ගිහි පිංවතුන්ලාට පින විපාක දෙන විට, එම සැපයන්ගෙන් පලා යන්න කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ, පෙර පින නිසා ලැබෙන ආයුෂ, වර්ණය, සැපය, බලය ශිල්පද ආරක්‍ෂාකොටගෙන භුක්‌ති විඳින්නය කියලයි. ගිහි පිංවත් ඔබ පින ප්‍රතික්‍ෂේප කරනවා නම්, සැපය ප්‍රතික්‍ෂේප කරනවා නම් ඒ තමන් ප්‍රතික්‍ෂේප කරන්නේ ධර්මයේ අර්ථයනුයි. මේ සටහන් තබන භික්‍ෂුව පසුගිය වසර දෙකේදී ප්‍රසිද්ධ ධර්මදේශනාවන් පවත්වනවිට පිංවතුන් මහා සංඝරත්නය අරමුණුකොට, භික්‍ෂුවට මලින්, සුවඳින්, ආලෝකයෙන් පාවඩවලින් අප්‍රමාණ පූජාවන් දැක්‌වූවා. හුඟක් පිංවතුන් ස්‌වයංව තීරණය කරලා භික්‍ෂුව වඩින පාවඩ මත මල් අතුරා තිබුණා. භික්‍ෂුව තුළ මේ කිසිම ධර්මතාවයකට ඇලීමක් හෝ ගැටීමක් ඇතිවුණේ නැහැ. මේවා නිසා සකස්‌වූ උපේක්‍ෂා සහගත සිතත්, අනිත්‍ය වශයෙන් දකිමින් එම පූජාවන් පැවැත්වූ පිංවතුන්ලාට, පූජාකළ සෑම මලකටම ධර්මයේ ඉහළම වටිනාකම ලබාදුන්නා. නමුත් සමහරක් පිංවතුන්ලා, පිනේ විපාකදීමේ ස්‌වභාවය නොදන්නා නිසාම මේවා දැකලා ගැටුණා. නමුත් භික්‍ෂුව එම පිංවතුන්ලාට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළේ, දිව්‍ය තලයේ දිව්‍ය උයන්වල, දිව්‍ය මදාරා මල්ගස් තිබෙනවා. මේ දිව්‍ය මදාරා මල්ගස් හොඳින් වැඩුණු අඹගස් වගේ විශාලයි. එම දිව්‍ය මදාරා මල්ගස්‌වල කොළ නැහැ. තනිකරම මලින් බරවෙලයි තිබෙන්නේ. සුදු, නිල්, රතු, කහ… නේක වර්ණ මල්ගස් තිබෙනවා. මේ දිව්‍ය මදාරා මල්ගස්‌වලින් මදාරා මල්ගස් ගෙනැවිත්, භික්‍ෂුව වඩින පාවඩ මත ඇතිරුවත්, භික්‍ෂුව නොබියව, නොපැකිළිව එම මල් පාවඩ මත වඩිනවාය කියලා. භික්‍ෂුවගේ ශීලය, සමාධිය, ප්‍රඥාව ගැන භික්‍ෂුවට සැකයක් නැහැ. මේවා දුර්වලවුණු තැනයි, එවැනි දෑ පරිහරණය පිණිස බිය සකස්‌වෙන්නේ. භික්‍ෂුව එදා මල්පාවඩ මත ගමන් කළේ, මලින්, සුවඳින්, ආලෝකයෙන් කළ පූජාවන් සංඝරත්නය වෙනුවෙන් පිළිගත්තේ, ලෝකයාට ආදර්ශයක් දෙන්නයි. මෙන්න පින නමැති සංස්‌කාරයන්ගේ සැබෑම ඵලය කියලා. පිංවතුන්ලාට ධර්මයේ පාඩමක් කියාදීමටයි. මේ පාඩම සම්මාදිට්‌ඨියේ අර්ථය පිළිබඳව පාඩමක්. අපි මේ කුසල් සංස්‌කාරයන් විපාකදෙන ස්‌වභාවය සඟවාගෙන සිටියොත්, පිංවතුන්ලාට ආදර්ශයක් නොමැති වෙනවා. එදා භික්‍ෂුවට පුළුවන් වුණා, පිනේ සහ කුසලයේ සැබෑම ශක්‌තිය පිංවතුන්ලාට ඔප්පුකොට පෙන්වලා, පිංවතුන්ලාට පින කෙරෙහි ඇති ඡන්දය ශක්‌තිමත්කොට දෙන්න. භව ගමනේ සැපයට අදාළ සංස්‌කාරයන් දියුණුකොට දෙන්න. පිංවත් ඔබට මුල් පියවරේදී ප්‍රඥාව මතුකොටගැනීම පිණිස, ආයුෂ, වර්ණය, සැපය, බලය, අත්‍යවශ්‍ය වෙනවා. භික්‍ෂුව නැවතත් පිංවත් ඔබට කරුණාවෙන් මතක්‌කොට දෙනවා, පින විපාකදෙනකොට සැපයෙන් පලායන්න එපා. ශිල්පද ආරක්‍ෂා කරගෙන පින භුක්‌ති විඳින්න. ලෝකයාට පිනේ ශක්‌තිය මතුකොට පෙන්වන්න. මෙය සම්මාදිට්‌ඨියට පත්වූ පිංවතෙකුගේ ප්‍රධාන ලක්‍ෂණයක් වෙනවා.
බුදුරජාණන්වහන්සේගේ පෙර පාරමී ශක්‌තිය නිසාම ලැබුණු දෙතිස්‌මහා පුරුෂ ලක්‍ෂණ උන්වහන්සේ සඟවාගෙන ජීවත්වුණේ නැහැ. පිනේ ඵලයට බුදුරජාණන්වහන්සේ විවෘතව බබළන්න දුන්නා. සීවලී මහරහතන්වහන්සේ ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්‌ථානය ලැබුවාය කියලා, අනෙක් සෑම රහතන්වහන්සේ නමකටම වඩා තමන්ට සිව්පසය ලැබුණාය කියලා මෙය දැක අනෙක් ස්‌වාමීන්වහන්සේලා ගැටේවි යයි සිතා කැලයට ගොස් ජීවත්වුණේ නැහැ. මහානාම ශාක්‍යයා මේ ශාසනයේ ප්‍රනීතව දන්දෙන්නන් අතර අග්‍රස්‌ථානය පත්වූ උපාසකතුමා. එතුමා, දකින අනෙක් අය ගැටේවිය කියලා තමන් විසින් ස්‌වාමීන්වහන්සේලා උදෙසා ප්‍රනීතව දන්දීම නැවැත්වුවේ නැහැ. ධර්මය සඳහිරු සේ බබළනවා.
අතිපූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ