ලඳුනි, මට ඔබ කුමටද?
ඔහු ද විශාලා මහනුවරය. තුන් බිය දුරු කිරීමට විශාලාවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ දැක පැහැදී තෙරුවන් සරණ ගිය පිරිසට ඔහුද අයත් විය.
බුදු රජාණන් වහන්සේ එදා දේශනා කළ ධර්ම කාරණා පිළිබඳව මෙනෙහි කළ ඔහු සසර දුකෙන් පිරී ඇති සැටි දුටුවේය. වහා සසරෙන් මිදීමේ වුවමනාවද ඔහුට ඇති විය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ති‍්‍රලක්ෂණය සියලු සංස්කාරයන් තුළ පවත්නා අයුරු ඔහුට මද වශයෙන් වැටහෙන්නට විය.
ගිහි ගෙයින් මිදී බුදු රජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයකු වී සසර ජය ගනිමි යන අදිටන ඔහු තුළ ඇති විය. ඔහු පැවිදි වූයේය.
වජ්ජි රට කුටියක් ඒ හිමියනට පුදනු ලැබිණි. එය රමණීය විය. ඒ නිසාම මේ හිමියෝ රමණීය කුටික තෙරුන් නමින් ප‍්‍රකට විය. කුටිය වටා දඹදිව වූ විසිතුරු ම මල් වර්ග වවා තිබිණි. මලින් පලින් පිරි තුරු ලා සමග කුරුලු කතා බහ මුසුව තිබිණි. කුටියේ බිතු සිතුවම් විය.
ඒ රමණීය කුටියෙහි වැඩ වෙසෙන හිමියෝ ද පියකරු විය. උන්වහන්සේ ගේ පැවැත්ම දනන් සිත් පින වූයේය. සැදැහැත්තෝ ඒ කුටියට පැමිණ හිමි පා වැඳ සැනසුණහ.
වජ්ජිරට ගණිකාවෝ ද පැමිණියහ. ඔවුහු හිමි තනි කැරැ ගැනීමට මාන බැලූහ. අඩ නිරුවතින්, ඉඟි බිඟියෙන් හිමියන් දිනා ගැනීමට ඔවුහු වෙහෙසුණහ.
එකියක් ඇගේ පියයුරු හිමියනට පෙනෙන සේ සිටියහ. තවත් එකියක් ඇගේ මටසිලිටි වටොර සළුපට අතරින් දැක්වූවාය.
උන් වහන්සේ ගේ සිත පිළිකුල් භාවනාවට යොමු විය.
මේ සිරුරු අශුචී ගබඩාය. ඒ ගබඩාවේ දොරටු නවයකි. ඇස් දෙක, නාස්පුඩු දෙක, කට, කන් සිදුරු දෙක, මුත‍්‍රා මාර්ගය, අධෝ මාර්ගය, ඒ දොරවල් නවයෙන් නිකුත් වන්නේ පිළිකුල් කටයුතු දේවල්මය. දුගඳ හමන දේවල්මය. සුවඳ විලවුන් තවරාගෙන සිටිය ද ඇතුළ දුගඳය. ඔය ශරීරවල හම ඉවත් කළොත් බඹ ගණනක් දුරින් වත් සිටිය නොහැකිය. ඒ තරමටම පිළිකුල්ය.
ඒ රූමත් ගණිකාවන්ගේ සිරුරුවල සැබෑව උන්වහන්සේ දැක ගත්හ.
සිත තුල කාමච්ඡන්දයක් ඉපදුණේ නැත.
ලඳුනි ඔබේ සිරුරේ පිළිකුල නොදක්නා අයත් සිටිය හැකියි. අන්න එබඳු අය ඇති තැනකට යන්න. මේ කුටියේ සිටින්නේ අසුබ දේ අසුබ දේ හැටියට දක්නා හිමිනමක් බව සලකන්න.
ගණිකාවෝ පලා ගියහ.
ඉන් පසු උන් වහන්සේ පිළිකුල අරමුණු කොට භාවනාවේ යෙදුණහ. රහත් බව ලැබූහ.
පසු කලෙක රමණීය කුටික රහතන් වහන්සේ සිය උදානය මෙසේ පළ කෙළේය.
සැදෑ සිතින් පිදුම් ලැබූ
මේ ලස්සන කුටිය යසයි
එහෙත් ලඳුනි, අසනු මැනවි
ඔබෙන් පලක් ඇති අය වෙත
යනු මට පල නැත ඔබගෙන්
මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.