ඖෂධ ප්‍රත්‍යවේක්ෂාව.

ඖෂධ පරිහරණයේදිත් රෝගීභාවය අනිත්‍යභාවයට පත්වී නීරෝගීභාවයත්, නීරෝගීභාවය අනිත්‍යභාවයට පත්වී රෝගී භාවයත් ඇතිවන අයුරු නුවණින් දකිමින් ඖෂධ ප්‍රත්‍යාවේක්‍ෂාව සිදුකරන්න. වර්තමානයේ ඖෂධවල මිලගණන් අහනකොට, ඖෂධ මිලට ගන්නකොට නැති ආශ්‍රවයන් ඇතිවන බවක්‌ සමාජය තුළින් අසන්නට ලැබෙනවා. මෙවැනි සිදුවීම් මනුෂ්‍යයාගේ ලෝභ, ද්වේෂ, මෝහ සිතිවිලි නිසා හටගන්නා අකුසලයන්ගේ විපාකයක්‌ බව හඳුනාගනිමින් අකුසල් නිසා පිංවත් ඔබ නැති ආශ්‍රවයන් ඇතිකොටගන්නේ නැතිව, මෙවැනි ප්‍රශ්න ධර්මානුකූලව ගලපාගන්න දක්‍ෂ වෙන්න ඕනේ. ඉපදීම නිසාමයි ජරා, ව්‍යාධි, මරණ සිද්ධවෙන්නේ. ඉපදීම නිරෝධය කිරීමෙන් තොරව ඉහත ප්‍රශ්නය නොවිසඳෙන බව ඔබ නුවණින් දකින්න දක්‍ෂනම්, එය ඖෂධ ප්‍රත්‍යාවේක්‍ෂාවට අර්ථවත් ප්‍රවේශයක්‌ වෙනවා.

මේ සටහන තබන දිනයේ භික්‍ෂුව උදේම කසායක්‌, චූර්ණයක්‌ වැළඳුවා. සවසත් කසායක්‌ චූර්ණයක්‌ වැළඳුවා. ඒ ඖෂධයන් ප්‍රත්‍යාවේක්‍ෂ කිරීමේදී භික්‍ෂුව දකින්නේ වෙනස්‌වන නිරෝගීභාවයත්, වෙනස්‌වන රෝගීභාවයත් පමණමයි. ඉපදීම නිසා සකස්‌වෙන, වෙනස්‌වන, ජාති ජරා ව්‍යාධි ධර්මතාවලට නොවෙනස්‌වන විසඳුම ඖෂධ නොව, ඉපදීමේ නිරෝධය බවත්, එතෙක්‌ ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් ඖෂධ පරිහරණයකොට ඇති ආශ්‍රවයන් නැතිකොටගන්න ඔබ දක්‍ෂවෙන්න.

සංස්‌කාරයන්ට යටත්ව ජීවිතය නොදකින පිංවතා නීරෝගීභාවයට ගොඩාක්‌ කෑදරයි. ඒ නිසාම ඖෂධ ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් තොරවයි පරිහරණය කරන්නේ. බුදුරජාණන්වහන්සේගේ කාලයේ නිරෝගීබවට කෑදරකමෙන් හොරාට පැවිදි වුණු අය හිටියා. රෝග සුවකිරීමේ දක්‍ෂ ජීවක වෛද්‍යවරයා, සංඝයාට තමයි විශේෂයෙන්ම බෙහෙත් කළේ. ඒ නිසාම රෝගාබාධ සහිත මිනිසුන් ජීවක වෛද්‍යවරයාගෙන් වෛද්‍ය ප්‍රතිකාර ගන්න හොරාට පැවිදි වුණා. ඒ නිසාම බුදුරජාණන්වහන්සේ යම් යම් රෝගාබාධයන් තිබෙන ගිහි පිංවතුන් පැවිදි කරගන්න එපාය කියල විනය කාරණාවක්‌ පවා පනවනවා. වෙනස්‌වන නීරෝගීකමට කෑදර මනුෂ්‍යයෝ බරපතල වූ ආශ්‍රවයන් ඖෂධ නිසාත්, රෝගීභාවය නිසාත් ඇතිකොට ගන්නවා.

මේ භික්‍ෂුවගේ පැවිදි ජීවිතයේ ඖෂධ ප්‍රත්‍යාවේක්‍ෂාවේ අර්ථවත් තැනක්‌ තමයි පැවිදි දිවියේ මුල් කාලවකවානුවල කායික වේදනාවන් උදෙසා හිමිදිරියේ ස්‌වමුත්‍රා පානය කිරීම. වර්තමානයේ නම් භික්‍ෂුව මේ පුරුද්දෙන් මිදිලයි සිටින්නේ. පිළිකුල් සහගත කයත්, පිළිකුල් සහගත ඖෂධත් තුළින් එදා භික්‍ෂුව කයත් ඖෂධත් කෙරෙහි ඇති තෘෂ්ණාවට බරපතල අභියෝගයක්‌ එල්ල කළා. නමුත් එදා භික්‍ෂුව ප්‍රත්‍යවේක්‍ෂාව කියන වචනයේ අර්ථය නිවැරදිව දැනගෙන සිටියේ නැහැ.