පින්වත ඔබ දෑස් පියා ගනිද්දී, ඔබට කිසිම අරමුණක් නොදැනෙනවා නම්, ඔබේ සළායතනයෝ අක්‍රීයව පවතිනවා නම් පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට සිද්ධ වෙන්නේ ආයුෂයත්, උණුසුමත් ඇසුරේ නිරාහාරව පවතින්න. පින්වත ඵස්සය ඉදිරියේ නිවුණු සළයාතනයෝ පින්වත් ඔබව පංච උපාදානස්කන්ධ ලෝකයෙන් හිස් කරනවා. හිස් වූ පංච උපාදානස්කන්ධය තුළ කායානුපස්සනාවෙත්, චිත්තානුපස්සනාවෙත්, වේදනානුපස්සනාවෙත් අර්ථයන් නිවී යනවා. එවිට ආයුෂයත්, උණුසුමත්, ආහාර අහිමි වූ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත් අනිත්‍ය වූ ධම්මානුපස්සනාවක් බවටමයි පත්වෙන්නේ. පින්වත ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවෙන් උපදින ඵස්සයට ආහාර දෙන්න එපා. තෘෂ්ණාවෙන් දුවන ලෝකය තුළ ඔබ නවතින්න. පින්වත වර්තමාන සමාජය අවිද්‍යාවේ වාහනයට ගොඩවෙලා, පංච නීවරණ ඉන්ධන සිත් සේ පුරවාගෙන ඇලීම් සහ ගැටීම් මාර්ගවල තෘෂ්ණාවෙන් දුවන අපූරුව පෙනෙනවා නේද? පින්වත ඇලීම් සහ ගැටීම් වලට අධිවේගී මාර්ගය ද, එසේත් නැතිනම් ගුරු පාරද කියලා වෙනසක් නැහැ. පසුගිය දවසක ගමේ ගුරු පාරක අධිවේගයෙන් තම යතුරු පැදිය පදවාගෙන ගිය තරුණ දරුවෙක් අනතුරට පත් වී මිය ගියා. සුපිරි පංච නීවරණ ඉන්ධන ඇලීම් හෝ ගැටීම් වේගය වැඩිකොට සංස්කාරයන්ට සිත් සේ ඉඩකඩ සලසා දෙනවා, දැනීම් ඔස්සේ අතීත අකුසල් සංස්කාරයන් සක්‍රීයකොට දෙන්න.
පින්වත තරුණ දරුවන් වාහන අනතුරු වලට ලක්වීමෙන් සිදුවෙන මරණ සහ ආබාධිතභාවයන් හේතුවෙන් දුක්වෙන දෙමාපියන් සහ තරුණ බිරින්දෑවරුන්ගේ ලොකු වර්ධනයක් පෙනෙන්නට තිබෙනවා. පින්වත නීතිය, විනය, ඉවසීම, දංගෙඩියට ගිය මහපාර අකුසල් විපාකයන්ට ගොදුරු බිමක්ම වෙලා තිබෙනවා. පාලකයෙක් ඇති එහෙත් පාලනයක් නැති ඔබේ පුණ්‍යවන්ත මව්බිම අකුසලයටම අත්තටු දෙන්නේ නිදහසේ ඉගිලෙන්න නොවේ, ඉගිලිලා විනාශ වෙලා යන්ටමයි. පින්වත ඔබට ඔබ අනුකම්පා කරන්න. ඔබට ඔබ මනුෂ්‍ය ධර්මයන්ගෙන් සලකන්න. ඔබට ඔබ සද්ධර්මයේ අගය කියලා දෙන්න. මහපාරේ රිය අනතුරකින් තරුණයෙක් මිය යන්නේ අඬලා, වැළපිලා මරණය වළ දමන්න පමණක් නොවේ. මහපාරේ රිය පදවන පින්වත් ඔබට තෘෂ්ණාවේ අනතුරු ගැන පාඩමක් කියලා දෙන්න. පින්වත කුසල් සහ අකුසල් සංස්කාරයන් කෙරෙහි අපි ගොඩාක් සිහිනුවණ ඇතිකොට ගතයුතුයි. පාපැදියක්වත් මිල දී ගන්න වත්කමක් නැති සමාජයක පින්වත් ඔබට නවීන පන්නයේ යතුරු පැදියක් මිල දී ගන්න අවස්ථාව ලැබෙන්නේ ඔබේ පුණ්‍ය ශක්තියක් නිසාමයි. පින්වත විපාකයට පැමිණෙන පින ඉදිරියේ අපරික්ෂාකාරී නොවී පරීක්ෂාකාරී වෙන්න. ඔබේ පුණ්‍යවන්ත පින, අධිවේගය නමැති පංච නීවරණයන්ගෙන් නොව සම්මතයන්ට, නීතියට, ඉවසීමට යටත් සති සම්බොජ්ඣඬ්ගයක් බවට පත්කොට ගන්න. පින්වත ඔබේම පෙර පිනට ලැබුණු නවීන යතුරු පැදිය ඔබ සති සම්බොජ්ඣඬ්ගයෙන් යුතුව මහපාරේ දී පරිහරණය කළොත්, තමාගේ ආරක්ෂාව ගැන සිතලා, අනුනගේ ආරක්ෂාව ගැන සිතලා මහා මාර්ගය ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් බවට පත්කොට ගත්තොත් පින්වත් තරුණ ඔබ තුළ වාහනය පදවන මොහොතේ දී ශීලයේ ශක්තිය, මෛත්‍රියේ ශක්තිය, කර්මය කර්මඵල විශ්වාසයේ ශක්තිය වැඩෙනවා. මහපාරේ වේගය කෙරෙහි ලෝභ, ද්වේශ, මෝහ ධර්මයෝ බැහැර වී නෙක්ඛම්මය වැඩෙනවා. පින්වත මේ මොහොතේ නවීන යතුරු පැදියක් හිමි ඔබ, ඔබේ යතුරු පැදිය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ, ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව තුළ ධාවනය කොට අනුනටත්, තමන්ටත් යහපතක්ම වී තමාගේ යතුරු පැදිය පින් වැඩෙන පන්සලක් බවට පත්කොට ගන්න. එම පිනේ ශක්තියෙන් අනාගතයේ දී යතුරු පැදියට සමු දී නවීන මෝටර් රථයක හිමිකරුවෙක් වෙන්න දක්ෂ වෙන්න.
පින්වත ලෝකය සැපයෙන් සහ දුකෙන් යන දෙකෙන්ම පිරිලයි තිබෙන්නේ. සංස්කාරයන්ගේ මේ මායාව නොවන්නට විඤ්ඤාණයට සිත් සේ විවිධත්වයෙන් යුත් මැජික් පෙන්වන්න බැහැ. පින්වත අතීත පින විසින් උපද්දවා දෙන සැපය කියන කෙටි ආශ්වාදයමයි දීර්ඝ ආදීනවය නමැති දුකට මුල් ගල තබා දෙන්නේ. පින්වත අවිද්‍යාවට අවශ්‍ය විදියට ලෝකයට නටන්නට දෙන්න එපා. පින්වත් ඔබ මධ්‍යස්ථ බෙර පද තාලයට ලෝකය නටවන්න. පින්වත ඔබේ ලෝකය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ මධ්‍යස්ථ බෙර පද තාලයට නැටෙව්වොත් පමණක්මයි, පින්වත් ඔබ ඇලීම් සහ ගැටීම් බෙර පද තාලයට අධිවේගයෙන් නටන සංස්කාර ලෝකයේ වියරුව සහ අනතුර හඳුනාගත හැකි වෙන්නේ. පින්වත ඔබ රිය පදවන, ඔබ ගමන්බිමන් යන මහපාර පංච නීවරණයන්ට අයිතිකොට දෙන්න එපා. මහපාර සප්ත බොජ්ඣඬ්යන්ගෙන් විනයගරුක කොටගන්න. මෛත්‍රිය, ශීලය, ඉවසීම පුහුණු කරන ගුරුවරයා බවට මහපාර පත්කොට ගන්න. පසුගිය දිනයක භික්ෂුව ධර්ම දේශනාවකට වඩිද්දි එක් අවස්ථාවක දී පොලිස් නිලධාරී මහත්වරුන් වාහනය නැවැත්තුවා. හේතුව වුණේ ඉර කැපුවාය කියලා. පින්වත රියදුරු ඔබේ සති සම්බොජ්ඣඬ්ගය දුර්වල වුණ තැනදි පංච නීවරණයෝ මහපාරේ කැලෑ නීතිය වෙනවා. පින්වත අපේ රටේ පාලනය පංච නීවරණයන් විසින් ඩැහැගෙන ඇති නිසාම, මහපාරේ වාහන ගොඩාක් වැඩියි. හැමෝම උත්සාහ ගන්නේ යතුරු පැදියක්, මෝටර් රථයක් ගන්න. අපේ රටේ පින්වත් පාලක පින්වතුන්ලාගේ සහ නිලධාරී පින්වතුන්ලාගේ සුඛෝපභෝගී වාහන තෘෂ්ණාව දකිද්දී කවුරුන් නම් පින්වත් ජනතාවට පූර්වාදර්ශී වෙන්න ද? අපේ පුණ්‍යවන්ත මව්බිමේ මොන පින්වත් දේශපාලන පින්වතා ද පොදු ප්‍රවාහන සේවයක ගමනක් යන්නේ? පින්වත රටේ පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවයන් අකාර්යක්ෂමභාවයෙන් බින්දුවට වැටුණ රටක, අපේ මහපාර මනුෂ්‍ය ජීවිත බිලි ගන්න පංච නීවරණයන්ගේ ගොදුරු බිමක් බවටම පත්වෙලා. තෘෂ්ණාව වැඩිවෙනකොට දුකට හේතුවෙන දේවල්මයි වැඩි වෙන්නේ. අපි හැමෝම උත්සාහ ගන්නේ වාහනයක අයිතිකරුවෙක් වෙන්න. පින්වත් වාහන ව්‍යාපාරික පින්වතුන් සහ වාහන මිල දී ගැනීමට ණය පහසුකම් ලබා දෙන්නෙන් හැමෝම උත්සාහ ගන්නේ මහපාර වාහන වලින් පුරවා දමන්න. පින්වත අසීමිත තෘෂ්ණාව දුකටමයි පාර කියන්නේ. කාටවත්ම හැඟීමක් නැහැ, කාර්යක්ෂම, විනයගරුක, පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවයක් ශක්තිමත් කරන්න. මහපාර අපි හැමෝටට කරුමයක් බවට පත්වෙලා. පින්වත අපි, අපි ගැනම සිතනවා හැර ඇයි අපි උපන් රටේ යහපත ගැන නොසිතන්නේ? කවුද අපිට මේ ආත්මාර්ථකාමීභාවය ඉගැන්වූයේ? පින්වත පරාර්ථකාමී මනුෂ්‍යයෙක් වෙන්න. ඔබ උපන් රටට, ජාතියට, ආගමට කෘතවේදී වෙන්න. පින්වත් මනුෂ්‍යයාගේ තෘෂ්ණාව අඩුවෙන දිශාවට ජාතික සැලසුම් සකස්කොට ගන්න. තමන් ඉපදුන මව්බිම ගැන නොසිතා ධනයට සහ බලයට තෘෂ්ණාධික මනුෂ්‍යයන් යන මග, පින්වත් ඔබත් යන්නන් වාලේ යන්න එපා. අසිහියෙන් ඔබත් අනුන් යන්නන් වාලේ ගියොත්, ඔබටත් ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේ දී රටක්, ජාතියක්, ආගමක් අහිමි සතර අපායම උරුම වේවි.
පින්වත සිහි නුවණින් සිටින්න. උදාවෙන සෑම හෝරාවක්ම මාරයාගේ හෝරාවක්. අකුසලයට පණ දෙන හෝරාවක්. ඇත්ත වසන්කොට බොරුවට වටිනාකම දෙන හෝරාවක්. පින්වත පරාජිතයෝ ජයග්‍රහණය සොයන හෝරාවක්. ආගම්භේද, ජාතිභේද කරලියට එන හෝරාවක්. පින්වත අවිද්‍යාව කියන්නේ දුකට මුලයි. අවිද්‍යාව කවදාකවත් අපිට යහපත පිණිස වෙන්නේ නැහැ. පින්වත අවිද්‍යාව අපිට උගන්වන්නේ ප්‍රශ්න, අකුසලයෙන්ම අවුළුවන්න මිස, ප්‍රශ්න නිවා දමන්න නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා, ලාභ සත්කාර වලට සහ සිවුපසයට ගිජු වූ භික්ෂුව වේරම්භ සුළි කුණාටුවකට හසු වූ පක්ෂියෙක් වගේය කියලා. එම භික්ෂුව ලාභ සත්කාරයන් විසින්ම පාලනය කරනවා. භික්ෂූත්වය නමැති සැහැල්ලු පියාපත් අකුසලයෙන්ම ඇඹරිලා යනවා. හිස නමැති උතුම් ධර්ම විනය පාරාජිකාවන්ගෙන්ම ඇඹරිලා යනවා. පින්වත අවසානයේ එම භික්ෂුවට ඉතිරි වෙන්නේ භික්ෂූත්වයක් නැති චීවරයක් පමණක්මයි. භික්ෂු සමාජයට මේ දිනවල සමාජ මාධ්‍ය තුළින් විවේචන එල්ල වෙනවා වැඩියි. වැරදි කළොත් විවේචනයන්ට ලක්වීම හේතුඵල ධර්මයක්ම වෙනවා. අපි යම් භික්ෂුවකගේ හෝ ගිහි පින්වතෙකුගේ වරදක් දැකලා, එම වරද පෙන්වා දිය යුත්තේ ද්වේශයෙන්, වෛරයෙන්, පළිගැනීමෙන් නොවේ. අනුනගේ වරදක් අපි පෙන්වා දිය යුත්තේ මෛත්‍රී සිතෙන්මයි. අනුනගේ වරද අපි අපේ කුසලය උදෙසායි අපි උපයෝගීකොට ගතයුතු වෙන්නේ. අනුනගේ වරද අපි, අපේ සමාධිමත් සිත උදෙසායි උපයෝගී කොටගත යුත්තේ. අනුනගේ වැරදි අපි ජාතිවාදී, ආගම්වාදී, දේශපාලනවාදී අරමුණු උදෙසා යොදා ගත්තොත් එය සමස්ත සමාජයේම අකුසලය උදෙසාම හේතු වෙනවා. එක් අයෙක් කරපු වරදක් නිසා සමස්ත සමාජයම අකුසලයට යනවාය කියන කාරණය මොනතරම් නම් අවාසනාවක් ද?
භික්ෂු සමාජයේ අපි චීවරයක් දරාගත් ගිහියෙක් වියයුතු නැහැ. භික්ෂු සමාජයේ අපි කියන්නේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනාගෙන් එක් කෙනෙක්. ඒ ශ්‍රේෂ්ඨභාවය අපිට ලැබෙන්නේ අපි තුළ උතුම් සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයන් දරාගෙන සිටින නිසාමයි. නමුත් උතුම් සෝවාන්ඵලයට පත් නොවූ සෑම ගිහි සහ පැවිදි පින්වතෙක්ම තෘෂ්ණාව මුල්කොටගත්ත කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවාය කියන කාරණය, ධර්මානුකූලව මෙත් සිතින් අපි තේරුම් ගත්තොත් පමණයි, වරද මගහැර යෑමටත්, සිදුකළ වරද ඉදිරියේ නිවැරදිවීමටත් අපිට අවස්ථාව ලැබෙන්නේ. නමුත් යම් භික්ෂුවක් නැවත, නැවත දැන, දැන වැරදි කරනවා නම් අපි වළඳන බත් කටක් පාසා, අපි වළඳන ගිලන්පසක් පාසා අපිට ගින්දරක්ම, ගිනි වතුරක්ම වෙන බව තේරුම් ගන්න ඕනේ.
පින්වත සම්මා සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ උතුම් ධර්ම විනයයි. යම් උපසම්පදා හෝ සාමණේර භික්ෂුවක්, ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ යෝනි මාර්ගය, ගුද මාර්ගය හෝ මුඛ මාර්ගය ඔස්සේ කාමයේ වරදවා හැසිරේ ද එම භික්ෂුව පාරාජිකත්වයට පත් වූ භික්ෂුවක් වෙනවා. එම භික්ෂුව සංඝ සමාජයට අයිති නැහැ. කරටිය කැඩිච්ච පොල් ගසක් වගේ, දෙකට පැලුන කළු ගලක් වගේ නැවත සංඝ සමාජයට ‘හා’ වීමක් නැහැ. සමාජ මාධ්‍ය තුළින් සමස්ත සංඝ සමාජයටම චෝදනා කරන පින්වතුන්ලා තේරුම් ගන්න ඕනේ, ඔබලා සමස්ත සංඝ සමාජයටම චෝදනා කළත්, අදාළ බරපතළ පාරාජිකා වැරදි යම් භික්ෂුවක් සත්‍ය වශයෙන්ම සිදු කළා නම්, එම භික්ෂුව සංඝ සමාජයේ සාමාජිකයෙක් නොවේය කියන කාරණය. භික්ෂුව බොහෝම ගෞරවයෙන් සටහන් තබනවා, මේ මොහොතේ සංඝ සමාජයේ කිසිම භික්ෂුවක් තුළ වරදක් නැහැ. පාරාජිකාවන්ට ආදළ වැරදි සිදු වී ඇත්නම් එවන් පරාජිත පැවිදි ජීවිත සංඝ සමාජයට අයිතිත් නැහැ.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.