ඕපාදූප නැමති මිච්ඡා වචාවන්ගේ ආශ්වාදයට යට වීමට පෙරාතුව ආදීනවය නුවණින් දකින්න.

ඕපාදූප කතාකරනවා කියන්නේත් සංස්කාර රැස්කොට ගැනීමක්ම වෙනවා. ඒ කියන්නේ ඕපාදූපත්, සංස්කාරත්, හේතුඵල ධර්මයක්ම වෙනවා.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වචී සංස්කාර වශයෙන් දේශනා කොට තිබෙන්නේ විතක්ක, විචාර කියන අර්ථයන් දෙකයි. වචී සංස්කාර කියලා කියන්නේ වචනයක් ප‍්‍රකාශ කිරීමට පෙරාතුව ඵස්සය තෘෂ්ණාවෙන් තෙත් කිරීමේ මූල බීජමය අවස්ථාවයි. ඵස්සය හේතුවෙන් ඇතිකොට ගන්නාවූ විතර්කය, තමන්ගේ තෘෂ්ණාවට අදාළව පෝෂණය කිරීම විචාරය වෙනවා.

මේ විතක්ක විචාර දෙක තාවකාලිකව නිරෝධය වෙන සුන්දර අවස්ථාවක් ධර්මයේ සඳහන් වෙනවා. එම සුන්දර අවස්ථාව තමයි, සමාධි භාවනාවේදී ඒ කියන්නේ ආනාපානසති භාවනාවේදී, සකස්කොට ගන්නාවූ විතර්ක විචාරයන්ගෙන් තොර පී‍්‍රතිය සහිත දෙවැනි ධ්‍යාන ඵලය, සහ මින් ඉදිරියට ඇති ධ්‍යානඵලයන් පළමුවැනි ධ්‍යානඵලයේදීත් උදරය තුළ අරමුණු වෙන සියුම් සුළං රැල්ල සංසිඳී නොමැති හෙයින් පළමුවැනි ධ්‍යාන ඵලයේදී ද එම යෝගාවචර පින්වතා, විතර්ක විචාර පී‍්‍රතිය සහිතවයි පළමුවැනි ධ්‍යානඵලය තුළ ජීවත් වෙන්නේ.

ඒ කියන්නේ ආනාපානසති භාවනාවේදී පළමුවැනි ධ්‍යානය තුළත්, විතර්ක විචාර සහිතවයි එම පින්වතා සිටින්නේ. පළමුවැනි ධ්‍යාන ඵලයේදීත් විතර්ක විචාර සහිත නම්, කාමච්ඡන්දයන් තුළ ජීවත්වන පින්වතුන්ගේ සිතීම සහ කතාකිරීම, නතර කිරීම කරන්න පුළුවන් දෙයක් නොවේ. ඒ නිසාමයි, බුදුරජාණන් වහන්සේ, වචනය සංවර කර ගැනීමට අදාළව, තීරණාත්මක මාර්ග අංගයක් වන සම්මා වාචාවත්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ, තුන්වැනි අංගය හැටියට පනවන්නේ සම්මා වාචා කියලා කියන්නේ මුසාවාදා, පිසුනාවාචා, පරුෂාවාචා, සම්පප්ප‍්‍රලාපයන්ගෙන් වැළකී ජීවත්වීම සමාජගතවී ඇති ඕපාදූප කතාකිරීම සහ ඕපාදූප ඇසීම කියන කාරණය තුළ ඉහත සම්මා වාචාවන්ට අයත් අර්ථයන් හතරම ඔබ අතින් සම්පූර්ණයෙන්ම දුර්වල වෙන්න පුළුවන්.

පින්වත් ඔබ තවමත් උතුම් සෝවාන්ඵල අවබෝධයට පත් නොවූ නිසාම ඇතිවන ඖෂධ නොමැති මානසික ව්‍යාධිය හේතුවෙන් සකස්වන අධිමානය සහ හීනමානය නිසා කතාකරන සෑම ඕපාදූප කතාවක් හේතුවෙන්ම සම්මා වාචාවන් දුර්වල වෙනවා. සම්මා වාචාවන් දුර්වල වෙන්නේ සම්මා සංකප්ප දුර්වල නිසයි. ඕපාදූප සොයන ඕපාදූප කතාකරන ඕනෑම පින්වතකුට, ක්‍ෂණිකව කේන්ති යනවා, විවේචනය, පළිගැනීම, නපුරුකම, ජීවිතය තුළ තිබෙනවා. අනුනට හිංසාකාර වෙනවා.

ඒ කියන්නේ සම්මා සංකප්ප දුර්වලයි, මේවා ධර්මයේ සුන්දර හේතුඵල ධර්මයන්, සම්මා සංකප්ප දුර්වල වෙන්නේ ඇයි, එකම ධර්මානුකූල හේතුව සම්මා දිට්ඨිය දුර්වලයි. තවම බුදුරජාණන් වහන්සේගේ වචනයට කීකරු නැහැ, ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගරු කරන්නේ නැහැ කර්ම කර්මඵල විශ්වාසය, තවම ඇතිවී නැහැ. මිච්ඡා වාචාවන්ගේ, ආදීනවය දකින්න දැනුමක් නැහැ.

දුරකථනය කනේ තියාගෙන, දුරකථන බිල් ගෙවමින් සල්ලි දීලා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැරට යනවා. පි‍්‍රයසාදයේදී, අවන්හලේදී, මඟුල් ගෙදරදී, මරණගෙදරදී, කාර්යාලයේදී, නිවසේදී රස කරමින් ඕපාදූප කතා කිරීමෙන්, ඕපාදූප ඇසීමෙන් සමස්ත ආර්යඅෂ්ටාංගික මාර්ගයම අපෙන් ඈත්කොට ගන්නවා.

පින්වත් ඔබ ඕපාදූප නමැති මිච්ඡා වාචාවන්ගේ ආශ්වාදයට යටවීමට පෙරාතුව මේවායේ ආදීනවය නුවණින් දකින්න, පින්වත් ඔබේ විනෝදාංශය බවට පින්වත් ඔබේ විවේකයේ ආශ්වාදය හැටියට පින්වත් ඔබේ පුරුද්දක් බවට පින්වත් ඔබේ රාජකාරියක් බවට ඕපාදූප කතාකිරීම සහ ඇසීමට ඔබ යොමු වුණොත් ඔබේ විනෝදාංශය බවට පත්වෙන්නේ මිච්ඡා වාචාවන් තුළින් අකුසල් රැස්කොට ගැනීමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැරවීමයි.

ඒ නිසාමයි, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පින්වත් ඔබට දේශනා කරන්නේ කතාකරනවා නම් ශ‍්‍රද්ධාව, ශීලය, දානය, මෛති‍්‍රය ආදී ධර්මයක්ම කතාකරන්න එසේ නොමැතිනම් නිහඬව සිටින්න කියලා. ධර්මයේ සඳහන් වෙනවා සුන්දර නිහඬභාවයක්.