වැසි සමය කියාදෙන අර්ථවත් ධර්මය.

පින්වත අපි සද්ධර්මය නොතකා හැරියොත් අසද්ධර්මය අපිව ගිල ගන්නවා. පින්වත අසද්ධර්මය යැයි කියන්නේ දුකට එකම හේතුව පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව යැයි නොදැනීමයි. දුක නිරෝධය කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි නොදැනීමයි. පින්වත අපි අපේ හෘද සාක්ෂියට තට්ටු කරලා නිදහසේ අහමු, වර්තමානයේ කාගේ ළඟ ද තෘෂ්ණාව නැත්තේ. පින්වත් ඔබ ගැන කුමන කතා ද, වර්තමානයේ තමන් රහත් යැයි කියන අය තුළත් තෘෂ්ණාව තිබෙනවා. පින්වත රූපය කියන්නේ මාරයාට. රූපය මාරයා වූ කල්හි රූපය ඇසුරින් සකස්වෙන ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ මාරයාම වෙනවා. පින්වත මාර ධර්මයන් පහක් මම ය, මගේ ය, මගේ ආත්මය යැයි සතුටින්ම පිළිගන්න අපි, සැප සොයාගෙන තවමත් මේ යන්නේ දුක පසුපසම නේද? පින්වත ඔබේ රූපය දෙස හොඳින් බලන්න. ඔය ඇස කවදාහරි දවසක මහ පොළොවට පස්වෙන ඇසක්. ඔය කන, නාසය, දිව, ශරීරය කවදාහරි දවසක මහ පොළොවට පස්වෙන සළායතනයෝමයි. පින්වත ඔබේ ඔය රූපය කවදාහරි පවුලේ සුසාන භූමියේ පසට මුහුවෙන රූපයක්මයි. මොහොතක් දෑස් පියාගෙන මහ පොළොවේ පසත්, ඔබේ රූපයත් එකක් කොට දකින්න. ඒ ඔබ දකින්නේ ධර්මයයි. ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි.

පින්වත සම්මා සම්බුද්ධ ශාසනයට පණ දෙන තවත් සුන්දර වස්සානයක් උදාවෙලා. මේ උදාවුණේ භික්ෂුවගේ දහසය (16) වැනි වස්සානයයි. වැසි සමය කියන අර්ථයට පටහැණි වූ වියලි පරිසරය, සුන්දර වස්සානයේ අපේම අමිහිරි අකුසල් සංස්කාරයන් ගැන අපි හැමෝටම අර්ථවත් ධර්මයක් කියලා දෙනවා. පින්වත දැන් වෙලාව සවස හයට පමණ ඇති. ඒ කියන්නේ සුන්දර සන්ධ්‍යාවක්. ඒත් පරිසරය හරිම උණුසුම්. පරිසරයෙන් ඇසෙන එකිනෙකට වෙනස් කුරුල්ලන්ගේ කිචිබිචිය සතර අපායේ කෙටි ආශ්වාදය ගැන බණක් කියනවා වගෙයි. කුටියේ ආලින්දයේ බාගෙ බිත්තිය ළඟ වාඩිවෙලා, භික්ෂුව ඒ බණ නිවීසැනසිල්ලේ අහනවා. සංසාර බය, සංසාර දුක, සංසාර ගැඹුර ලස්සන කුරුළු ගීතයක සැඟවිලා තිබෙනවා. මෙය සටහන් තබන භික්ෂුවත්, මේ සටහන කියවන පින්වත් ඔබත් කුරුල්ලෙක් නොවී මනුෂ්‍යයෙක් වුණේ අතීතයේ මේ ඇත්ත දැනගෙන සිටිය නිසාමයි. මේ ලස්සන කුරුල්ලෝ ලස්සනට ගීත කියනවා වගේම, පටිච්චසමුප්පන්නව අතීතයේ මනුෂ්‍ය ජීවිත ලබලා මොනතරම් ලස්සනට ධර්ම දේශනාවන් කරන්නට ඇති ද? පින්වත සංස්කාර ලෝකය අවිද්‍යාවෙන් හැඩවැඩ වෙන නිසාම හරිම වියරුවක්. මේ වියරු සංස්කාර ක්‍රියාන්විතය අපි හඳුනා නොගෙන වර්තමානයේ අපි දේශනා කරන බණ, වැදි බණ වුණොත් අනාගත භව ගමනේ අපිටත් අවස්ථාව ලැබේවි ලස්සන කුරුල්ලෙක් වෙලා ලස්සනට නාද කරන්නට. පින්වත අවිද්‍යාව හරිම දක්ෂයි භික්ෂුවකගේ බණත්, කුරුල්ලෙකුගේ මිහිරි නාදයන් ආශ්වාදයෙන්ම රස විඳින්නට.

පින්වත සිතකින් තවත් සිතකට එබී බලන්න නම්, සමාධිමත් සිතක් තිබෙන්නටම ඕනේ. සමාධිමත් සිතකට පුළුවන් තවත් පින්වතෙකුගේ වචන, සිතේ හැඩරුව යම් පමණකට හෝ විනිවිද දකින්නට. පින්වත අවිද්‍යාව මහමෙරක් වූ සමාජයක යම් පින්වතෙක් කතා කරන වචන වලින් පමණක් ලෝකය හඳුනා ගැනීම ලෙහෙසි නැහැ. ලස්සන වචන මාලාවක් තුළ, ගෞරවනීය යැයි හැඟවෙන හැසිරීමක් තුළ අවලස්සන සිතකට සැඟවී සිටින්නට පුළුවන්. පින්වත විවේකය අඩු, සමාධිය හිඟ අපි ජීවත්වෙන සමාජය තුළ රැවටීම සහ රැවටීමට ලක්වීම වැඩිවෙලා තිබෙන්නේ, සමාධිමත් සිත් දුර්වල වී පංච නීවරණයෝ බහුලවීම නිසාමයි. පින්වත කරුණාකර ලෝකයට අවංක වෙන්න. පින්වත් ඔබ සිනාමුසු මුහුණින් ලෝකයට වංක වුණොත්, ඔබමයි අවසානයේ රැවටීමට ලක් වෙන්නේ. රැවටීමෙන් ලොකුම රැවටීම සංඝයා රැවටීම බව සිහිනුවණින් තේරුම් ගන්න. සංඝ සමාජයේ අපි අතින් සිදුවිය හැකි ලොකුම රැවටීම උතුම් තෙරුවන් රැවටීම බව අපි කාරුණිකව තේරුම් ගතයුතුව තිබෙනවා. මෙය සටහන් තබන භික්ෂුව සෑම නිමේෂයකදීම සිතනවා භික්ෂුව උතුම් තෙරුවන්ව රවට්ටනවා ද කියලා. පින්වත ඇලීම් සහ ගැටීම් බහුල ලෝකය තුළ උතුම් තෙරුවන් අමතක වෙලා යනවා. පින්වත් තරුණ භික්ෂුවක් කියනවා, ස්වාමීන් වහන්ස, මට බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙනකොට කේන්ති යනවාය කියලා. පින්වත භික්ෂුවකට උරුම උතුම් ශීලයන් රැකීම කෙරෙහි අකමැත්ත, ඒ නිසාම සකස්වෙන ඉන්ද්‍රීය අසංවරය මෙවැනි මානසික ව්‍යාධීන් අපි තුළ ඇතිකොට දෙන්න පුළුවන්. පින්වත බුද්ධානුස්සතියෙන්, ධම්මානුස්සතියෙන්, සංඝානුස්සතියෙන් ඔය වැනි මෝහ සිතුවිලි වලට වැට බඳින්න. පින්වත ඔබේ ජීවිතය අධ්‍යාත්මිකව ශක්තිමත් කොටගන්න අවශ්‍ය නම්, කායිකව ඔබ යම් පාලනයක් ඇතිකොට ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සංඝ සමාජයේ අපිට විකාල භෝජනා ශිල්පදය පනවන්නේ, ප්‍රත්‍යවේක්ෂා ශීලය අපිට උගන්වන්නේ කාම, රාගයන්ගෙන් අපිට සිදුවෙන පීඩාවන් අවමකොට දෙන්නමයි. මේ උතුම් පැනවීම් මගහැර අපි කය සතුටින් පෝෂණය කරනවා නම්, ඉපිලෙන කයේ ඕජාවෙන් අපි කෙසේ නම් කාම, රාගයෝ අවනත කොටගන්න ද? පින්වත අවිද්‍යාවෙන් උපන් කාත් කවුරුවත් නැති ලෝකයක තවදුරටත් අතරමං වෙන්න එපා. අපි මේ සොයන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණයි. පින්වත ඔබ රජ කෙනෙක්, සිටු කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ඔය සොයන්නෙත් ජාති, ජරා, ව්‍යාධි, මරණයන්මයි. පින්වත ජාති, ජරා, ව්‍යාධි, මරණ ලෝකය තුළ තියලා අපි කවදා ද ලෝකයෙන් නිදහස් වෙන්නේ?

පින්වත පංච උපාදානස්කන්ධ ලෝකය කියන්නේ මිරිඟුවක්. ලෝකය ලස්සනට පෙනුනත් ජරා, ව්‍යාධි, මරණ සැඟවිලා තිබෙනවා. පින්වත ලෝකය මිරිඟුවක් වුණත්, අපිට පුළුවන් නම් ලෝකය මිරිඟුවක් යැයි දකින සිත චිත්තානුපස්සනාවෙන් හෝ ධම්මානුපස්සනාවෙන් දකින්න, එතැන භව නිරෝධයට වැටෙන පොද වැස්සක් තිබෙනවා. පින්වත නිවනට පොද වැසි වැටෙන්න නම්, මනුෂ්‍ය ජීවිත වලට සතුට තිබෙන්නට ඕනේ. සතුට අහිමි ජීවිත වලට කෙසේ නම් විදර්ශනාවේ පොද වැසි වැටෙන්න ද? අපි අහිංසක ජනතාවට ධර්මය දේශනා කළත් ජනතාව පසුවෙන්නේ දෙලොවක් අතර. ඇළ කණ්ඩිය දිගේ භික්ෂුව පිණ්ඩපාතයේ වඩිද්දී සිඳීගිය ඇළ මාර්ග විඩාබර මුහුණින් භික්ෂුව දෙස බලාගෙන සිටිනවා. ඇය කැමතියි වතුර පුරවාගෙන ආශ්වාදයෙන් ගලා බසින්න. ඇය කැමතියි පූදින්න නලියන ගොයමට ජීවිතය දෙන්නට. ඇය කැමතියි අහිංසක ගොවි ගෙවල් බත බුලතින් පුරවලා දෙන්න. අජීවී ඇය, සජීවී අපිට පූර්වාදර්ශයක්. පින්වත වලාකුළු නැති ථිනමිද්ධයෙන් බරවුණු අහස් කුස වැස්ස අමතක කරලා. කුටියේ කැපකරු මහත්තයා භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, එක යායට ගොයම පූදින්න වෙහෙසෙනවා. ඒත් වැව්වල වතුර නැහැය කියලා. පින්වත ඇළ මාර්ග වතුර බලාපොරොත්තු වුණත්, පූදින ගොයම තෙතමනය බලාපොරොත්තු වුණත් මෙවර වැසි ඇවිල්ලා නැහැ. වැස්ස අපි සමග විරසක වෙලා. පින්වත අපිත් සමග වැස්ස තරහා වෙන්න හේතුවක් තිබෙනවා. අජීවී වැස්ස, සජීවී අපිට ධර්මයක් කියලා දෙනවා. පින්වත යම් රටක පාලක පින්වතුන්ලා අධර්මිෂ්ඨ වෙද්දී, සමාජය අධර්මිෂ්ඨ වෙලා, ඍතු විකෘති වෙනවා. අව්ව, වැස්ස විකෘති වෙනවා. මහ පොළොව නිසරු වෙනවා. බවබෝග සම්පත් ශරීරයට විෂ සහිත වෙනවා. එහි අවසාන ඵලය ජනතාව කර්ම රෝගයන්ට ගොදුරු වීමයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. පින්වත අජීවී ඇළදොල වතුර යදිද්දී, අජීවී කෙත්වතු අස්වනු උදෙසා තෙතමනය බලාපොරොත්තු වෙද්දී, අජීවී පරිසරය මනුෂ්‍යයා ජීවත් කරවද්දී ජනතාවගේ ඡන්දයෙන් තෝරාගත් සජීවී නායකයෝ වැස්සේ නැතිනම් විදුලිය නැහැය කියනවා. වැවේ වතුර නැතිනම්, කුඹුරු කරන්න එපා යැයි කියනවා. පින්වත, පින්වත් පාලකතුමන්ලා රටට අවශ්‍ය වෙන්නේ නැතිවාදම කියන්න නොවේ. කැලෑ විනාශ කරලා තිබෙන වැස්සත් අවම කොටගන්න නොවේ. වැව් ගොඩ වෙන්න ඇරලා ඉඩෝරයට හූල්ලන්න නොවේ. ස්වාභාවික අභියෝගයන් ඉදිරියේ “ස්වභාවධර්මය” ජනතාවගේ අපේක්ෂාවන් උදෙසා කළමනාකරණය කොට ගැනීමටයි. පින්වත පාලක පින්වතුන්ලාගේ අපේක්ෂාව බලයම වූ කල්හි, ජනතාවගේ අපේක්ෂාවන් දංගෙඩියට යෑම හේතුඵල ධර්මයක්ම වෙනවා.

පින්වත අපි මේ සංවර්ධනය යැයි පුන පුනා වෙන්දේසි කරන්නේ අධර්මිෂ්ඨභාවයම නේද? මිච්ඡා වාචාවන්ට මනුෂ්‍යත්වය තවරා විසඳුම් නාමයෙන් වචනයෙන් වචනය බෙදා දෙන්නේ අධර්මිෂ්ඨභාවයම නේද? පින්වත අපි කවුරුන් ගැනවත් උදහස් වියයුතු නැහැ. ධර්මය රවට්ටන්න කාටවත්ම බැහැ. නමුත් වර්තමානයේ අකුසල් ධර්මයෝ බලවත් නිසාම පැටවු ගහන්නෙත් අකුසල්මයි. නමුත් අපි මේ ඔඩුදුවන අකුසලය සතුටින් පිළිගත යුතු නැහැ. අකුසලය සතුටින් පිළිගත්තොත් අකුසලයමයි අපේ ජීවිතය වෙන්නේ. පින්වත ජනතාවට දුක් වැඩි නිසාම, දුක ගැන හැඟීමක් ජනතාවට නැහැ. දුක සතුටින් පිළිගන්න තත්ත්වයට සමාජය පත්කරලා තිබෙනවා. පින්වත සැප විඳින ඇත්තෝ සුවසේ සැප විඳින්න නම්, දුක් විඳින ඇත්තෝ දුක අමතක කරලා ජීවත් වෙන්න ඕනේ. පින්වත අධර්මිෂ්ඨ පාලක පින්වතුන්ලා සමාජයට සීමාව ඉක්මවා දුක් දෙන්නේ, දුක ඔබේ ජීවිතයට ජීරණය කොට දෙන්න. පින්වත දුක ළඟ නවතින්න එපා.

ගෞරවනීය පින්වත ඔබ පුණ්‍යවන්ත මනුෂ්‍යයෙක් වුණේ එක්කෝ දුක නිරෝධය දෙසට ගමන් කරන්න, එක්කෝ දුක ජයගෙන සැපයෙන් තාවකාලිකව හෝ නැගී සිටින්න. පින්වත මේ කාරණා දෙකෙන් එකක් තෝරා ගන්න. එවිටයි ඔබ මනුෂ්‍යත්වයට වටිනාකමක් දුන්නා වෙන්නේ. පින්වත අධර්මිෂ්ඨභාවයෙන් ඔබව පීඩාවට පත්කරන පින්වතුන්ලාගේ සැපය උදෙසා පින්වත් ඔබ දුක සතුටින් පිළිගන්න නම් එපා. පින්වත දුක ජයගන්නා අවිය ශීලයයි, මෛත්‍රියයි. මේ ඍතු විකෘතීන්, අව්ව, වැස්ස විකෘතීන් ඔබට බල කරනවා, සිහිනුවණින් දුකට හේතුව දෙස බලන්නය කියලා.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

මහ රහතුන් වැඩි මග ඔස්සේ
August 13, 2023