අද උදේ පිණ්‌ඩපාතයේ වඩිනකොට හොඳටම වැහිරීගිය ශරීරයකින් යුත් එළදෙනක් මහ පාරට යාබදව ඇති වැව් පිටියේ බිම වැටී දඟලනවා. ඒ එළදෙනගේ අත් පා ගැහෙනවා. පෙබරවාරියේ කර්කශ ඉඩෝරයේ කටුකභාවය, වැහැරීගිය එළදෙනගේ ශරීරයේ ස්‌වභාවයෙන් ඉතා අර්ථවත්ව මතුකොට දෙනවා. සත්වයාගේ අකුසල් මෝදුකොට, විපාකයන් සලස්‌වන්න, මේ කටුක වියලි පරිසරය බොහෝම සමීපභාවයෙන් උපකාර කරනවා. තවම පෙරවරු 8.00 ට වත් නැහැ. හිරුගේ තද හිරුරැස්, කාටත් සමසේ විපාකයන් විඳීමට සලස්‌වනවා. භික්‍ෂුව පිණ්‌ඩපාතයේ වැඩමකොට, නැවත කුටියට වඩිනකොට එම එළදෙනගේ අයිතිකරු එළදෙනව සොයාගෙන ඇවිත්. එළදෙනගේ වැහැරුණු ස්‌වභාවය සමග බලනකොට එළදෙනගේ අයිතිකරු බොහොම පෘෂ්ඨිමත් කෙනෙක්. ඔහු බිම වැටී දඟලන එලදෙන ළඟට ඇවිත් බිම වැටී දඟළන එළදෙනගේ වලිගයෙන් අල්ලලා වේගයෙන් කැරකෙව්වා. එම පෘෂ්ඨිමත් මනුෂ්‍යයාගේ ශරීර ශක්‌තිය නිසා, භික්‍ෂුව හිතුවේ ඒ වැඩෙන් එළදෙනගේ වලිගය කැඩේවී කියලා. ඒත් එහෙම වුනේ නැහැ. එළදෙනගේ අකුසල් වගේම වලිගයත් ශක්‌තිමත්. වලිගය වේගයෙන් ඇඹරීම නිසා ඇතිවූ වේදනාවෙන් එළදෙන දෙතුන්වරක් මහ පොළොව මත කැරකී නැගිට ගැහි ගැහී දිවගියා. ඇය දිවගොස් බොහෝම උවමනාවෙන් තම ස්‌වාමියා දෙස බලා සිටියා. ‘අනේ ඔබත් කවදාහරි එළදෙනක් වෙලා මේ විදිහට මේ දුකම විඳිනවා නේද?’ කියන අයුරේ අදහසක් එළදෙනගේ බැල්ම තුළින් භික්‍ෂුව දැක්‌කේ. නමුත් එළදෙනගේ අයිතිකරු තුළින් භික්‍ෂුව දැක්‌කේ එවැනි බැල්මක් නොවේ. ඊළඟ මාසයේ මස් කඩයට හරක් පටවන ලොරිය එනතෙක්, එළදෙන මැරෙන්නට නම් එපාය කියන අදහසකුයි ඔහුගේ බැල්මෙන් ජනිත වුනේ.
මල් ගැන කථා කරනකොට සුවඳ ඊට බැඳිලයි තිබෙන්නේ. ඒ වගේමයි, ජීවිත ගැන කථා කරන කොට දුක ඊට බැඳිලාම තිබෙනවා.
මේ ජීවිතයේදී මේ දෙදෙනා එළදෙන සහ එළදෙනගේ හිමිකරු වශයෙන් හමුවුණත් සංසාරයේ කී වතාවක් නම් මේ එළදෙන, එළදෙනගේ වත්මන් හිමිකරුගේ අම්මා වශයෙන් ඉපදිලා ඇතිද. අවිද්‍යාව විසින් පෙර සංසාරේ තමන්ගේ අම්මාව මේ ආත්මයේදී මසට විකුණගෙන කන තැනට අපිව පත්කොට තිබෙනවා.
දැඩි නියඟය මැද්දේ, කුසට අහරක් ජලයක් නොමැතිව, වැහැරීගිය ශරීරයකින් යුත් මේ එළදෙන දකිනකොට, භික්‍ෂුවට මතකයට එන්නේ, පෙර ජීවිතයක හොඳට හම්බකරලා, හොඳ රසවත් ආහාර තනිවම භුක්‌තිවිඳලා, හොඳින් දරු මුණුබුරන් හදලා, සුඛෝපභෝගී ජීවිතයක් ගතකරලා, දැඩි ලෝභකම නිසාම දන්දීම සිදුනොකර මියගිය කාන්තාවක්‌මයි. දන් නොදීම නිසා ආයුෂ, වර්ණය, සැපය, බලය හොඳටම දුර්වල කරලා. ශීලයක් රැක්‌කේ නැති නිසාම තිරිසන් ජීවිතයට වැටිලා.