බුද්ධානුශාසණය.

තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන පුද්ගලයන්ගේ සිත් බල බලා අදහස් බලා චරිත බලා …. ඒ ඒ පුද්ගලයන්ට සුදුසු පරිදි අනේකාකාරයෙන් අනුශාසනා කරන සේක…

මෙලොව යහපත පිණිස අනුශාසනය කිරීමට සුදුස්සන්ට මෙලොව යහපත පිණිසද …පරලොව යහපත පිණිස අනුශාසනය කිරීමට සුදුස්සන්ට පරලොව යහපත පිණිස ද ….දෙලොව යහපත පිණිස අනුශාසනය කිරීමට සුදුස්සන්ට දෙලොවටම වැඩ පිණිස ද අනුශාසනා කරන සේක….

මගපල නිවන් ලැබීමට අනුශාසනය කිරීමට සුදුස්සන්ට එසේ ද…නිවන් ලැබීමට සුදුසු අයට අනුපුබ්බ කතාවෙන් අනුශාසනා කරන සේක…

ර්‍ එය ද තථාගතයන් වහන්සේගේ දේශනා ක්‍රමයකි… දානය සත්වයන්ට උතුම් පිහිටකි…සකල සම්පත් ලැබීමට හේතුවකි… දෙව්ලොව යාමට ඉනිමගකි…. දානය දුකින් පෙළෙන සත්වයන්ට උපකාරයකි… යනාදීන් දාන කතාවේන් පළමු කොටම අනුශාසනය කරන සේක ….දෙවනුව මේ සීලය සැපය ලැබීමට හේතුවකි….. සසර සැරිසරන සත්ත්වයාට ආරක්ෂාවකි….. සීලයෙන් සත්වයෝ ස්වර්ගයට යති …… යනාදියෙන් සීල කතාවෙන් අනුශාසනය කරන සේක …..

ඉන්පසු දානයෙන් සීලයෙන් පැමිණෙන දෙව් ලොව සැප සම්පත් මේසේය… යනාදියෙන් ස්වර්ග කථාවෙන් අනුශාසනා කරන සේක…එසේ ස්වර්ගය ගැන ඇසූ පුද්ගලයාගේ සිත එයට ඇදී යයි….. තමා උසස් කොට සලකා ගෙන සිටින මනුෂ්‍ය සම්පත්තිය පිළිබඳ වූ ඔහුගේ තණ්හාව තුනීවෙයි…. අනතුරුව බුදුරජාණන් වහන්සේ දිව්‍ය සම්පත් වල තියෙන අනිත්‍ය තාව දක්වා කාමයන් නිසා ඇතිවන දුක් ද. කාමයන් ගේ ලාමක බවද….කාමය නිසා නැවත නැවත ජාති ජරා මරණ ව්‍යාධි දුක ලැබෙන බව දක්වා අනුශාසනය කරන සේක….

ඒ අනුශාසන ඇසීමෙන් …. අසන්නා කාමයන් කෙරෙහි කලකිරී කාම තණ්හාව තුනී වී සිත බොහෝ දුරට පිරිසිදු වේ….. අසන්නාගේ සිත චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගත හැකි තත්ත්වයකට සකස් වූ බව පෙනුන විට… බුදුරජාණන් වහන්සේ ඔහුට චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කරන සේක.,….

එය ඇසීමෙන් ඇතැමුන් එතැනදීම මාර්ග ඵලවලට පැමිණ නිවන් දකිති….. ඇතැම් අයෙක් බුදුරජාණන් වහන්සේ ගෙන් පැවිද්ද හා උපසම්පදාව ලබා මහණකම පුරා සව් කෙලෙසුන් නසා රහත් බවට පත් වෙති….

මෙසේ අනුශාසනා කරන්නා වූ බුදුරජාණන් වහන්සේ තීර්ථකයන් ගේ ධර්මය ඔවුන්ට ද වඩා හොඳින් දන්නා සේක…. බ්‍රාහ්මණයන්ගේ ධර්මයද බ්‍රාහ්මනයන්ට ද වඩා හොඳින් දන්නා සේක….. චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්නට නොසමත් නුවණ මද තීර්ථකයන් ට ඔවුන්ගේ ධර්ම යෙන් ද අනුශාසනා කරන සේක… බ්‍රාහ්මණයින්ට ඔවුන්ගේ ධර්මයෙන් ද අනුශාසනා කරන සේක…. ඔවුන්ගේ ධර්මයද නිරවුල් කොට පිරිසුදු කොට දෙන සේක…..

නුවණ මද වූ ඔවුන්ට ඔවුන්ගේ ධර්මයෙන් හෝ ප්‍රයෝජනයක් ලබත්වායි මහා කරුණාවෙන් ඒ ඒ අයගේ ධර්මයෙන් අනුශාසනා කරන සේක….

වර්තමානයේ නොවරදවාම මගපල ලැබෙන සැටියට අනුශාසනා කිරීමට අනුශාසනා කරන්නාට ඉමහත් නුවණක් තිබිය යුතුය….. එමෙන්ම අනුශාසනාව ලබන්නාට ද පෙර පින් ඇති නැති බව… .. අවබෝධ කර ගැනීමට නුවණ තිබිය යුතුය…

අනුශාසනය ලබන්නාට මගපල ලැබීමට සුදුසු තරමට නුවණ වැඩීම ඇතිදැයි දැකිය හැකි නුවණක් අනුශාසනය කරන්නාට තිබිය යුතුය…. අනුශාසනය ලබන්නාට මගපල ලැබීමට බාධක කර්ම ක්ලේශ ඇති නැති බවට දත් හැකි නුවණ තිබිය යුතුය…ඒ ඒ පුද්ගලයන්ට සුදුසු කමටහන් තෝරා ගැනීමට නුවණ තිබිය යුතුය… අනුශාසනය ලබන්නා ගේ චරිතය දත් හැකි නුවණ තිබිය යුතුය… සුදුසු ස්ථානය තෝරා ගැනීමට නුවණ තිබිය යුතුය…මේ අංග වලින් සම්පූර්ණ එකම අනුශාසකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පමණි…..

අනුශාසනය ලබන්නාගේ පෙර පින් ඇති නැති බව යනාදියෙන් කරැනු සර්වාකාරයෙන් ම නිවැරදිවම නොදන්නා බැවින් රහතුන්ටද නොවරදින ලෙස අනුශාසනා කිරීමට සමත් නොවෙති… රහතුන්ට ද වරදින්නේ ය…..

ශ්‍රාවකයන් අතරින් දෙ කරුණකින් අගතැන් ලැබීමට තරම් පින් ඇති වී සිටී චුල්ලපන්ථක හිමියන් අභව්‍ය කෙනෙක් යයි සලකා ගෙදර යන්න යයි නෙරපා හැරියේ මහා පන්ථ රහතන් වහන්සේයි. ..එසේ වූයේ…. රහතන් වහන්සේලාට පුද්ගලයන් ගේ තතු දැනගැනීමට සමත් නුවණ නොමැති නිසාවෙනි…

පුද්ගලයන්ගේ සියලු තතු දන්නා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ……..සසුනින් නිරූපණ ලැබූ චුල්ල පන්ථක ස්වාමීන් වහන්සේව එක් වරුවකින්ම අරහත්වයට පමුණුවා සෘර්ධිමත් රහතන් වහන්සේ නමක් බවට පත් කල සේක….

එසේහෙයින් තථාගතයන් වහන්සේම ලෝකයේ නියම ශාස්තෲන් වහන්සේ වන සේක… සියලු දෙවියන්ට… බ්‍රහ්මයන්ට…මනුෂ්‍යයන් ට …. මෙලොව දියුණුව ද පරලොව සුගතියට ශාන්ත නිවනට නොවරදින මග කියන්නා වූ තුන් ලෝකයටම අග්‍ර වූ ශාස්තෲන් වහන්සේ වන බැවින් සත්ථා දේව මනුස්සානං නම් සේක……

මෙසේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ පිළිබඳ එකක් එකක් ගානේම දැනගැනීමෙන් අපට භාග්‍යවතුන් වහන්සේ කරෙහි අප්‍රමාණ පැහැදීමක්
ශ්‍රද්ධාවක් ඇති කරගැනීමටත් ඉන් අප්‍රමාන කුසලනිසංසයකුත් ලබාගෙන… එයම ශාන්ත නිවන අවබෝධය පිණිසත් හේතු වාසනා වේ ..!!!

තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්වූ සම්මා සම්බුද්ධ දසබලදාරි සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..!!!!

රේරුකාණේ චන්දවිමල මහා නාහිමියන් විසින් රචිත සූවිසි මහ ගුණය පොත් වහන්සේ ඇසුරිනි…

ලිපිය සෑකසුම – තරංග