චේතනාවයි කර්මයට මුල්වෙන්නේ. අතීත අකුසල් කර්මය, වර්තමාන කුසල් කර්මයෙන් යටපත් කළාය කියනා චේතනාව ඇතිකරගැනීමට ඔබ දක්‍ෂ වෙන්න කියලා. එම නිසා අතීත අකුසල්, වර්තමාන කුසල් ධර්මයන්ගෙන් යටපත්කොට නැගී සිටීමට ඔබ දක්‍ෂ විය යුතුයි. සෑම විටම චේතනාවේ හැඩරුව අනුවයි විඤ්ඤාණය සකස්‌වෙන්නේ කියන කාරණය පැහැදිලි කරදෙන්නයි ඉහත කාරණය සඳහන් කළේ.
සමහර පිංවතුන් සිටිනවා අතීතයේ තමන් අතින් සිදුවූ වැරදි ගැන පසුතැවෙන අය. අතීතයේ කළ වැරදි ගැන පසුතැවීමෙන් තව තවත් අකුසල්මයි සිදුවන්නේ. එනිසා ඔබ දක්‍ෂවෙන්න, හැකිතාක් කුසල් සිදුකරමින් අතීත අකුසල් යටපත්කොට දමන්න. මෙතැනදී ආනන්තරීය පාපකර්ම ඇතුළුව යටපත් කිරීමට නොහැකි අකුසල් තිබෙනවා. ඔබ අතින් සිදුවූ කුමන අකුසල් කර්ම තිබුණද, දැනුවත්ව හෝ අනවබෝධය නිසා ඇති වූ වරදවල් තිබුණද, වෙච්ච දේ ගැන, අතීතයට ගිය දේ ගැන පසුතැවිලි නොවී වර්තමානයේ නිවැරදිව ජීවත්වෙන්න දක්‍ෂවෙන්න.
භාවනා කිරීමට යොමුවන පිංවතුන් අතීතයේ සිදුවූ සිදුවීම්, ක්‍රියාකාරකම් නිරතුරුවම මතකයට ගලාඒමෙන් සිත විසිරෙනවා. පිංවත් ඔබ ශීලයෙන් ශක්‌තිමත් නම්, ඒ කියන්නේ ඔබ තුළ ඉන්ද්‍රිය සංවරය තිබෙනවා. හිරි ඔතප් දෙක තිබෙනවා. මෙතැනදි ‘හිරි ඔතප්’ කියන්නේ ඔබ සතර අපායට වැටෙන්නට තිබෙන ලැඡ්ජා බය දෙක. භාවනාවක් සාර්ථක කරගැනීමට ඉහත කාරණය අත්‍යවශ්‍ය වෙනවා. මෙතැනින් තමයි සංසාර බය සකස්‌කර දෙන්නේ, භවයෙන් ගැලවිලා යන්නට. සතර අපායේ නැවත උපතක් ලැබුවොත්, එය මොනතරම් දුකක්‌ද, ලැ-ජාවක්‌ද, කුමන ගැලවීමක්‌ද?
මේ දුක ගැන නුවණින් මෙනෙහි කරමින් අසංවර ඔබේ සිත භාවනාවට පෙර නිශ්චල කරගන්න. අතීතයේ ඔබ හරකෙක්, ඌරෙක් ලෙස ඉපදිලා, අනුන් ඔබව මරාගෙන කෑ හැටි, ප්‍රේතයින් හැටියට උපත ලබලා, නිර්වස්‌ත්‍රව, කුසට අහරක් නැතිව, ශරීරය කුණුවෙලා, වනවෙලා…. , ඉඩකඩම්වලට තෘෂ්ණාවෙන් බැඳිලා, මරණින් මතු එම ඉඩමේම ගල් ප්‍රේතයින්, බහිරවයින්, භූත ගෙම්බන් ලෙස ඔබත් මමත් ගත කළ ජීවිත ගැන මෙනෙහි කරන්න. නිරයට වැටී, ගින්දර, ලෝදිය, ගිනි අඟුරු මතින් ඔබව දැවුණු පිච්චුණු හැටි මෙනෙහි කරන්න. මේවා ගැන ඔබ ලැඡ්ජාවෙන්න එපා. එහෙම ලැජ්ජාවක් ඔබට සකස්‌වුණහොත් එයට කියන වචනය, ලැජ්ජාව නොව ‘සක්‌කාය දිට්‌ටිය ‘ බව හොඳින් නුවණින් දකින්න. යමෙක් තුළ සක්‌කාය දිට්‌ටිය සකස්‌වෙනවා නම් ඔහු හෝ ඇය, තවම මාරයාගේ අත්සන් සහිත සතර අපායේ බදු ගිවිසුම අහවර නොකළ කෙනෙක් බව සිතන්න. සතර අපායේ අයිතිය පිළිබඳ බදු ගිවිසුම පස් අවුරුදු හෝ අනූනව අවුරුදු බදු ගිවිසුම් නොව, කල්ප ගණන් දීර්ඝ කාලයක් සඳහා ලියන බදු ගිවිසුම්ය. එහි ‘බදුදෙන්නා’ වශයෙන් මාරයාත්, ‘බදුගන්නා’ වශයෙන් ඔබත් අත්සන් කොට ඇත. මෙය තවත් නිරවුල් වශයෙන් කියනවා නම්, මාරයා වශයෙන් ඔබ තුළ ඇති ජන්ද රාගයත්, එම ජන්ද රාගය නිසා ඔබ තුළ ඇතිවන සක්‌කාය දිට්‌ටිය බදුකරු වශයෙනුත් දැක්‌විය හැකිය.
සතර අපායේ සත්ත්වයා විඳින දුක ගැන අවබෝධයකින් තොරව, සතර අපායෙන් මිදීම යනු ප්‍රශ්නාර්ථයකි. තිරිසන්, ප්‍රේත, නිරය, අසුර ලෝකයේ දුක් විඳින සෑම සත්වයෙක්‌ම, පෙර ජීවිතයකදී ඔබත් මමත් වැනි මනුෂ්‍යයෙක්‌ම බව සිහිපත් කරගන්න. ඔබ තිරිසන් සතෙක් දුටුවහොත් එම තිරිසන් සතාගේ රූපය තුළින් දුසිල්වත් මනුෂ්‍යයෙකුගේ රූපයක් සිතින් මවාගන්න දක්‍ෂවෙන්න. ඔබ ප්‍රේතයකුගේ රූපයක් දුටුවහොත්, මසුරුබවින් යුත් මිනිසකුගේ රූපයක් එම රූපය තුළින් මතුකරගැනීමට දක්‍ෂවෙන්න.
~අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ~