සංස්කාර ලෝකයේ නොලැබෙන සමාව.

පිංවත, ඔබ සතුටින් සිනාසෙන්න කැමති ද? අපි හැමෝටම සතුටින් සිනාසෙන්න බැහැ. අද දවසේ සතුටින් නොසිනාසුන ජීවිත සමාජයේ මොනතරම් නම් ඇති ද? සතුටෙන් සිනාසෙනවා කියන්නේ පෙර කුසල් සංස්කාරයන්ගේ ඵලයක්. ඔබ අතීත සංසාරයේ අනුන්ව ශීලයෙන්, මෛත්‍රියෙන්, ත්‍යාගයෙන් සතුටු කරලා තිබෙනවා. වර්තමානයේ පිංවත් ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් පෝෂණය වූ ශීලයෙන්, මෛත්‍රියෙන්, ත්‍යාගයෙන් අනුන්ව සතුටු කරනවා ද? එසේත් නැතිනම්, කාමච්ඡන්දයන් තුළින්, අරක්කු, මත්ද්‍රව්‍ය තුළින්, මිච්ඡා වාචාවන් තෙපලමින් අනුන්ව සතුටු කරනවා ද? පිංවත, ධර්මානුකූල සතුට පිටිපස්සේ තිබෙන්න ඕනේ පංච නීවරණයන් නොවේ, සප්ත බොජ්ඣඬ්ඟයන්මයි. පංච නීවරණයන් තුළින් ඔබ ලබන මිච්ඡා සතුට අනාගත පටිච්චසමුප්පන්න භවගමනේ අපේ සතුට සහ සිනහව අතුරුදන්කොට දමන්න පුළුවන්. පිංවත, ධර්මය සහ අධර්මය කියන දෙපැත්තේ ඔබේ කකුල් දෙක තබාගෙන ජීවත් වෙන්න එපා. උදේට බුද්ධ වන්දනාවන් කරනවා, සවසට ශිල්පද දුර්වල කොටගන්නවා. පසළොස්වක පොහොය දිනයට දන් පූජා කරනවා, මාසේ ඉතිරි දිනවල මනුෂ්‍ය ධර්මයන් අමතකකොට මුදල් සොයනවා. හොඳින් සද්ධර්මය ශ්‍රවණය කරනවා. හොඳින්ම ලෝභ, ද්වේශ, මෝහ ධර්මයනුත් වඩනවා. පිංවත, ඔබ, ඔබට අවංක වෙන්න. අහිංසක ඔබ, ඔබට බොරු කරන්න එපා. ඔබ, ඔබට බොරු කෙරුවොත් බොරුව ඔබට අවංක වේවි.

පිංවත, බොරුව අපිට අවංක වුණොත්, අපේ ලෝකයේ බොරුවමයි දිනන්නේ. බොරුව අපිට දිනාදෙන ලෝකය තමයි, සතර අපාය කියලා කියන්නේ. දිව්‍ය ලෝකවල සහ මනුෂ්‍ය ලෝකයේ පමණක් නොවේ ලස්සන, සුරූපී පිරිමින් සහ කාන්තාවන් සිටින්නේ. පරදත්තරූපජීවී ප්‍රේත ලෝකවල ද බොහොම ලස්සන, සුරූපී පිරිමි සහ කාන්තා ප්‍රේත, ප්‍රේතියන් සිටිනවා. පිංවත් ඔබ මෙහෙම සිතන්නකෝ. අපේ රටේ ටෙලිනාට්‍යවල රඟපාන පිංවත් සුරූපී රංගන ශිල්පිනියක් ගන්න. සුරූපී තරුණ ඇය අළුත්, පිරිසිදු සුදු සායකින් සහ සුදු බ්ලවුස් එකකින් සැරසිලා සිටින්නේ. ඇයගේ ඇඳුම බොහෝම සංවරයි. ඇය කළු පැහැ අව්කණ්ණාඩියකුත් පැළඳගෙනයි සිටින්නේ. ඇයගේ ලාලිත්‍යයෙන් යුත් කෙස් කළඹ ගෙල දක්වා වැටී තිබෙනවා. මේ සියල්ලම තිබුණත් ඇයගේ මුවගේ සිනහව සහ සතුට අතුරුදන් වෙලා. එහෙත් ඇය ප්‍රසන්නයි. පිංවත, ඉහත ස්වභාවයේ ප්‍රේතියන් පරදත්තරූපජීවී ප්‍රේත ලෝකයේ සිටින්නට පුළුවන් යැයි භික්ෂුව විශ්වාස කරනවා. පිංවතුනි, ඉහත උදාහරණය භික්ෂුව ඔබට සිහිපත් කළේ, කුසලය සහ අකුසලය යන අර්ථයන් දෙක තුළ, ඔබේ කකුල් දෙක තබා ගැනීමේ භයානක භව අනතුර පිංවත් ඔබට මතුකොට දීමටයි.

මෙවැනි සුන්දර අහිංසකාවියන් පරදත්තරූපජීවී ප්‍රේතියන් ලෙස පටිච්චසමුප්පන්නව උපත ලබන්නේ, තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය හේතුවෙන්. පෙර මනුෂ්‍ය ජීවිතයේ දී, මෛත්‍රිය වැඩුවා, අනුනට ආහාරපාන, ඇඳුම් පැලඳුම් නිර්ලෝභීව දුන්නා. හැබැයි ශිල්පද දුර්වලකොටගනිමින්, කාමච්ඡන්දයන් මැනවින් පුහුණු කළා. පිංවත, හරිම පරිස්සමින්, අරක්කු කඩ, සම්බාහන ආයතන, ගණිකා නිවාස, අනියම් සම්බන්ධතා, කාමච්ඡන්දයන්, බොරුව, සොරකම සමාජයේ පාලනයකින් තොරව සමාජගත වෙනවා. ගෞරවනීය පිංවත, මෛත්‍රිය වැඩුවාය කියලා, අනුනට උපකාර කළාය කියලා, අනෙක් පැත්තෙන් ඔබ ශිල්පද දුර්වලකොටගෙන කාමච්ඡන්දයන් වැඩුවොත්, සංස්කාර ලෝකයෙන් සමාවක් නම් නොලැබෙන්න පුළුවන්. පිංවත, ඉහත සටහන කියෙව්වාම ඔබට බියක් ඇති වුණා ද, එසේත් නැතිනම් ඉහත සුන්දර තරුණ ප්‍රේත අහිංසකාවිය කෙරෙහි ආදරයක් ඇති වුණා ද? පිංවත, ඔබ තවමත් ප්‍රමාද නැහැ. ඔබේ දෑස් පියාගෙන ඉහත සකස් වූ සිතුවිලි චිත්තානුපස්සනාවෙන් දකින්න. ඉහත සුන්දර ප්‍රේත අහිංසකාවිය අට්ඨික සංඥාවෙන් දකින්න. මෙය සටහන් තබන භික්ෂුව මරණානුස්සතියක් කොට දකින්න. මේ සියළු ධර්මතාවයෝ ධම්මානුපස්සනාවෙන්ම අනිත්‍ය යැයි දකින්න. පිංවත, ලෝකය හරිම සුන්දරයි. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළව සතිය සිහිය ඔබ ළඟ තිබෙනවා නම්. දැන් වෙලාව රාත්‍රී අටට විතර ඇති. මේ නිහඬ රාත්‍රියේ “සටහන ලියනවාය” කියන සංඥාව පමණක්මයි භික්ෂුව තුළ තිබෙන්නේ. ඉතිරි සංඥාවෝ නිරුද්ධ වෙලා. භික්ෂුව සටහන ලියනවාය කියන සංඥාවත් බැහැර කරලා පටිච්චසමුප්පාද ධර්මයන්ට සිත යොමු කරනවා. ජීවිතය තුළ, ලෝකය තුළ සොයන්න දෙයක් නැහැ. සොයන්න යැයි සකස්වෙන ඵස්සය, සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් විනිවිද දකින්නයි තිබෙන්නේ. එවිට ඔබේ ලෝකය පටිච්චසමුප්පාද ධර්මයම වෙනවා. පටිච්චසමුප්පාද ධර්මයන්ගේ සමුදය සහ නිරෝධයම වෙනවා.

පිංවත, ඔබ, ඔබේ අම්මා, තාත්තාට සලකනවා ද? අම්මා, තාත්තාව සතුටු කරනවා ද? සමහරක් පිංවතුන්ලා අම්මා, තාත්තලාව සතුටු කරනවා හුඟාක් අඩුයි. අනේ බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙන්න මහා බ්‍රහ්මයා අපේ ගෙදරට ගෙනත් දීලා තිබෙනවා. සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය හේතුවෙන් සකස්වෙන, අතීත අකුසල් දැනීම් නිසාම, දෙමාපියන්ගේ මහා බ්‍රහ්ම ගුණයන් අපිට දුර්වල වෙලා පෙනෙන්නට පුළුවන්. ඒ දෙමාපියන් සතු මහා බ්‍රහ්ම ගුණයන්ගේ වරදක් නොවේ, අවිද්‍යාවේ වරදයි. පිංවත, වරද අවිද්‍යාවට භාරදීලා පිංවත් දෙමාපියන් මහා බ්‍රහ්මයා ලෙසම දකින්න. දරුවන් දෙමාපියන්ට උපස්ථාන කරද්දී, දරුවන්ට ගොඩාක් පිං වැඩෙනවා. පින කියලා කියන්නේ වර්ණය, සැපය, බලය, ආයුෂයට. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ ස්වභාවික වර්ණය, සැපය, බලය වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය නොවූ කෘත්‍රිම වර්ණය, සැපය, බලයකුත් සමාජය තුළ දක්නට තිබෙනවා. මේ කෘත්‍රිම වර්ණය, සැපය, බලය ජීවිත ගතවෙන්නේත් පෙර පින නිසාමයි. නමුත් එම පෙර පින, නැවත පින් වැඩෙන ආකාරයෙන් ධර්මානුකූලව කළමනාකරණය කරගන්න දක්ෂ නැහැ. ඒ නිසාම කෘත්‍රිම වර්ණය, සැපය, බලය, සොයාගෙන මුදල් වියදම්කොට අපි සුන්දර කඩපිල් ගානේ යනවා. නගරයේ කඩසාප්පුවල සෙනඟ පිරිලා, වයෝවෘද්ධ දෙමාපියන්ගේ කාමරයේ වැඩසිටින්නේ බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ පමණක්මයි.

දයාබර දෙමාපියනි, මහා බ්‍රහ්මයා කවදාකවත් හඬන්නේ නැහැ. මහා බ්‍රහ්මයාව හඬවන්නත් බැහැ. සප්ත බොජ්ඣඬ්ඟයෝ වැඩුණ ධ්‍යාන සුවයමයි බ්‍රහ්ම ජීවිතවල ආහාරය වෙන්නේ. කාමයෝ තාවකාලිකව නිරෝධය කොට ධ්‍යාන සුවයෙන් ගතකරන රූපි සහ අරූපි බ්‍රහ්මතල බ්‍රහ්මයෝ සහ කාමයෝ පරිපූර්ණ වශයෙන්ම නිරෝධය කළ අනාගාමීඵල අවබෝධයන් ලැබූ බ්‍රහ්මයින්ට, දෙවියන්ට සහ මනුෂ්‍යයින්ට වගේ කුසගින්නක් දැනෙන්නේ නැහැ. කාමයන් බැහැර කළ ඔවුනගේ ආහාරය සප්ත බොජ්ඣඬ්ඟයෝමයි. දෙමාපියනි, ඔබේ සිත රිදවන දරුවන් ඉදිරියේ උපේක්ෂාවෙන් ලෝකය දකින්න. පිංවත් දෙමාපියන් උපේක්ෂාවෙන් ලෝකය දකින්නේ කොහොම ද කියලා දන්නවා ද? ධර්මයේ උපේක්ෂාව ඉබේ ඇතිවෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍යය ධර්මයන් කෙරෙහි හොඳින් සිහිය ඇතිකොටගන්න ඕනේ. පිංවත් දෙමාපියන් තුළ සති සම්බොජ්ඣඬ්ඟය මෝදුවෙන කොට, ඔබ දකිනවා, සංස්කාර පච්චයා විඤ්ඤාණං, අනේ මගේම අතීත අකුසල් සංස්කාර නිසාමයි, මගේම දරුවන් මගේ සිත රිදවන්නේ කියලා. දෙමාපියනි, ලෝකයේ වැරදිකරුවෙකුත් නැහැ. ලෝකයේ නිවැරදිකරුවෙකුත් නැහැ. ලෝකය කියන්නේ අවිද්‍යාවයි. බලන්නකෝ ධර්මයේ උපේක්ෂාව තුළ ජීවිතය මොනතරම් නිදහස් ද කියලා. පිංවත් දරුවන් නිසා ඊයෙත් සිත රිද්ද ගත්තා නේ ද? දෙමාපියනි, අයෙමත් සිත රිදවා ගන්න එපා. දෙමාපියනි, ඔය මහා බ්‍රහ්ම දෑසට නැගෙන උණුසුම් කඳුළු කැට, ඔබට අයිති කඳුළු නොවේ. ඔය කඳුළු අයිති අනිත්‍ය වූ ඵස්සය හේතුවෙන් සකස්වෙන, අනිත්‍ය වූ විඳීම්වලටයි. ඔය කඳුළු ඵස්සයේ අවිද්‍යාවට භාරදීලා ඔබලා නිදහස් වෙන්න.

පිංවත් දෙමාපියනි, ඔබ විඤ්ඤාණය නමැති මැජික්කරුවා හඳුනනවා ද? සංස්කාර විසින් නඩත්තු කරන හරිම ඇස් බැන්දුම් කාරයෙක්. බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණයට වධකයා කියලත් කියනවා. විඤ්ඤාණය අපිව ආදරය උපයෝගී කරගෙන වධයට පත්කරනවා. පිංවත් දෙමාපියනි, ඔබේ පිංවත් දරුවන් ඔබට හොඳින් ආදරය කරනවා නම්, හොඳින් පෝෂණය කරනවා නම්, තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය තුළ එයත් දෙමාපියන්ට බලවත් අනතුරක්මයි. දරුවන්ගේ ඵස්සය නිසා සැප වේදනාවන්මයි ඔබලා තුළ සකස් වෙන්නේ. පිංවත් දරුවන් හේතුවෙන් දෙමාපියන් ලබන්නේ සැප වේවා, දුක් වේවා, ඵස්සය අයිති අවිද්‍යාවට. දෙමාපියනි, ඔබේ දරුවන් නිසා ඔබ තුළ සකස්වෙන සෑම සැප, දුක්, උපේක්ෂා විඳීමක්ම අයිති ඔබට නොව දුකේ උල්පත වන අවිද්‍යාවටමයි. දරුවන්ගේ ආදරය, සෙනෙහස ලබන්න කුසල් සංස්කාර හේතුවෙන් සකස්වෙන දැනීම්, මගේ ආදරණීය දරුවන් හැටියට නොව, අවිද්‍යාව හැටියටම දකින්න.

බුදුරජාණන් වහන්සේ පිංවත් දෙමාපියන්ට මහා බ්‍රහ්මයා යැයි කියන්නේ මොනතරම් නම් කරුණාවකින් ද? මහාමායා උත්තමාවියව ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ගෙන් නිදහස් කරන්න බුදුරජාණන් වහන්සේ තුසිතයට වැඩියේ මොනතරම් නම් මහා කරුණාවකින් ද? මහා බ්‍රහ්මයා යැයි කියන්නේ කාම ලෝකය ඉක්මවා ගිය උත්තමයෙක්. පිංවත් දෙමාපියන්ට, බුදුරජාණන් වහන්සේ තමන්ගෙන් දරුවන් උදෙසා වියයුතු යුතුකම් කොටසක් පනවනවා. දෙමාපියන්ගෙන් දරුවන්ට වියයුතු අවසාන යුතුකම තමයි දරුවන්ට දේපළ පවරලා විවාහකොටදීම. ඉන් පස්සේ දෙමාපියන්ට මුනුපුරු, මිනිබිරියන්ව සුරතල් කරන්න කියලා, බුදුරජාණන් වහන්සේ පනවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එසේ කරන්නේ දෙමාපියන්ගේ උපාදානයන් කාම ලෝකයෙන් එතෙර කරන්න. එවිටයි දෙමාපියන් සැබෑම බ්‍රහ්මයෙක් වෙන්නේ. පිංවත් දෙමාපියනි, දරුවන්ගෙන් නිදහස් වෙච්ච ඔබ, කාම ලෝකයෙන් ඔබ්බට සිත පිහිටවලා ද තිබෙන්නේ? කාම ලෝකයෙන් ඔබ්බට සිත පිහිටනවාය කියලා කියන්නේ අනාගාමී බ්‍රහ්ම තලවල සිත පිහිටීමයි.

පිංවත් දෙමාපියනි, දිව්‍ය දරුවන් වේවා, මනුෂ්‍ය දරුවන් වේවා මේ සෑම දරුවෙක්ම අයිති අවිද්‍යාවට බව නුවණින් දකින්න. දරුවන්ගේ ජීවිතය පටිච්චසමුප්පාද ධර්මයන් තුළ විසිරුවා දකින්න. එවිටයි දෙමාපියන් වන ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහා බ්‍රහ්මයෙක් වෙන්නේ. මෙය සටහන් තබන භික්ෂුවට නම් මහා බ්‍රහ්මයෙක් වෙන්න බැරි වුණා. ඒ කියන්නේ තාත්තා කෙනෙක් වෙන්න බැරි වුණා. ඒත් පිංවත් දෙමාපියනි, ඔබලා හරිම වාසනාවන්තයි. ඒ පිංවන්ත වාසනාවට අවිද්‍යාවේ කකුලෙන් ගහන්න එපා. දරුවන්ගෙන් නිදහස් වෙච්ච දෙමාපියන් තවදුරටත් කාම ලෝකය සුරතල් කරන්නත් එපා. දරුවන් ගැන මතකයන් ධම්මානුපස්සනාවෙන්ම විනිවිද දකින්න. පිංවත් දෙමාපියනි, බුදුරජාණන් වහන්සේ ඔබලාට මහා බ්‍රහ්මයා යැයි දේශනා කළේ, මරණින් පසුව සතර අපායට යන්න නොවේ. නැවත දිව්‍ය, මනුෂ්‍ය ජීවිත ලබන්න නොවේ. දෙමාපියන් සතු උතුම් බ්‍රහ්ම ගුණයන් තම ආදරණීය දරුවන්ටත් හොඳින් පුහුණු කරලා, දරුවන්ගේ වගකීම් වලින් නිදහස් වෙලා, මරණින් පසු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කාමරාග, පටිඝයන් නිරෝධය කළ බ්‍රහ්මයෙක් වෙන්නමයි. පිංවතුනේ භික්ෂුව මේ සටහන් තබන්නේ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මහා කරුණා ගුණයයි. පරම්පරාවෙන් පරම්පරාව නිවනට යොමු කරන උත්තරීතර මහා කරුණා ගුණයයි.

අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.