙනෙක් වෙන්න ඕන. ශාන්ත ඉන්ද්‍රියයන් ඇති කරගන්න ඕන. තැනට සුදුසු නුවණ තියෙන්න ඕන. හිතුවක්කාර විදිහට ගොරෝසු නොවෙන්න ඕන. දායක පවුල්වල නොඇලී සිටින්න ඕන. සිව්පසයට ගිජු නොවී ඉන්න ඕන.
න ච ඛුද්දං සමාචරේ කිඤ්චි
යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං
සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
ධර්මයේ හැසිරෙන බුද්ධිමත් කෙනෙකුගේ ගර්හාවට ලක්වෙන විදිහේ කුඩා වරදක්වත් නොකර ඉන්න ඕන. ‘සියලු සත්වයෝ සුවපත් වෙත්වා! භය නැත්තෝ වෙත්වා! සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා!’
යේ කේචි පාණභූතත්ථි
තසා වා ථාවරා වා අනවසේසා
දීඝා වා යේ මහන්තා වා
මජ්ඣිමා රස්සකාණුකථූලා
තැතිගන්නා සුළු යම්කිසි සත්වයෙක් ඉන්නවා නම්, තැති නොගන්නා රහතුන් ද සිටිනවා නම් ඒ හැමදෙනාත්, ඒ වගේම දිග සිරුරු ඇති සතුන් හෝ වේවා, මහා සිරුරු ඇති සතුන් හෝ වේවා, මධ්‍යම සිරුරු ඇති සතුන් හෝ වේවා, කුඩා සිරුරු ඇති සතුන් හෝ වේවා, ඉතා කුඩා සිරුරු ඇති සතුන් හෝ වේවා, තර වූ සිරුරු ඇති සතුන් හෝ වේවා,
දිට්ඨා වා යේව අද්දිට්ඨා
යේ ච දූරේ වසන්ති අවිදූරේ
භූතා වා සම්භවේසීවා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
දක්නට ලැබෙන සතුන් හෝ වේවා, දැක්ක නොහැකි සතුන් හෝ වේවා, දුර සිටින සතුන් හෝ වේවා, ළඟ සිටින සතුන් හෝ වේවා, ඉපදී සිටින සතුන් හෝ වේවා, උපතක් කරා යන සතුන් හෝ වේවා, ඒ සියලු සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා!
න පරෝ පරං නිකුබ්බේථ
නාතිමඤ්ඤේථ කත්ථචි නං කඤ්චි
බ්‍යාරෝසනා පටිඝසඤ්ඤා
නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය
තවත් කෙනෙක් තව කෙනෙකුව රවටන්න එපා! තවත් කෙනෙකුට අවමන් කරන්න එපා! දොස් කියන්න එපා! තරහා ගන්නත් එපා! තව කෙනෙකුගේ දුකට කැමැති වෙන්න එපා!
මාතා යථා නියං පුත්තං
ආයුසා ඒකපුත්තමනුරක්ඛේ
ඒවම්පි සබ්බභූතේසු
මානසං භාවයේ අපරිමාණං
අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවාව දිවි හිමියෙන් ආදරයෙන් රැක බලාගන්නවා වගෙයි, ඒ විදිහටම හැම සත්වයෙක් ගැනම ප්‍රමාණ රහිත කොටම මෙත් සිත් පතුරුවන්න ඕන.
මෙත්තං ච සබ්බ ලෝකස්මිං
මානසං භාවයේ අපරිමාණං
උද්ධං අධෝ ච තිරියඤ්ච
අසම්බාධං අවේරං අසපත්තං
උඩට, යටට, හරස් අතට කිසි බාධාවක් නැතුව වෛර නැති, සතුරු නැති මෛත්‍රී සහගත සිත සියලු සත්වයන් කෙරෙහි ප්‍රමාණ රහිත කොටම පතුරුවන්න ඕන.
තිට්ඨං චරං නිසින්නෝ වා
සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ
ඒතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු
හිටගෙන ඉන්න කොටත්, ඇවිදින කොටත්, හිඳගෙන ඉන්න කොටත්, නිදන කොටත්, නොනිදා ඉන්න කොටත්, මේ මෛත්‍රී භාවනාව ගැන සිහිය පිහිටුවා ගෙන ම යි ඉන්න ඕන. මේ මෛත්‍රී භාවනාවට බුදු සසුන තුළ කියන්නේ ‘බ්‍රහ්ම විහරණය’ කියලයි.
දිට්ඨිං ච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නෝ
කාමේසු විනෙය්‍ය ගේධං
නහි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතී ති
මිත්‍යා දෘෂ්ටියකට පැමිණෙන්නෙ නැති ඒ සිල්වත් කෙනා චතුරාර්ය සත්‍ය දර්ශනයෙන් යුක්ත වෙලා, පංච කාමය ගැන ඇති ආශාව දුරු කළොත් ආයෙත් නම් ගර්භාෂයක (උපතක් ලබාගෙන) නිදන්නට එන්නෙ නෑ.
තෙරුවන් සරණයි !!!