රූපස්කන්ධය.

සෑම කල්හි ම එකසේ පැවැත්මක් නැතිවැ ශීතෝෂ්ණාදිය හේතු කොට නැවත තිබූ ආකාරයෙන් අනෙක් ආකාරයකට හෝ අභාවයකට පැමිණෙන්නා වූ ඖදාරික වූ ධාතු සමූහයට රූපස්කන්ධය යි කියනු ලැබේ. රූප සමූහය යනු එහි තේරුමයි. රූපය ය, රූපස්කන්ධය ය යන වචන දෙක්හි අර්ථ වශයෙන් වෙනසක් නැත. රූපය හෙවත් රූපස්කන්ධය කුමක් ද යන බව දක්වනු පිණිස,

“කතමඤ්ච භික්ඛවෙ රූපං? චත්තාරෝ මහා භූතා චතුන්නඤ්ච මහා භූතානං උපාදාය රූපං, ඉදං වුච්චති භික්ඛවෙ රූපං” යනු වදාරන ලදි.

මහණෙනි! රූපය නම් කවරේද යත්? සතර මහා භූතයෝ ය, සතර මහා භූතයන් නිසා හට ගන්නා වූ රූපයෝය යන මේ සියල්ල රූප නම් වන්නේය” යනු එහි තේරුමයි.

පෘථිවි වෘක්ෂ පර්වත ගංගා සමුද්‍රාදි වශයෙන් මහත් මහත්ව පහළවන්නා වූ රූපයෝ මහාභූත නම් වෙති. ඒ මහාභූතයන් නිසා හටගන්නා වූ මහාභූතයන් හා බැඳී පවත්නා වූ තවත් රූප සූවිස්සෙකි. ඒවාට උපාදාය රූපයෝය යි කියනු ලැබේ. මහාභූත රූප සතරය, උපාදාය රූප සූවිස්සය යි රූප විසි අටෙකි. ඒ රූප විසිඅට රූපස්කන්ධය යි.

🌺 මහාභූත රූප සතර

1. පෘථිවි ධාතුවය,
2. ආපෝ ධාතුවය,
3. තේජෝ ධාතුවය,
4. වායෝ ධාතුවය යි මහාභූත රූප සතරෙකි.

සත්ත්ව ශරීරයන්හි හා පෘථිවි වෘක්ෂ ලතාදි බාහිර වස්තූන්හි ද ඇත්තා වූ තද ගතිය – රළු ගතිය පෘථිවි ධාතුව ය. වඩා තද දෙයක් අපේක්ෂා කොට කතා කරන කල්හි අඩු වූ තද ගතියට මෘදු බවය – මොලොක් බවය යි කියනු ලැබේ. එබැවින් තද බවය – මෘදු බවය යන දෙකින් ම කියවෙන්නේ පෘථිවි ධාතුව ම බව දත යුතු.

සත්ත්ව ශරීරයන්හි හා බාහිර වස්තූන්හි ඇත්තා වූ තෙත් ගතිය ඇලෙන ගතිය ආපෝ ධාතුවයි. සිසිල් ගතිය හා උණුසුම් ගතිය තේජෝ ධාතුව ය. පුම්බවන ගතිය වායෝ ධාතුව ය.

ලෝකයෙහි යම්කිසි වස්තුවක් වේ නම් ඒ සියල්ල ම ඇති වී තිබෙන්නේ ද, මේ මහා ධාතු සතර පවත්නේ ද එකක් අනිකට උපකාර වීමෙනි. ඉතිරි ධාතු තුනෙන් වෙන්ව එක් ධාතුවකට පවත්නට නුපුළුවන. සෑම වස්තුවක ම මේ ධාතු සතර එක පමණට ඇත්තේ ද නො වේ.

කෙස්-ලොම්-නිය-දත්-සම්-මස් ආදී ශාරීරික වස්තූන්හි ද, ගස්-ගල්-පස් ආදී බාහිර වස්තූන්හි ද, පෘථිවි ධාතුව අධිකව පවතින්නේය. ජලයෙහි ද, තෙල් වර්ගවල ද, ලහටු වර්ගවල ද, ආපෝ ධාතුව අධිකව පවත්නේය. ගින්නෙහි ද, ගිනිරැස්, හිරුරැස්, සඳරැස් ආදි ආලෝකයන්හි ද තේජෝ ධාතුව අධිකව පවත්නේය. සුළගෙහි ද, දුමෙහි ද වායෝ ධාතුව අධිකව පවත්නේය.

මේ මහාභූත ධාතු සතර සුදුසු පරිදි පවත්නා තුරු ලෝකය පවත්නේ ය. ඒ ඒ ධාතූන්ගේ අඩු වැඩි වීමෙන් ලෝකය නස්නේය. මනුෂ්‍යයාගේ ශරීරයෙහි පෘථිවි ධාතුව අධික වුවහොත් උත්සන්න වුවහොත් ශරීරය දරදඬු වන්නේ ය. පෘථිවි ධාතුව අධිකව ආපෝ ධාතුව හීන වුවහොත් ශරීරය ධූලි බවට පැමිණ විසිර යන්නේය. පෘථිවි ධාතුව හීන වී ආපෝ ධාතුව උත්සන්න වුවහොත් ශරීරය දියවී යන්නේය. තේජෝ ධාතුව අධික වුවහොත් ඉදිමෙන්නේය. කිනම් වස්තුවක වුව ද යම්කිසි එක් ධාතුවක් සම්පූර්ණයෙන් ම නැති වුවහොත් ඉතිරි ධාතු තුන ද නැති වී ඒ වස්තුව අතුරුදහන් වන්නේ ය.

මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.