ඔබ සැබැවින්ම ධර්මානුකූල බෞද්ධ පිංවතෙක් ද?

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ නමක් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනක් දස පාරමී ධර්මයන් පුරලා, උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ, ලෝකයාට චතුරාර්ය සත්‍ය කියන එකම ධර්මය දේශනා කිරීමටයි. උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය කියන්නේ, මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයටයි. පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේ් සැබැවින්ම සරණ ගියා කියන්නේ, බුදුරජාණන්වහන්සේ කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති කොටගත් සැබෑම බෞද්ධයෙක්ය කියලා කියන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ජීවිතයට එකතු කොට ගත්තාය කියන කාරණයයි.

පිංවත් ඔබ, ඔබේ හෘදසාක්‍ෂියට තට්ටු කරලා අවංකවම ඔබෙන් අහන්න, ඔබ සැබැවින්ම ධර්මානුකූලවම බෞද්ධ පිංවතෙක්ද කියලා. පිංවත් ඔබ අර්ථවත්ම බෞද්ධයෙක් කියලා දැනගන්න මිණුම්දණ්ඩ තමයි, මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ජීවිතයට එකතු කොටගෙන ජීවත් වීම. චතුරාර්ය සත්‍ය නොදැනීිම අවිද්‍යාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන්වහන්සේ සූත‍්‍රගත ධර්මයේදී ඇස් ඇති පුරුෂයෙක් ගැන දේශනා කරනවා. මේ ධර්මයේ සඳහන් ඇස් ඇති පුරුෂයා කියලා කියන්නේ, කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය ලබන, ආර්යයන් වහන්සේලා ඇසුරු කරන සද්ධර්මය ශ‍්‍රවණය කරන, ධර්මය නුවණින් මෙනෙහි කොට ජීවිතයට දරාගන්නා පිංවතාටයි. පිංවත් ඔබට සුන්දර දීප්තිමත්, හොඳින් පෙනෙන ඇස් දෙකක් තිබුණත්, පිංවත් ඔබ, තවමත් චතුරාර්ය සත්‍ය ධර්මයන් ජීවිතයට එකතු කොට නොගත්ත පිංවතෙක් නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබ ඇස් ඇති, ජාති අන්ධයෙක්ය කියල. ඔබ ලෝකය දකින්නේ ලෝකය හැටියටමයි. එවැනි ජාති අන්ධ පිංවතා දුක දකින්නේ සැපයක් හැටියට. දුකට හේතුව දකින්නේ, මුදල් නොමැති වීම හැටියට. දුකෙන් මිදීම හැටියට දකින්නේ, ධනවත් භාවයට පත්වීම. දුකින් මිදීමේ මාර්ගය හැටියට දකින්නේ, ශීලාචාර ධර්මයන් සදාචාරාත්මක ධර්මයන් මරාගෙන ලෝභ, ද්වේෂ, මෝහ ධර්මයන් වඩවාගෙන මුදල් සෙවීමයි. තාවකාලික සැපයක් කරගසාගෙන අනාගත දුකම පොදි බැඳගන්නා මාරධර්මයන්ගේ ග‍්‍රහණයට වර්තමානයේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථය ගොදුරුවෙලා.

ලෝකයාට විවේකයක් නැහැ. සිතන්න, ලෝකයාට සිතේ සංහිඳියාවක් නැහැ. හොඳ නරක හඳුනාගන්න, ලෝකයාට පූර්වාදර්ශයක් නැහැ. ඉන්ද්‍රිිිය සංවරය ඇතිකොට ගන්න, ඇයි ලෝකයට මෙහෙම වෙලා තිබෙන්නේ? දුකින් මිදීමේ එකම මාර්ගය, ධනය, නිලතල, සම්පත් දේපළ අධ්‍යාපනය කියන මිථ්‍යා ධර්මයන්, ජීවිතයට එකතුකොට ගැනීම නිසා. බුදුරජාණන් වහන්සේ ඉපදීම දුකයි කියන කොට, අපේම බෞද්ධ පිංවතුන්, ලක්‍ෂ ගණන්, කෝටි ගණන් වියදම් කරලා. පංචනීවරණ කාමච්ඡුන්දයන් වඩමින්, ඉපදීම සමරන්න උපන්දින සාද පවත්වනවා. මත්වතුර, රසමසවුළු නොහික්මුණු අසංවර විලාසිතා, ආගන්තුක ඇවතුම් පැවතුම් තුළින් මේ ලැබුවා වූ සුන්දර පිංවන්ත ජීවිතය, නැවත සතර අපායේ උපතකට අවශ්‍ය සාධක ඇති කොට ගැනීම උදෙසාම මෙහෙයවනවා. ජනතාවට පූර්වාදර්ශයන් දිය යුතු අපේ රටේ දේශපාලනය කරන පිංවතුන්ලා, අවුරුදු හැත්තෑවේ උපන්දිනය සමරන්නත්, කේක්ගෙඩි කපනවා. පැදුරු සාද පවත්වනවා. මහා රාති‍්‍ර වෙනකම් සිංදු කියනවා. බජව් දමනවා. පූර්වාදර්ශයන් නැති, සුන්දර මිනිස් සමාජයක් දිනෙන් දිනම අවිද්‍යාවේ අඳුර දෙසට ගමන් කරනවා. වතුරාර්යසත්‍ය ධර්මයන් නොදැනීම නිසාම, පෙර ජීවිතයේ ශීලය නිසාම , දානය නිසාම, මෛති‍්‍රය නිසාම, ඔබට ලැබුණු මේ සුන්දර ආයුෂ, වර්ණය, සැපය, බලය සහිත ජීවිතයෙන්, ඔබ කෘතවේදීභාවය දක්වන්නේ පංචනිවරණයන්ට. පංචනීවරණයන්ට පිංවත් ඔබ කෘතවේදීත්වය දක්වද්දී, ඔබ තුළ මැවෙන්නේ අවිද්‍යාවමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

පින්වත් ඔබ ඇස් දෙක පියාගෙන දකින්න, මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට ගන්න, බුදුරජාණන් වහන්සේ මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන්දීලා තිබෙනවා. මහ පොළොවේ පස්වලට වඩා ශරීර මාංශ දන්දීලා තිබෙනවා. සක්විති රජපදවි, සිටු ඇමැති පදවි දන්දීලා තිබෙනවා. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක් , බෝධි සත්ත්වයන් හැටියට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට ගැනීම උදෙසා කඳුළෙන්, රුධිරයෙන්, මසෙන්, ජීවිතයෙන් සිදු කළා වූ මහා පරිත්‍යාගය නුවණින් දක්වන්න. මේ සෑම පරිත්‍යාගයක්ම බුදුරජාණන් වහන්සේ සිදු කළේ, පින්වත් ඔබ උදෙසාමයි. පින්වත් ඔබට දුකෙන් මිදීමේ. සැබෑ මාවත විවරකොට දීම උදෙසාමයි. පිංවත් ඔබ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ, එවන් උතුම් පරිත්‍යාගයන් සිදු කොට තිබියදීයි. ඇයි ඔබ බුදුරජාණන් වහන්සේට අකීකරු දරුවෙක් වෙන්නේ? මෙය සටහන් තබන භික්‍ෂුව, බුදුරජාණන් වහන්සේට කීකරු දරුවෙක් වූණේ, මා උදෙසා බුදුරජාණන් වහන්සේ සිදු කළ අපරිමිත වූ මහා කැපවීම දැකලාමයි. මෙය ඔබෙත් මගෙත් ඇත්ත කතාවයි. අවිද්‍යාව නිසාම, මේ ඇත්ත කතාව අපි, දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් පහළවීමේ ඇත්ත අර්ථය නොදැක, බොරුවෙන් ජීවත්වෙන බෞද්ධ ජාතියක් වීමේ ප‍්‍රවණතාව දෙසට වර්තමානයේ බෞද්ධ ජීවිත ගමන් කරනවා.

ස්වාමින් වහන්සේලා නිකාය වශයෙන් කණ්ඩායම් කල්ලි වශයෙන් කටයුතු කරනවා. එකිනෙකට වෙනස් ධර්මයන් දේශනා කරනවා. මේවා හේතුවෙන් ජනතාව අසරණවෙලා තිබෙනවා. එහෙම නම් නිවැරැදි ධර්මය තෝරාගන්නේ කෙසේද? මේ අපි දකින්නේ ධර්මයයි. ධර්මය තිබෙන්නේ නිවැරදි කිරීමට නොව වැරදි දැක ගැටීමට නොව, නිවැරැදි දෙය දැක ඇලීමට නොවේ. වැරැද්දට ගැටිලා අපි නිවැරැදි දෙයට ඇලෙනවා නම්, එතැන තිබෙන්නෙත් දුකමයි. ධර්මය කියලා කියන්නෙ වැරැද්දට ගැටීමවත්, නිවැරැදි දෙයට ඇලීමත් නොවේ. වැරැද්දත් නිවැරැද්දත් දෙකම අනිත්‍ය වූ ධර්මතාවන් කියලා දැකලා, වැරැද්දත් නිවැරැද්දත් ඉදිරියේ උපේක්‍ෂාව කියන අර්ථය ජීවිතයට එකතු කොට ගැනීමයි. අපි යම් දවසක මේ උපේක්‍ෂාවන් අනිත්‍යයි කියලා දකින්න ඕනේ. ඒත් දැන්ම එයට කලබල විය යුතු නැහැ.

අපි අද මේ ධර්මය සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා, වසර දෙදහස් හයසියයක් ගිය තැනකදී. බුදුරජාණන්ගේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කොට ගන්න කියලා දේශනා කළේ නිකාය වශයෙන් බෙදිලා නොවේ. තව තව අනුනිකායන් හදල නොවේ. කණ්ඩායම් ගැහිලා කල්ලි ගැහිිලා නොවේ. මේ උතුම් ශාසනය ආරක්‍ෂාවෙමින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් අපේ ජීවිතවලට දරා ගැනීම තුළින්මයි. මේ යථාර්ථය අපි ජීවිතයට එකතු කොට ගතහොත් ධර්ම මාර්ගයේ මොන තරම් විකෘතීන් මතු වුණත්, අපිට වරදින්නේ නැහැ. මොන තරම් මිථ්‍ය ධර්මයන් සමාජගත වුණත් අපිට වරදින්නේ නැහැ. අපි වරද්දා ගන්නේ , බුදුරජාණන් වහන්සේ දේශනා කරපු, ධර්මයන් අසන්නේ නැතිව, අනුන් දේශනා කරන ධර්මයන් අසන්නට යෑම නිසාමයි. ලොව්තුරු බුදුරජාණන් වහන්සේ තමන් සමස්ත ලෝක ප‍්‍රජාවට ම කාරණ හතරක් පමණක්මයි, දේශනා කරන්නේ. පළමුවැනි කාරණය තමයි දුක, දෙවැනි කාරණය තමයි මෙන්න දුකට හේතුව තෘෂ්ණාව. තුන්වැනි කාරණය තමයි මෙන්න දුක නැති කිරීම. හතර වැනි කාරණය තමයි මෙන්න දුක නැති කිරීමේ මාර්ගය, පිංවතුනේ ඉහත කාරණා හතර පහළවීමයි. බුදුරජාණන්වහන්සේගේ පහළවීමේ අර්ථය.