පින්වත අපේ රටේ දේශපාලනයට අතීත අකුසල් නිසාම ඒරාෂ්ඨකයක් උදා වෙලයි තිබෙන්නේ. දේශපාලනයට ඒරාෂ්ඨකයක් උදා වෙත්දි, පූජක පක්ෂයටත්, ජනතාවටත්, පරිසරයටත්, බවබෝග සම්පත් වලටත් ඒරාෂ්ඨකයේ අකුසල් ඕජාව සිත් සේ විපාකයන්ට එනවා. පින්වත වර්තමානයේ අපි අකුසලයෙන් පිබිදෙන ජාතියක්. දස දිශාව බැලීමේ දී අපිට පෙනෙන්නේ අකුසලයේ පිබිදීමයි. රටේ දේශපාලනය බොරුවෙන්, බල තණ්හාවෙන්, වංකකමෙන් පිබිදෙනවා. නගරයත්, ගමත් යන දෙකම ආකර්ෂණීය අරක්කු කඩ වලින්, කුණු ලිංගිකත්වය විකුණන සම්බාහන ආයතන වලින් පිබිදෙනවා. අපේ රටේ වෙළඳපොළ පාරිභෝගික ජනතාව මානසිකව මරා දමන මිල නියම කිරීම් වලින් පිබිදෙනවා. පාතාලය, මත්ද්‍රව්‍ය, හොර මැරකම් ජනතාවගේ ඇස් වලට වැලි ගසමින් පිබිදෙනවා. මේ සියල්ලන්ගේම බලාපොරොත්තු කඩවුණ යහපත් මනුෂ්‍යයන්ගේ කළකිරීම් හුස්මක් හුස්මක් පාසා පිබිදෙනවා. බලය උදෙසා සමස්ත ජාතියම ජාත්‍යන්තරයේ මහා ණය උගුලක සිරකොට තබන බියකරු අනාගත වහල්භාවයෙන් සමස්ත ජාතියම පිබිදෙනවා. පින්වත ඉවසීමෙන් පමණක්මයි සැනසිල්ල ලැබෙන්නේ. පින්වත සිංහල, දමිළ, මුස්ලිම් සමස්ත ජාතියටම උදා වී ඇති මේ අකුසලයේ ඒරාෂ්ඨකය යම් පමණකට හෝ ජය ගැනීමට නම්, ශීලය සහ මෛත්‍රියමයි අපේ කල්‍යාණ මිත්‍රයා විය යුත්තේ.
පින්වත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා, ස්වාමීන් වහන්ස, ධාර්මිෂ්ට පාලකයෙක් තම රටේ සිදුවෙන බරපතළ වැරදි වලට දැඩි දඬුවම් නොදිය යුතු ද කියලා. පිංවත ධාර්මිෂ්ට රජ කෙනෙක් කියලා කියන්නේ කර්මය කර්මඵලය හඳුනන රජ කෙනෙක්. චේතනාවයි කර්මයට මුල් වෙන්නේ කියන ධර්මානුකූල අර්ථය දන්න කෙනෙක්. ඔහු වරදකරුට හෝ වරදට දඬුවම් දෙන්නේ ද්වේශයෙන් හෝ පළිගැනීමෙන් නොවේ. ඔහු වරදකරුට දඬුවම් දෙන්නේ වරදකරු කෙරෙහිත්, සමාජය කෙරෙහිත් මෛත්‍රී සිතෙන්මයි. පින්වත් ජනතාව කෙරෙහි කරුණාවන්ත ධාර්මිෂ්ට රජ කෙනෙක් කියන්නේ වරදට දියයුතු උපරිම දඬුවම් දෙන කෙනෙකුටයි. යම් රජ කෙනෙක් වරද නොසලකා හරිනවා නම්, වරද සුළුකොට තකනවා නම්, වරදට දඬුවම් නොදෙනවා නම් එම රජතුමා නිතිපතා පංචශීලය ආරක්ෂා කළත් ඔහු ධාර්මිෂ්ට රජ කෙනෙක් නම් වෙන්නේ නැහැ. එම අධාර්මිෂ්ට රජතුමා වැරදි ප්‍රවර්ධනය කරන, ජනතාව වැරදි වලට පොළඹවන රජ කෙනෙක් බවට පත්වෙනවා. හෙට දවසේ යම් අසංවර පුද්ගලයෙක් පාසල් වයසේ දරුවෙක්ට අමානුෂිකව කායික හිංසනයන්ට ලක් කළොත් එම වරදකරුට උපරිම දඬුවම් ලබාදීම ධාර්මිෂ්ට රජ කෙනෙකුගේ වගකීම විය යුතුයි. සමාජය තුළ සිදුවෙන වැරදි වලදී වරදකරු කෙරෙහි මෛත්‍රී සිතෙන් වරදකරුට උපරිම දඬුවම්දීම තුළින් ධාර්මිෂ්ට පාලක පින්වතෙකුගේ චේතනාව වියයුත්තේ බහුතරයක් ජනතාවගේ ආරක්ෂාවයි. වරදට පෙළඹීමට බලාපොරොත්තු වෙන අයට දණ්ඩනය කෙරෙහි බිය ඇතිකොට දීමයි. පින්වත සමාජය යහපත් සමාජයක් බවට පත්කොට ගැනීමට නම් වරදට දඬුවම්දීම දේව භාෂිතයක් සේම අකුරට ක්‍රියාත්මක වියයුතුයි. එයමයි රජ කෙනෙකුගේ ධාර්මිෂ්ටභාවයේ එක ලක්ෂණයක් යැයි කියන්නේ. පින්වත වැරදි කරන රජවරු, අනුනගේ වැරදි වලට දඬුවම් දෙන්න බයයි. වැරදි කරන රජවරු තම වැරදි සඟවාගෙන අනුනගේ වැරදි වලට දඬුවම් දෙත්දී තම හෘද සාක්ෂිය තමාටම දොස් කියනවා. එම නිසාම වැරදි කරන රජවරු හැමදාමත් කරන්නේ වැරදි ලිහිල්කොට තැබීමයි. වැරදි නොදැක්කා සේ සිටීමයි. පාලක පින්වතුන්ලාගේ ඉහත දුර්ගුණයම ඔවුනගේ අධාර්මිෂ්ටභාවය වෙනවා. පින්වත හෙට දවසේ සමාජය යම් පමණකට හෝ නිවැරදි වීමට නම් අද දවසේ වරදට දියයුතු උපරිම දඬුවම් මෙත් සිතින් දියයුතු වෙනවා. පින්වත සමාජය නිවැරදි වෙනතෙක් ඔබ බලාගෙන සිටින්න එපා. ඔබ වහ වහා නිවැරදි වෙන්න. එවිට සමාජය නිවැරදි වේවි.
පින්වත ජනප්‍රියභාවය කියන්නේ මෛත්‍රියේ, ශීලයේ, දානයේ ඵලයක්. ජනප්‍රියභාවය අපිට මාධ්‍යවල දැන්වීම් පළකරලා ලබා ගන්න බැහැ. මාධ්‍යය තුළින් ජනප්‍රිය වෙන්නත් මෛත්‍රියේ, ශීලයේ, දානයේ ආනිශංස අපේ ජීවිත පසු පස්සේ තිබෙන්නට ඕනේ. පින්වත ඔබ ධර්මයෙන් ගුණාත්මක වෙන්න. ජීවිතය තුළ මනුෂ්‍ය ධර්මයන් වර්ධනය කොටගන්න. එවිට කුසල් සංස්කාරයෝ විසින්ම ඔබව ජනතාව අතරට අරගෙන යාවි. පින්වත් ජනතාව විසින්ම ඔබව ජනතාව අතරට අරගෙන යාවි. පින්වත වර්තමානයේ සමාජයට අත්‍යාවශ්‍ය වෙලා තිබෙන්නේ මාධ්‍ය විසින් ජනතාව අතරට ගලාගෙන යන නායකයෝ නොවේ. අද සමාජයට අවශ්‍ය වෙලා තිබෙන්නේ ජනතාව විසින්ම ජනතාව අතරට අරගෙන යන නායකයෙක්. පින්වත අප්‍රමාදී වෙන්න. නව වෙනසක විළිරුදාවෙන් සමාජය ඔත්පලවයි සිටින්නේ. ඔත්පල වූ ජාතියේ හෘද සාක්ෂිය නගන කෙඳිරිලි හඬ සිහි නුවණින් තේරුම් ගන්න. මේ නැගෙන කෙඳිරිලි හඬ විනාශයේ අඳෝනාවක් නොව, ඔත්පල වූ ජාතියට නව වෙනසක් අවශ්‍ය යැයි කියාදෙන පාඩමක්.
පින්වත කෙලෙසුන්ගෙන් තොරව ලෝකය දකින්න. එවිට ලෝකය හරිම නිරවුල්. ඒ නිරවුල් ලෝකය ඉද්ද ගැසුවා සේම සති සම්බොජ්ඣඬ්ඟය ළඟම නවතිනවා. එවිටයි ජීවිතය තුළින් ධර්මය කතා කරන්නේ. පින්වත ඔබේ ජීවිතය තුළින් අධර්මය ගොළු කරලා ධර්මය කතා කරවන්න. ධර්මය කතා කරන ජීවිතයක් කෙටි කාමයේ සහ රූපයේ ආශ්වාදයට වැට බඳින්නේ සැබෑ ප්‍රීතිය සහ පස්සද්ධියේ හැඩරුව අත්දකිමින්මයි. පින්වත පංච නීවරණ කියන්නේ කෙටි ආශ්වාදයට ගොදුරක් වූ අකුසල් මූලයන්ගේ ගොදුරු බිමක්. පංච නීවරණ කියන්නේ විඤ්ඤාණය නමැති මායාවේ තවත් භව කුරුමාණමක්. පින්වත පංච නීවරණ යැයි කියන්නේ මිථ්‍යාදෘෂ්ටියට පාර පෙන්වන භව සිතියමක්. පින්වත භව සිතියමක නවාතැන් පළවල් කොච්චර නම් තිබෙනවා ද? උපාදාන පච්චයා භවය. ඉඳිකටු තුඩක තරම් පුංචි උපාදානයක් ජාති, ජරා, ව්‍යාධි, මරණ මහා දුක් ගොඩක උරුමය වෙනවා. පින්වත පුංචි සිතුවිල්ලකින්වත් බැඳී යන්න එපා. එම බැඳීයාම තවත් කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකයක ආරම්භයක් වෙනවා. පින්වත අපි හැමෝම වරින් වර දිනුම් කණුව පසුකරගෙන යන පරාජිතයෝ. වරෙක අපි දිනනවා. තවත් වරෙක අපි පරාජය වෙනවා. අපි ගොඩනගන සංස්කාර ලෝකයත් අපිම කඩලා, බිඳලා, විසිරුවලා දමනවා. පින්වත අපි සියල්ලෝම එකම මාතෘභූමියේ දරුවෝ. එකම මහ පොළොවේ සාරයෙන් ඉණූ රස ඕජාවෙන් උපන් දරුවෝ. අපි කෙනෙක් පරාජය කොට තව කෙනෙක් දිනිය යුතු නැහැ. පින්වත ජයග්‍රාහකයෙක් ඇති තැන පරාජිතයෙක් අනිවාර්යයෙන්ම සිටිනවා. කෙනෙක් පරාජය කොට තව කෙනෙක් ජයග්‍රාහකයෙක් වියයුතු නැහැ. පින්වත අපි සියල්ලෝම දිනමු. ජරාජිතයෙක් ඇති ජය වේවා යැයි කියන අර්ථයට සමු දී අපි සියළු සත්ත්වයෝ සුවපත් වේවා යැයි කියමු.
පින්වත අපේ රටේ පෙරහර සංස්කෘතියට අකමැති ගොඩාක් දෙනෙක් සිටිනවා. මෙවැනි පින්වතුන්ලාට පෙරහර කියන්නේ සත්ත්ව හිංසනයක්. මෙවැනි පින්වතුන් පෙරහර නරඹන්නේ අධ්‍යාත්මික සතුටක් ලබන්නට නොවේ. අලි ඇතුන්ට සිදුවෙන හිංසනයන් ගැන ඕපාදූප සොයන්න. පින්වත සත්ත්ව හිංසනය පංචශීලයේ පළමුවැනි සිල් පදයෙන්ම ප්‍රතික්ෂේප කළ ධර්මතාවයක්. හීලෑ අලි ඇතුන්ට ගිහි සහ පැවිදි අපි කායිකව, මානසිකව හිංසා කිරීම බලවත් වරදක්. නමුත් අපි ඇත්ත ඇති සැටියෙන්ම දකින්න ඕනේ. පින්වත කැලයේ ජීවත්වෙන අලි ඇතුන් මනුෂ්‍යයාට සිදුකරන දේපළ හානි, වගා හානි, බියගැන්වීම්, මරා දැමීම් හේතුවෙන් මොනතරම් නම් අකුසල් සිද්ධකොට ගන්නවා ද? අලි ඇතුන්ගෙන් තම වගාවන් සහ දේපළ ආරක්ෂාකොට ගැනීම උදෙසා කොතෙක් නම් ජනතාවක් මුළු රාත්‍රිය පුරා නිදි වරනවා ද? ගම්මාන ආශ්‍රිතව වගා බිම් වල දී කොතෙක් නම් අලි ඇතුන් ගොවි ජනතාවගේ අලි වෙඩි දැමීම්, රතිඤ්ඤා දැමීම්, පහරදීම්, හක්ක පටස් ආහාරයට දීම්, වසවිස දීම් හේතුවෙන් මරණීය වේදනාවන්ට පත්වෙනවා ද? සමාජගත අලි මිනිස් ගැටුම් හේතුවෙන් මේ දෙපාර්ශවය අත්විඳින අකුසල් කන්ද ඇත්තු ලක්ෂ ගණනකගේ බරක් ඉක්මවා යනවා. පින්වත කැලයේ අලියෙක් ස්වාභාවික හේතුවකින් හෝ අස්වාභාවිකව මිය යත්දී හුඟ දවසක් රෝගීව නිරාහාරව දුක් විඳලා මියයන අවස්ථාත් තිබෙනවා. රෝගී අලි ඇතුන්ගේ මස් පණ තිබියදීම කිඹුලන්, කබරයින් වැනි සතුන් විසින් කඩාගෙන කන අවස්ථා ඕනෑ තරම් කැලෑවල සිද්ධ වෙනවා. කැලයේ අලි ඇතුන්ට මද ලකුණු පහළ සමයට අලි සහ ඇතුන් මරණීය ගැටුම් සිද්ධකොට ගන්නවා. පින්වත වන අලින්ට තම වන ජීවිතයේ දී සිද්ධවෙන සහ සිදුකොට ගන්නා මහා හිංසනයන් දෙස සිහි නුවණින් දකිත්දී පන්සලේ හෝ දේවාලයේ බැඳ දමා සිටින හීලෑ අලි ඇතුන් මොනතරම් නම් අකුසලයෙන් යම් පමණකට හෝ මිදී ද්වේශය නොවඩා, මිනිස් හිංසනයන්ට නොයා ජීවත්වෙන සතුන් ද? පින්වත පෙරහරේ යන අලි ඇතුන්ගේ දෙපා විලංගු දැකලා කලබල වෙන්න එපා. ඔබේ මිථ්‍යාදෘෂ්ටියේ යදම් කඩා බිඳ දමන්න. එවිට ඔබට වැටහේවි හීලෑ අලි ඇතුන් මොනතරම් නම් අකුසලයෙන් මිදී ජීවත් වෙනවා ද කියලා. හීලෑ අලි ඇතුන්ගෙන් හිංසාකාරී ලෙස බර වැඩ ගැනීම සහ බීමත් ඇත්ගොව්වන්ගෙන් අලින්ට සිදුවෙන හිංසාවන් සහ අවශ්‍ය ආහාර ලබා නොදීම බලවත් සත්ත්ව හිංසනයන් බව ගිහි සහ පැවිදි අපි සිහි නුවණින් තේරුම් ගන්න ඕනේ.
පින්වත අලි ඇතුන් කියලා කියන්නේ පෙර ජීවිතයක මනුෂ්‍ය ජීවිත ලබලා හොඳින් දානය පූජා කළත්, බොහෝම නරකින් සිල්පද දුර්වලකොට ගැනීමේ හේතුඵල ධර්මයක්. පින්වත ඔබ මේ මනුෂ්‍ය ජීවිතයේ දී මහා ධනවතෙක් වෙලා, තෙරුවන් උදෙසා ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, ලෝභ සිත් දුරුකොට, එහෙත් කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරව සිල්පද දුර්වල කොටගනිමින් ඇත් දළ පූජා කළත්, රන්, රිදී, දියමන්ති පූජා කළත් ඔබටත් පටිච්චසමුප්පන්නව ආකර්ෂණීය ඇත් දළ දෙකක් සහිත ප්‍රතාපවත් ඇත් රජෙක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඔබ අයිති වෙන්නේ සතර අපායට. පින්වත් සුන්දර ඇතෙක්ගෙන්, ප්‍රතාපවත් අලියෙක්ගෙන් අපි දැකිය යුත්තේ ඔය ධර්මයයි. වර්තමානයේ කර්මයේ කර්මඵල විශ්වාසයකින් තොරව දුශ්ශීලව දන්සල් ආදී වූ මහා දානයන් දෙන පින්වතුන්ලාගේ වර්ධනය දෙස බලද්දී අනාගතයේ අලි ඇතුන්ගේ ගහණය අඩුවේවි යැයි සිතන්න නම් බැහැ. පින්වත වන අලියෙක් සහ හීලෑ අලියෙක් තරාදියේ දෙපැත්තට දැම්මොත් අකුසලයේ බර ඇතෙක් බරට වැඩි, වන අලියාගේ බව කරුණාවෙන් තේරුම් ගන්න.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2023/07/02 වන ඉරුදින දිවයින පුවත්පත.