පින්වත බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මහා කරුණාවෙන් අවවාද කරනවා, මහණෙනි, සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. මහණෙනි, ශීලයට, සමාධියට, ප්‍රඥාවට, විමුක්තියට දායාද වෙලා ජීවත් වෙන්නය කියලා. ඔබලා සද්ධර්මයට දායාද නොවී ජීවත් වුණොත් ගිහි පින්වතුන්ලා ඔබලාට චෝදනා කරාවි, නිගරු කරාවි කියලා. පින්වත අතීතයේ දේශනාකොට වදාළ ඒ උතුම් ධර්මයන් වර්තමානයට හරි අගේට ගැලපිලා යනවා. පින්වත කොහොම ද අපි සද්ධර්මයට අදාළව ජීවත් වෙන්නේ? අපි දුක, දුක හැටියට දකිනවා නම්, දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි අපි දකිනවා නම්, දුක නැති කළයුත්තේ තෘෂ්ණාව නැති කිරීමෙන් යැයි දකිනවා නම්, දුක නැති කිරීමේ එකම මාර්ගය, තෘෂ්ණාව නිරෝධය කරන එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි දකිනවා නම්, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ වීර්යයෙන් ගමන් කරනවා නම්, එයමයි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වුණාය කියලා කියන්නේ. පින්වත ගැඹුරු ලෝක දහමක් උතුම් ධර්මරත්නයේ ස්වාක්ඛාත ගුණයෙන් කාරණා හතරකට කැටි කරලයි උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ. පින්වත මෙවන් උත්තරීතර දහමක් ඇස් පනාපිට තිබියදීම අපි තවමත් සැප සොයාගෙන දුවන්නේ තෘෂ්ණාව පසුපසම නේද? අපි අධර්මයට දායාද වුණොත්, අපේ පටිච්චසමුප්පන්න භව ගමන සංකීර්ණයි, දීර්ඝයි, අප්‍රකටයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකෙන්ම පීඩිතයි.
පින්වත සියළු සංස්කාරයෝ අනිත්‍ය වූ ලෝකය තුළ අපේ මරණය කොයි මොහොතේ වෙයි ද කියන්න දන්නේ නැහැ. ජීවිතය ගැන පැල් බැඳගෙන සිතනවා වගේම, මරණය ගැනත් ඇසුරු සැනක්වන් මොහොතක් සිතන්න. ඔබ මැරිලා පටිච්චසමුප්පන්නව කවුරුන් වෙන්න ද යන්නේ? තවමත් ඔබ ඒ ගැන සිතලා නැති ද? අසදිස දානය පූජා කළ මල්ලිකා බිසවත් සතියක් පණු කුලයක ඉපදුන, සංකීර්ණ වූ සංස්කාර ලෝකයකයි අපි ජීවත් වෙන්නේ. පින්වත අපි තවම සතර අපායෙන් මිදිලා නැහැනේ. ඔබ සිතලා තිබෙනවා ද ඔබ මැරිලා පටිච්චසමුප්පන්නව බිත්තරයක, පණු කුලයක, තිරිසන් මවුකුසක, අමනුෂ්‍ය කුලයක ඉපදෙයි කියලා. පින්වත් ඔබ ඒ ගැන සිතලා නැතිනම් සම්මා දිට්ඨිය වෙනුවට ඔබ ළඟ තිබෙන්නේ සක්කාය දිට්ඨියයි. පින්වත සක්කාය දිට්ඨිය අපිට ඇත්ත වෙනුවට බොරු උගන්වනවා. සක්කාය දිට්ඨිය සතර අපාය කියන වචනය අපේ ශබ්ද කෝෂයෙන් මකා දමනවා. සක්කාය දිට්ඨිය අපිට උගන්වන්නේ ශිල්පද බිඳිමින් සුගතිය දකින්න. අකුසල් මූලයන් වඩමින් නිවන් දකින්න. සක්කාය දිට්ඨිය අපේ ජීවිත සදාකාලික කරලා, මරණය අපිට අමතක කරවනවා. පින්වත අවිද්‍යාවෙන් පටන් ගන්න සිතුවිල්ල අවසන් වෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ගෙන්. පින්වත සිත ඒ සා ප්‍රවේගකාරීයි. ඒ ප්‍රවේගකාරී සිත කෙසේ නම් පංච උපාදානස්කන්ධ ලෝකය දෙස සිහිනුවණින් දකින්න ද? පින්වත තවදුරටත් පංච උපාදානස්කන්ධ ලෝකය තුළ සක්කාය දිට්ඨියට කිරුළු දරන්න දෙන්න එපා. පින්වත පටිච්චසමුප්පාද ධර්මයෝ උපයෝගී කොටගෙන පංච උපාදානස්කන්ධ සටන් බිමේ දී සක්කාය දිට්ඨියට සුදු කොඩි වනන්න. පින්වත සක්කාය දිට්ඨිය පරාජය කරන්න ශ්‍රද්ධාවට, මෛත්‍රියට, ශීලයට, ත්‍යාගයට පමණක් බැහැ. මේවා සක්කාය දිට්ඨියට උපකාරක ධර්මයන්ම වෙන්නත් පුළුවන්. පින්වත සම්මා සමාධිමත් සිතෙන් අපි මතුකොට ගන්නා පටිච්චසමුප්පාද ධර්මයෝමයි, සක්කාය දිට්ඨියේ මරණයට හේතු වෙන්නේ.
පින්වත ඔබ ජීවිතය සතුටෙන් පිළිගත්තොත්, ඔබට කවදාකවත් මරණය සතුටින් පිළිගන්න බැහැ. පින්වත ජීවිතය ධර්මයේ උපේක්ෂාවෙන් පිළිගන්න. එවිට ඔබේ මරණයත් හේතුඵල ධර්මයක්ම වෙනවා. පින්වත ඔබ මරණාසන්න මොහොතේ ඔබේ අවසාන චුති සිත ළඟ ධම්මානුපස්සනාවෙන් නැවතීමක් තබා ගන්න ඔබට පුළුවන් වුණොත්, ඔබේ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට බැස ගන්න ගෘහය, නිවස අහිමි කළා වෙනවා. පින්වත ඵස්සය කෙරෙහි විඳීම හිස් කළොත් තෘෂ්ණාව මළ ධර්මයක් බවටයි පත්වෙන්නේ. පින්වත ධර්මය ස්වාක්ඛාත ගුණයෙන් විවෘතව බැබලෙනවා. ඒත් අපි තවම ධර්මය දකින්නේ නැහැ. පින්වත අපි ධර්මාවබෝධයට වඩා කැමති ධර්මාවබෝධය විඳින්න. පින්වත අපි කැමති සෝවාන්ඵලය කියන අර්ථයත් විඳින්න, හඳුනා ගන්න. සෝවාන්ඵලය කියන අර්ථය හේතුවෙන්ම සංස්කාරයෝ ඵලබර කරගන්න. පින්වත උතුම් සෝවාන්ඵලය ගැන සිතෙද්දී, සෝවාන්ඵලය ගැන නොව ඔබේ ඵස්සය කෙරෙහි සතිය සිහිය ඇතිකොට ගන්න. උතුම් සෝවාන්ඵලය කෙරෙහි ඔබ තුළ තිබෙන ඵස්සයේ අවිද්‍යාවයි ඔබ දැකිය යුත්තේ, අවබෝධ කළ යුත්තේ. අපි ඵස්සයේ අවිද්‍යාව මගහැර සෝවාන්ඵලය ගැන සිතුවොත්, සිතුව සෝවාන්ඵලය හේතු වෙන්නෙත් ජාති, ජරා, ව්‍යාධි, මරණයන් උදෙසාමයි. පින්වත ඵස්සයට මුල් වෙන්නේ අනිත්‍ය වූ රූපයත්, අනිත්‍ය වූ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත් නේද? මේ දෙධර්මයෝම අනිත්‍ය නම්, මේ දෙධර්මයෝ හේතුවෙන් සකස්වෙන ඵස්සයත් අනිත්‍යයි නේද? පින්වත් ඔබට උතුම් සෝවාන්ඵලයට පත්වෙන්න අවශ්‍ය නම් තවදුරටත් සෝවාන්ඵලය විඳින්නේ නැතිව, විඳීමට හේතුවෙන ඵස්සයේ අවිද්‍යාවට ඔබේ සති සම්බොජ්ඣඬ්ගය ඉලක්ක කරගන්න දක්ෂ වෙන්න.
පින්වත වර්තමානයේ අපේ රටේ තිබෙන්නේ ඇලෙන සහ ගැටෙන අධිගමයන්, හඳුනා ගන්න සහ සංස්කාරයෝ රැස් කරන අධිගමයන්. සම්මා සංකප්පයන්ට අදාළ නෙක්ඛම්මය වඳ බැහැපු අධිගමයන්. පිරිසක් අධිගමයන් ප්‍රකාශ කරනවා. තව පිරිසක් සාදුකාර දෙනවා. මේ දෙගොල්ලෝම දන්නේ නැහැ තමන්ගේ ඵස්සයෙන් තෘෂ්ණාව විඳීම් දෙසට ලිස්සා යනවාය කියලා. පින්වත අපේ ශීලය, සමාධිය, විදර්ශනාව සහ අධිගමයන් සම්මා සංකප්පයන්ට අදාළව නෙක්ඛම්ම සංකප්පයෙන් පෝෂණය වෙන්න ඕනේ. එසේ නොවුණොත් අධිගමයන් වෙනුවට අපි තුළ සකස් වෙන්නේ අධිමාන්නයන් පමණක්මයි.
පින්වත අපි හැමෝම මැරෙන මිනිස්සු. අපිට නොමැරී සිටින්න බැහැ. අපිට නොමැරී සිටින්න නම් අපි උපත නිරෝධය කරන්න ඕනේ. උපන් දිනයට කේක් කපන අපි, කෙසේ නම් උපත නිරෝධය කරන්න ද? පින්වත කේක් කපන උපන් දිනයක් තුළින් වැඩෙන්නේ ආයුෂය කෙරෙහි ලෝභ සිතක්. ආයුෂ කෙරෙහි ලෝභ සිතට, වර්ණය, සැපය, බලයෙන් බාධා පැමිණෙද්දී අපි ද්වේශය ඇතිකොට ගන්නවා. අවසානයේ අපි තුළ වැඩෙන්නේ සංස්කාරයෝ නිත්‍ය වශයෙන් දකින මෝහ සිතමයි. පින්වත පංච උපාදානස්කන්ධ කේක් ගෙඩිය කොතනින් කැපුවත්, සංස්කාර සුවඳ කැවූ විඤ්ඤාණ අයිසින් එකසේම තැවරී තිබෙනවා. පින්වත උපන් දිනය දවසට කේක් කැපුවාට කමක් නැහැ. උපන්දින කේක් සමග වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ නම් ගිල දමන්න එපා. පුංචි කේක් කෑල්ලක් අනුභව කරද්දී අපි ජාති, ජරා, ව්‍යාධි, මරණ පංච උපාදානස්කන්ධ ලෝකයක්ම අනුභව කළා වෙනවා. පින්වත කාමයන්ගෙන් පිරුණු ලෝකය තුළ නිස්සරණයට තිබෙන්නේ බොහෝම පුංචි ඉඩකඩක්. අපි දක්ෂ වෙන්න ඕනේ එම පුංචි ඉඩකඩෙන් අපිටත් පුංචි හෝ තැනක් වෙන්කොට ගන්න. පින්වත මරණයට හේතුවෙන ඔබේ උපන් දිනය, උපතත් මරණයත් දෙකම නිරෝධය කරන නිස්සරණයට නිකෙලෙස් සිතින් සුභ පැතුම් එක් කරන දිනයක් බවට පත්කොට ගන්න දක්ෂ වෙන්න.
පින්වත අපේ පියවි ඇසට නොපෙනුනාට සිංහල බෞද්ධ සමාජය තුළ කුලභේදය හොල්මන් කරන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය කුලභේදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ධර්මරත්නයේ උතුම් ගුණයක් වෙන පච්චත්තං වේදිතබ්බෝ ගුණය තුළ ජාති, කුල, ආගම් භේද බැහැර කොට, උතුම් තෙරුවන්ට කීකරු ඕනෑම සත්පුරුෂ මනුෂ්‍යයෙකුට ධර්මාවබෝධය උරුම යැයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. පින්වත අපි උපත ලබන කුලය කියන්නේ අතීත කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ ඵලයක්. කුල භේදය කියන්නේ සංස්කාරයන්ගේ විවිධත්වයක්. තම දෙමාපියන්ට බොහෝම කීකරුභාවයෙන් ජීවත් වුණ තරුණ දියණියක් පසුගිය දවසක තම දෙමාපියන්ට අකීකරු වෙලා, දෙමාපියන්ට හොර රහසේම විවාහයක් සිදු කරගෙන. මේ තරුණ දියණිය විවාහ වෙලා තිබෙන්නේ තමන්ට වඩා කුලයෙන් අඩු තරුණ පුතෙක් සමග. මේ ප්‍රශ්නයේ දී අදාළ දියණියගේ අම්මා තම දියණියට සමාව දුන්නත්, දියණියගේ පියා තම දියණියත්, අළුත් බෑණත් තරයේම ප්‍රතික්ෂේප කරනවා. මේ හේතුව නිසාම දෙමාපියන් අතරත් අසමගියක් ඇති වෙලා. පින්වත කුලය මුල්කොටගෙන ඇතිවෙන මෙවන් තත්ත්වයන් සමාජය තුළ ඕනෑ තරම් තිබෙනවා. පින්වත පංච උපාදානස්කන්ධ ලෝකය තුළ ජීවත්වෙන අපි ලෝකයේ යාවජීව සාමාජිකත්වය දරණ සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මය නිවැරදිව හඳුනා ගන්න ඕනේ. පින්වත ලෝකය නොහඳුනාගෙන ලෝකය තුළ ජීවත් වුණොත්, අපි ජීවත් කරන්නේ ඇලීම් සහ ගැටීම් ධර්මතාවයෝමයි.
පින්වත කුල දෘෂ්ටිය භික්ෂුව ධර්මානුකූලව ප්‍රතික්ෂේප කළත්, කුලවත් යැයි සම්මත පවුලක කීකරු දියණියක් හෝ පුතෙක් කුලහීන යැයි සම්මත පවුලක දියණියක් හෝ පුතෙක් සමග දෙමාපියන්ට අකීකරුභාවයෙන් විවාහය සඳහා පෙළඹෙන්නේ සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයේ පෙළඹවීම නිසාමයි. පින්වත ඔබ මේ ජීවිතයේ දී හෝ පටිච්චසමුප්පන්න පෙර ජීවිත වල දී අහංකාරකම, මාන්නය, අනුන් පහත්කොට සැලකීම, ඊර්ෂ්‍යාව පුහුණු කළොත් එම අකුසල සංස්කාරයන්ගේ විපාකයන් හේතුවෙන් පින්වත් දුවෙකුට හෝ පුතෙකුට තමාට වඩා අඩු යැයි සම්මත කුලයක කෙනෙක් සමග ආදර බැඳීම් ඇති වෙන්න පුළුවන්. පින්වත ඔබේ පින්වත් දියණිය හෝ පුතණුවන් තම දෙමාපියන්ට අකීකරුභාවයෙන් තමන්ට වඩා අඩු කුලයකින් විවාහයක් සිදුකොටගෙන ඇත්නම්, එය එම තරුණ දරුවන්ගේ වරදක් ලෙස දකින්න එපා. එය එම දරුවාගේ පටිච්චසමුප්පන්න අවිද්‍යා පච්චයා සංඛාරා, සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයේ ඵලයක් යැයි සිහිනුවණින් දකින්න.
පින්වත් දෙමාපියන් දක්ෂ වියයුතුයි තම දරුවන් කොතෙක් තමන්ට කීකරු වුණත්, සියළු සංස්කාරයෝ අනිත්‍යයි කියන අර්ථය දකින්න. එම අර්ථයටයි බුදුරජාණන් වහන්සේ දෙමාපියන්ගේ රහත් ගුණයන් යැයි දේශනා කරන්නේ. අද කීකරු දරුවා හෙට අකීකරු වෙන්න පුළුවන්. පින්වත් දෙමාපියනි, පාසල් වයසේ පටන්ම ඔබලාගේ පින්වත් දරුවන් ශීලය, මෛත්‍රිය, පින්කම් තුළ ශක්තිමත් කරන්න. දෙමාපියන් සතු උතුම් බ්‍රහ්ම ගුණයන් ගැන, රහත් ගුණයන් ගැන දරුවන්ට කියලා දෙන්න. එවිට දරුවන්ගේ ජීවිත පසුපස තිබෙන පටිච්චසමුප්පන්න අතීත මාන්නයට, අහංකාරකමට, උද්ධච්චභාවයට, ඊර්ෂ්‍යාවට අදාළ අකුසල් යටපත් වී දෙමාපියන්ට කීකරුභාවය දක්වන යහපත් ධර්මයෝ මෝදුකොට දේවි. දෙමාපියනි, කැමති විවාහයක් සඳහා දරුවෝ විනයගරුක වේවි. එතෙක් දෙමාපියන්ගේ දුර්වලතාවයන් හේතුවෙන් දරුවන්, අකීකරු විවාහ හේතුවෙන් පවුල් වලින් ඈත් කිරීම සුදුසු නැහැ.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
මහ රහතුන් වැඩි මග ඔස්සේ
August 06, 2023