වර්තමානයේ උපත ලබන මනුෂ්‍යයාගේ අකුසල් ස්‌වභාවය වැඩි නිසාමදෝ හිංසා කිරීමත් හිංසාවට ලක්‌වීමත් ජීවිතයේ කොටසක් බවට පත්වෙලා. මෙතනදී හිංසනය ලෙස ගැනෙන්නේ පහරදීම තුවාල සිදුකිරීම වැනි කායික හිංසනයන් පමණක් නොවේ. මානසිකව හිංසාවට පත්කිරීමත් ඔබට බලවත් අකුසල් පිණිස හේතුවෙනවා. රටේ පොදු ප්‍රවාහන සේවය උදාහරණයට ගන්න. එක දිනකට කොන්දොස්‌තර මහතා රියදුරු මහතා අතින් මොනතරම් මනුෂ්‍ය හිංසාවක් සිදුවෙනවාද? අධිකව මගීන් පැටවීම නිසා, අධික වේගය, හීන වේගය, මගීන්ට බැනවැදීම්…. ඇයි මෙහෙම වෙන්නේ? වැඩිපුර ආදායම් ලබන්න. හවසට පිංවත් බස් මුදලාලිව සතුටුකරන්න. තමනුත් වැඩිපුර කීයක් හරි තමාගේ පැවත්ම, දරුපැටවුනගේ පැවත්ම සඳහා ගෙදර අරගෙන යන්න. තමාගේ සතුට උදෙසා අනුන්ව පීඩනයට ලක්‌කරනවා. මේවා එකිනෙකට බැඳිල තිබෙන්නේ මාර බන්ධනයෙන්. බස් හිමිකරුට ඔබ ආදායම දුන්නොත් තමයි ඔබගේ රැකියාව ආරක්‍ෂා වෙන්නේ. හැම ක්‍ෂේත්‍රයකම ස්‌වභාවය ඔහොමයි. හිරගෙදරක්, පාසලක්, විශ්වවිද්‍යාලයක්, රෝහලක්, ආරක්‍ෂක අංශ, පරිපාලන අංශ, ගෘහසේවකයින්…
මේ හැම තැනකම ඉහත ස්‌වභාවය තියෙනවා. මේවා නිවරැදි කරන්න, අවම කරන්න පුළුවන් දේවල් නොවේ. මේවායේ වර්ධනයක්‌මයි දිනෙන් දින සිද්ධවෙන්නේ. මෙතැනදි පිංවත් ඔබ දකින්න ඕනේ, අයෙක් අකුසල් කර්ම විපාකයක් ගෙවන විට තව කෙනෙක් අකුසල් කර්ම සකස් කරගන්න ආකාරය. වර්තමානයේ හිංසනයට ලක්‌වෙන්නේ පෙර ජීවිත වලදී අන්‍යයන්ව හිංසනයට ලක්‌කළ පිරිස්‌මයි. එම නිසා ඔබ මේවා නිවරැදි කරන්න යන්න එපා. ඒවා නිශ්ඵල දේවල්. හිංසාව ගැන සඳහන් මේ සති කිහිපයේ පළවූ සටහන් මාලාවේ මුලදි සඳහන් කළා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සුභමානවකයාට දේශණා කරනවා සුභ යමෙක් මේ මනුෂ්‍ය ජීවිතයේදී රෝගීව ඉපදේනම්, නිරතුරුව රෝගවලට ගොදුරු වෙමින් ජීවත්වෙයිනම් ඊට හේතුව පෙර ජීවිතයේදී සත්ව හිංසාව සිදු කිරීමය කියලා. බලන්න වර්තමානයේ මනුෂ්‍යයෝ හැමෝම රෝගීන්. රෝහල් රෝගීන්ගෙන් පිරිල, වසංගත රෝග පැතිරෙනවා. මේ අපි දකින්නේ අප පෙර ජීවිතවලදී කරන ලද සත්ව හිංසාවේ ඵලයත් හේතුවත් තමයි . මනුෂ්‍යයා අතින් සත්ව හිංසාව වැඩිවෙන්න වැඩිවෙන්න අනාගත ලෝකයේ රෝග සහ රෝගීන් තව තව බහුල වෙනවා. මේවා ලෝක ධර්මයන්. වලක්‌වන්න බැහැ. දක්‍ෂයාට තිබෙන්නේ අවබෝධය තුළින් ලෝකයෙන් මිදීමට උත්සහ කිරීමයි.
පිංවත් ඔබ රෝගීභාවයන්ගෙන් තොර නිරෝගී ජීවිතයක් ගතකරන අයෙක් නම්, සංසාරික පුරුද්ද නිසාම ඔබ මේ ජීවිතයේදීත් සත්ව හිංසාවට අකමැති කෙනෙක්. ඔබ මනුෂ්‍යයෙකු තබා තිරිසන් සතෙකුටවත් හිංසා කිරීමට නොපෙළඹෙන කෙනෙක්. එහෙම අය ඕනේ තරම් සමාජයේ සිටිනවා. ජාති ආගම් බේදයකින් තොරව නිරෝගීභාවය නිසාම ඔබ ඒ ලබන කායික මානසික තෘප්තිය හේතු ඵලධර්මයන් සමග හොඳින් ගලපලා එම උතුම් ගුණයන් තව තව ශක්‌තිමත් කරගෙන අනුනට හිංසා නොකර ශීලයෙන් පරිපූර්ණ පිංවත් මනුෂ්‍යයෙක් වන්න ඔබත් නිරතුරුවම උත්සහවන්ත වන්න. ශීලයෙන් පරිපූර්ණභාවයට පත්වෙත්ම ඉහත ලෝකස්‌වභාවයන් හඳුනාගත හැකි සමාධියක් ඔබ තුළ ඇති වේවි. ඔබ කලබල විය යුතු නැහැ එම තැනට එන්නට. මන්ද ශීලයෙන් ඔබ පරිපූර්ණ වෙත්දී ඉන්ද්‍රිය සංවරය ඉබේම ඇතිවෙන නිසා ලෝකයාට නොදැනීම ඔබ ලෝකය ගැන සිතන්නට පටන් ගනිවී. ඔබ හිතනකොට ප්‍රවේසම් වෙන්න ඕනේ සමාජයේ පවතින දෘෂ්ඨියට යට නොවී මේවා ගැන හිතන්නට.
මේ වගේ ප්‍රශ්ණයක් තමයි සත්ව කරුණාවේ නාමයෙන් සමාජයේ තිබෙන මාංශ නිර්මාංශ ප්‍රශ්ණය. මේ ප්‍රශ්ණයේදී හේතුඵල ධර්මයන් නිවරැදිව ගලපා නොගත් පිංවතුන් තිරිසන් සතුනට කරුණාව දක්‌වමින් මනුෂ්‍යයා කෙරෙහි ව්‍යපාදය සකස්‌කර ගන්නවා. පිංවත් දායක පිරිස් විසින් සංඝයා උදෙසා කැප ආකාරයට දානයට මාංශයක් පූජා කළත් එය ප්‍රත්‍යවේක්‍ෂ කොට වළඳන ස්‌වාමීන් වහන්සේලාවත් සමහර පිංවතුන්ලා විවේචනයන් එල්ල කරනවා අපිට ඇහෙනවා. එම නිසා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කර වදාළ ධර්මයන්ට පටහැනි ආකාරයේ ක්‍රියාවන්ට පෙලඹෙන්න එපා. එහෙම උනොත් ඔබ ධර්මයේ නාමයෙන් අධර්මය ක්‍රියාත්මක කරන කෙනෙක් වෙන්න පුළුවන්. මෙය හරිම අභාග්‍යයක්. මේ පුංචි ජීවිත කාලයේදී ඔබ අප හැමෝම හිතන්න ඕනේ අපි දන්න දේ හුඟාක් අඩුබව. එවිට අපිට පුළුවන් ලෝකයේ සියල්ල අවබෝධයෙන් අභිබවාගිය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කළ ධර්මය නිහතමානීව නිවරැදිව ජීවිතයට ගලපා ගන්න. එහෙමනම් ඔබ තනිතනිවම සත්ව හිංසාවෙන් වැලකෙන්න. එවිට එහි ඵලය වන නිරෝගීබව අත්විඳින්නේ ඔබමය. ලෝකයේ ස්‌වභාවය අනිත්‍යයයි. අනිත්‍යයේ ස්‌වභාවය වේගයයි. මේ වේගයෙන් අනිත්‍යභාවයට පත්වෙන ලෝකය ඔබ අවබෝධකර ගැනීමට නම් ඔබ වේගයෙන් තොර විය යුතුයි. ඔබද වේගවත් වුවහොත් ලෝකය ඔබට සංකීර්ණ වෙයි. ඔබ මෙහෙම හිතන්නකෝ… වේගයෙන් ක්‍රියාත්මකවන යන්ත්‍රයක් ක්‍රියාත්මකවන ස්‌වභාවය ඔබට නිරීක්‍ෂණය කිරීමට අවශ්‍යනම් ඔබ නිසෝලමනේ එම යන්ත්‍රය දෙස බලාසිටිය යුතුය. එවිට ඔබට දැනගන්නට පුළුවන් යන්ත්‍රය ක්‍රියාත්මක වන ආකාරය. එහි තිබෙන දෝෂ. නමුත් ඔබ කලබල වුණොත් ඔබට එම කටයුත්ත කරගන්න පුළුවන් වෙන්නෙ නැහැ.
සමහරවිට ඔබගේ කලබලකාරී ස්‌වභාවය නිසා ඔබට අනතුරක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ලෝකය නැමති නාමරූප දෙක දෙස, මේවා අනිත්‍යභාවයට පත්වෙන වේගය දෙස, ඔබද විවේකීව බලාසිටින්න. ඔබ ඔබ දෙස බලා සිටිය ස්‌වභාවයෙන්ම අන්‍යයන් දෙසත් බලන්න. සතා සිව්පාවා දෙසත් බලන්න. සතරමහාධාතුවෙන් සැදුන රූපයත්, රූපය ඇසුරු කොට සකස් වෙන නාමධර්මයනුත් දකින්න. ඔබට වෙනසක් පෙනෙනවාද? ඔබය අනුන්ය, තිරිසන් සතාය කියලා තිබෙනවා පුංචි වෙනසක්. එම වෙනස තමයි ෙච්තනාව හේතුවෙන් සකස් වුණ විඤ්ඤාණයේ වෙනස. ඔබ තුළ සකස්‌වෙන එක සිතක් ධර්මානුකූලව ගලපාගැනීමට අදක්‍ෂවීම නිසාමයි මේ වෙනස සකස් වෙන්නේ. මෙන්න මේ පුංචි වෙනස තමයි සුගතිය, දුගතිය කියලා සත්වයාව වර්ග කරන්නේ. මේ වෙනස සකස් වෙන්න හේතුවුනේ ශිල්වත්භාවයත්, දුස්‌ශීලභාවයත් නිසාමය. මේ ධර්මතාවය නුවනින් තේරුම්ගෙන ශිල්පද ආරක්‍ෂා කරගන්න. සතර අපායෙන් මිදුන පිංවතෙක් බවට ඔබ පත්වීමට නම් ඒ අවශ්‍ය ධර්මතාවයන් සපුරාගන්න.
නිරෝගීබව අත්‍යඅවශ්‍ය දෙයක්. රෝගීවූවොත් කොහොමද මේ ජීවිතේදීවත් ශිල්පද ආරක්‍ෂා කර ගන්නේ. ඒ නිසා පිංවත් ඔබ අනුන් ගැන නොසිතා තමතමන් සතර අපායේ දුක දකිමින් සතර අපායෙන් මිදීම අරමුණු කරමින්, එතෙක් නිරෝගී ජීවිතයක් ලබමින් සැනසීම පිණිස සත්ව හිංසාවෙන් වලකින්න. සශ්‍රික සෞභාග්‍යවත් නිරෝගී මිනිසෙකු, දෙවියෙකු ලබන කායික මානසික සැපය අනිත්‍ය වූවද එම සැපය ශිල්පදයක් තුළ සැඟවී තිබූ දෙයක් බව සිහිකරමින් ශීලයෙන් පරිපූර්ණ වෙන්න. දුස්‌ශීලභාවය තුළ සැඟවුන දුගතියේ අඳුරු දුක විනිවිද ශීලයේ අලෝකය ලබන්න පිංවත් ඔබ දක්‍ෂ වෙන්න.