ඔබ හැදුණොත් රට හැදේවි…

ලොව්තුරු බුදුරජාණන් වහන්සේ් නමක් සමස්ත ලෝක ප‍්‍රජාවට ම කාරණ හතරක් පමණක්මයි දේශනා කරන්නේ. පළමුවැනි කාරණය තමයි දුක, දෙවැනි කාරණය තමයි මෙන්න දුකට හේතුව තෘෂ්ණාව. තුන්වැනි කාරණය තමයි මෙන්න දුක නැති කිරීම. හතර වැනි කාරණය තමයි මෙන්න දුක නැති කිරීමේ මාර්ගය, පිංවතුනේ ඉහත කාරණා හතර පහළවීමයි. බුදුරජාණන්වහන්සේගේ පහළවීමේ අර්ථය.

ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක, තමා තුළමයි තිබෙන්නේ. දුක තියෙන්නේ තමා තුළ නම්, දුකට හේතුව තෘෂ්ණාව තිබෙන්නේ තමා තුළම නම්, දුකෙන් මිදීම උදෙසා තෘෂ්ණාව නැති කළ යුත්තෙත් තමාමයි. තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කළ යුත්තේ තමාමයි. මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය කියන්නේ, තමා තුළින් තමා දකින තමා තුළින් තමා අවබෝධ කොට ගන්නා ධර්මයක්. දුක තිබෙන්නේත් ඔබ තුළ නම් දුකට හේතුව තෘෂ්ණාව තිබෙන්නේත් ඔබ තුළම නම්, තෘෂ්ණාව නිරෝධය කළ යුත්තේත් ඔබම නම් තෘෂ්ණාව නිරෝධය කිරීමේ මාර්ගයේ ගමන් කළ යුත්තේත් ඔබම නම්, නිවැරැදි සද්ධර්මය සොයා ගැනීමේදී කාටවත්ම ගැටලූවක් මතුවන්නේ නැහැ. ධර්මයත්, ධර්මයේ අවබෝධයත් තමා තුළමයි තිබෙන්නේ.

දෑස් දෙක පියාගෙන තමා දෙස බලන්න. දුක තමා තුළ තිබෙනවා. දුකට හේතුව තෘෂ්ණාව තමා තුළ තිබෙනවා. දුකෙන් මිදීම උදෙසා ඔබ කළ යුත්තේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම පමණක්මයි. මේ සා සරලව බුදුරජාණන් වහන්සේ, මේ උතුම් ධර්මය තමා තුළින් දැක, තමා තුළින් අවබෝධ කොට ගැනීමට මාර්ගය දේශනා කොට තිබියදී, අපි මොකද කරන්නේ. තමා දෙස නොබලා අනුන් දෙස බලනවා. අනුනගේ නිකාය, අනුනගේ කණ්ඩායම්, කල්ලි, අනුනගේ ධර්මයන් දෙස බලනවා. සංසාරයේ පටිච්චසමුප්පන්නව පුහුණු කළා වූද, දුක පිණිසම හේතුවන ධර්මතාවයන් වේවා, පිංවත් ඔබ මේ සටහන තබන භික්‍ෂුව දෙස, බැලිය යුත්තේ භික්‍ෂුව හරිද, වැරදිද කියලා දැකීමට නොවේ. භික්‍ෂුව දේශනා කරන ධර්මයෙන් භික්‍ෂුවගේ ජීවිතය තුළින් මතුවෙන යම් පූර්වාදර්ශයන්ගෙන් ගත යුතු යමක් තිබෙනවා නම් ඒ දෙය ඔබේ ජිවිතයට අරගෙන ඔබ නිදහස් වීම සඳහා යි. නමුත් වර්තමාන සමාජය ඒ දෙය නොවේ කරන්නේ. බුදුරජාණන්වහන්සේ හරිද වැරදිද කියල සොයනවා. ශී‍්‍ර සද්ධර්මය හරිද වැරදිද කියලා සොයනවා. බුදුරජාණන් වහන්සේ ඉපදෙන තැන සොයනවා. මස්, මාළුවල පව් තිබෙනවා කියලා සොයනවා. ශීලයෙන් තොරව ප‍්‍රඥාව ගැන සොයනවා. වචනවල අර්ථ නිරුක්ති සොයනවා. අහවල් හාමුදුරුවෝ හරිද වැරදිද කියලා සොයනවා. බුදුරජාණන් වහන්සේ අපිට මේවා සොයන්න කියලා නැහැ. මේවා සොයන්න සොයන්න සමස්ත සද්ධර්මයේ අර්ථයම අපි විකෘතියක් බවට පත්කොට ගන්නවා. දුකෙන් මිදීමේ නාමයෙන් දුකටම හේතුවන තෘෂ්ණාවට තව තව වර්ධනය කොට ගන්නවා.

පින්වත් ඔබට නිවැරැදි සද්ධර්මය අවශ්‍ය නම් බුදුරජාණන්වහන්සේ දේශනා කොට වදාළ, නිවැරැදි සද්ධර්මය ඔබ තුළමයි තිබෙන්නේ. නමුත් වර්තමානයේ කල්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය දුර්වලයි. නුවණින් මෙනෙහි කිරීමේ ශක්තිය දුර්වලයි. ඒ නිසාම තමා තුළ ඇති ධර්මය මගහැර, ලෝකය තුළ අපි අධර්මය සොයමින් දුවනවා. තමා තුළ සකස්වෙන දුක තමා විසින්ම නිරෝධය කළ යුතු, සුන්දර මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබියදී, ධර්මය සොයමින් අපි ලෝකෙ වටේ, රට වටේ, දුවනවා. කණ්ඩායම් ගැහෙනවා. කල්ලි ගැහෙනවා. මම හරියි, ඔහු වැරදියි කියනවා. ධර්මයේ නාමයෙන්, ධර්මාවබෝධයේ නාමයෙන්, තෘෂ්ණාවම සංවර්ධනය කොට ගන්නවා.

පින්වත් ඔබ මොහොතක් දෑස් පියාගන්න. චතුරාර්ය සත්‍යය ධර්මයේ මුල් ආර්ය සත්‍යය වන දුක තමා තුළින් තමා දකින්න. දුකට හේතුව රූප වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කෙරෙහි ඇති කොටගන්නා වූ තෘෂ්ණාවම බව දකින්න. දුක තුනීකොට ගැනීමට, තෘෂ්ණාව සියුම්කොට ගතයුත්තේ තමාම බව දකින්න. එහෙම දකිමින් තෘෂ්ණාව නිරෝධය කරන මාර්ගය වන සුන්දර ආර්ය අෂ්ඨාංගික මාර්ගය ජීවිතයට එකතු කොට ගන්න. නිකාය කණ්ඩායම්, කල්ලි, විචිකිච්ඡා, ලෝකයම යන දිශාවකට යන්න. දෙන්න. පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සැබෑම ධර්ම මාර්ගය වන, තමා තුළිින්ම දුක කියන කාරණයත්්, දුකට එකම හේතුව වන තෘෂ්ණාව කියන කාරණයත්, තෘෂ්ණාව නිරෝධය කරන උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයත්, මතුකොට ගන්න.
ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඔස්සේ ගමන් කොට මෙලොව පරලොව ලෞකික සැපයත්, ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඔස්සේ ගමන් කොට උතුම් මාර්ග ඵල සැපයත් ජීවිතයට එකතුකොට ගන්න දක්‍ෂවෙන්න. දුක වැඩෙන, තෘෂ්ණාව වැඩෙන, ධර්මයේ නාමයෙන්, අධර්මයන් ජීවිතයට එකතු කොට ගෙන මුළු ලෝකයම තමන්, තමාවම රවටා ගත්තත්, සැබෑ නිවැරැදි චතුරාර්යසත්‍ය ධර්මයන්, ඔබ ජිවිතයට එකතුකොට ගතහොත් පිංවත් ඔබ දුක තුනී කොට ගන්නවාමයි. එය ලෝක ධර්මයක්ම වෙනවා.

වර්තමානයේ උතුම් ශ්‍රී සද්ධර්මයට වැරදිලා නැහැ. උතුම් ශ්‍රී සද්ධර්මය විකෘතිවෙලා නැහැ. සැබෑ චතුරාර්ය සත්‍ය ධර්මයන් ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා ජනතාවට වැරදිලා, ජනතාව විකෘතියක් වෙලා තිබෙන්නේ. මේ මොහොතෙත් පින්වත් ඔබ තුළ සුන්දරව විවෘතව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව අර්ථයන් අර්ථවත්ව තිබෙනවා. නමුත් වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ, කල්‍යාණමිත‍්‍ර ආශ‍්‍රයේ දුර්වලභාවයන් නිසාම, සමාජයට ධර්මානුකූලව පූර්වාදර්ශයන් නොලැබීම නිසාම, ගිහි පැවිදි දෙපාර්ශවය ම සංසාර බිය, සංසාර ගැඹුර, සංසාර දුක නුවණින් මෙනෙහි නොකිරීම නිසාම, රූපයන් කෙරෙහි ඇලීම් ගැටීම් කෙරෙහි, හඳුනා ගැනීම් කෙරෙහි, සංස්කාරයන් කෙරෙහි, විඤ්ඤාණයන් කෙරෙහි, ඇති කොටගෙන ඇති අසීමිත, කෙළ හලන තෘෂ්ණාව නිසාම, ලෞකිකත්වය තුළ බැසගෙන තමා තුළින් ධර්මය නොදැක, ලෝකය තුළින්, සැප සොයා යෑමේ ඵලයයි. වර්තමාන සමාජයේ ඛේදවාචකය බවට පත්වෙලා තිබෙන්නේ.

මෙය සටහන් තබන භික්‍ෂුුවට සමාජයේ කොතැනකවත් වරදක් නම් පේන්නේ නැහැ. සමාජය නිවැරැදි තැන ස්ථානගත වෙලා සිටිනවා. ‘‘තෘෂ්ණාව වැපුරුවොත් ඔබ, දුක අස්වැන්න හැටියට ලබනවාමයි. ලෝකය හදන්න යෑම පසෙක තබා, ශී‍්‍ර සද්ධර්මයේ හරි වැරදි සොයන්න යෑම පසෙක තබා, සංසාර බිය දකිමින්, ඔබ එය තළු මර මරා අයිතිකොට ගන්න උත්සාහගන්න. කාමයන්ගේ නිසරුභාවය, අනිත්‍ය භාවය දකිමින්, , තනි තනිව ඔබ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ශක්තිමත් වෙන්න, ඔබ හැදුණොත් රට හැදේවී. ඔබ නොසැදී රට හදන්න යෑමේ, විපාකය අද සමාජය අත්දකින්නේ. ඔබේ ධර්මානුකූල පූර්වාදර්ශයන් සමාජය යම් පමණකට හෝ නිවැරැදි වීමට උපකාරක ධර්මයන් සකස්කොට දේවි. ඔබටත් , මටත්, වර්තමාන සමාජ අර්බුදය ඉදිරියේ කරන්නට ඉතුරුවෙලා තිබෙන්නේ. එම වගකීම පමණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෞකික සැපයට මාර්ගයත් උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයමයි කියල.