‘මම’ කියන සංඥාව ගලවා ඉවත් කරන්න..

සම්මා සම්බුද්ධ ශාසනයේ දීර්ඝායුෂ උදෙසා භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසගේ චතුරාර්ය සත්‍ය දැක්ම, විවේකීභාවයෙන් යුතුව වර්ධනය කොටගැනීම උදෙසා, බුදුරජාණන් වහන්සේ පැනවූ තවත් සුන්දර වස්සානයක් උදාවෙලා. භික්ෂුව වැඩ සිටින දුර බැහැර ගම්මානයේ වස්සානය අර්ථවත් කරන වැස්ස ආගිය අතක් නැති වුවත්, භික්ෂුව වැඩ සිටින කුටියේ, පොල් අතු වහලයේ පොල් අතු, ඉහළට එසවී යන තරමට තද සුළඟක් මේ දිනවල පවතිනවා.

වැස්සක් නැති වස්සානයේ හමා යන තද සුළඟ, සුන්දර ධර්මයක් බවටයි, භික්ෂුව පත්කොට ගන්නේ. පරිසරයේ ආපෝ ධාතුව දුර්වල වෙලා, වායෝ ධාතුවේ ශක්තිය වැඩිවෙලා, සතර මහා ධාතුවේ වෙනස්වීම, සුන්දර කායානුපස්සනාවට අයත් කමටහනක්, පරිසරය අපට කියලා දෙනවා.

මේ දවස්වල භික්ෂුවගේ ශරීරයෙන් තේජෝ ධාතුවේ සහ වායෝ ධාතුවේ ක‍්‍රියාකාරිත්වය වැඩි වෙලා, ඒ නිසාම උදරයේ ගෑස්ටි‍්‍රක් ගතිය වැඩියි. භික්ෂුව එම රෝගීත්වයට මේ දවස්වල වැඩිපුරම දෙන්නේ ධර්මානුකූල බෙහෙතක්. ඒ බෙහෙත තමයි, වැඩිපුර ජලය පානයකොට ශරීරයේ ආපෝ ධාතුවේ ශක්තිය වැඩිකොට, තේජෝ ධාතුවේ සහ වායෝ ධාතුවේ ශක්තිය දුර්වල කිරීම. එහෙත් සතර මහා ධාතුව හරිම අකීකරුයි. අතීත සංස්කාරයන්ට අදාළව වේගයෙන් ප‍්‍රතික‍්‍රියා දක්වනවා. වේදනා, කැක්කුම් ආදියෙන් සතර මහා ධාතුව භික්ෂුවගේ පාලනයෙන් බැහැරට යනකොට, භික්ෂුව ප‍්‍රයෝජනයට ගන්නා වටිනා, මිල අධික බෙහෙතක් තිබෙනවා. හැමෝටම එම බෙහෙත සොයාගන්න නැහැ. මෙය සටහන් තබන භික්ෂුව, ධනවත් පිරිස් ඇසුරු කරන නිසා, එම වටිනා බෙහෙත භික්ෂුව ළඟ තිබෙනවා.

පිංවත් ඔබ මනසින් කලබල වෙන්න එපා, භික්ෂුව ඉහත ධනවත් පිරිස ඇසුරු කරනවාය කියලා කිව්වේ, ආර්ය ප‍්‍රඥාවත්, ආර්ය ඥානදර්ශනයන්ගෙන්, ආර්ය විමුක්තියෙන් ධනවත් පිරිසයි. එම පිරිසට තමයි කල්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේත්, උතුම් ආර්ය මහා සංඝරත්නයේත්, කල්‍යාණමිත‍්‍ර ධනවත් ඇසුර තුළින්මයි, භික්ෂුව එම විදර්ශනාත්මක බෙහෙත ජීවිතයට එකතුකොට ගන්නේ.

එම මිල අධික, දුර්ලභ විදර්ශනාත්මක බෙහෙත තමයි, ශරීරයේ වේදනා, කැක්කුම් දැනෙනකොට, ශරීරයෙන් ”මම” කියන සංඥාව ගලවා ඉවත්කොට දමනවා. එවිට ඉතිරි වෙන්නේ හිස් සතර මහා ධාතුවක් පමණක්මයි. එම හිස් සතර මහා ධාතුව මස් ගොඩක්, දියර ගොඩක්, වාතය ගොඩක්, ඌෂ්ණ ගොඩක් හැටියට දකිමින් සිටිනවා.

”මම” මම අයිති අවිද්‍යාවටම භාරදීලා, චතුරාර්ය සත්‍යය නොදැනීම නිසාම උපන්, හිස් පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතරමහා ධාතුව ලේ, මස්, වාතය, ඌෂ්ණය හැටියට ඇත්ත ඇති සැටියෙන් දකිනකොට, අපි අවිද්‍යාවට අභියෝග කරමිනුයි සිටින්නේ. යම් පිංවතෙක් අවිද්‍යාවට විදර්ශනාවෙන් අභියෝග කරනකොට සංස්කාර නමැති මාර සේනාවට, භව යුද්ධය සඳහා අවි ඔසවන්න බැහැ. අපි අවිද්‍යාවට අභියෝග කරද්දී තෘෂ්ණාවෙන්ම උපදින උපාදානයන් සැඟවී යන්නේ හිරු දුටු පිනි වගේමයි.

දැන් වේලාව උදෑසන නවයට පමණ ඇති. වටපිටාවේ තණ පත් මත උදෑසන දිලිසෙමින් තිබූ පිනිකැට සියල්ලම හිරු එළිය විසින් අතුරුදන් කොට දමලා, පරිසරයේ තේජෝ ධාතුව ශක්තිමත් වෙනකොට, ආපෝ ධාතුව දුර්වල වෙලා යනවා. පරිසරයේ වෙනස් වීම් තුළින් අපි දකින්නේ සැබෑම ධර්මයක්. භික්ෂුව මෙහෙම සටහන් තබන කොට අතලොස්සක් ගෞරවණීය පිංවතුන් භික්ෂුවට චෝදනා කරනවා, පරිසරය කොහොමද ධර්මයක් වෙන්නේ කියලා. පරිසරය ධර්මයක්ම වෙන්නේ, පරිසරයේ සෑම දෙයක්ම සතර මහා ධාතුවෙන් හැදී තිබෙන නිසා, පරිසරයේ සෑම ක‍්‍රියාකාරීත්වයක් සඳහාම, සියලූම සත්ව ප‍්‍රජාවගේ කුසල් සහ අකුසල් ක‍්‍රියාකාරකම් හේතුවෙන නිසාමයි. කවදාහරි දවසක ඉරවල් හතක් පායා, මේ මුළු පෘථිවි තලයම දැවී අළු වී යන්නේ සමස්ත සත්ව ප‍්‍රජාවගේ අකුසල් සංස්කාරයන් නිසා වගේම, යම් දිනයක ලෝකය නැවත, සියලූම රස ඕජාවන් සමඟ ගොඩනැගෙන්නේද, සත්ව ප‍්‍රජාවගේ කුසල් සංස්කාර හේතුවෙන්මය.

යම් පිංවතෙක් භික්ෂුවට චෝදනා කරන කොට, භික්ෂුව එම චෝදනාවන් දකින්නෙත් ධර්මයක් හැටියටමයි. එම ධර්මය තමයි අවිද්‍යාව හේතුවෙන් සකස්කොටගත් අතීත සංස්කාර, ජීවිතය හරිම සරලයි, ජීවිතය හරිම නිදහස්, ජීවිතය තුළින් ”මම” බැහැර කොට ජීවිතය පටිච්චසමුප්පාද ධර්මයන් තුළ විසිරුවා දකිනකොට. එවිට ධර්මයේ සුන්දර ස්වක්ඛාත ගුණය ජීවිතය දොරකඩම තිබෙනවා.

සුළඟ නම් හරිම සැරයි. නීතියට අවනත නොවන පාතාල නායකයෙක් වගේ, වටාපිටාවේ සියල්ලම සුළඟ විසින් ග‍්‍රහණයට අරගෙන. වෙල්යායේ පැසීගෙන එනගොයම සිපගෙන හමා එන, සිසිල් සුළං රැලි භික්ෂුව, මෙම සටහන ලියන කඩදාසි කොළයත්, සුළෙඟ් අරගෙන යන්න හදනවා. කඩදාසි කොළයත් හරිම ආසයි ඇයත් සමඟ යන්න, ඒ නිසාම භික්ෂුව ඇඟිල්ලේ ග‍්‍රහණය තද කොටගෙනයි මේ සටහන ලියන්නේ. සුළෙඟ් සිසිල් ස්පර්ශයට කඩදාසි කොළයත් වශීවෙලා. අජීවී කඩදාසි කොළයත් ස්පර්ශය ඉදිරියේ හැසිරෙන්නේ එසේ නම්, සජීවී අපි ස්පර්ශය ඉදිරියේ කෙසේ නම් හැසිරෙයිද.

පසුගිය දිනයක භික්ෂුවගේ දෑස්වල ඇති වූ ආබාධයකට ප‍්‍රතිකාර ගන්න භික්ෂුව රජයේ රෝහලකට වැඩියා. අදාළ දොස්තර මහත්වරු ඉතාමත් ගෞරවයෙන්, අවශ්‍ය ප‍්‍රතිකාර සහ ඖෂධ ලබා දුන්නා. නමුත් භික්ෂුව අසුන්ගෙන සිටි කුඩා කාමරයට පැමිණි තවත් පිංවත් දොස්තර මහත්මයෙක්, භික්ෂුව දෙස බැලූවේ බොහොම නොරිස්සුම් සහගත ස්වභාවයකින්. භික්ෂුව එම පිංවත් දොස්තර මහතා සමඟ දෙපාරක්ම සිනාසුණා, ඒත් දොස්තර මහත්මයා මුහුණ නරක් කරගෙනමයි සිටියේ. එවිට භික්ෂුව සිතුවා, මේ නම් භික්ෂුවගේ සාංසාරික තරහකරුවෙක්ය කියලා. පසුව භික්ෂුවට දැනගන්නට ලැබුණා, එම පිංවත් දොස්තර මහත්මයා අන්‍ය ආගමික මහත්මයෙක්ය කියලා.

අපේ ශාස්තෘන් වහන්සේ නම් අපි සැම දෙනාටම උගන්වලා තිබෙන්නේ, සියලූ සත්වයන් කෙරෙහිම, මෛත‍්‍රිය, කරුණාව දක්වන්න කියලා. ඒත් දැන් දැන් තිරිහන්වෙන අන්තවාදී ආගම් ඉගැන්වීම්වල සංඝරත්නය යක්ෂයා හැටියට දකින්නත් උගන්වනවා. මෙවැනි අන්තවාදී මතවාද, තම තමන්ගේ ආගම්වල සැබෑම ගෞරවණීය නායකතුමන්ලාටද කරන්නාවූ අගෞරවයන්ම වෙන්න පුළුවන්. අන්තවාදීව සිතන්නට පුරුදු වූ ඒ අසරණ, අහිංසක මුහුණුවල කෙසේ නම් අපි බලාපොරොත්තු වෙන සිනාවක්, කරුණාවක් දකින්න ද..?

මෙවැනි සිද්ධීන් තුළින් අපි දකින්න ඕනේ, සමාජයේ ජීවත්වෙන පිංවත් මනුෂ්‍යයින්ගේ ඉන්ද්‍රීය ධර්මයන්ගේ දියුණු සහ නොදියුණුභාවයයි, ඒ වගේම හිස්භාවයයි. අපේ ගුණාත්මකභාවයන්ට ඇලෙන්නට හෝ අන් අයගේ හැසිරීම්වලට ගැටෙන්නට දෙයක් මෙතැන නැහැ. සියලූ සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. අපිව භව ගමනේ සම්මා දිට්ඨිය සහ මිථ්‍යා දෘෂ්ටිය අතර දෝලනය කරලා පිංවත් ඔබ වහ වහා අප‍්‍රමාදීවෙන්න. පිංවත් ඔබ චතුරාර්යසත්‍ය ධර්මයෙන් ප‍්‍රමාදවෙන්න එපා. තෘෂ්ණාවේ අරටු විදර්ශනාවේ පොරවෙන් කපන්න බැරි තරමට, මෝරන්නට දෙන්න එපා. පංච උපාදානස්කන්ධ ලෝකය හරිම විෂමයි, නරකයි, අනතුරුදායකයි. මධ්‍යම ප‍්‍රතිපදාව ලෝකයෙන් ගිලිහී, අන්තවාදය ජීවිත තුළ අරටු බහින්නේ ජීවිතවලට වැටෙන තෘෂ්ණාවේ පොහොර වැඩි නිසාමයි. මේ යන ගමනේ දී මොනම පාර්ශ්වයකටවත් දිනුමක් නම් ලැබෙන්නේ නැහැ, පරාජයක්ම මිසක්.

පිංවත් ඔබ, ඔබ ගැන සිතීමට පෙර, පිංවත් ඔබ, අනුන් ගැන සිතීමට පෙර, ඔබ ඔබේ ලෝකය තුළ සම්මා සමාධිමත් සිතක් ඇතිකොටගන්න. සම්මා සමාධියෙන් තොරව, අපි සොයනා සෑම විසඳුමක්ම, අපිව මිච්ඡුා විමුක්තියක් දෙසටමයි යොමු කරන්නේ.

භික්ෂුව මෙම වැසි සමය ගත කිරීමට අදාළ ප‍්‍රදේශයට වැඩියේ දුම්රියෙන්, පිංවත් මහත්මයෙක් දෙවැනි පන්තියේ ප‍්‍රවේශපත‍්‍රයක් භික්ෂුවට පූජා කළා. භික්ෂුව ගමන්ගත් දුම්රිය මැදිරියේ අන්‍යාගමික ස්ත‍්‍රී පුරුෂ පිංවතුන් දහදෙනෙකුට වැඩිය සිටියා. ඒ කිසිම පිංවතෙක් ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳගෙන සිටියේ නැහැ. එම පිංවතුන් දුම්රිය මැදිරියේ එහා මෙහා ඇවිද්දා. නමුත් එම දුම්රිය මැදිරියේම වැඩ සිටිය භික්ෂුවත්, අනෙක් සියලූම සිංහල පිංවතුන්ලාත් ආරක්ෂිත මුඛ ආවරණ පැළඳගෙනයි සිටියේ.

භික්ෂුව මුහුණු ආවරණය පැළඳගෙන සිටියේ කොරෝනා රෝගය හැදෙයි කියලා බියකට නොවේ, රජය පැනවූ නීතියකට ගරු කිරීමට. මහා බ‍්‍රහ්මයාටත්, ශක‍්‍ර දෙවියන්ටත්, සක්විති රජුන්ටත් වඩා ශ්‍රේෂ්ඨ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පමණක්මයි, තම ශ‍්‍රාවකයින්ට, විනය කාරණාවක් තුළින්ම අවවාදකොට තිබෙන්නේ, රජය පනවන නීතිවලට ගරු කරන්නය කියලා. එම නීති ඉක්මවා යන්න එපාය කියලා. නමුත් තවත් සමහර ආගම්වල ඉගැන්වීම්වල රාජ්‍ය නීතිය ඉක්මවා ගොස්, තම ආගමික ඉගැන්වීම්වලට අදාළව කටයුතු කරන්නට කියලා උගන්වා තිබෙනවා නම්, මෙවැනි ඉගැන්වීම් ජාතික, ආගමික සමගියට නම් හේතුවෙන්නේ නැහැ. සමාජය තුළ වෛරයට, ද්වේශයටමයි හේතු වෙන්නේ.

සමහරක් අන්‍ය ආගමික පිංවතුන්ලා, තම ආගම් මාන්නයෙන් යුතුව, සිදුකරන මෙවැනි හැසිරීම් දකිද්දී, භික්ෂුවට සිහිපත් වුණේ, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පැනවූ උතුම් ධර්ම විනයේ, ශීලාචාරභාවයයි, අර්ථවත්භාවයයි. බුදුරජාණන් වහන්සේ සතු වූ දුරදක්නා නුවණ, අහිංසක මනුෂ්‍ය ප‍්‍රජාවගේ සක්කායදිට්ඨිය, ආගම් මාන්නය දුරු කිරීමේ උත්තරීතර දැක්ම කෙරෙහි විදර්ශනාත්මක ගෞරවයමයි. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ අපට පනවන්නේ රාජ්‍ය නීතියට ගරු කරන්නය කියලා.

එකම ගෞරවණීය රටක, ජීවත්වෙන අපි දක්ෂ විය යුතුයි, තම තමන්ගේ ආගම්වල කුමන ඉගැන්වීම් තිබුණත්, ජාතික සමගිය උදෙසා, සියලූ ජනතාවගේ ආත්ම ගරුත්වය උදෙසා, රජය පනවා තිබෙන නීති රීතිවලට ගරු කරන්න. එසේ නොවුණොත්, ජාතීන් අතර අසමගිය ඇති කිරීමට ආගමික ඉගැන්වීම් හේතු වෙනවා නේද කියලා කාරුණිකව සිතා බලන්න දක්ෂ විය යුතුයි.

බුදු දහමේ ඉගැන්වීම්වලට අදාළ, එම අන්‍ය ආගමික පිංවතුන්ලා, දුම්රියේ ගමන් ගත් කාලය තුළ සංඝායාටත් අගෞරවයක් වෙන ආකාරයට, ආගම් මාන්නයෙන් යුතුව හැසිරීමෙන්, රැස් කොටගත් අකුසල් කන්ද නම් සුළුපටු නොවේ, මෙවැනි බලවත් අකුසල් සමාජයේ සිදුවීමේ ප‍්‍රවණතාවය අතිශය වැඩි නිසාමයි භික්ෂුව නැවත, නැවත සටහන් තබන්නේ. පිංවතුන්ලා මොන අනාගත සිහින මාලිගා සිතෙන් ගොඩනඟාගෙන සිටියත්, අකුසලය විසින් ලෝකයට නිදහසේ, සැනසිල්ලේ බලාපොරොත්තු සහගතව, ඉදිරියට යන්න දෙන්නේ නැහැය කියලා.

සංස්කාර මාරයා ලෝකය වර්තමානයේ ගොඩනගන්නේ කෙනෙක් අනුවණින් අකුසල් සිදු කොට ගනිද්දී, ආගමේ නාමයෙන් අකුසල් සිදු කොට ගනිද්දී, තවත් නිවැරදි කෙනෙක් එම අකුසල් කෙරෙහි ගැටිලා, සියලූම පාර්ශ්වයන් අකුසලයටම කොටු කිරීමටයි. පිංවත් ඔබ ප‍්‍රවේශම්වන්න, අකුසල් සංස්කාර මාරයා උපක‍්‍රමශීලියි. මධ්‍යස්ථ ධර්මයන්ට අභියෝග වෙන ආකාරයට අන්තවාදී ධර්මයන් සමාජගත වෙන්නේ, අකුසල් සංස්කාර මාරයාගේම බලවත්භාවයන් නිසාමයි.

පිංවත් ඔබ මේ අනතුරුදායක නිමේෂයේදී දශ කුසල් ධර්මයන් තුළින්මයි, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අර්ථයන් තුළින්මයි, යම් හෝ ජයග‍්‍රහණයක් බලාපොරොත්තු විය යුත්තේ. ඒත් ඉතිං ජයග‍්‍රහණය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක්. ඒ නිසාම ධර්ම මාර්ගයේ යම් විවේකී තැනක නැවතී සිටීමෙන් නම් ගැලවීමක් නැහැ. මේ වියරු පංචඋපාදානස්කන්ධ ලෝකයෙන් මිදී යෑමමයි සියලූ දුකෙන් නිවුනා වෙන්නේ….!!!

පූජ්‍ය රාජගිරියේ අරියඥාණ හිමි.
පළකරන ලද්දේ :- දිවයින ඉරිදා සංග්‍රහය
(13/09/2020)

ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න…