පරාජිත මානසිකත්වයක් ඇයි?

පිංවත, අපි වැටෙන්නේ නිදා ගන්න නොවේ. යළි පුරුෂ ධෛර්යයෙන් යුතුව නැගී සිටීමටයි. පිංවත, අපිව වැට්ටුව බව ඇත්ත. දැන් ඉතින් අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන යළි නැගී සිටින්න. පිංවත් ඔබ මේ දෙපා තබාගෙන සිටින්නේ පූජනීය බිම්කඩක. මේ ලෝක ධාතුවේ දුර්ලභම අර්ථයන් හතර වන උතුම් සම්මා සම්බුද්ධ ශාසනය, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ, උතුම් විදර්ශනාමය ඥානයන් සහ කෘතවේදීභාවය මේ නිමේෂයේදීත් මේ පූජනීය මාතෘභූමිය තුළ ජීවමානව තිබෙනවා. පිංවත, ඔබ අසරණ නැහැ. ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් කවුරු ඔබව අවිද්‍යාවෙන් අසරණ කිරීමට උත්සාහ කළත්, උතුම් තෙරුවන්ගේ ආශීර්වාදය මේ පිංවත් මාතෘභූමියට තවමත් තිබෙනවා. පිංවත, දකුණු ආසියාවේ දුප්පත්ම රටක් වෙච්ච මුස්ලිම් ආගම අදහන බංගලාදේශයට නැගී සිටින්න පුළුවන් වුණා නම්, උතුම් තෙරුවන් වැඩසිටින මේ පුණ්‍යවන්ත මාතෘභූමියට දහස් වතාවක් නැගී සිටින්න පුළුවන්. පිංවත, ද්වේශයට, ව්‍යාපාදයට, පළිගැනීමට, ආවේගශීලීභාවයට ඔබේ ජීවිතය තුළින් ඉඩ නොදී තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, මෛත්‍රියෙන්, ශීලයෙන් සතිමත් වෙන්න. පිංවත් ඔබේ දෑස් පියවෙන්නට පෙරාතුව, ඔබ උපන් මේ පුණ්‍යවන්ත මාතෘභූමිය තුළ මොහොතකට හෝ ශ්‍රද්ධාව සහ ශීලය රජ කරවන්න.

පිංවත, අවිද්‍යාවෙන් උපන් තෘෂ්ණාවේ උමතුව රජ ගෙදරත්, පාර්ලිමේන්තුවත්, මහ පාරත් එකසේම ආක්‍රමණය කොට තිබෙනවා. පිංවත, විනයගරුක ජයග්‍රහණයක් ඔබට අවශ්‍ය නම්, විනයගරුක සටනකටයි ඔබ අවතීර්ණ වෙන්න ඕනේ. කරුණාකර පිංවත් ඔබ සතිමත් වෙන්න. පිංවත, ධර්මය සන්දිට්ඨිකයි. මේ ජීවිතයේදීම ඔබට ධර්මයේ අර්ථයන් දකින්න පුළුවන්. පිංවත, අපිට අවශ්‍ය තවදුරටත් අශ්‍රද්ධාවේ, ද්වේශයේ, දුශ්ශීලභාවයේ, අසිහියේ ආදීනවයන් සමාජගත කිරීමට නොවේ. පිංවත, කරුණාකර ආවේගශීලී නොවී සිහි එළවා ගන්න. මේ මොහොතේ ඔබේ මන්දෝත්සාහීභාවය ඔබේම අනාගත දුකේ නියමුවා බව තේරුම් ගන්න. පිංවත, ආත්මාර්ථකාමීභාවයේ පටු වාදභේද අතහැරලා, මේ පුණ්‍යවන්ත මාතෘභූමිය අශ්‍රද්ධාවේ දුශ්ශීල දේශපාලනයෙන් මුදා ගන්න. මනුෂ්‍ය ධර්මයන්ට ගරුකරන ශිල්වත් ඔබ තවදුරටත් මාතෘභූමිය මග හරින්න එපා. අපි සියල්ලෝම අවිද්‍යාවෙන් උපන් බව ඇත්ත. නමුත් අපේ ශරීරය පණ ගැහෙන ජීව රුධිරය අපිට දුන්නේ මේ පුණ්‍යවන්ත මාතෘභූමියයි. හෙට දවසේ අපේ අවිද්‍යාවේ නිරෝධය උදෙසා අපිට සෙවන දෙන්නේ මේ පුණ්‍යවන්ත මාතෘභූමියයි. පිංවත, තෘෂ්ණාවෙන් වියරු සමාජගත දේශපාලනයට අසත්පුරුෂභාවයෙන් තවදුරටත් මේ උතුම් පුණ්‍ය භූමිය “ජාත්‍යන්තර” මිථ්‍යාදෘෂ්ටියේ සාපයක් බවට පත්කරන්න එපා. උතුම් මනුෂ්‍ය ධර්මයන්ම ගරුකරන ශිල්වත් ඔබ ශ්‍රද්ධාවෙන් පෝෂණය වූ ශිල්වත් දේශපාලනයක් උදෙසා පිංවත් ජනතාව දැනුවත් කරන මාධ්‍යයක් බවට පත්වෙන්න. පිංවත, දුශ්ශීලභාවය අයිති පරාජයටයි. ඇයි පිංවත් ඔබ තවදුරටත් දුශ්ශීලභාවයන්ගේ ජයග්‍රහණය උදෙසා පෙනී සිටින්නේ? පිංවත, පරාජය අයිති අදක්ෂයාටයි. ඒත් පිංවත් ඔබ තවමත් උතුම් ශ්‍රද්ධාවෙන් සහ ශීලයෙන්, මෛත්‍රියයෙන් අපරාජිතවයි ජීවත් වෙන්නේ. නමුත් ඔබේ ආත්මවිශ්වාසයට මොක ද වුණේ? පිංවත, පුරුෂ ධෛර්යයෙන් යුතුව නැගී සිටින්න. උතුම් තෙරුවන් වැඩසිටින මේ උතුම් මාතෘභූමිය අයිති වියයුත්තේ දුශ්ශීලභාවයට නොවේ. මනුෂ්‍යත්වයෙන් පෝෂණය වූ ශිල්වත්භාවයටමයි.

පිංවත, මේ උතුම් පුණ්‍යභූමිය තාවකාලිකව මේ දුකෙන් යම් පමණකට හෝ මුදා ගැනීමට පිංවත් ඔබට පුණ්‍ය ශක්තිය තිබෙනවා. විශ්වාසයෙන් විනයගරුකව නැගී සිටින්න, පෙළ ගැසෙන්න. පිංවත් ඔබලා සමගියෙන් රැස්වෙලා, සමගියෙන් සාකච්ඡා කරලා, සමගියෙන් විසිරෙන්න පුළුවන් විනයක්, ඉවසීමත් ඇති පිරිසක් බවට පත්වෙන්න. පිංවත, බිය කියන්නේ පංච නීවරණයක්. පංච නීවරණයක් යම් තැනක ද එතැන තිබෙන්නේ අකුසලයක්. පිංවත, සතිමත්භාවය ඇතිකොට ගන්න. ඔබේ පිංවන්ත මාතෘභූමිය සියල්ලටම වඩා උත්තරීතරයි. මෙය උතුම් තෙරුවන් වැඩසිටින මාතෘභූමිය. සමස්ත ලෝකයාටම මෛත්‍රිය, ශීලය, ත්‍යාගය, සමාධිය දායාද කරපු මාතෘභූමිය. සත්පුරුෂ දෙවියන් සහ බ්‍රහ්මයින් වන්දනා කරන පිනැති මාතෘභූමිය. තව්තිසාවේ සුදම් සභාවට අසුර බලය පැරදවීම උදෙසා පිනැති දෙවියන් ඕපපාතිකව උපද්දවා දෙන, පින නිදන්ගත වූ මාතෘභූමිය. ස්වාභාවික පරිසරසය පවා සැමට මෙත් වඩන පුණ්‍යවන්ත මාතෘභූමිය. පිංවත, මෙවන් පුණ්‍ය බිමක ඉපදුන ඔබ මිථ්‍යාදෘෂ්ටිකයෙක්, අසත්පුරුෂයෙක්, අසරණයෙක්, නිවටයෙක් නොවේ. පිංවත් ඔබ කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස දකිනවා වගේ දුර්ලභ උපතක්, සාක්ෂාත් කොටගත් පුණ්‍යවන්ත මනුෂයෙක්. පිංවත, මේ උතුම් මාතෘභූමියේ පුණ්‍යවන්තභාවය සිහිපත් වෙද්දී, ඔබට ප්‍රිතියක් සහ පස්සද්ධියක් නේද ඇති වෙන්නේ? පිංවත, බියෙන්, සැකයෙන් මිදුණ ප්‍රීතිය, පස්සද්ධිය යනු සමාධියට සහ උපේක්ෂාවට මාර්ගයයි. පිංවත, විඳීම් අසංවර කොට නොගෙන උපේක්ෂාවෙන් සමාජගත හැසිරීම් සහ ප්‍රශ්න දෙස බලන්න. අපේ මාතෘභූමියේ දේශපාලනය නාමයෙන් ක්‍රියාත්මක වෙන්නේ, අවිද්‍යාවේ දෙස් සහ විදෙස් විඤ්ඤාණයේ මායාකරුවන්ගේ මැජික් සංදර්ශනයන්ම නේද? පිංවත, මනුෂ්‍ය ජීවිතවල තෘෂ්ණාව ඉහවහා යද්දී, අවිද්‍යාවේ ඇලීම් සහ ගැටීම් පොලු උපයෝගී කොටගෙන සද්ධර්මයෙන් පාළු ගෙවල්වල වළං බිඳිනවා.

පිංවත, ලොවුතුරා ධර්මයට පිං සිදුවෙන්නට අපේ මවුබිමේ ගොඩාක් පුණ්‍යවන්ත ළමා පරපුරක් සිටිනවා. මේ ළමා පරපුරේ හෙට දවස අපි ආරක්ෂාකොට දියයුතුයි. මෙම දරුවන් අනාගතයේ ගුණාත්මක මහා බ්‍රහ්මයින් බවට පත්කළ යුතුයි. අනේ දෙවියනේ උතුම් සම්මා දිට්ඨිය වළපල්ලට ගිය සමාජයක, මේවා කාට නම් කියන්න ද? පිංවත, අපේ දුක එකිනෙකාට කියමින් සිටියාට ඵලක් නැහැ. දුකෙන් මිදීමේ මාර්ගයට අපි ක්‍රියාත්මකව අවතීර්ණ වෙමු. දුකෙන් මිදෙන මාර්ගය ආවේගශීලීභාවය නොවේ, සතිමත්භාවයයි. පිංවත, ශ්‍රද්ධාව තුළ මෛත්‍රිය, ශීලය, ත්‍යාගය තුළ පරාජයක් කියලා දෙයක් නැහැ. ඇයි අපි තවමත් පරාජිත මානසිකත්වයකින් සිටින්නේ? පිංවත, තවදුරටත් වෙන දෙයක් වෙත්දෙන් කියලා ඔබ අහක බලාගෙන ඉන්න එපා. බුදුරජාණන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී මාර තර්ජනයන් ඉදිරියේ වෙන දෙයක් වෙත්දෙන් යැයි මාරයාට ඉඩ දුන්නා නම්, අද උතුම් ධර්ම විනයක් නැහැ. වසවර්ති මාරයා ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන්නම යැයි බල කරද්දී, බුදුරජාණන් වහන්සේ සිංහ නාදයක් කරනවා, මේ උතුම් ධර්ම විනය ශක්තිමත්ව ස්ථානගත කරනතුරු පිරිනිවන් පාන්නේ නැහැ කියලා. පිංවත, ඔබ ඉදිරියේ සහ අපි ඉදිරියේ වර්තමානයේදීත් ඒ අභියෝගය තිබෙනවා. පිංවත, මේ රටේ දේශපාලනය මිථ්‍යාදෘෂ්ටියට යටත් වෙන්න දෙන්න එපා. මේ රටේ දේශපාලනය මිථ්‍යාදෘෂ්ටියට යටත් වුණොත් අනාගතයේ බලවත් ආගමික අසමගිකම් ඇතිවීමෙන් සමාජය සිවිල් යුධමය තත්ත්වයන්ට පත්වෙන්න පුළුවන්. පිංවත, අසත්පුරුෂ ජාත්‍යන්තරය මේ උත්සාහ ගන්නේ, බුදු දහමට පල නොකියා පළා බෙදෙන දේශපාලන කණ්ඩායම් වලට බලය ලබාදීමටයි. එහි අවසාන ඵලය ආගමික ගැටුම් නිර්මාණය වී සමාජය අරාජිකවීමයි. මේ අරාජිකභාවයමයි අපිව මානසිකව යටත්කොට ගැනීමේ තුරුම්පුව බවට පත්වෙන්නේ. පිංවත, මේ ලෝක ධාතුවේ බලයට අධිපති වෙන්නේ, වසවර්ති මාරයායි. බුදුරජාණන් වහන්සේ අධිපතිත්වය දරන්නේ ආර්ය විමුක්තියටයි. ඒ නිසාම මාරයාගේ බලය ඉදිරියේ අපි දක්ෂ වියයුතුයි අපේ ශ්‍රද්ධාව, මෛත්‍රිය, ශීලය, ත්‍යාගය බලයක් බවට පත්කොට ගන්න. පිංවත, එවිටයි මාර බලයට එරෙහිව අපිට කුසල් ධර්මයන්ගෙන්ම අභියෝගය ජයගැනීමට යම් පමණකට හෝ හැකි වෙන්නේ.

පිංවත, ඔබේ මාතෘභූමිය උතුම් සම්මා දිට්ඨිය නොහඳුනන පාලක පිංවතුන්ලා නිසා, අවිහිංසාව, අව්‍යාපාදය, නෙක්ඛම්මය දුර්වල පාලක පිංවතුන්ලා නිසා අසරණභාවයේ පතුලටම කිඳා බසිමින් පවතිනවා. අධාර්මිෂ්ට දේශපාලනයේ දුර්වල ශීලයේ අභියෝගයන් ඉදිරියේ මාතෘභූමියේ ආත්මවිශ්වාසය සහ ආත්මගරුත්වය තුන්කුදුභාවයටම පත්කොට තිබෙනවා. පිංවත, ඔබේ මාතෘභූමිය තුළ වර්තමානයේ මිච්ඡා කල්‍යාණමිත්‍රභාවයේ වේශයෙන් ජාත්‍යන්තර මාර මෙහෙයුම් කිහිපයක්ම සක්‍රියව පවතිනවා. පිංවත, ආවේගශීලීව මහ පාරට බසින ජනතාව ලවා එක පාලකයෙක් මරා දමා ඊට වඩා දුර්වල රූකඩ පාලකයෙක් බලයට පත්කිරීමේ මෙහෙයුම් සහ තෙරුවන්ට ගරු නොකරන අශ්‍රද්ධාවැති කණ්ඩායම් වලට බලය ලබා දී බුදු දහම නොසලකා හැර එහි ඵලයෙන් බලවත් ආගමික ගැටුම් ඇතිකිරීමේ මෙහෙයුම්, එක ජාතියකට වැඩි බලතල ලබා දී ජාතිවාදී ගැටුම් ඇතිකිරීමේ මෙහෙයුම්. පිංවත, මේ සියළු මෙහෙයුම් මාතෘභූමිය මත උපක්‍රමශීලී මිච්ඡා සිනාමුසු වේශයෙන්, සත්පුරුෂ ගලවා ගැනීමේ වේශයෙන් සක්‍රීයවයි පවතින්නේ. මෙවන් බලවත් අසත්පුරුෂ මෙහෙයුම් හඳුනා ගන්න තරම් මානසික විවේකයක් තෘෂ්ණාව ඔඩු දුවපු අපේ අධාර්මිෂ්ට පාලක පිංවතුන්ලාට නැහැ. එම පිංවතුන්ලා අවිද්‍යාවේ මහා ගිනි රස්නය මැද තව තවත් අකුසලයේම පුළුන් කොට්ට වලින් ආරක්ෂාව සොයනවා.

පිංවත, අවිද්‍යාව වැඩි වෙද්දී, තෘෂ්ණාව වැඩි වෙනවා. තෘෂ්ණාව වැඩි වෙද්දී දුක වැඩි වෙනවා. දුක වැඩි වෙද්දී සක්‍රීයවෙන අකුසල් හේතුවෙන්ම අනාගත මෘග සංඥාවට කාලය ළං වෙනවා. අවුරුදු පහළොවක පමණ ගැහැනු දරුවෙක් තම අත දරුවා වඩාගෙන බසයක් බලාපොරොත්තුවෙන් බස් නැවතුමක සිටිනවා භික්ෂුව දැක්කා. පාසල් වයසේ ගැහැනු දරුවන් කාමයන් උදෙසා විකිණෙන අපූරුව භික්ෂුව අසා තිබෙනවා. පිංවත, අපේ මිථ්‍යාදෘෂ්ටිකභාවයන් ඉදිරියේ මෘග සංඥාව අපේ ගෙදර වැට ළඟටම ඇවිත් තිබෙනවා. පිංවත, මේ සියළු අවිද්‍යාවේ මෙහෙයුම් වලට යටත් නොවී, පිංවත් ඔබේ සත්පුරුෂභාවයේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්න. තමන් උපන් මාතෘභූමියට ගරු කරන, ආදරය කරන, සියළු ජාතීන්ගේ දෑත් එක මිටට විශ්වාසයෙන් බැඳී ගොඩනැගෙන අවංක, ශිල්වත්, මනුෂ්‍යත්වය හඳුනන රාජ්‍ය දේශපාලනයක් තුළින් යහපත් සියළු ධර්මයෝ යම් පමණකට හෝ ආරක්ෂාකොට ගැනීමේ මෙහෙයුමට ධර්මයේ විශ්වාසයෙන් පෙරට එන්න.

අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.

උපුටා ගැනීම – 2023 මාර්තු 19 දිවයින ඉරිදා සංග්‍රහය.