දැන් බුදුන් වහන්සේ අප ඉදිරියේ නැති බැවින් උන් වහන්සේට කරන්නා වූ ගෞරවය හා පූජාව දාගැබ් මහබෝ පෙති පිළිම ආදී පූජනීය වස්තු කෙරෙහි පැවැත්විය යුතු ය. ඒ පූජනීය වස්තූන්ට සෑම කල්හි ම ගෞරව කළ යුතු ය. විහාර ගෙයකට, බෝ රුකක් සමීපයට, දාගැබක් සමීපයට යන කල්හි රජකු ඉදිරියට යන්නාක් මෙන් ගෞරවයෙන් යා යුතුය. කුඩ ඉස ලා, හිස් වැසුම් ලා, දෙවුර වසා පොරවා නො පිවිසිය යුතු ය. ඒ ස්ථානයන්ට වහන් පය ලා නො පිවිසිය යුතු ය. ඒ ස්ථාන අපවිත්‍ර වන ලෙස අශුද්ධ වූ පා ඇතුව නො පිවිසිය යුතු ය. සිද්ධස්ථාන සමීප භූමිභාගයන් ද අපවිත්‍ර නො කළ යුතු ය. සිද්ධස්ථානයකට පැමිණි කල එය කුණු කසලවලින් අපවිත්‍ර වී තිබෙනු දුටුව හොත් පවිත්‍ර කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි. සිද්ධස්ථාන නො නැසී පවත්නා පරිදි කැඩුම් බිඳුම් සංස්කරණය කිරීම හා ඒවා වැඩි දියුණු කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි. විහාරස්ථානවලට පුදා තිබෙන බුද්ධ සන්තක වස්තුව විෂක් මෙන් සලකා ඒවා තමාගේ ප්‍රයෝජනයට ගැනීමෙන් වැළකිය යුතුය. බුද්ධ සන්තක වූ සුළු දෙයක් වුව ද තමාගේ ප්‍රයෝජනයට ගැනීමෙන් ගෙවා ගැනීමට දුෂ්කර නපුරු විපාක ඇති පාපයක් අත් වන බව මතු දැක්වෙන කථාවෙන් දත යුතු ය.
පෙර මේ ලක්දිව රුහුණු රට “දීඝාවුක” නම් චෛත්‍යයට කොඩියක් කොට පිදූ වස්ත්‍රයක් සුළඟින් කැඩී ගොස් එක් කුඹුරකට වැටුණේ ය. ඒ වස්ත්‍රයේ කොනක චෛත්‍යයට පුදන ලද බව ද ලියා තිබුණේ ය. කෙත් හිමියා කෙත බලා ඇවිදිනුයේ ඒ වස්ත්‍රය දැක එය ගෙන චෛත්‍යයට පිදූ දෙයක් බව දැන දැන ම අකුරු ලියා තිබූ කොන ඉරා දමා පොරවා ගත්තේ ය. පසු කලෙක හේ කාලක්‍රියා කොට ඒ පව නිසා ගිනියම් වූ යපටින් වෙළුණු ශරීරයක් ඇති ප්‍රේතයෙක් විය. ඔහුගේ ශරීරය නිරන්තරයෙන් දැවෙන්නේ ය. ඔහුට හිඳගන්නට ද නිදන්නට ද නුපුළුවන. ඉතා අමාරුවෙන් තැනකින් තැනකට යෑම පමණක් ඔහුට කළ හැකි ය. එක් දවසක් මධ්‍යම රාත්‍රියේ දී ඒ ප්‍රේතයා භික්ෂූන් වහන්සේ කෙනකුන් සමීපයට පැමිණ තමාගේ දුක කියා සිටියේ ය. ඔහුගේ බස් අසා සංවේගයට පත් භික්ෂූන් වහන්සේ “තට මේ දුකින් මිදීමට කුමක් කෙරෙම්දැයි” විචාළහ. “දීඝාවුක නම් චෛත්‍යරාජයා හට කොඩි දහසක් පිදුව හොත් මේ දුකින් මිදිය හැකි ය.” යි ප්‍රේතයා කීය. තෙරුන් වහන්සේ පසු දින ප්‍රේතයා කෙරෙහි මහත් අනුකම්පාවෙන් වස්ත්‍ර සොයා කොඩි පනසක් කොට චෛත්‍යරාජයාට පුදා පින් පැමිණවූහ. එ දින රාත්‍රියේ ප්‍රේතයා පැමිණ හිසින් අටඟුලක් පමණ යපටින් මිදුණනු බව තෙරුන් වහන්සේට සැල කෙළේ ය. තෙරුන් වහන්සේ දෙවන දිනයෙහි කොඩි පනසක් පුදා ප්‍රේතයාට පින් පැමිණවූහ. එයින් තවත් අටඟුලක් ප්‍රේතයාගේ ශරීරය යපටින් මිදිණ. මෙසේ තෙරුන් වහන්සේ දිනෙන් දින වස්ත්‍ර සොයා චෛත්‍යයට කොඩි පුදමින් දහස සම්පූර්ණ කළ සේක. කොඩි දහස සම්පූර්ණ වූ කල්හි ප්‍රේතයා සම්පූර්ණයෙන් යපටින් මිදී සැපවත් විය. බුද්ධ සන්තක වස්තුව ගැනීමෙන් වන විපාකයේ බරපතලකම මේ කථාවෙන් තේරුම් ගෙන පරෙස්සම් වෙත්වා!
උපුටාගැනීම : බෞද්ධයාගේ අත්පොතෙන්.
කර්තෘ : අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන්.