අන්තිම චුති සිත නිවැරදිව සකස් කරගැනීමට අප විසින් කල යුතු දේ.

ප්‍රශ්නය :-

කොයි තරම් පින් දහම් කළ පුද්ගලයෙකුගේ වුවත් අවසාන මොහොත වෙනස් කරන්න එම පුද්ගලයාගේ ඥාතීන් වන මියගිය භූතයන්ට හා ප්‍රේතයන්ට හැකියාවක් තියෙනවද ස්වාමීන් වහන්ස?

ස්වාමීන් වහන්සේගේ පිළිතුර :-

මෙහෙමයි නෝනා එහෙම නෑ කියලා කියන්න බෑ. සමහර පවුල් තියෙනවා ඒ පවුල්වල, ඉඩම්වල පාරම්රිපකව පැවත එන ප්‍රේතයෝ ඉන්නවා. සමහර විට ප්‍රේතයෝ හැට හැත්තෑව ඉන්න ප්‍රේත රැල් පවා තියෙනවා. එතින් ඒ ගොල්ලෝ පරම්පරාවෙන් පරම්පරාවට මේවා උපාදානය කරගෙන ඒ ගොල්ලෝ මැරෙනවා. ඉතින් එහෙම මැරිලා උපාදානය කරගෙන ඉද්දි අලුතින් ඉන්න දුවා පුතා අම්මා තාත්තා ඉන්නවනම් ඉඩමේ, ඒ ගොල්ලෝ මැරෙන වෙලාවට ඒ ගොල්ලන් ඉස්සරහා මේ ගොල්ලෝ ඇවිල්ලා පෙනී සිටින අවස්ථා තියෙනවා. මැරෙන කෙනා සීලයෙන් ශ්‍රද්ධාවෙන් දුර්වල නම් එයා ගැටෙන හිතෙන් තමා මැරෙන්නෙ. ඉතින් එහෙම වෙලාවට ගැටෙන සිතින් මැරෙන වෙලාවට අර ප්‍රේතයො අපි ඉස්සරහා ඇවිල්ලා පෙනී සිටිනවා. නමුත් ඒ ප්‍රේතයා පෙනි සිටින්නේ අපේ අම්මා නැත්නම් ආච්චී නැත්නම් සීයා වෙන්නත් පුලුවන්. එතකොට ප්‍රේත ලෝකේ ඉපදුනාට පස්සේ නෝනා මේ අපේ ස්වභාවයෙන්ම තමා එයා ඉපදෙන්නෙ. එතකොට දැන් අපි හිතමු දැන් අපි පදිංචි වෙලා ඉන්න ඉඩමේ කෙනෙක් මැරෙනවා කියල.

මැරෙන්න යනකොට එයාගේ සීයා එයාට පේනවා. සීයා ඇවිල්ලා ඝන කරලා පෙන්නනවා එයාගේ රූපය. දැන් මොකද මෙයා මානසිකව දුර්වල වෙලානේ තියෙන්නේ. එතකොට මගේ සීයේ කියලා උපාදානය කරගෙන එයත් එතනට බහිනවා. මොකද ප්‍රේත ලෝකේ ඉන්න කිසිම කෙනෙක් දුකක ඉන්නවා කියලා දකින්නේ නෑ. එයාට තේරේන්නේ නෑ එයා දුකක ඉන්නේ කියලා. එයා හිතන්නේ එතනයි සැප කියලා. එයා සැපයක් කොට ගෙන තමයි එතන උපාදානය කරගෙන ඉන්නෙ. ඉතින් එතන සැපයක් කොට උපාදානය කරගත්තට පස්සේ එයා ජීවත්ව ඉන්න අයත් එතනට ගන්න තමයි උත්සාහ ගන්නේ. එතන භයානක අනතුරක් අපි ඉදිරියේ තියෙනවා.ඒ නිසයි බුදුරජාණන් වහන්සේ හැමවෙලාවෙම දේශනා කරන්නේ ශ්‍රද්ධාවෙන් සීලයෙන් පරිපූර්ණ වෙලා ජීවත් වෙන්න කියලා. එතකොට මේ අමනුශ්‍ය කොටස් පරාජය කරන්න පුලුවන් එකම හේතුවයි තියෙන්නේ. ඒ ශ්‍රද්ධාවයි සීලයයි තුළින් විතරයි, මේ දෙක රැකගත්තොත් විතරයි අපිට මැරෙන වෙලාවේ චංචල නොවුනු හිතකින් මැරෙන්න පුලුවන්. මොකද මැරෙනවා කියන කාරණය අපි හිනාවෙනවා වගේ ලේසි නෑ. මැරෙනවා කියලා ඕනෑම කෙනෙකුට දැනෙනවා. නොදැනී මැරෙන්නේ නෑ කිසිම කෙනෙකු. එහෙම මැරෙන්න නම් තද නින්දෙදි ඇර අනෙක් සෑම වෙලාවකදීම තමන් මැරෙනවා කියලා තේරෙනවා.

ඒ ආකාරයට මැරෙන මොහොතේ එයා සීලයෙන් හා ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ වෙලා හිටියේ නැත්නම් එයා මැරෙනනේ ගැටෙන හිතකින්. එ වෙලාවාට ඒ පුද්ගලයෙකුගේ සිතේ සිතුවිලි දහස් ගනන් ඇති වෙවි නැති වෙවී යනාවා. හිත චංචලයි. එයාට මරණ බිය සකස් වෙනවා. ඒ ආකරයට සිතුවිලි දහස් ගණනන් ඇති වෙමින් නැති වෙන අතරේ අන්තිම චුති සිතට අනුව එයා ප්‍රතිසන්ධිය ලබනවා. එවන් අවස්ථාවලදී අර අමනුශ්‍ය කොටස් ඇවිල්ලා පෙනී සිටින්න පුලුවන්. ඒ ගමන්ම අපි එයාව උපාදානය කරගන්නවා. ඒ හින්දා අපි ආයේත් ඒ ප්‍රේතයන් අතරට ගොස් ජීවත් වෙනවා. ඒකෙන් වැළකෙන්නනම් අපි සීලයෙන් හා ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ වෙන්න ඕනේ. ඒ දෙකට විතරයි අපිව මේ අනතුරෙන් බේරගන්න පුලුවන්.

තෙරුවන් සරණයි !
සුවපත් වේවා!