දහම සමග ගලා යන ජීවිතය.

පිංවත, මහා බ්‍රහ්ම ගුණයන් යැයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙන්නේ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන්ටයි. කාම ලෝකයේ ආශ්වාදයන්ගෙන් තාවකාලිකව මිදී, වේදනාවේ ආශ්වාදය හෙවත් රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන සුවය විඳින බ්‍රහ්මයින් වගේම, කාමරාග, පටිඝ ධර්මයෝ පරිපූර්ණ වශයෙන් නිරෝධය කොට පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනුශය අනිත්‍යභාවය නුවණින් දකිමින් සිටින අනාගාමී බ්‍රහ්ම තලවල බ්‍රහ්මයින්ගේ ද, බ්‍රහ්ම ගුණයන් වෙන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන්මයි. පිංවත, පටිච්චසමුප්පන්නව මනුෂ්‍යයෙක්මයි මරණින් පසුව බ්‍රහ්මයෙක් බවට පත්වෙන්නේ. වර්තමානයේ යමෙක් ඇසුවොත් මනුෂ්‍ය ධර්මයන් මොනවා ද කියලා, ඇත්තටම අපි කුමක් ද කියන්නේ? පිංවත, උතුම් මනුෂ්‍ය ධර්මයන් යැයි කියන්නේ, පංච නීවරණ ධර්මයෝ යටපත් කොටගෙන උපදින සප්ත බොජ්ඣඬ්ඟ ධර්මයන්ටමයි. පිංවත, උතුම් සති සම්බොජ්ඣඬ්ඟය අපිට නුවණ දෙනවා. මේ ජාති, ආගම්, කුල, සීමා බන්ධන ඉවතලා අපි සියල්ලෝම පටිච්චසමුප්පන්න ඥාතීන්මයි කියන අර්ථය අපිට කියලා දෙන්න. පිංවත, ස්වභාව ධර්මයේ ගුණයක් තිබෙනවා. එම ගුණයට කියන්නේ පච්චත්තං වේදිතබ්බෝ ගුණය කියලා. පිංවත් ඔබ කිනම් ආගමක, කිනම් කුලයක, කිනම් ජාතියක වුව ද, ඔබ දුප්පත් හෝ පොහොසත් වුව ද, ඔබ වැඩිහිටි, තරුණ, ළමා වුව ද ඔබ උතුම් තෙරුවන්ට කීකරු නම් ඔබට උතුම් ධර්මාවබෝධය උරුමයි කියලා, පිංවත, උතුම් සප්ත බොජ්ඣඬ්ඟයෝ මුළු මනුෂ්‍ය ප්‍රජාවම එකම පවුලක අර්ථයට ගන්නවා.

පිංවත, මේ ලෝක ධාතුවේ අපි දකින අර්ථවත්ම පවුල බවට පත්වෙන්නේ මේ උතුම් සංඝ සමාජයයි. මේ උතුම් සංඝ සමාජය විවිධ වූ ජාති, කුල, ආගම් සියල්ලම මහා සංඝරත්නය කියන එකම අර්ථයට ගන්නවා. සියළු ගංගාවන්ගෙන් ගලා එන ජලය මහා සාගරයට වැටුණ කල්හි එකම ලුණු රසය වෙන්නා සේ සියළු ජාති, කුල, ආගම් උතුම් සංඝ සමාජයේ දී එකම නික්ලේශී නිවනේ රසය ලබනවා. පිංවත, ඔබේ අහිංසක හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න, ඔබ සැබෑ මනුෂ්‍ය ධර්මයන්ගෙන් කොතෙක් නම් ඈත් වෙලා ද ජීවත් වෙන්නේ කියලා. අපි දකින අපේ පවුල මොනතරම් නම් සීමාසහිත ද? පිංවත, ඔබ දකින පුංචි පවුල කියන සීමාව තුළ හිඳිමින් සමස්ත මනුෂ්‍ය ප්‍රජාවම එකම පවුලක් යැයි පටිච්චසමුප්පන්න ඥාතීත්වයෙන් දකින්න මහා දුරක් තිබෙනවා නේ ද? පිංවත, සප්ත බොජ්ඣඬ්ඟ නමැති මනුෂ්‍ය ධර්මයන්ගෙන් අපි ඈතට යන්න, ඈතට යන්න අනාගත බ්‍රහ්ම ගුණයන් පිළිබඳ බලාපොරොත්තු අපෙන් දුරස් වෙලාම යනවා. පිංවත, අපි සප්ත බොජ්ඣඬ්ඟයන් නමැති මනුෂ්‍ය ධර්මයන්ට නිගා කළොත් අපි තිරිසන්, ප්‍රේත, අසුර ධර්මයන් සතුටින්ම පිළිගන්න වෙනවා. පිංවත, මේ සටහන තබන භික්ෂුව, පිංවත් ඔබව දකින්නේ මගේම පවුලේ සාමාජිකයෙක් යැයි කියලා. පිංවත, අපි හැමෝගේම අම්මා සහ තාත්තා අවිද්‍යාවයි. අපි හැමෝගේම ලේ නහරවල දුවන්නේ අවිද්‍යාවේ රුධිරයයි. අපි හැමෝම බෙදී ගිය ජාති, කුල, ආගම් සහ සමාජ තත්ත්වයන් අවිද්‍යා රුධිරයෙන්ම උපන් සංස්කාරයන්ගේ විවිධත්වයයි. අපි හැමෝගේම එකිනෙකට වෙනස් හොඳ සහ නරක දැනීම් හෙවත් විඤ්ඤාණයෝ සංස්කාරයන්ගේම කිරි සුවඳයි. පිංවත, අවිද්‍යාවෙන් උපන් ලෝකය, පංච නීවරණයන් ප්‍රයෝජනයට ගෙන අවිද්‍යාවෙන්ම බෙදන්න එපා. පිංවත, සප්ත බොජ්ඣඬ්ඟයන් උපයෝගී කොටගෙන ජාති, කුල, ආගම් වශයෙන් බෙදීගිය ලෝකය සප්ත බොජ්ඣඬ්ඟ ධර්මයන් තුළින් අවිද්‍යාවෙන් උපන් එකම පවුලක් බවට පත්කොට ගන්න. පිංවත, සති සම්බොජ්ඣඬ්ඟයේ පිහිටෙන් ලෝකය සරලකොට ගන්න. එවිට ඔබට පුළුවන්, සංකීර්ණ වූ බෙදීගිය ලෝකය දෙස නොබලා අවිද්‍යාවේ ලෝකය පිංවත් ඔබ තුළින්ම දකින්න. මෙය සටහන් තබන භික්ෂුවට, භික්ෂුව යැයි සිතෙත්දී මුළු අවිද්‍යාවේ ලෝකයම දකිනවා. මෙය සටහන් තබන භික්ෂුව, භික්ෂුව අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් යැයි දකිද්දී අවිද්‍යාවෙන් උපන් ලෝකයේම නිරෝධය දකිනවා. පිංවත, ලෝකය අවිද්‍යාව කියන එකම අර්ථයට ගන්න. ජාති, කුල, ආගම් අවිද්‍යාව කියන එකම අර්ථයට ගන්න. එවිට පිංවත් ඔබට පුළුවන්, අවිද්‍යාවෙන් උපන් ඔබ තුළින්, අවිද්‍යාවේ මුළු ලෝකයම දකින්න.

පිංවත, පරිසරයට අඳුර වැටෙන්න දැන් හොඳටෝම ළඟයි. පරිසරයේ රූස්ස ගහකොළ සුළඟේ රිද්මයට එහා මෙහා සෙලවෙනවා. පිංවත, බීජ නියාමයෝ සහ ඍතු නියාමයෝ ධම්මානුපස්සනාවෙන් විනිවිද දකිකකොට මුළු ලෝකයේම පරිසරය අව්ව, වැස්ස, සුළඟ, ගහකොළ කිසිදු විවිධත්වයකින් තොර වූ බීජ නියාමයක්, ඍතු නියාමයක් බවටම පත්වෙනවා. පිංවත ධම්මානුපස්සනාවෙන් පරිසරය දකිද්දී, භික්ෂුවගේ කුටිය අවට පරිසරයත්, සමස්ත ලෝකයේම පරිසරයත් බීජ නියාමයක් සහ ඍතු නියාමයක් පමණක්මයි. භික්ෂුව වැඩසිටින මේ කුටිය අවට පරිසරය තුළින්, මේ රූස්ස කැලෑ රොද තුළින් භික්ෂුවට පුළුවන් අප්‍රිකාවේ ඇමේසන් මහා වනය දකින්න. පිංවත, ලෝකයේ චමත්කාරය විඳින්න, ලෝක පරිසරයේ චමත්කාරය විඳින්න ලෝකය වටේ ඔබව නොඇවිද්දවන උතුම් ධම්මානුපස්සනාව කෙලෙස් නිවාගන්න උත්සාහ ගන්න ජීවිත වලට ලොකු පහසුවක් වෙනවා. මේ මොහොතේ පිංවත් ඔබ දෑස් පියාගෙන සමස්ත ලෝක පරිසරයම අනිත්‍ය වූ රූපය ඇසුරින් සකස්වෙන, අනිත්‍ය වූ බීජ නියාමයක් සහ අනිත්‍ය වූ ඍතු නියාමයක් වශයෙන් ධම්මානුපස්සනාවෙන් පරිසරය විනිවිද දකින්න. භික්ෂුවගේ අවිද්‍යාවෙන් උපන් අධ්‍යාත්මික රූපයත්, පරිසරය සහ ගහකොළ නමැති බාහිර රූපයත් කායානුපස්සනාව තුළ විසිරුවා දකිද්දී, භික්ෂුවගේ ඵස්සය අසල නැවතී සිටින්නේ උතුම් ධම්මානුපස්සනාව පමණක්මයි.

පිංවත, අපි මේ ජීවත්වෙන කාලය අධර්මයෝ අධර්මයන්ම ශක්තිමත් කොටදෙන කාලයක්. අපි සිය කැමැත්තෙන්ම අකුසලයට ජීවිතය පූජා කරනවා. පිංවත, ඔබ ඔබගෙන් පළිගන්න එපා. ඔබ ඔබගෙන් පළි ගත්තොත් ඔබ පළි අරගෙන තිබෙන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් පළි ගත්තොත් අවිද්‍යාව පිංවත් ඔබේ ජීවිතය තුළ තව තවත් ප්‍රචණ්ඩ වේවි. පිංවත, විඳීම් ඔස්සේ හඹායන, දුවන ලෝකය ඉදිරියේ ඔබ නවතින්න. අවිද්‍යාවෙන් සිත අවුල්කොට ගන්න එපා. දුක වැඩි සමාජයක පිංවත් ඔබ, තෘෂ්ණාවයි ඉලක්කකොට ගතයුත්තේ. දුක වැඩි සමාජයක අපි තෘෂ්ණාවම ප්‍රවර්ධනය කළහොත් පෙරළා වැඩි වෙන්නේ දුකමයි. මේ උතුම් ධර්මය අවිද්‍යාවෙන් බිහිරි වූ සමාජයකට කෙසේ නම් අපි තේරුම්කොට දෙන්න ද? පිංවත, තෘෂ්ණාව ප්‍රවර්ධනය වෙන සමාජයක අනාගතය පිළිබඳව සුබවාදී දැක්මක් භික්ෂුවට නැහැ. භික්ෂුව හෙට දවස ධර්මානුකූලව භාර දෙන්නේ ජරා, ව්‍යාධි, ශෝක, පරිදේව දුකටමයි. පිංවත, තෘෂ්ණාවෙන් තොර ලෝකය මොනතරම් නම් සුන්දර ද? තෘෂ්ණාවෙන් හීන ලෝකය මොනතරම් නම් නිදහස් ද? මේ ලිපිය සටහන් තබන ඝනාන්ධකාර රාත්‍රියේ දී අවිද්‍යාව හේතුවෙන් සකස්වුණ අතීත සංස්කාරයෝ භික්ෂුව ජීවත් කරවනවා. පිංවත, ධර්මයේ ස්වාක්ඛාත ගුණය ඉදිරියේ ජීවිතය මොනතරම් නම් සරල ද? ඒ සරල ජීවිතය තෘෂ්ණාව නිසාම අපි යළි, යළිත් භවය දක්වා පුළුල් කොටගන්නවා. පිංවත, තෘෂ්ණාව සියළු යහපත් ධර්මයෝ විනාශකොට දමනවා. තෘෂ්ණාව අවසානයේ දී අපිට ඉතිරිකොට දෙන්නේ මිථ්‍යා දෘෂ්ටිය පමණක්මයි.

පිංවත, ගිහි පිංවතුන්ලාගේ ආර්ථිකය බොහෝම වේගයෙන් දුර්වල වෙනවා. ගිහි පිංවතුන්ලාගේ ආර්ථිකය දුර්වලවීම සම්මා සම්බුද්ධ ශාසනයට ලොකු අනතුරක් වෙනවා. ගිහි පිංවතුන්ලාගේ ආර්ථිකය දුර්වල වුවත්, පිංවත් ගිහි ජනතාව බොහෝම ශ්‍රද්ධාවෙන් තවමත් සංඝයාට සිවුපසය පූජා කරනවා. පිංවත, වර්තමානයේ කැවිලි වර්ගවල, පලතුරුවල, ආහාරවල මිල කීය ද? වර්තමානයේ පිරිකරක, අටපිරිකරක මිල කීය ද? මෙවන් මිල අධික සිවුපසයක් වර්තමානයේ ලබන පැවිදි අපි සුපටිපන්න ගුණයෙන් දුර්වල වුණොත්, ලෞකික ප්‍රඥාවෙන් දුර්වල වුණොත්, ශීලයෙන් දුර්වල වුණොත් අපි සිදුකොට ගන්නා වූ අකුසලයේ අනතුර හරිම භයානකයි. ශාසන බිඳ වැටීම වේගවත් වෙනවා. උතුම් සම්මා සම්බුද්ධ ශාසනය යැයි කියන්නේ ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වූ උතුම් ප්‍රාතිමොක්ෂ ශීලයටයි. අපි කවදා ද මේ ඇත්ත තේරුම් ගන්නේ? පිංවත, සම්මා සම්බුද්ධ ශාසනය සුරක්ෂිත වෙන්න නම්, කර්මය කර්මඵල විශ්වාසය තිබෙන රාජ්‍ය පාලකයෙක් ඉන්නම ඕනේ. ඉහත විශ්වාසය නැති පාලක පිංවතා රටවාසී සියල්ලෝම අකුසලයටමයි යොමු කරන්නේ. වර්තමානයේ අපි සියල්ලෝම මේ අනතුරේ කරවටක් ගිලිලයි ජීවත් වෙන්නේ. පිංවත, අවිද්‍යාවෙන් අවදි වෙන්න. පිංවත් ඔබේ අවිද්‍යාවේ නින්ද නිසාම, අකුසලය විසින් සමාජය පාලනය කරනවා. පිංවත, ඔබ මේ දෙපා තබාගෙන සිටින්නේ ලෝකයේ උතුම්ම දහම උරුමකොටගත් ලෝකයේ උතුම්ම රටයි. වර්තමානයේ මාතෘභූමිය බංකොලොත්කොට දමා තිබුණත්, ඉහත ඇත්ත කියන්න ඔබ ලැජ්ජ වෙන්න එපා.

පිංවත, මේ සත්‍යය ඉදිරියේ සද්ධර්මයේ පෞරුෂත්වයෙන් ඔබ නැගී සිටින්න. අධර්මයේ හීනමානය රජ කළා දැන් හොඳටෝම ඇති. පිංවත, ශෝක, පරිදේව දුකෙන් පිරුණ සමාජයට ඔබ මෛත්‍රී කරන්න. එම මෛත්‍රී සිතෙන් ඔබ මෙහෙම ධර්මානුකූලව සිතන්න. රටක රාජ්‍ය නායකයා අධාර්මික වුණොත් එම රටේ ඇමති මණ්ඩලය අධාර්මික වෙනවා. ඇමති මණ්ඩලය අධාර්මික වුණොත් මන්ත්‍රී මණ්ඩලය අධාර්මික වෙනවා. මන්ත්‍රී මණ්ඩලය අධාර්මික වුණොත් පූජක පක්ෂය අධාර්මික වෙනවා. පූජක පක්ෂය අධාර්මික වුණොත් ජනතාව අධාර්මික වෙනවා. පිංවත, සමාජගතවෙන “චිත්‍රය” ඉදිරියේ ධර්මයේ සුන්දර හේතුඵල ධර්මයන් ගලාගෙන යනවා. පිංවත, වර්තමානයේ ජනප්‍රියභාවයෙන් යුත් නායකයෝ නැහැ. වර්තමානයේ අභියෝගයන්ට අවංකව මුහුණදෙන නායකයෝ නැහැ. වර්තමානයේ අපේ බවබෝග සම්පත් ආරක්ෂා කොටදෙන නායකයෝ නැහැ. පිංවත, මාතෘභූමිය ඉදිරියේ ශීලයේ අර්ථයන් අභියෝගයට ලක්වෙලා. පිංවත, අපි යළි පිරිසිදු ශීලයේ ශක්තියෙන් නැගී සිටිමු. පිංවත, අපි ජීවත්වෙන මිථ්‍යා දෘෂ්ටියේ මළ කඳන් නොවී උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ජීවත් කරමු. එවිටයි සැබවින්ම අපි ජීවත් වුණා වෙන්නේ. පිංවත, මාතෘභුමියේ යළි ශීලය රජ කරවන්න. ඔබේ ශිල්වත් ජීවිතය කැප කරන්න. සංස්කාරයන්ගේ දුර්වලභාවයන් නිසාමයි, අපි තවමත් මන්දගාමී වෙන්නේ. පිංවත, කරුණාකර අපේ දෑස් පියවෙන්නට පෙරාතුව ධර්මයේ ඇත්ත ලෝකයටම පෙන්වා දෙන්න, ශීලයේ ශක්තියෙන් අවදි වෙන්න.

අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ

උපුටා ගැනීම – 2023/01/29 ඉරු දින දිවයින පුවත්පත