භික්ෂුවකගේ වගකීම අපමණය.

මෙතෙක් පරිසරයේ තිබුණ නිහඬභාවය බිඳලා, පරිසරය හොඳටෝම අඳුරු කරලා, මේ මහ දවල් වැස්සක් පටන් ගත්තා. නිරතුරුවම වෙනස් වෙන පරිසරය වගේමයි, අපේ සිතත්, එකපාරට ම වෙනස් වෙලා යනවා. මෛත‍්‍රිය කේන්තියක් වෙලා යනවා. සප්තබොජ්ජංග ධර්මයන් පංචනීවරණයන් වෙලා යනවා. නොසිතූ වෙලාවක. නොපැතූ විලසින් කුසල් සහ අකුසල් සිත් අප තුළ ඇතිවෙනවා. මෙවැනි කුසල් සහ අකුසල් සංස්කාරයන් පසුකාලයක විපාකයට පැමිණෙද්දී, නොසිතූ වෙලාවකමයි, නොපැතූ වෙලාවකමයි ඒවා විපාකයට පැමිණෙන්නේ.

මේ මහ දවල් කඩාවැටෙන මහා වැස්සත්, ගමේ ගොවි මහත්වරුන්ට නොසිතූ වෙලාවක, කඩාහැළුන අකුසලයේ වැස්සක්. මේ දවස්වල භික්ෂුව වැඩසිටින ගමේ ගොවිමහත්වරු ගොයම් කපන්න සූදානම්වයි සිටින්නේ. මේ මහා වැස්සේ ගොවිමහත්වරු කීදෙනෙකුගේ බලාපොරොත්තු අතීත අකුසල් විසින් බිඳ දමන්නට ඇතිද? හොඳින් හිරු පායා තිබූ දිනයක, සිතාගන්නවත් බැරි විදිහට විපාකයට පැමිණෙන මෙවැනි අකුසල්, අපි අතීතයේ කවදා හරි දවසක, අනුනට නොසිතූ වෙලාවක සිදු කළ අකුසල් විපාකයන් වෙන්න පුළුවන්.
පින්වත් ඔබ දක්ෂවෙන්න නිරතුරුව ම වෙනස්වෙන පංචඋපාදානස්ඛන්ධ ලෝකය තුළ, ඔබ තුළ සකස්වෙන කුසල් සිත් හැකිතාක් නොවෙනස්ව තබාගන්න. එවිට ක්ෂණිකව සිද්ධවෙන සිතාගන්නවත් බැරි කරදර බාධක කම්කටොළු අවම වේවි.

මේ දවස්වල ගොයම් කපන්න සූදානම්ව සිටින ගොවිමහත්වරු, කඩා වැටෙන මහ වැස්ස හේතුවෙන් සිතුවිලි දහස් ගණනක අතර අතරමංවී සිටියත්, කුටියේ සයනය මත වාඩිවී සිටින භික්ෂුවට නම් සිතන්න කිසිම දෙයක් නැහැ. භික්ෂුවට අඹු දරුවෝ, ඥාතීන්, කුඹුරු, ඉඩකඩම්, දේපළ, හරක-බාන මේ මුකුත්ම නැහැ.

භික්ෂුව සන්තකයේ තිබෙන්නේ තුන් සිවුරත්, පාත‍්‍රයත්, අත්‍යවශ්‍ය ම පාත‍්‍රයේ ගෙන යා හැකි දෙයක් පමණක්මයි. ඒත් ඒවා කිසිවක් ගැන භික්ෂුව සිතන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පනවා ඇති විනය කාරණාවන්ට අදාළව, ඒවා පරිහරණය කරත්දී, තුන් සිවුරත් පාත‍්‍රයත් ඉබේම ආරක්ෂා වෙනවා. තුන් සිවුරත්, පාත‍්‍රයත්, නිවන් මාර්ගයට උපකාරක ධර්මයක් පමණක්මයි. තුන් සිවුරත්, පාත‍්‍රයත් තුළින් අපි ශක්තිමත් කොටගත යුත්තේ, උතුම් ප‍්‍රාතිමෝක්ෂ ශීලයයි. එවිටයි තුන්සිවුරත්, පාත‍්‍රයත් උපයෝගී කොටගෙන අපිට සමාධිමත් සිතක්, ඇතිකොටගත හැක්කේ අපි ශීලය දුර්වලකොට ගන්නවා නම් සමාධියත්, ප‍්‍රඥාවත්, විමුක්තිය ගැන කතාකිරීමෙන් ඵලක් නැහැ. මෙය සටහන් තබන භික්ෂුව, පවත්වන පුංචි ඉරියව්වකිනුත්, භික්ෂුව ඉලක්ක කරන්නේ, ප‍්‍රාතිමෝක්ෂ ශීලයේ ශක්තියයි. එවිටයි අපි පවත්වන විනයගරුක ඉරියව්වන්, අපේ විමුක්තියට උපකාරක ධර්මයක් වෙන්නේ.

තවමත් වැස්ස හොඳටෝම වහිනවා, මදුරුවො දෙතුන් දෙනෙක් කුටියට රිංගලා. ඒගොල්ලොන් කන ළඟට ඇවිදින් නාද කරනවා. බුදුරජාණන්වහන්සේ ප‍්‍රාතිමෝක්ෂ ශීලයට අදාළව අපිට දේශනාකොට තිබෙනවා, සින්දු අහන්න එපාය කියලා. උදේ පාන්දරට කැලේ කුරුල්ලෝ බොහොම ලස්සනට නාද කරනවා. සමහර වෙලාවට සංගීත සංදර්ශනයක් වගේ. ඒ කුරුල්ලන්ගේ මිහිරි නාදයන්, භික්ෂුන්වන අපි විඳින්න යන්නේ නැහැ. ඇසුණා කියන තැන නතර වීම තමයි අපේ ශීලය වෙන්නේ. ඒත් මේ මොහොතේ කුටියට රිංගාගෙන සිටින මදුරුවන්ගේ නාදය නම් සින්දුවක් නොවේ, අඳෝනාවක්මයි.

අද උදෑසන ගමේ ගොවිමහත්වරුන් කිහිප දෙනෙක්ම පිණ්ඩපාත මඩුවට පැමිණ පිණ්ඩපාතය බෙදා පින් අනුමෝදන් වුණා. මේ මහ වැස්ස එම ගොවි මහත්වරුන්ගේ බලාපොරොත්තු ඉදිරියේ ප‍්‍රශ්නාර්ථයක් තබලා. පින්වතුන්ලා ඉදිරියට පැමිණෙන හොඳ හෝ නරක වෙනුවෙන් භික්ෂුන් වන අපිට කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. යමක් සිද්ධ වුණාද ඊට හේතුව වෙන්නේ කුසල් හෝ අකුසල් සංස්කාරයන්මයි. දුක සහ සැප දෙක සංස්කාරයන්ට භාරදුන්නහම, අපිට හරිම නිදහස්. සිතේ සමාධියටත්, ඒ සමාධිය තුළින් විදර්ශනාවටත් හොඳ පරිසරයක් සකස්වෙනවා.

භික්ෂුව මොහොතක් වැස්සේ ඝෝෂාවෙන්, කන නිදහස් කොටගෙන, අතීත පංචඋපාදානස්ඛන්ධයට සිත යොමු කළා. අතීත භවාත‍්‍රයේ ඈතින් ඈතට සිතුවිලි අවදි කළා, පටිච්චසමුප්පන්න අති දීර්ඝ ඉතිහාසයක්, ඒ අතීතය තුළ සැඟවිලා තිබෙනවා. ඒ සැඟවුණු අතීතය මතුකොට දෙන්නේ, සම්මා සමාධිමත් සිතෙන්, සම්මා සමාධිමත් සිත පංචනීවරණ ධර්මයන්ගෙන් වැසීගිය තැන, අතීත භවාත‍්‍රය අපෙන් මැකිලා යනවා. එවිට මෙලොව පමණයි අපි දකින්නේ. පරලොව ගැන සිතන්න තියාගන්නේ වයසට ගියහම.

සම්මා සමාධිමත් සිතෙන්, ධර්මයට අදාළව අතීත භවගමන දකිත්දී, භික්ෂුව පටිච්චසමුප්පන්නව, කල්ප සියක් කෝටි ප‍්‍රකෝටි ගණනක් වයසැති, මහලූ, ගොරහැඬි සත්ත්වයෙක්. පටිච්චසමුප්පන්නව මම දිව්‍ය, මනුෂ්‍ය, බ‍්‍රහ්ම, සතර අපා සත්ත්ව මළ කඳන් ගිජ්ජකූට පර්වතයේ උසට වඩා ගොඩගසා තිබෙනවා. ඒ දීර්ඝ සංසාර භව ගමනේදී, භික්ෂුව පටිච්චසමුප්පන්නව කුඹුරු හිමියෙක් වෙලා, අදගොවියෙක් වෙලා, වැස්ස හේතුවෙන්, නියඟය හේතුවෙන්, අස්වැන්න විනාශවෙච්ච අවස්ථාවන්හිදී, මොනතරම් නම් හෘදයාබාධ සෑදී මියයන්නට ඇතිද? ගෙල වැලලාගෙන, වස පානයකොට සියදිවි නසාගන්නට ඇතිද? ණය ගෙවා ගන්නට බැරිව මානසික රෝගියෙක් වෙන්නට ඇතිද? ඒ සියලූම සංස්කාරයෝ වර්තමානයේ වෙනස් වෙලා ගිහිල්ලා.

වර්තමානයේ භික්ෂුව බුදුරජාණන්වහන්සේගේ ශ‍්‍රාවකයෙක්. අද භික්ෂුවට පෙර තිබූ කිසිම බැඳීමක් නැහැ. ඒ නිසාම බැඳීම් හේතුවෙන් සකස්වෙන දුකක් ශෝකයක් නැහැ. මහ නියඟයක් පැමිණියත්, මහ වැසි කඩා වැටුණත් භික්ෂුන් වන අපිට නැති වෙන්න දෙයක්, අලාභයක් වෙන්න දෙයක් නැහැ. සංස්කාර ධර්මයන්ගේ හේතුඵල ධර්මයන් දකින උපේක්ෂාව තුළයි උන්වහන්සේ වැඩ සිටින්නේ.

භික්ෂුව එසේ සටහන් තබද්දී, යම් ශ‍්‍රද්ධාව දුර්වල, එසේත් නැතිනම් අන්‍යාගමික පින්වතකුට සිතෙන්නට පුළුවන්, හාමුදුරුවන්ට ඉතින් මොකද, ගිහි අපි පන්සලට, ආරණ්‍යයට දානය ගෙනත් පූජා කරනවා. හාමුදුරුවෝ සුවසේ වළඳලා, සැපසේ වැඩ සිටිනවාය කියලා. මේ විදිහේ අදහස් ප‍්‍රකාශ කරන පින්වතුන් සමාජයේ ඕනෑ තරම් සිටිනවා. මේවා ඉන්ද්‍රිය ධර්මයන් බින්දුවට වැටුණ මිත්‍යාදෘෂ්ටියේ ලක්ෂණ.

බුදුරජාණන්වහන්සේගේ ශ‍්‍රාවකයෙක්, දායක පින්වතුන් පූජා කරන සිව්පසය පරිහරණය කොට කිසිදු නිෂ්පාදනයක් නොකර ගත කරනවාය කියලා, යම් පින්වතෙක් සිතනවා නම්, එම වැරදි සිතුවිල්ල තරම් බොරුවක්, මුසාවාදයක් මේ ලෝක ධාතුව තුළ තවත් ඇත්තේම නැහැ. භික්ෂුව ගෞරවයෙන් සටහන් තබනවා, බුදුරජාණන්වහන්සේගේ ශ‍්‍රාවකයන් තරම් වගකීමකින්, සිහිබුද්ධියකින් කටයුතු කරන තවත් පිරිසක් මේ ලෝක ධාතුව තුළ සිටින්න විදිහක් නැහැය කියලා.
භික්ෂුන්වන අපිට, පින්වත් ගිහි පින්වතුන්ලා තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන් යුතුවයි සිව්පසය පූජා කරන්නේ. ගිහි පින්වතුන් වෙහෙස මහන්සිවෙලා, උපයාගත් ධනය, ශ‍්‍රමය, කාලය කැප කරලා, ආසම දෙයයි, ප‍්‍රනීතම දෙයයි, පිරිසිදුම දෙයයි අපිට පූජා කරන්නේ. ඒ නිසාම බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඔබලා දුශ්ශීලව සිටිමින් ගිහි පින්වතුන් ශ‍්‍රද්ධාවෙන් පූජා කරන සිව්පසය පරිහරණය කළොත්, එය පින්වත් ඔබලාට අනතුරක්මයි කියලා. ඒ නිසාම භික්ෂූන් වන අපි, ගිහි පින්වතුන්ලාගෙන් ලබන එක බත් හැන්දක් උදෙසා, එක ගිලන්පස උගුරක් උදෙසා ලෝකයේ ජීවත්වන මනුෂ්‍යයන් අතරින් වැඩිම අවදානමක්, වැඩිම වගකීමක් දරන පිරිසක් වෙනවා.

පින්වත් ගිහි පින්වතුන්ලා, තමන්ගේ කුඹුරුයාය අස්වද්දන්න, අස්වැන්න නෙළාගන්න, මාස තුනක් තුළ ගන්නාවූ වෙහෙසට, අවධානමට, වගකීමට වඩා වැඩි වෙහෙසක්, අවධානමක් භික්ෂුන්වන අපි, එක විනාඩියකදී ගන්නවා. අපේ සිත අකුසල් ධර්මයන්ගෙන් ආරක්ෂාකොට ගන්න. සිත රැකගන්න.ගිහි පින්වතුන්ලාගේ ගොවිබිම්, දේපළ, නිවාස, යාන වාහන, ධනය, ගංවතුරෙන්, නියඟයෙන්, සොර සතුරු උවදුරුවලින් විනාශ වුණාය කියලා, පින්වත් ගිහි ඔබලා සතර අපායට වැටෙන්නේ නැහැ. ගිහි පින්වතුන්ලාට ආරක්ෂාකොට ගන්න තිබෙන්නේ, පංචශීලය එසේත් නැතිනම් ආජීවඅෂ්ඨමක ශීලයයි. උපරිම ශිල්පද අටයි. නමුත් උපසම්පදා භික්ෂුන් වන අපිට, රැකගන්නට ශිල්පද දෙසිය විස්සක් තිබෙනවා.
උතුම් ප‍්‍රාතිමෝක්ෂ ශීලයට අදාළව, සාමනේර භික්ෂුවකට සාමනේර දශ ශීලයන්, ශේඛියා ශිල්පද හැත්තෑ පහක් තිබෙනවා රැකගන්නට. මොනතරම් වගකීමක් ද? අවදානමක් ද? ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ ජීවිත මත තිබෙන්නේ.

යම් ගෞරවණීය උපසම්පදා භික්ෂුවක්, තම ප‍්‍රාතිමෝක්ෂ ශීලයට අදාළ සතර පාරාජිකාවන්ගෙන් එක් ශිල්පදයක් දුර්වල කොටගත්තොත්, එහි විපාකයන් මෙපමණ යැයි සටහන් තබන්න බැහැ. අපිට උපසම්පදා ශීලයම අහිමිවෙනවා. ප‍්‍රාතිමෝක්ෂ ශීලයට අදාළ, සංඝාදිශේෂ ශිල්පදයක් දුර්වල කොටගෙන, ඊට විනයානුකූල පිළියම් නොකර, නැවත නැවත ශිල්පද දුර්වල කොටගන්නවා නම්, එහි අකුසල් විපාකයන්, ගිහි පින්වතෙක් පංචශීලයෙන් සිල්පදයක් දුර්වල කොටගත්තා වගේ නොවේ. අහසයි පොළොවයි වගේ වෙනසක් තිබෙනවා. ඇවැත් දේශනාකොට පිරිසිදු විය හැකි, නැවත නිවැරදි විය හැකි ශිල්පද අපි දුර්වල කොටගන්නවා නම්, නොතකා හරිනවා නම්, ඒවායේ අකුසල් විපාකයන් අපේ දීර්ඝ භවගමන දුකෙන්ම පුරවන්න පුළුවන්.

පින්වත් ගිහි පින්වතුන්ට වැටහෙනවා නේද, භික්ෂුන් වහන්සේ වන අපි, ඔබලා ගෞරවයෙන් පූජා කරන සිව්පසය පරිහරණය කරලා, මොනතරම් වගකීමකින්, මොනතරම් අවදානමක් දරාගෙනද වැඩසිටින්නේ කියලා. පොඞ්ඩ වැරදුණොත් අපිට සතර අපායේ දුක උරුමවෙන්න පුළුවන්.ජීවිත පරිත්‍යාගයෙන්, මනා සිහිනුවණින්, මහා සංඝරත්නය වන අපි, ආරක්ෂා කොටගත්තා වූ ශීලයයි, මහා සංඝරත්නය නැමති පුණ්‍ය කෙතේ, සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමීචිපටිපන්න ගුණය ආදී වූ මනුෂ්‍යයන්, දෙවියන්, බ‍්‍රහ්මයන්ට පවා, තම ආයුෂය, වර්ණය, සැපය, බලය, ප‍්‍රඥාව උදෙසා අත්‍යවශ්‍යවූ, ලෝකයේ සැපය උදෙසා උතුම්ම අස්වැන්නයි, නිෂ්පාදනයකොට දෙන්නේ.

මහා සංඝරත්නය වන අපි, පන්සලට, ආරණ්‍යයට, කුටියට වෙලා, පින්වත් ඔබලා පූජා කරන සිව්පසය පරිහරණය කරලා, අපි නිෂ්පාදනය කරන්නේ, පින්වත් ගිහි පින්වතුන්ලාවගේ ආහාර, පලතුරු, එළවළු, යකඩ බඩු, ඇඳුම් පැළඳුම් වගේ දුකට හේතුවන ජරා, ව්‍යාධි, මරණයන්ටම හේතුවෙන, අවසානයේ කුණු කූඩයටම, වැසිකිළිවළටම දමන, නිෂ්පාදනයන් නොවේ. ගිහි පින්වතුන්ලාගේ මෙලොව, පරලොව සැපයම ලබාදෙන අවශ්‍ය නම් භව නිරෝධයම ශාක්ෂාත්කොට දෙන උතුම් සාමීචිපටිපන්න ගුණයේ අස්වැන්නයි.

ගෞරවණීය ගිහි පින්වත, හොඳින් දෑස් හැර සම්මුති ලෝකය දෙස බලන්න. උතුම් බුද්ධෝත්පාද කාලයක අර්ථය, තවමත් ජීවමානව තිබෙන්නේ, පින්වත් ඔබ සිව්පසය පූජා කරන, මහා සංඝරත්නය සතු වගකීම් සහගතභාවය සහ කැපවීම් නිසාමය. අබුද්ධෝත්පාද කාලයක නපුරු ගිම්හානය, තවමත් ප‍්‍රමාද, ඒ උතුම් සංඝරත්නයේ පරිත්‍යාගයන් නිසාමය. පින්වත් ඔබ ජීවත්වෙන සම්මුති ලෝකයේ, මේ දක්වා ශ‍්‍රද්ධාව, ශීලය, මෛත‍්‍රිය, සමාධිය, ප‍්‍රඥාව යම් පමණකට හෝ විකසිතව ඇත්තේ ද මනුෂ්‍ය සංඥාවන් තවමත් මුර්ග සංඥාවන් බවට පත් නොවී, මනුෂ්‍යත්වය සමාජය තුළ ආරක්ෂා වී ඇත්තේ ද පින්වත් ඔබේ ගමේ පන්සලේ ආරණ්‍යයේ, කුටියේ වැඩ සිටින මහා සංඝරත්නය, පින්වත් ඔබලා පූජා කරන සිව්පසය පරිහරණයකොට සිදු කරන, නිහඬ, අප‍්‍රකට ධර්මානුකූල විප්ලවය නිසාමය.

ගෞරවණීය ගිහි පින්වත, ඔබ මහා සංඝරත්නයට පූජා කරන බත් හැන්දට, ප‍්‍රතිඋපකාර හැටියට ඔබ දක්ෂ නම් දකින්න මහා සංඝරත්නය පින්වත් ඔබට සියල්ලම ලබා දී ඇත.

මහරහතුන් වැඩි මග ඔස්සේ 2020.08.23 දිවයින