පිංවත, අනේ කරුණාකර, අවිද්‍යාවේ නින්දෙන් මාව අවදි කරන්න එපා. මට මේ සුවපහසු ඵස්ස සයනයේ සුවසේ විඳීමේ සිහින දකිමින් නිදා ගන්න ඉඩ දෙන්න. පිංවත් ඔබ තවමත් අවදියෙන් සිටියාට, මම කුමක් නම් කරන්න ද? මා දකින මගේ සිහින මගේම ජීවිතයයි. පිංවත, නොඅවදි වී මා දකින සිහින මොනතරම් නම් ප්‍රණීත ද? මගේ පුතාලා, මගේ දුවලා, මගේම බෑණලා, ලේලිලා, මගේම මුනුපුරු, මිනිබිරියන් අනාගතයේ දී කෝටිපතියන් වෙලා, ප්‍රකෝටිපතියන් වෙලා, අනාගතයේ දී රජවරු, සිටුවරු, සිටු දියණියන් වෙලා, පිංවත මේ අවිද්‍යාවේ සිහින දකින සුවබර නින්දෙන් මාව අවදි කරන්න එපා. මේ සුන්දර සිහින දකිමින්ම අනාගතයේ දවසක, අනේ මට සතර අපායේදීම අවදි වෙන්න ඉඩ දෙන්න. පිංවත් ඔබ දන්නවා ද, සිහින අයිති කාට ද කියලා? පිංවත, ඔබ දකින සිහින අයිති ඵස්ස පච්චයා වේදනා කියන ධර්මතාවට. අනිත්‍ය වූ ඵස්සය හේතුවෙන් සකස්වෙන අනිත්‍ය වූ විඳීම් මත රජ, සිටු අනාගත සිහින මාළිගා තැනුවොත්, තෘෂ්ණාවේ උපාදානයෝ බරට බරේ ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින්ම ඵලබර වේවි.
පිංවත, රාජ්‍ය ආයතනයක ඉහළ නිලධාරී මහත්මයෙක් සිටියා. මේ රාජ්‍ය ආයතනය පෞද්ගලික කොන්ත්‍රාත්කරුවනට ගොඩාක් කොන්ත්‍රාත් වැඩ ලබාදෙන ආයතනයක්.
දිනක් මේ පිංවත් නිලධාරී මහත්මයා, තරුණ කොන්ත්‍රාත්කරුවෙකුට මෙහෙම කියනවා, ඔයා මේ වැඩේට ලක්ෂ විසිපහක්නේ ඉල්ලන්නේ. ඔයා ලක්ෂ තිස්පහක් මිල දමන්න, ලක්ෂ දහය මටය කියලා. ඉහත නිලධාරී මහත්මයා තම දීර්ඝ සේවා කලයේ දී ලබා දුන් පුංචි කොන්ත්‍රාත්තුවක් ගැන පමණයි භික්ෂුව සටහන් තැබුවේ. වර්තමානයේ මේ මහත්මයා විශ්‍රාම ගිහිල්ලා. දැන් ඒ මහත්මයා බරපතළ කර්ම රෝග කිහිපයකින්ම පෙළෙනවා. අතීතයේ හම්බ කරපු ජනතාවගේ අයුතු සල්ලි, රෝහල් ගාස්තු, ඖෂධ සඳහාම විදයම් වෙලා. පිංවත, මේ මහත්මයා රජයෙන් වැටුප් ලැබූ තම රාජකාරිය අවංකව ඉටුකළා නම්, ජනතාවගේ ධනය අයුතු ලෙස ලබා නොගත්තා නම්, අනේ දෙවියනි, විශ්‍රාම වැටුපෙන් හොඳින් ජීවත් වෙලා සමහරවිට නිරෝගීව කවදාහරි මිය යන්න තිබුණා. ගෞරවනීය පිංවත, කාමයේ කෙටි ආශ්වාදයක් තිබෙනවා. රූපයේ කෙටි ආශ්වාදයක් තිබෙනවා. ඒ ආශ්වාදය සංස්කාර හේතුවෙන්ම සකස්වෙන මායාවක්. අවිචාරයෙන්, තරඟකාරීව, ජනතාවගේ හිස අතගාමින්, ජනතාවට සිනාසෙමින්, ජනතාවගේ මුදල්, ජනතාවගේ සැපය, ජනතාවගේ සතුට ගසා කන්න එපා. සංස්කාරයෝ විසිහතර පැයේම අවදියෙන්. අහිංසක ජනතාවගේ ධනය වංක සිතින් උදුරා ගත්තොත් ඔබේම වකුගඩු, ඔබේම අක්මාව, ඔබේම හෘදවස්තුව, පෙනහළු කොටින්ම ඔබේ ශරීර අවයවයන් ඔබ ජීවතුන් අතර සිටියදීම, ඔබේම අකුසල් සංස්කාරයෝ විසින් උදුරා ගනීවි. පිංවත, රජයේ රෝහල් සහ පෞද්ගලික රෝහල් දෙස සිහිනුවණින් බලන්න. අපේම අකුසල් සංස්කාරයෝ කර්ම රෝග තුළින්, අපේම ශරීරයේ අවයවයන් සැත්කම් තුළින් උදුරා ගන්නා හැටි, ඒහිපස්සිකව, විවෘතව පෙනෙනවා නේද? පිංවත කෙටි ආශ්වාදයේ ගොරහැඬි සිහින ලෝකයෙන් අවදි වෙන්න. තමන්ගේ රාජකාරිය උදෙසා ලැබෙන සාධාරණ වැටුපෙන් මධ්‍යම ප්‍රතිපදාවට අදාළව ජීවත් වෙලා, නිරෝගීව විශ්‍රාම සුවයෙන් ගත කරලා, සතුටෙන් දෑස් පියාගෙන සුගතියේ උපදින්න.
අද උදෑසන භික්ෂුවට විශ්‍රාමික රජයේ නිලධාරියෙක් මුණ ගැසුණා. ඒ මහත්තයාගේ වසස අවුරුදු අනූ එකක්. ඒ මහත්මයා බොහෝම නිරෝගීව කන්ද නැගගෙන ඇවිල්ලයි භික්ෂුව මුණ ගැසුණේ. ඒ පිංවත් විශ්‍රාමික මහත්මයා කියනවා, රජයට අයිති ශත පහක දෙයක් තමන් අරගෙන නැහැය කියලා. තමන්ට ලැබුණ සාධාරණ වැටුපෙන් පමණක් ජීවත්වෙච්ච රාජ්‍ය නිලධාරියෙක්. භික්ෂුවට විශ්වාසයි රජයට වංචා නොකළ මේ මහත්මයා කවදාහරි නිරෝගීව දෑස් පියා ගන්නවාය කියලා. සියළු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. ඒත් මේ නිසල රාත්‍රියේ, විදර්ශනාත්මත සප්ත බොජ්ඣඬ්ඟයන් වැඩුණු සිතින්, ජනතාවගේ මුදල් වංචා නොකළ සෑම ගෞරවනීය රාජ්‍ය සේවක පිංවතුන්ටම මෙත් සිතින් නිදුක්, නිරෝගී, සුවපත්භාවයම, දීර්ඝායුෂ ලැබේවා කියලා ආශීර්වාද කරනවා. පිංවත් ඔබලාමයි මේ මාතෘභූමියට ආත්මගරුත්වය ලබාදුන් දෙවිවරු. සාධාරණව ධනය උපයන පිංවතාමයි මධ්‍යම ප්‍රතිපදාව ශක්තිමත් කරන්නේ. මධ්‍යම ප්‍රතිපදාව ශක්තිමත් වුණ තැනයි, ශාසන අර්ථයන් අර්ථවත්ව පෝෂණය වෙන්නේ. වැරදි ඉපයීම් තුළින් සමාජගතවෙන අසාධාරණ ධනය මධ්‍යම ප්‍රතිපදාව විකෘතියක් බවට පත්කරනවා. ගෞරවනීය සංඝ සමාජයේ අපිත්, අපේම නමට තිබෙන කෝටි ගණන් වටින වාහනවල යන්නේ, ප්‍රසිද්ධ බැංකුවල ඉහළ වටිනාකමැති ගිණුම් තිබෙන්නේ, අපේ මධ්‍යම ප්‍රතිපදාවට අකුණු ගසන නිසා නේද? ගෞරවනීය පිංවත, මේ සටහන් විවේචනය සඳහා නම් නොවේ. පිංවත් ඔබට එහෙම සිතුනොත්, අනේ භික්ෂුව ඔබෙන් දහස් වතාවක් සමාව අයදිනවා. පුංචි හෝ නිවැරදිවීමක් අපි ඇතිකොට ගත්තොත් එය අපිටමයි. දැන් දැන් අපේ භික්ෂු සමාජයේත් ශරීර අවයවයන් කර්ම රෝග හේතුවෙන් සැත්කම් වලින් ඉවත් කරනවා වැඩියි නේද? මෙය සටහන් තබන භික්ෂුවගේ අතීත සංස්කාර විසින් හෙට දිනයේ කුමන ශරීර අවයවයක් මගෙන් උදුරා ගනී ද කියන්න භික්ෂුව දන්නේ නැහැ. අපේ අප්පේ, භික්ෂුව නම් බොහෝම පරිස්සමින් ජීවත් වෙන්නේ. මෙය සටහන් තබන භික්ෂුවට රෝගී පිංවතෙක් කියන්නේ ඒහිපස්සික ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ලාභ සත්කාරයෝ, අපේ ලෞකික ප්‍රඥාව විනිවිද ගිහිල්ලා, ශීලයේ ශක්තිය විනිවිද ගිහිල්ලා, අපේ සමාධියේ ශක්තිය විනිවිද ගිහිල්ලා, ඉහත සියළු ධර්මයෝ පංච නීවරණයන්ගෙන් කුණු කරනවාය කියලා.
පිංවත, බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්වූවේ යන්නං වාලේ යන්න නොවේ. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් ඔස්සේම යන්නයි. අපි උපන් මාතෘභූමිය කියන්නේ අපි හැමෝගේම පළමුවෙනි අම්මා. ඒ මාතෘත්වයේ පළවෙනි අම්මාගේ රැකවරණය තුළයි, අපිට මවුකිරි දුන් දෙවෙනි අම්මා පෝෂණය වුණේ. පිංවත, මේ කෘතවේදී මනුෂ්‍යත්වයෙන් අපේම පිනට අපිට ලැබුණ මේ මාතෘභූමිය නමැති අපේම පළමුවෙනි අම්මා සොරකමෙන්, වංචාවෙන්, දූෂණයෙන්, කෙලෙසා දමන්න, මරා දමන්න එපා. අපේම දෙමාපියන් මරා දැමීම ආනන්තරිය පාප කර්මයක්. අපේම මාතෘභූමිය මරා දැමීමට යමෙක් හේතු කාරණා සකස් කරයි ද, එය අපායගාමී බරපතළ අකුසලයක්ම වේවි. පිංවත, තමන් පෙර පිනට උපන් මාතෘභූමිය සොරකමින්, වංචාවෙන්, දූෂණයෙන් කෙලෙසන්නා, මරණාසන්න මොහොතේ ඉන්ද්‍රීය අසංවරභාවයෙන් මිය පරලොව ගොස්, යම් හෙයකින් මනුෂ්‍යයෙක්ව ඉපදුනොත්, ඔහු උපදින්නේ රටක් අහිමි ජනතාව වෙසෙන සරණාගත කඳවුරක් තුළමයි. සද්ධර්මය ශ්‍රවණය නොකරන්නා, අසද්ධර්මය සමග සතුටින් දීග කන්නේ, කිරියි, පැණියි වගේ සමගියෙන්මයි.
මේ දවස්වල අසද්ධර්මයේ මනමාල, මනමාලියෝ වැහි වැහැලා. මඟුල් කපු මහත්වරු අවශ්‍ය නැහැ මනමාලියක් සොයා ගන්න. ලැජ්ජාව, භය වේගයෙන් ප්‍රපාතයට යන සමාජයක අපි ජීවත් වෙන්නේ. අසද්ධර්මයේ මනමාලියන් දෙස පිළිකුලෙන් බලන ධනවත් ව්‍යාපාරික මහත්මයෙක්, භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, රටේ දේශපාලනය කරන යම් පිංවතෙක් මුණ ගැසුණොත්, ඔහු මුලින්ම අහන්නේ, අපි දෙදෙනාට එකතු වෙලා කරන්න, “ඩීල්” එකක් නැති ද කියලා ලු. සිහි නුවණින් බලන්නකෝ අසද්ධර්මයේ මනාලියෝ කෑම මේසයේදිත් නිරුවත්වෙන අපූරුව. පිංවත, ඔබ මේවා දැකලා දුක් වෙන්න එපා. දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි නුවණින් දකින්න. ලෝකය කොතනකවත් වැරදි නැහැ. ඔබ මේ දකින්නේ ධර්මයමයි. ඒ ලස්සන ධර්මය හදවතින් නොව, නුවණින් ජීවිතයට එකතු කොටගන්න. ඒ ලස්සන ධර්මය නුවණින් දකිද්දී, ඔබට තනිකමක් දැනෙන්නේ නැහැ. උපේක්ෂාවේ සතිය සිහිය තුළින් උපදින, සප්ත බොජ්ඣඬ්ඟයෝ මෘතෘ භාර්යාවක් සේ ඔබ අසලම සෙනෙහසින් සිටිනවා. පිංවත, මොහොතක් මේ සටහනින් නෙතු මෑත්කොට දෑස් පියාගන්න. සියළු කුසල් සහ අකුසල් සංස්කාරයෝ අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍ය යැයි නුවණින් දකින්න. සප්ත බොජ්ඣඬ්ඟයෝ මාතෘ භාර්යාවක් සේ ඔබේ ඵස්සයේ දැවටෙන හැටි පෙනෙනවා නේද?
පිංවත, රූපය, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ගෙන් කැඩී, බිඳී, විසිරී යනවා. වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ලෝකයත් කැඩී, බිඳී විසිරී යනවා. පිංවත, කැඩී, බිඳී, විසිරී යන ලෝකයෙන් ඔබ පලා යන්න එපා. මුලින්ම ඔබ ලෝකයට ඔරොත්තු දෙන්න. ලෝකයට ඔරොත්තුදීමේ ශක්තිය ඔබට ලබා දෙන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ලෝකයෙන් පලා නොගොස්, දෙවැනිව ලෝකයට ඔරොත්තු දී, තෙවැනිව ලෝකය විදර්ශනා නුවණින් නිරෝධය කරන්න. පිංවත, අධ්‍යාත්මික රූපය සතර මහා ධාතුවක් පමණක් නිසාම, ඵස්සයට අවිද්‍යාවේ ආහාර නොදුන්නොත් ජීවිතය හරි නිහඬයි. ශීතල ගත දැවටෙන මේ නිසල රාත්‍රියේ භික්ෂුවට ඇසෙන්නේ, ඔරලෝසුවේ තත්පර කටුවේ හඬ පමණක්මයි. ඔරලෝසුවේ තත්පර කටුවේ හඬ තුළින්, භික්ෂුව, තමාගේ උපාදානය නමැති තත්පර කටුව, භවාත්‍රය වටා දුවපු හැටි නුවණින් දකිනවා. සැබැවින්ම අපේ ජීවිත කියන්නෙත් ඔරලෝසුවක්. තෘෂ්ණාවෙන් උපදින උපාදානයෝ, භවාත්‍රය වටා පටිච්චසමුප්පන්නව දුවනවා.
පිංවත, ඔබ අතීත භව ගමනේ මොනතරම් දීර්ඝ ගමනක් පටිච්චසමුප්පන්නව දුවලා තිබෙනවා ද? ඒත් පොඩ්ඩක්වත් හති නැහැනේ. මහ පාරේ කිලෝ මීටරයක් දුවද්දී හති වැටෙන අපිට, භවාත්‍රයේ කල්ප ගණන් පටිච්චසමුප්පන්නව දුවලත් වෙහෙසක් නැහැනේ. පිංවත, මොහොතක් ඔබේ ඵස්සය විවෘතකොට නුවණින් බලන්න. ඔබේ ඵස්සය අවිද්‍යාවේ ශීතලෙන් වායුසමීකරණය කරලා නේද තිබෙන්නේ? ශීතල කාමරයකින් උපදින වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ කෙසේ නම් වෙහෛසක්, උණුසුමක් දෙන්න ද?
පිංවත, අවිද්‍යාව සිතන හැටි නම් හරිම කැතයි. ඔබටත් සිතුනා ද, කොරෝනා රෝගයෙන් ජනතාව සුවපත් වෙලා, රට යළි කිරියෙන්, පැණියෙන් උතුරාවි කියලා. ඔබටත් සිතුනා ද කොරෝනා රෝගයෙන් රටේ පවුකාරයන් සියල්ලෝම මැරිලා, පින්වන්තයින්ගෙන් රට යළි සෞභාග්‍යයේ හිනිපෙත්තටම යයි කියලා. පිංවත් ඔබ ඉහත මෝහයේ බලාපොරොත්තු තවදුරටත් දරාගෙන සිටින්නේ නම්, ඔය රෝගයට කියන්නේ සක්කාය දිට්ඨියේ මානසික ව්‍යාධිය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තමාට වඩා දැනුමෙන්, තේරුමෙන් වැඩි කෙනෙක් ඇසුරු කරන්නය කියලා. එහෙම කෙනෙක් ඇසුරට නැතිනම් තමා හා සම කෙනෙක් ඇසුරු කරන්නය කියලා. තමා හා සම කෙනෙක් ඇසුරට නැතිනම්, හුදෙකලාව ජීවත් වෙන්නය කියලා. ඉහත සම්බුද්ධ දේශනාවට ඔබ කැමති නැත්නම්, පරාජයන්ම බලාපොරොත්තු වෙන්නය කියලා.
පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2022.06.19 වන ඉරුදින දිවයින පුවත් පත.