සංදර්ශන අසිරිය මැද පින පිරිහී ගිය බොරුව.

පිංවත, අපි හැමෝගේම ජීවිත තෘෂ්ණාවෙන් කුරුවල් වෙලා. කාගේ ජීවිතය සොලවා බැලුවත් අපිට දැනෙන්නේ සල්ලි කොළවල දුර්ගන්ධයමයි. මේ සල්ලි කොළවල දුර්ගන්ධය නිසාම, මනුෂ්‍යත්වයේ සුවඳට ගරු කරන සත්පුරුෂ මනුෂ්‍යයෝ බොහෝම වේගයෙන් උපන් මවුබිම අතහැරලා විදේශගත වෙනවා. පිංවත මෙහෙම ගියොත් අපේ රටේ ඉතිරි වෙන්නේ තෘෂ්ණාවම උපාදානය කොටගත්ත මනුෂ්‍ය, ප්‍රේතයෝ, මනුෂ්‍ය කුම්භාණ්ඩයෝ සහ මනුෂ්‍ය බහිරවයෝ පමණක්මයි. පිංවත, හෙට කියලා දවසක් උදා වුණත්, අපිට හෙටක් පෙනෙන්නේ නැහැ. ඒ තරමටම අද දවස අඳුරුයි. සෑම ක්ෂේත්‍රයකම අමනුෂ්‍යත්වය රජ වෙද්දී, සමාජය තුළ ඉතිරි වී ඇති පුංචි මනුෂ්‍යත්වය අපේ හදවත් තුළම සැඟවී හඬා වැටෙනවා. පිංවත, ඇයි මේ රටට ආදරය කරන, මනුෂ්‍යත්වයට ආදරය කරන පිංවත් මනුෂ්‍යයෝ සහ උසස් අධ්‍යාපනයක් ලැබූ වෘත්තීයවේදීන් උපන් රට හැර යන්නේ? පිංවත, තමන් උපන් මාතෘභූමියට ගරුකරන, පෙර පිනෙන් උපන් වෘත්තීයවේදීන් උපන් රට හැර යන්නේ, එම පිනෙන් උපන් වෘත්තීයවේදීන්ගෙන් මාතෘභූමියට සේවයක් ලබන්න අපේ මනුෂ්‍ය සමාජයට පින් මද නිසාමයි. පිංවත, රටක පින පිරිහී යනකොට එම සමාජය තුළ පව පැළපදියම් වෙනවා. වර්තමානයේ මේ සිදුවෙමින් පවතින්නේ රටේ පින උපන් රටෙන් විදේශගත වී අකුසලය රටේ ස්ථාවර වීමයි.

පිංවත, දස කුසල් ධර්මයන්ගේ ඵලයෙන් බිහිවෙන සක්විති රජ කෙනෙක්ගේ පුණ්‍ය ශක්තිය නිසාම, ජනතාව සක්විති රජු දැකීමෙන් සතුටු වෙනවා. සක්විති රජු සිනාසීමෙන් ජනතාව සතුටු වෙනවා. සක්විති රජු වචනයක් කතා කිරීමෙන් ජනතාව සතුටු වෙනවා. පිංවත, පිනෙන් උපන් ධර්මයෝ පිනෙන්ම ප්‍රසංසා ලබනවා. මනුෂ්‍යත්වයෙන්ම උපන් ධර්මයෝ මනුෂ්‍යත්වයෙන්ම පිදුම් ලබනවා. පිංවත, දස කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ ජීවිතවල වර්ණය, සැපය, බලය බලහත්කාරයෙන් ලබන්න අවශ්‍ය නැහැ. තමා පසුපස ආයාසයකින් තොරවම උල්පත් ජලයක් සේ වර්ණය, සැපය, බලය ගලාගෙන එනවා. පිංවත, සමාජය දෙස හොඳින් දෑස් හැර බලන්න. අපි දකින්නේ පින් මද, එහෙත් උපක්‍රමශීලීභාවයන්ගෙන් සහ බලහත්කාරකම් වලින් වර්ණය, සැපය, බලය සොයන පින්වතුන්ලා නේද? පිංවත, කරුණාකර කපටිකම් වලින්, වංචාකාරීකම් වලින්, බලහත්කාරකම් වලින් වර්ණය, සැපය, බලය ලබාගන්න යන්න එපා. සැබෑ දසකුසල් ධර්මයන්ගෙන් පෝෂණය නොවූ උපක්‍රමශීලීව ලබා ගන්නා කුමන තනතුරක් වුව ද, දුකක්, පීඩාවක්, විනාශයක් දිශාවටමයි අපිව මෙහෙය වන්නේ. එවැනි නායකයන් දැකීමෙන් ජනතාව සතුටු වෙන්නේ නැහැ. එවැනි නායකයන් සිනාසීමෙන් හෝ වචනයක් කතා කිරීමෙන් ජනතාව සතුටට පත්වෙන්නේ නැහැ. දශකුසල් ධර්මයෝ හීන වී ගිය, පින දුර්වල පිංවතුන්ලාගේ සිනහවත්, කතාවත්, ව්‍යාජ ධර්මයන්ගෙන්මයි පෝෂණය වෙලා තිබෙන්නේ. පිංවත, දස අකුසල් ධර්මයන් වැඩීම නිසාම පින පිරිහී ගිය ඇත්තෝ, තමන් තුළ නැති පින ලෝකයාට පෙන්වීම උදෙසා ජනතාවගේ මුදලින් නානාවිධ සංදර්ශනයන් පවත්වනවා. මෙවැනි පින පිරිහී ගිය විඤ්ඤාණයේ මැජික් සංදර්ශන අධර්මයෝ, අධර්මයෙන්ම පෝෂණය කොට දෙනවා. පිංවත, පවට පින වටින්නේ නැහැ. පිංවත, අකුසලයට කුසලය වටින්නේ නැහැ. පාපකාරී පුද්ගලයාට තමන් උපන් රට වටින්නේ නැහැ. සත්පුරුෂ පිංවතාට පිනත්, කුසලයත්, තමන් උපන් රටත් තම ජීවිතයටත් වඩා වටිනවා.

පිංවත, සමාජගත සංදර්ශන අසිරිය මැදින් පින පිරිහී ගිය බොරුවේ සෙළුව, සද්ධර්මයේ කැඩපතින් දකිද්දී, මාතෘභූමියට ආදරය කරන පිංවත් ජනතාව බොහෝම සිහිනුවණින් සමාජගත ප්‍රශ්න දෙස බැලිය යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාය කර්මයන්ට වඩා, වචී කර්මයන්ට වඩා, මනෝ කර්මයන් බලවත්ය කියලා. මනෝ අකුසල් කර්මයන් යැයි කියන්නේ ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයන්ටයි. පිංවත, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයෝ වෙනස් වෙලා යද්දී, මේ වෙනස්වීම් අපි අවිද්‍යාව හැටියට දකින්නේ නැහැ. මේ වෙනස්වීම මම ය, මගේ ය, කියලා ආත්මීය දෘෂ්ටියෙන් දකිමින්, මේ වෙනස්වීම් තුළ අකුසල් මූලයන්ම ශක්තිමත්කොට ගන්නවා. පිංවත, කල්‍යාණමිත්‍රභාවයෙන් ඉඩෝරයට හසුවුණ සමාජයක ලෞකික ප්‍රඥාවේ අර්ථයන් කේඩෑරී වෙලයි තිබෙන්නේ. ලෞකික ප්‍රඥාවට අදාළ කර්මය කර්මඵල විශ්වාසය යැයි කියන එකම අර්ථයට පුළුවන් මේ සමාජය යළි ඔසවා තබන්න. නමුත් ඒ එකම අර්ථයවත් අපි ජීවිතයට එකතුකොට ගැනීමට ප්‍රමාද වෙලා තිබෙනවා. ලෞකික ප්‍රඥාව දුර්වල අපි හැමෝම උණු උණුවේම සොයන්නේ එක්කො ඇලීම් නැතිනම් ගැටීම්. අපි කැමති දෙයට අපි ඇලිලා යනවා. අපි අකමැති දෙයට අපි ගැටිලා යනවා. අනේ දෙවියනේ අපි කවදා ද සම්මා සතියක් සහ සම්මා සමාධියක් ඇති මනුෂ්‍යයෙක් බවට පත්වෙන්නේ? ඇලීම් සහ ගැටීම් යනු තෘෂ්ණාවේම ප්‍රවර්ධනය බව අපි කවදා ද දකින්නේ? තෘෂ්ණාවේ ප්‍රවර්ධනය යනු පංච නීවරණ මුඩු බිමේ සිත් සේ හටගන්නා දුකම නේද? පිංවත, වර්තමාන ධර්මයෙන් අකීකරු සමාජය ධර්මානුකුළව තේරුම් ගන්න නම්, සම්මා සමාධිමත් සිතක් තිබෙන්නට ඕනේ. සම්මා සමාධිමත් සිතක් ලබන්නට නම් ධර්මය සහ අධර්මය නිවැරදිව හඳුනන සම්මා සතියක් තිබෙන්නට ඕනේ. පිංවත, ලෞකික ප්‍රඥාව දුර්වල සමාජයක සම්මා සතිය සහ සම්මා සමාධිය ගොඩාක් දුර්ලභ වෙන්න පුළුවන්. ඒ නිසාම අපිට සමාජයක වෙන අධාර්මිෂ්ටභාවයන් ඉදිරියේ විසඳුම් නැහැ. අපි අවිද්‍යාවේ ජාති අන්ධයන් සේ සමාජගත දුශ්ශීලභාවයන්ගෙන් සහ අකුසල් මූලයන්ගෙන් තවදුරටත් සෞභාග්‍යයේ වෙනසක් බලාපොරොත්තු වෙනවා.

පිංවත, දුශ්ශීල පිංවතා ඉදිරියේදීත්, ශිල්වත් පිංවතා ඉදිරියේදීත් අපි ඇතිකොටගත යුත්තේ ඇලීම් සහ ගැටීම් වලින් තොර සමාධිමත් සිතක්. බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණනක් පහළ වෙලත් හදන්න බැරි වූ ලෝකය, අපිට හදන්න බැහැ. ඒ නොහැදෙන ලෝකය උපයෝගී කොටගෙන අපි හැදෙමු. එවිටයි අපිට ලෝකයාට හැදෙන්න මාර්ගයවත් කියලා දෙන්න පුළුවන් වෙන්නේ. අපි ගිහි වේවා, උතුම් පැවිදි වේවා අපි තුළ සම්මා දිට්ඨියේ අර්ථයන් තිබෙනවා නම්, අපි දුශ්ශීලභාවයෙන් සෞභාග්‍යයක් බලාපොරොත්තු නොවිය යුතුයි. රටක් හැටියට අපිට ඇති බවබෝග සම්පත්වල ආරක්ෂාව, ප්‍රවර්ධනය බලාපොරොත්තු නොවිය යුතුයි. රටක් හැටියට අපිට එල්ලවෙන අභියෝගයන් ජය ගැනීමට බලාපොරොත්තු නොවිය යුතුයි. උතුම් ශීලයේ ආනිශංශයන්ට අදාළව ඉහත එකම කාරණයකදීවත් ගිහි සහ පැවිදි අපේ එකඟතාවයන් නැහැ නේද? මේ කාරණා වලින් පැහැදිලි වෙන්නේ අපේ ලෞකික ප්‍රඥාවේ දුර්වලභාවයන්ම නේද? මෙය සටහන් තබන භික්ෂුව, ගෞරවනීය සංඝ සමාජයට බොහෝම නිහතමානීව ආරාධනා කරනවා, අපි හැමෝම සම්මා සම්බුද්ධ ශාසනයේ හෙට දවස ගැන සිතලා, පවතින බියකරු සමාජ අර්බුදයට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් යම් පමණකට හෝ නිවැරදි විසඳුමක් සොයා ගැනීමට උත්සාහයක් ගනිමු කියලා. භික්ෂු සමාජයේ අපි තීරණ, තීන්දු ගත යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් පමණක්ම විය යුතුයි. පිංවත, අපි තවමත් අවාසනාවන්ත නැහැ. වාසනාව තවමත් ඈතට වී බලා සිටිනවා, අපි ඇයව යළි වැළඳ ගනී ද කියලා.

පිංවත, මේ දවස්වල ලෙඩ රෝග නම් හදාගන්න එපා. අසනීපයක් හැදිලා රජයේ රෝහලකට එහෙම ගියොත් ඔබේ පිහිටට සිටින්නේ ඔබේම අතීත සංස්කාරයෝ පමණක්මයි. පිංවත, ඇයි අපිට මෙහෙම වුණේ? අපේම අතීත අකුසල් සංස්කාරයෝ අපිට එළව එළවා පහර දෙනවා. ලෞකික සැප ලැබීමේ එකම මාර්ගයයි ලෝකය තුළ තිබෙන්නේ. එම මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පස්වෙනි මාර්ග අංගය සම්මා ආජිවයයි. පිංවත, සම්මා ආජිවය ගැන වර්තමාන සමාජය දැනුවත් ද? මිච්ඡා ආජීවයෝ දෝරෙ ගලායන සමාජයකයි වර්තමානයේ අපි ජීවත් වෙන්නේ. පිංවත, වසවිස විකිණීම මිච්ඡා ආජීවයක්. නමුත් අපේ බෞද්ධ පිංවතුන්ලා වසවිස විකිණීම යැයි කියන්නේ කෘමිනාශක, සහ වල්නාශක විකිණීම පමණක්මයි. පිංවත, වර්තමානයේ කෙසෙල් ගෙඩියක්, අඹ ගෙඩියක්, ගස්ලබු ගෙඩියක්, එළවළු, පළා වර්ග, මාළු, කරවල, මුදවපු කිරි හට්ටියත් වසවිස විකිණීමක් බවටම පත්වෙලා නේද? වර්තමානයේ ගොඩාක් ආහාර නිෂ්පාදනයේ දී සහ වෙළඳාමේ දී මිච්ඡා ආජීවයක් බවටම පත්වෙනවා. කාබයිට් යෙදූ පලතුරක් නිෂ්පාදනයේ දී සහ විකිණීමේ දී එය මිච්ඡා ආජීවයක්ම වෙනවා. වසවිස යෙදූ එළවළුක්, මාළුවක් නිෂ්පාදනයේ දී සහ වෙළඳාමේ දී එය මිච්ඡා ආජීවයක්ම වෙනවා. ව්‍යාපාර ලෝකයෙන් සියයට අසූවක්ම අද මිච්ඡා ආජීවයක් බවටම පත්වෙලා. පිංවත, මේ මිච්ඡා ආජීවයන්ගේ අනාගත විපාකයන් සුළුපටු නැහැ. එක පරම්පරාවක් පොහොසත් රෝගීන් වෙද්දී, තවත් පරම්පරාවක් දුප්පත් රෝගීන් වෙනවා. පිංවත, මේ අවිද්‍යාවෙන් උපන් කෙළ හැලෙන තෘෂ්ණාවෙන් ජවය ලබන, මේ මිච්ඡා ආජීව රැල්ල දවසින් දවස පිළිකා රැල්ලක් බවටම, වකුගඩු සහ අක්මා රෝගී රැල්ලක් බවටම සමාජගත වෙනවා. සමාජගත වෙන මිච්ඡා ආජීවයේ අකුසලයෙන් පණ ලබන මේ පිළිකා, අක්මා, වකුගඩු රෝගී රැල්ල අවම කිරීමට අවිද්‍යාවෙන් දෑස් අන්ධ අපි කරන්නේ පිළිකා රෝහලේ, රෝහල් වාට්ටු වැඩි කිරීම, බෙහෙත්, වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම, වකුගඩු, අක්මා දන්දීම වැනි සංස්කාර මාරයා තව තවත් සතුටු කරන ක්‍රියාවන්මයි. පිංවත, මේ අවිචාරවත් බුර බුරා නැගෙන රෝගී රැල්ල පාලනය කිරීමට පිංවත් ඔබට අවශ්‍ය නම්, කරුණාකර මේ සමාජගත වෙන අමනුෂ්‍යත්වයේ මිච්ඡා ආජීව රැල්ල පාලනය කරගන්න. රෝහල්වලට බෙහෙත් පරිත්‍යාග කරලා මේ රෝගී රැල්ල පාලනය කරන්න බැහැ. මේ මොහොතේ ඖෂධ පරිත්‍යාග කිරීමත් මහා පුණ්‍ය කර්මයක්. නමුත් මීට වඩා ශ්‍රේෂ්ඨ උත්තම පුණ්‍ය කර්මයක් තිබෙනවා. එම පුණ්‍ය කර්මය තමයි මේ කෙළ හැලෙන තෘෂ්ණාව පූර්වාදර්ශීව සමාජගත කරන දුශ්ශීල ජාතික දේශපාලනයට විරාමයක් තැබීම.

පිංවත, ජනතාව අහිංසකයි. මේ අහිංසක ජනතාවට නිරෝගීව නැගී සිටීමට නායකත්වය දෙන ශ්‍රද්ධාවෙන්, ශීලයෙන් පූර්වාදර්ශී නායකයන් අවශ්‍යයි. රටක දේශපාලනය ජාතික සම්පත් සොරකම් කරන මිච්ඡා ආජීවයක්ම වූ කල්හි, එම රටේ අධ්‍යාත්මයම මිච්ඡා ආජීවයක්ම වෙනවා. පිංවත, රටේ ළමා පරපුර වේගයෙන් රෝගීභාවයන්ට පත්වෙනවා. මේ ජීවිතයේ දී වසවිස විකුණන මනුෂ්‍යයෝ මියගොස්, පටිච්චසමුප්පන්නව නැවත මනුෂ්‍ය දරුවන් වෙද්දී, ළමා වියේදීම පිළිකා රෝගීන් බවට පත්වෙනවා. පිංවත, අධාර්මිෂ්ට දේශපාලනය ජාතියේ අහිංසක අනාගත පරම්පරා සියල්ලම රෝගීභාවයෙන් විනාශකොට දමනවා. පිංවත, ලෞකික සැපය ලබන එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු ජප මාලයක් නොවේ. ජාතියේ හෘද සාක්ෂිය තුළට කාවැදිය යුතු ප්‍රායෝගික සැප ලැබීමේ මාර්ගයයි.

අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.

උපුටා ගැනීම – 2023/02/26 වන ඉරුදින දිවයින පුවත්පත.