ලෝකය විනිවිද දැකිය හැකි සමාධිමත් සිත.

අද කළුවර පොහොය දවස, ගිම්හාන සෘතුවේ පණ්ණරසි පොහොය. මේ සඳ නැති කලුවර රාත‍්‍රියේ, භික්ෂුව කුටියේ සිට තනිවම අධිෂ්ඨාන පොහොය සිදුකරලා, පිරිසිදු භික්ෂු ජීවිතයක හෘදසාක්ෂියෙන් උපන්, විදර්ශනාමය ප‍්‍රීතිය සහ ඵස්සද්ධිය තුළ සිටිමිනුයි, පිංවත් ඔබට මේ සටහන තබන්නේ. සඳ නැති කළුවර රාත‍්‍රිය, මුළු කැලෑ පරිසරයම ඝණ අන්ධකාරයෙන් ගිලගත්තත්, ඒ ඝන අඳුරේ භික්ෂුවගේ සිත, සප්තබොජ්ඣංගයන්ගෙන් ආලෝකමත්වයි තිබෙන්නේ.
අද දවසේ පන්සල් සහ ආරණ්‍ය කුටිවල උපසම්පදා ස්වාමීන් වහන්සේලා මොනතරම් නම්, තම තමන්ගේ උතුම් ශීලයන් තව තවත් ශක්තිමත්කොට ගන්නට ඇත්ද. අද දිනයේ උපසම්පදා ස්වාමීන් වහන්සේලා තුළින් ශක්තිමත් වුණා වූ ශීලයේ අර්ථයන්, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට, තව තවත් දීර්ඝායුෂ ලබා දෙන්නට ඇතිද. උතුම් උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ ප‍්‍රාතිමෝක්ෂ ශීලයේ ශක්තියයි, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට ආයුෂය, වර්ණය, සැපය, බලය ලබලා දෙන්නේ. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට තව තවත් ආයුෂය, වර්ණය, සැපය, බලය, ලබාදෙන්න නම් උපසම්පදා භික්ෂූන් වහන්සේලා වන අපි, අපේ ශීලයේ අර්ථයන් තව තවත් සම්මා දිට්ඨියෙන් සහ සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය කොටගෙන, චිත්ත විශුද්ධිය සහ දිට්ඨි විශුද්ධිය කරා මෙහෙයවිය යුතු වෙනවා.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූප, වේදනා, සංඥ්‍යා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ගේ ඇත්ත ඇති සැටියෙන් දකින්න නම්, පංචනීවරණයන් බැහැර වූ සම්මා සමාධිමත් සිතක් තිබීම අත්‍යවශ්‍යයි කියලා. සම්මා සමාධිමත් සිතක් කියන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ග හතේ සුන්දර ඵලයයි. සම්මා සමාධිය අයිති වෙන්නේ, චිත්ත විශුද්ධිය කියන ධර්මානුකූල අර්ථයටයි.
අපි තවමත් රූප, වේදනා, සංඥ්‍යා, සංස්කාර, විඤ්ඤාණ ධර්මථාවයන්, නිත්‍යයි, සැපයි, සුභයි, ආත්මයි වශයෙන් දකින්නේ, පංචඋපාදානස්කන්ධ ධර්මයන් තුල බැසගෙන ජීවත් වෙන්නේ, රූපය සතුටින් පිළිගන්නේ, වේදනාවන්ට ආදරයෙන් බැඳී යන්නේ, සංඥ්‍යාවන්ට ලෙන්ගතුකමින් දෑත් දිගුකරන්නේ, සංස්කාරයන්ට සෙනෙහසින් ගරුසත්කාර කරන්නේ, විඤ්ඤාණයන් මම යැයි දැඩිවගන්නේ, අපේ අහිංසක ජීවිත තවමත් පංචනීවරණයන්ට තෝතැන්නක්වෙලා තිබෙන නිසාමයි. අපි අපේ උතුම් ප‍්‍රාතිමෝක්ෂ ශීලය ධර්මානුකූලව ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුල ආයෝජනය කරලා නැහැ. අපි සැප වැඩි, ආශ්වාදය වැඩි ප‍්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් උතුම් සම්මාදිට්ඨි සහ සම්මා සංකප්පයන්ගේ නිවැරදි මාර්ගෝපදේශකත්වයෙන් තොරවයි අපේ ශීලය අපි ආයෝජනය කොට තිබෙන්නේ.
පිංවත් ඔබ ආරක්ෂා කොටගන්නා ශීලය, ධර්මානුකූලව ලස්සන කොට දෙන්නෙ, සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ගෙන් ඔබේ ශීලය පෝෂණය වුවොත් පමණක්මයි. උතුම් සම්මා දිට්ඨියෙන් සහ සම්මා සංකප්පයන්ගෙන් මොනවට පෝෂණය වූ ඔබේ ශීලය, ඔබව සම්මා සමාධිය දෙසට යොමු කරන්නේ කල්‍යාණ මිත‍්‍ර භාවයෙන්මයි. පිංවත් ඔබ, ඔබේ ශීලය සම්මා සමාධිය දෙසට යොමු නොකරගන්නා තාක්, ඔබේ ශීලය, මමත්වයේ දැඩිභාවයෙන් ඔබව රවට්ටනු ඇත. පිංවත් ඔබ තුල වැඩෙන ශීලයේ ශක්තිය නිත්‍ය යැයි සිතා ශීලයේ අර්ථයන් තුළ නැවතී සිටින්නට එපා. ශීලයේ අර්ථයන් තුළ පමණක් අපි නැවතී සිටියොත්, ඇත්ත ඇති සැටියෙන් නොදකින, බොරුව ඇත්තක් කොට දකින, සම්මා සමාධියේ ඉඩෝරයට වියලී ගිය පංචනීවරණ සහිත ජීවිතයක් බවටයි, අපේ භික්ෂු ජීවිත පත්වෙන්නේ.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගොස් වසර දෙදහස් හයසියයක් පමණ ගෙවුන තැන, වර්තමානයේ අපි සිටින්නේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ගැන සතුටු විය හැකි හෝ දුක්විය යුතු තැනක නොවේ; හේතුඵල ධර්මයන්ට අදාළව ධර්මයේ උපේක්ෂාවෙන්මයි සම්මා සම්බුද්ධ ශාසනය අපි දැකිය යුත්තේ. ඒ උපේක්ෂා සහගත දැක්ම තුළින්, අපි තුළ සකස් වෙන සමාධිමත් සිතයි, සම්මා සම්බුද්ධ ශාසනයේ, ඇත්ත ආරක්ෂාව උදෙසා අවශ්‍ය විදර්ශනාමය ප‍්‍රංඥාවට උපකාරක ධර්මයන් සකස්කොට දෙන්නේ. සියලු සංස්කාරයන්ගේ නිත්‍ය, සුභ, ආත්මීයභාවය දකිමින්, වර්තමානයේ සම්මා සම්බුද්ධ ශාසනය ගැන ඔබ සතුටු වුනොත් හෝ දුක් වුනොත් එහි ඵලය සමාධියෙන් ඔබව දුරස්කරන පංචනීවරණ ධර්මයන්මය.
සම්මා සමාධිමත් “සිත”, ඔබෙන් තොරව, භික්ෂුවක් කෙසේ නම්, බොරුවෙන් වසාගත් මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇත්ත දකින්නද. සම්මා සමාධියේ දුර්වලභාවයන් නිසාම, අපි සියල්ලෝම මංමුලා වෙලා සිටින්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවීගියා. අතීතයේ වැඩ සිටිය සියලුම රහතන් වහන්සේලාත් පිරිනිවීගියා. වර්තමානයේ අපි, මේ උතුම් චීවර දරාගන්නේ, අපි අපවත්වෙන මොහොතේ දෑස් වල කඳුළු පුරවාගෙන, ජීවිතය හැර යන්න නොවේ. මරණය ඉදිරියේ ජීවිතය, ජය සහ පරාජයෙන් තොරව සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවිතය ධර්මයේ උපේක්ෂාවට ගන්නයි. ජීවිතය ජය අරගෙන වැඩක් නැහැ. ජීවිතය පරාජය වෙලාත් වැඩක් නැහැ. අතීත සංසාර භව ගමනේ පටිච්චසමුප්පන්නව, අපි ජයගත්ත ජීවිතත්, අපි පරාජය වෙලා සතර අපායන්ට වැටුනු ජීවිතත් යන දෙකම අනිත්‍ය වූ සංස්කාරයන් බව අපි දකින්න ඕනේ. සම්මා සමාධියකින් තොරව, අපි කෙසේනම් ඉහත අර්ථය අර්ථවත්ව දකින්නද. උතුම් ශීලයේ දුර්වලභාවයන් තුළ අපි කෙසේ නම් සම්මා සමාධිමත් සිතක් ඇති කොටගන්නද. ධර්මයේ සුන්දර හේතුඵලධර්මයන් මොනවට ගැලපිලා යන්නේ හරියට, නිවුන් දරුවන් දෙදෙනෙක් එකිනෙකට ගැලපිලා යනවා වගේ.
බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් දසපාරමී ධර්මයන් පූරණය කරමින් සිදුකළා වූ මහා යුග මෙහෙවරින් උපන්, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට තව තවත් දීර්ඝායුෂ ලබාදීමේ වර්තමාන යුග මෙහෙවර පැවරී තිබෙන්නේ, වර්තමානයේ වැඩ සිටින උපසම්පදා භික්ෂූන් වහන්සේලාටයි. බෝධිසත්වයන් වහන්සේ මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන්දීලා, මහ පොළොවේ පස් වලට වඩා ශරීර මාංශ දන්දීලා, අපි වෙනුවෙන් සිදුකළ මහා පාරමී කැපවීම් වලට, උපසම්පදා භික්ෂූන් වන අපි බුදුරජාණන් වහන්සේට අපේ ශීලයෙන්, අපේ චිත්ත විශුද්ධියෙන්, අපේ දිට්ඨි විශුද්ධියෙන් කෘතගුණ දක්වනවාද? අපි අපෙන්ම ප‍්‍රශ්න කර ගනිමු.
සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ දේශනා කරනවා, භික්ෂූන් වන අපිට, ඉන්ද්‍රියයන්ගේ වැසූ දොරටුව ඇතිව ජීවත් වෙන්නය කියලා. අපි තුළින් වැඩෙන ඉන්ද්‍රිය සංවර ශීලය, අපේ චිත්ත විශුද්ධියට හොඳ පිටුවහලක් වෙනවා. අපි ඇසෙන් රූපයක් දැකලා, එම රූපය කෙරෙහි ඇලීම් හෝ ගැටීම් ඇතිකොටගන්නේ නැහැ. රූපය සතර මහාධාතුවක් වශයෙන්ම දකිනවා. රූපය, ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට තෝතැන්නක් බවම දකිනවා. එවිටයි පිංවත් අපේ සිත් සමාධිමත් භාවයට පත්වෙන්නේ, පංචනීවරණ ධර්මයන්ගේ සිරකරුවෙක් බවට පත් නොවන්නේ.
ඇසෙන් රූපයක් දැකලා එම රූපයන්ට අපි බැඳීගියොත්, මනස අසංවරවෙනවා. එහෙම වුනහම තමයි භික්ෂූන් වන අපිටත්, ශරීරය රූපලාවණ්‍ය කරන්න සිතුවිලි සකස් වෙන්නේ, ශීලයේ ලස්සන වෙනුවට, සමාධියේ සහ ප‍්‍රඥාවේ ලස්සන වෙනුවට, වටිනා සිවුරු පිරිකර වලින්, වටිනා ගෘහ භාණ්ඩ වලින්, විසිතුරු අලංකාර පන්සල්, ආරණ්‍ය වලින්, අපි ලස්සන සොයන්න පෙළඹෙන්නේ. අධ්‍යාත්මික සහ බාහිර රූපයන් අනිත්‍ය වශයෙන් දකින්නේ නැහැ.
මේ සටහන තබන මොහොතේ භික්ෂුවට, භික්ෂුව හොඳින් දන්නා දායක මහත්මයෙක්, දායක මහත්මියක් මතකයට නැගෙනවා. භික්ෂුව ඒ සැණින්ම, එම රූපයන් අනිත්‍ය වශයෙන් දකිනවා. එම රූපයන් දෙතිස්කුණුපයක් කොට දකිනවා, අට්ඨික සංඥාවක් කොට දකිනවා, එවිට එම රූපයන් සිතෙන් මැකී යන්නේ, මහ දවල් තද අව්කාශ්ඨකයට රත්වී ඇති යකඩ කටාරමකට, වතුර බිඳු කිහිපයක් දැම්මොත්, එම වතුර බිඳු කිහිපය ඒ සැනින්ම පිච්චි යනවා වගේමයි.
භික්ෂුවටත් ලස්සන පන්සල් ආරණ්‍යය, ලස්සන යාන වාහන, ලස්සන දහස්කඩ සිවුරු, ධනවත් දායක පිරිස්, සෙනග පිරිවර ගැන මතකයන් සකස්වෙනවා. භික්ෂුව එම සිතුවිලි ඵස්සයෙන් ඉදිරියට අරගෙන යන්නෙ නැහැ. ඵස්සයට හේතු වූ අධ්‍යාත්මික සහ බාහිර රූපයන්, කායානුපස්සනාව තුළම විසුරුවා දකිනවා. එවිට ඇසේ ඵස්සය වේදනාව දෙසට නොව, ඇසේ ඵස්සය විදර්ශනාත්මක සමාධිය දෙසටම යොමුවෙන්නේ, හේතුඵල ධර්මයන් ස්වයංක‍්‍රීයව දකින, ධර්මයේ උපේක්ෂාව මොනවට පෝෂණය කරමින් යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
වර්තමානයේ භික්ෂු සමාජයේ අපි, ඇසෙන් රූපයක් දකිත්දී, එම රූපයට එක්කෝ ඇලෙනවා, නැතිනම් ගැටෙනවා. ඵස්සය හේතුඵල ධර්මයන් තුල විසිරුවා දකින්නේ නැහැ. සතර මහාධාතුවෙන්ම සැදුන අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, අනිත්‍ය වූ සංස්කාර හේතුවෙන්ම සකස් වූ විඤ්ඤාණයත් එකතුවක්ය කියලා; ඵස්සය දකින්නේ නැහැ. පිංවත් භික්ෂූන් වන අපි ධර්මය දෙස, ධර්මයේම ඇසින් බලන්න ඕනේ. නාමරූප පච්චයා සළායතනං, පිංවත් අපේ ඇසේ උපත, කනේ උපත ඔතනයි තිබෙන්නේ. ඔබේ ඇස මම යැයි, මගේ යැයි ඔබ ගන්න එපා. පටිච්චසමුප්පන්නව නාමරූප ධර්මයන් සකස් වීමටත් රූපයමයි මුල් වෙන්නේ. භික්ෂූන් වන අපි, අනිත්‍ය වූ, ජරා, ව්‍යාධි, මරණයන්ට තෝතැන්නක් වූ සතරමහාධාතුව, රූපය මමය, මගේ යැයි ගැනීම නොකළ යුත්තක්මයි.
සමාධිමත් සිතකට පුළුවන් ලෝකය විනිවිද දකින්න. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ පංචඋපාදානස්කන්ධ ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සම්මා සමාධිමත් සිත, මාරයාගේ දෑස් අන්ධකොට දමනවාය කියලා. අපි සම්මා සමාධියෙන් දුර්වල නම්, නිරතුරුවම අපි මාරයාට ඇස් ලබා දුන්නා වෙනවා, කාමයන්ට අවකාශය ලබා දුන්නා වෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මම මේ ඉන්ද්‍රීය අසංවරභාවයේ ඇති දෝෂයන් දැකලාමයි ඔබලාට ඉන්ද්‍රීය සංවරභාවය ගැන දේශනා කරන්නේ කියලා. පිංවත් ඔබ ගින්නෙන් රත්වී, ගිනියම් වූ යකඩයකින් ඔබගේ දෑස් පිරිමදින්න, එහෙම කළාය කියලා ඔබ සතර අපායට වැටෙන්නේ නැහැ. නමුත්, ඔබ ඇසෙන් රූප දැකලා, එම රූපයන්ට බැඳුනොත්, එම රූපයන් හා ගැටුනොත්, ඔබ පටිච්චසමුප්පන්නව ඊළඟ ජීවිතය නිරය හෝ තිරිසන් ලෝකය බලාපොරොත්තු විය යුතු යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
මහණෙනි පිංවත් ඔබලා, ගිනිගත් තියුණු හුලකින් කන් දෙකට ඇන ගන්න, එහෙම කළාය කියලා ඔබලා සතර අපායට වැටෙන්නේ නැහැ. නමුත් පිංවත් ඔබලා සමාජයෙන් නැෙඟන පැසසුම් සහ ගැරවුම් අහලා මනස අසංවරකොට ගත්තොත් ඔබලා නිරය, තිරිසන් යෝනියටයි වැටෙන්නේ.
මහණෙනි පිංවත් ඔබලා ගිනිදැල් නැගෙන සැතකින් ඔබේ නාසය කපා දමන්න, ඒ දුකෙන් ඔබ සතර අපායට වැටෙන්නේ නැහැ. නමුත් ඔබලා නාසයෙන් කැමති සහ අකමැති සුවඳ විදලා මනස අසංවරකොට ගත්තොත්, ඔබල නිරයට හෝ තිරිසන් යෝනියටමයි වැටෙන්නේ.
මහණෙනි පිංවත් ඔබලා ගිනියම් වූ තියුණු සැතකින් ඔබේ දිව කපාගන්න, ගිනියම් වූ තියුණු සැතකින් ඔබේ ශරීරය සැහැ දමන්න, එහෙම වුණාය කියලා ඔබ අපාගත වෙන්නේ නැහැ. නමුත් ඔබලා දිවෙන්, ශරීරයෙන් කැමති සහ අකමැති රසයන් විඳලා, ස්පර්ශයන් විඳලා මනස අසංවරකොට ගත්තොත්, ඔබල අපවත්වීමෙන් පසු පටිච්චසමුප්පන්නව නිරය හෝ තිරිසන් යෝනියේ උපත ලබනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
ගිහි පිංවතුන්ලාගෙන් අග‍්‍රම දෙය, ප‍්‍රණීතම දෙය, විසිතුරුම දෙය සිව්පසය හැටියට ලබමින්, උතුම් මහ සංඝරත්නය නැමති පූජනීය අර්ථය සිහියට නඟාගනිමින්, උපස්ථානයන් ලබන භික්ෂු සමාජයේ අපිට, අපේ ඉන්ද්‍රීය අසංවරභාවය මතුකොටදෙන අනාගත භව අනතුරු බොහොම කටුකයි, දීර්ඝයි, බිහිසුණුයි නේද? කියලා අපි නුවණින් මෙනෙහි කළ යුතුව තිබෙනවා.
බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක භික්ෂූන් වන අපි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි නියත විශ්වාසයට පැමිණිලයි වැඩ සිටින්නේ. අපි ලාමක, බොළඳ, අනුවණ, විකෘති අකුසල් ධර්මයන්ගේ පැමිණීමට, ලැජ්ජාව සහ බිය ඇතිකොටගත යුතු යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
අකුසල් ධර්මයන්ගේ ප‍්‍රහාණය පිණිසත්, කුසල් ධර්මයන්ගේ වර්ධනය පිණිසත්, වීර්යය වඩන ආර්්‍ය ශ‍්‍රාවකයා, පංචනීවරණ ධර්මයන්ගෙන් ඉඳුල් නොවූ භික්ෂු ජීවිතයකට මුතු, මැණික්, රන් සේ බබලන සප්තබොජ්ඣංග ධර්මයන්ගේ ආලෝකයමයි, අපේ භික්ෂු ජීවිත තුළින් ශක්තිමත් කොටගත යුත්තේ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න…
තෙරුවන් සරණයි