පින්වත කාමයේ ආශ්වාදය කියන්නේ, රූපයේ ආශ්වාදය යැයි කියන්නේ පෘථග්ජන ගතියක් පමණක්ම නොවේ. ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී දෙදෙනා තුළත් රූපයේ සහ කාමයේ ආශ්වාදය හටගන්නවා. උතුම් සෝවාන්ඵලයට පත් වූ පුද්ගලයා තුළ රූපයේ සහ කාමයේ ආශ්වාදය අපායගාමී නොවී විවෘතව සහ ප්‍රකටව තිබෙනවා. සකෘදාගාමීඵල අවබෝධයේ දී රූපයේ සහ කාමයේ ආශ්වාදය අනුශය වශයෙන් තිබෙනවා. අපි කාමරාග, පටිඝයෝ පරිපූර්ණ වශයෙන්ම නිරෝධය කරන්නේ උතුම් අනාගාමීඵල අවබෝධයේදීයි. පින්වත අවිද්‍යාව හේතුවෙන් උපදින සළායතනයන්ගේ ඵස්සයයි, විඳීම් ඔස්සේ ආශ්වාදයට මුල් වෙන්නේ. පින්වත දෙවියන්ගේ හාල් කැවිලා වගේ අවිනයවාදීව සමාජගතවෙන කාමරාග, පටිඝයෝ දැකලා පින්වත් ඔබ කලබල වෙන්න එපා. පින්වත කලබලවීම කියන්නේත් කාමරාග, පටිඝයන්ට හොඳ ආහාරයක්මයි. පින්වත ආශ්වාදයට තෝතැන්නක් වූ පංච උපාදානස්කන්ධ ලෝකය තුළ සම්මා සතියක් ඇති වෙන්නේ ශීලය සහ විනය මුල්කොටගෙනයි. ආශ්වාදයේ නූල් සූත්තරයෙන් නැටවෙන පංච උපාදානස්කන්ධ ලෝකය තුළ දුර්වලවෙන ශීලයමයි, මග සහ නොමග නොහඳුනන මිච්ඡා සතියට පංච නීවරණයන්ගේ පාවඩ එළා දෙන්නේ.
පින්වත යම් රටක පාලක පින්වතුන්ලා අධාර්මිෂ්ඨ වෙද්දී, එම රටේ පූජක පක්ෂය අධාර්මිෂ්ඨ වෙනවාය කියන කාරණය හේතුඵල ධර්මයක්. අධාර්මිෂ්ඨ පාලක පින්වතුන්ලා තම බල තෘෂ්ණාව, බල විකෘතියක් බවට පත්කොට ගන්න, පූජක පක්ෂයට අවිනයවාදී තෑගිබෝග ලබා දෙනවා. පින්වත ගිහි සමාජය තුළ විකුණන සහ විකිණෙන දේවල් වලට වටිනාකම වැඩි වුණත්, උතුම් පූජක පක්ෂයට විකුණන සහ විකිණෙන අර්ථයන් පරාජිතභාවයටමයි හේතු වෙන්නේ. පින්වත පංච උපාදානස්කන්ධ ලෝකය තුළ පැවිදි අපි කුමක් නම් විකුණන්න ද? කුමක් උදෙසා අපි විකිණෙන්න ද? පින්වත රූපය කියන්නේ අනිත්‍ය වූ දෙයක්. රූපය ජරා, ව්‍යාධි, මරණයන්ට යටත් වූ දෙයක්. අපි රූපය විකුණුවොත් අපේ ගිණුම් පිරී යන්නේ අකුසලයෙන්මයි. අපි රූපයේ ඵස්සයෙන් සකස්වෙන විඳීම් සහ හඳුනා ගැනීම් විකුණුවොත් අපේ ගිණුම් පිරී යන්නේ අකුසල් වලින්මයි. පින්වත අකුසලයට ඇස් තබන අවිද්‍යාවේ අන්ධභාවය රාජ්‍ය අනුග්‍රහයෙන් අත්තටු ලබන සමාජයකයි අපි ජීවත් වෙන්නේ. පින්වත මඩ ගොහොරුවක, එම මඩෙහි නොතැවරී පූදින, විකසිත වෙන නෙළුමකටයි භික්ෂූත්වය යැයි කියන්නේ. පින්වත මඩ තැවරුණ නෙළුම් තිබෙන්න බැහැ. පින්වත නෙළුමක වර්ණය, නෙළුමක මෙලෙක, නෙළුමක පෞරුෂත්වය නෙළුම් මලේ මවුපිය ජාන උරුමයයි. පින්වත කරුණාකර නෙළුම් මලක මඩ සොයන්න එපා. නෙළුම් මලක මඩ සෙව්වොත් ඔබේ ඇලීම් සහ ගැටීමේ විඳීම් අකුසල් සංස්කාරයන්ගේ මඩ ගොහොරුවක්ම වේවි. පින්වත ජීවිතය හරිම ලස්සනයි. ජීවිතය හරිම නිස්කලංකයි. ඒත් ඒ ලස්සන ජීවිතය විඳින්න එපා. ඒ ලස්සන ජීවිතයට ධර්මයේ උපේක්ෂාවෙන් ප්‍රඥාවේ ඇස් දෙන්න, ජීවිතයේ ලස්සන විනිවිද දකින්න.
පින්වත ප්‍රඥාවේ ඇසින් ජීවිතයේ ලස්සන විනිවිද දකිද්දී, ඵස්සය ළඟ ජීවිතය නවතිනවා. වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ නිවනට පක්ෂව උඩුගම් බලා යනවා. පින්වත ඔබේ පුණ්‍යවන්ත ජීවිතයට ඉඩ දෙන්න නිවනට පක්ෂව උඩුගම් බලා යන්න. පින්වත ඔබේ නිවසේ දොර විවෘතව තිබුණට කමක් නැහැ. ඔබේ අවිද්‍යාවේ කුසගින්නට තෘෂ්ණාවේ ආහාර සොයන ඵස්සයේ දොරටුව හොඳින් වසා තබන්න. පින්වත දෑස් විවෘතකොට හොඳින් සමාජය දෙස බලන්න. ගිහි සහ පැවිදි අපි වෙලාවක් හෝ අවේලාවක් නැතුව ඵස්සයේ දොරටු විවෘත කොටගෙන අවිද්‍යාවට සංස්කාර ආහාර සොයන අපූරුව. පින්වත ඔබේ ජීවිතය ගැන ඔබට ගොඩාක් අදහස් තිබුණත් අවිද්‍යාවට තිබෙන්නේ එකම එක අර්ථයයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකට එකම හේතුව තෘෂ්ණාව යනු අවිද්‍යාවේ එකම අර්ථයයි. පින්වත ඵස්සයේ අවිද්‍යාවෙන් උපදින ඇලීම් සහ ගැටීම් වලට සීමාවක් නැහැ. නොසෑහීම ඇලීම් සහ ගැටීම්වල ජන්ම ගතියයි. විඳීම් හේතුවෙන් සකස්වෙන හඳුනා ගැනීම් විසින් උපද්දවා දෙන සංස්කාරයෝ, විඤ්ඤාණය නමැති මැජික්කරුවාට අළුත්, අළුත් මැජික්, දැනීම් සකස්කොට දෙනවා. අතීතයේ පුහුණු කළ සංස්කාරයෝ වර්තමානයේ අපේ දැනීම්වල රුව සහ ගුණ වෙනවා. අපේ විකෘති දැනීම් වලට අපිමයි වගකිව යුත්තේ. ඔබ අතීතයේ පටිච්චසමුප්පන්නව සක්විති රජු වෙච්ච වෙලාවේ රාජ්‍ය කන්‍යාවියන් දහසක් ඇසුරු කළා. අතීතයේ ඔබ රජකම් කරපු වෙලාවේ අන්තඃපුර පරිහරණය කළා. අතීතයේ ඔබ තිරිසන් සත්ත්ව ලෝකයේ උපන්න වෙලාවේ එක රැලේ තිරිසන් බිරින්දෑවරුන් සිය ගණන් පරිහරණය කළා. පින්වත මේ අපි හැමෝගේම අතීත පටිච්චසමුප්පන්න කාම ලෝකයේ කැරැට්ටුවයි. පින්වත ගිහි සහ පැවිදි අපි මේ අතීත කාම පුහුණු කිරීම් වලින් පරිස්සම් වෙන්න ඕනේ. කාමරාග සිතුවිලි ඉදිරියේ හොඳින් සතිමත් වෙන්න ඕනේ. පින්වත් ඔබේ විඳීම් මුල්කොටගෙන සකස් වෙන කාමරාගයන් ඉදිරියේ ඔබ අසිහියට පත්වුණොත් එක බිරිඳකගෙන්, එක සැමියෙක්ගෙන්, එක කාන්තාවකගෙන්, එක පිරිමියෙක්ගෙන් සෑහීමට පත්වෙනවාය කියන කාරණය මිරිඟුවක්ම වෙන්න පුළුවන්. පින්වත අපිට නිවැරදි හෝ වැරදි පාර පෙන්වන කසකරුවා අපේම පටිච්චසමුප්පන්න සංස්කාරයෝමය.
පින්වත අපි කවදාහරි කාමරාග, පටිඝයෝ නිරෝධය කරන්නේ උතුම් අනාගාමීඵල අවබෝධයේදී. එම නිසා වර්තමානයේ අපි තුළ ඇතිවෙන කාමරාග, පටිඝයන් ගැන අපි කම්පා වියයුතු නැහැ. නමුත් කාමයේ සහ රාගයේ කෙටි ආශ්වාදයත් එහි දීර්ඝ ආදීනවයන් ගැනත් අපි හොඳින් සිහිය පිහිටුවාගත යුතුයි. බුදුරජාණන් වහන්සේ කාමයෝ ගිනි අඟුරු වළකට උපමා කරනවා. මේ කාමයේ ගිනි අඟුරු වළට යමෙක් වැටෙයි ද ඔහු මොලොව සහ පරලොව යන දෙලොවම පිච්චීමටමයි ලක් වෙන්නේ. පින්වත අපි වළඳන පිණ්ඩපාතය ගින්දරක් වුණොත්, අපි වළඳන ගිලන්පස ගිනි වතුරක් වුණොත්, අපි සැතපෙන සයනය රත් වූ යකඩයක් වුණොත්, පින්වත අපි වැරදි කළොත් සංස්කාරයෝ අපිට මෙලොවදීම දඬුවම් නියම කරනවා. පින්වත පැවිදි අපි රාග සිතට යට වුණොත් අපි සම්මා සම්බුද්ධ ශාසනය සොරකම් කළා වෙනවා. ශිල්වත්ව වැඩසිටින පැවිදි පක්ෂයේ ආත්මගරුත්වය සොරකම් කළා වෙනවා. පින්වත් ගිහි ජනතාව තුළ මහා සංඝරත්නය කෙරෙහි ඇති ගෞරවය සොරකම් කළා වෙනවා. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙන්නේ, දුශ්ශීලව ජීවත්වෙන පැවිද්දා ලෝකයේ ලොකුම සොරාය කියලා. පින්වත ශීලයේ අර්ථයන් දුර්වල වෙන සමාජයක කොහේ බැලුවත් සොරකම් වැඩියි. අපි හැමෝම උත්සාහ කරන්නේ යහපත් සියල්ල සොරකම් කරන්න. පින්වත අපි යහපත සොරකම් කළොත්, අපිට ඉතිරි වෙන්නේ අයහපතම නේද? අපි ශීලය සොරා ගත්තොත් අපි ළඟ ඉතිරි වෙන්නේ දුශිල්වත්භාවයම නේද? පින්වත වරද වරදක් සේ නොදකින මිච්ඡා සතිය බැහැරකොට සම්මා සතියට ඉඩ දෙන්න, එවිටයි කාමච්ඡන්දයෝ යටපත් වී සප්ත බොජ්ඣඬ්ගයෝ උපදින්නේ.
පින්වත රූපය දේවත්වයෙන් සලකන සමාජයක, රූපය ආත්මීය දෘෂ්ටියෙන් වැළඳගත් සමාජයක, කාමරාග, පටිඝයෝ කියන්නේ අපි හැමෝගෙම අසල්වැසියෙක් වෙනවා. පින්වත රාග සිතක් ඇති වෙන්නේ රූපය මුල්කොටගෙනමයි. පින්වත ඇසෙන් දකින රූපය, කනට ඇසෙන රූපය, මනසට දැනෙන රූපය විතර්ක කරන්න යන්න එපා. අපි ඇසෙන් රූපයක් දැක්කම එම රූපය තෘෂ්ණාවෙන් තෙත් කරනවා. ඒ කියන්නේ ඵස්සය තෘෂ්ණාවෙන් සක්‍රීය කරනවා. දැක්ක රූපය සමග මනසින් ජීවත් වෙනවා. ඒ රූපය සතුටින් ප්‍රාර්ථනා කරනවා. දැක්ක රූපය මනසින් විඳිනවා. පින්වත රාගයේ උපත ඔතනයි තිබෙන්නේ. රාගය ඉපදුනොත් අකුසල් සංස්කාරයෝ දැනීම් ඔස්සේ අකුසලයටම පාර පෙන්වනවා. පින්වත ඔබේ ඵස්සය තෘෂ්ණාවෙන් හිස් නම්, ඔබ ඉදිරියේ තිබෙන නිරුවත් රූපයත් ඔබට හිස් දෙයක්මයි. පින්වත තෘෂ්ණාවම ඉලක්ක කරන්න, තෘෂ්ණාවට මුල්වෙන අවිද්‍යාවම ඉලක්ක කරන්න, අවිද්‍යාව පෝෂණය කරන පංච නීවරණම ඉලක්ක කරන්න, එවිටයි පින්වත් ඔබ විරාගයට ඉලක්ක ගත්තා වෙන්නේ. පින්වත ඔබට රාග සිත් ඇති වෙනවා නම්, රූපය ඉදිරියේ දැක්කාය කියන තැන නවතින්න. ඇසට පෙනෙන බාහිර රූපයේ හැඩවැඩ බලන්න එපා. පින්වත අපි ලස්සන දේවල් දකින්නේ අපේ පෙර පිනට. අපි සංසාරයේ ලස්සන, විසිතුරු දේවල් මෙත් සිතින් පූජා කරලා තිබෙනවා. පින්වත ලස්සන දේවල් දකින ඔබේ අතීත පින, වර්තමානයේ පිනෙන්ම පෝෂණය කරන්න. ලස්සන ඉදිරියේ රාග සිත් අතහැර, ‘සුවපත් වේවා’ යැයි මෙත් සිතම මතුකොට ගන්න. පින්වත වර්තමානයේ ඔබ දකින ලස්සන මනුෂ්‍ය රූප, පටිච්චසමුප්පන්නව ලස්සන දිව්‍ය රූප දැකීම උදෙසාම ආයෝජනය කරන්න.
පින්වත හෙට දවසේ ඔබට යහපත් සමාජයක් අවශ්‍ය නම්, අද දවසේ ඔබ යහපත් දේවල් ආයෝජනය කරන්න. ඇත්තටම අපි අද දවසේ මොනවා ද මේ ආයෝජනය කරන්නේ? දුශිල්වත්භාවයන්, ලෝභ, ද්වේශ, මෝහයන්ම නේද? හෙට දවසේ අපි ලබන ලාභය අකුසල් මූලයන්ම නේද? පින්වත තවමත් තෘෂ්ණාවේ දුර්ගන්ධය දැනුනේ නැති ද? පින්වත ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස තෘෂ්ණාවේ දුර්ගන්ධය සුවඳ විලවුන් සේ පිළිගන්න සමාජයක, සැපයට මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ජනශූන්‍යවීම හේතුඵල ධර්මයක්මය.
පින්වත කවදාද අපි දුකට හේතුව තෘෂ්ණාව කියලා තේරුම් ගන්නේ? තෘෂ්ණාවමයි අපිව විනාශකොට දමන එකම පළිබෝධය යැයි තේරුම් ගන්නේ. තෘෂ්ණාව අඩු කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇස් පනාපිටම තිබිය දී අපි සරණ සොයන්නේ මිච්ඡා මාර්ගයන්ගෙන්මයි. පින්වත අපි රටට යහපතක් වෙන දෙයක් ගැන කතා කළොත් මුලින්ම අපි බලාපොරොත්තු වෙන්නේ අපිට ලැබෙන තනතුර කුමක් ද කියලා, අපිට ලැබෙන ප්‍රතිලාභය කුමක් ද කියලා. රටෙන් යමක් අපි ගන්නවා මිස, අපෙන් රටට යමක් දෙන්න අපි තාමත් සූදානම් නැහැ. කුමන යහපත් දෙයකට වුව ද අපි පළමුවැනි පියවර තබන්නේ එක්කෝ අලෙන සිතින් එක්කෝ ගැටෙන සිතින්මයි. සංස්කාරයන් මතයි සියල්ල සිද්ධ වෙන්නේ කියන ධර්මයේ උපේක්ෂාවෙන් කුසල් සිත් මුල්කොටගෙන පියවර තබන්න අපි දක්ෂ නැහැ. පින්වත ජාතියට යහපත් හෙටක් අවශ්‍ය නම්, ඉහත සක්කාය දිට්ඨියේ හැව අපි අඩුකොට ගන්න වෙනවා. පින්වත ජාතියේ හෙට දවස මළ ගමක් මිස, කොටහළු ගෙදරක් නම් වෙන්නේ නැහැ. තෘෂ්ණාවෙන් ඇට්ටකුනා වෙච්ච මළ මිනී වෙනුවට, නව යොවුන් මනුෂ්‍යත්වයට ඔබේ ගෞරවනීය ජීවිත තුළින් පණ දෙන්න.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
මහ රහතුන් වැඩි මග ඔස්සේ.
July 23, 2023.