තත්ථ කතමං නාමරූප පච්චයා සළායතනං?
චක්ඛායතනං, සෝතායතනං, ඝාණායතනං, ජිව්හායතනං, කායාතනං, මනායතනං ඉදං වුච්චති නාම රූප පච්චයා සළායතනං
යනුවෙන් විභංගලාළියෙහි චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායාතනය හා මනායතනය යනාදිය නාමරූපයන් නිසා හට ගන්නා වූ ආයතන ලෙස විභංග පාළියෙහි දක්වන ලදි.
එහි චක්ෂුර්විඥානය යි කියනු ලබන රූප දක්නා සිතට උත්පත්තිස්ථානය වූ ඇසෙහි පිහිටි ඔපයට චක්ඛායතනයයි.
ශ්‍රෝත්‍රවිඥානය යි කියනු ලබන හඬ දැන ගන්නා වූ සිතට උත්පත්ති ස්ථානය වූ කනෙහි පිහිටි ඔපය සෝතායතනය යි.
ඝ්‍රාණවිඥානය යි කියනු ලබන ගඳ දැන ගන්නා වූ සිතට උත්පත්තිස්ථානය වූ නාසය තුළ පිහිටි ඔපය ඝාණායතනයයි.
ජිහ්වා විඥානය යි කියනු ලබන රස දන්නා වූ සිතට උත්පත්තිස්ථානය වූ දිවෙහි පිහිටි ඔපය ජිව්හායතනයයි.
කායවිඥානය යි කියනු ලබන තද බැව්, සිසිල් බැව්, උණුසුම් බැව් ආදිය දන්නා සිතට උත්පත්තිස්ථානය වන ශරීරයේ ඇතුළත පිටත දෙකෙහි පිහිටි ඔපය කායාතනයයි.
චක්ෂුංප්‍රසාද, ශ්‍රෝත්‍රප්‍රසාද, ඝ්‍රාණප්‍රසාද, ජිහ්වාප්‍රසාද, කායප්‍රසාදය යි කියනුයේද මේ පසට ම ය.
රූප, ශබ්දාදී ආදී හැම අරමුණු ම දැන ගන්නා වූ විඥානය මනායතනය යි.
ආයතනය යි කියනු ලබන මේ චක්ෂුරාදීහු රෑපාදී අරමුණු ගැනීමට උපකාර වී බොහෝ චිත්ත චෛතසිකයන් ඇති කිරීමෙන් සංසාරය දික් කෙරෙති, එබැවින් ඒවාට ආයතනයෝ ය යි කියනු ලැබේ. නාමරෑපයන් නිසා ආයතන සය වේ ය යි කියනුයේ, ඒවා නාමරෑපයන් ඇති කල්හි ම උපදනා බැවිනි. නාමරෑප නැතහොත් ආයතනයන්ට නො පහළ විය හැකිය.
නාමරූපයන් හේතු කොට කාමලෝකයෙහි ආයතන සයම පහළ වේ. රූපලෝකයෙහි චක්ඛායතනය, සෝතායතනය, මනායතනය යන තුන පමණක් පහළ වේ. අරූපලෝකයෙහි මනායතනය පමණක් පහළ වේ. නාම රෑප දෙකින් නාමය අරෑප භවයේහි මනායතනයට පමණක් හේතු වේ. කාම රෑප භව දෙක්හි නාම රෑප දෙක ම ෂඩායතනයට හේතු වේ.
ෂඩායතනය අතුරෙන් චක්ෂුරාදි ආයතන පස “විඤ්ඤාණ පච්චවා නාමරෑපං” යනුවෙන්විඥානය හේතුවෙන් හටගන්නාහුය යි කියන ලද අටවිසි රෑපයන්ගෙන් රෑප පසකි. ඒවා වරක් විඥාන හේතුවෙන් හටගන්නා ධර්ම බව කියා නැවත නාමරෑප හේතුවෙන් හටගන්න බව කීම කෙසේ යෙදේද? යන ප්‍රශ්නය මෙහි ඇති වේ. කඳ අතු රිකිලි කොළ මල් යන සියල්ලට ගසය යි කියනු ලැබේ. ඇටයෙන් ගස හටගන්නේ ය යි නී කල්හි ගසට අයත් ඒ සියල්ලම ඇටයේ ඵල වශයෙන් කියැවේ.
එහෙත් ඇටය නිසා ගස හටගන්නේ ය, ගස නිසා අතු හටගන්නේ ය, අතු නිසා රිකිලි හටගන්නේ ය, රිකිලි නිසා මල් හටගන්නේ ය, මල් නිසා ගෙඩි හටගන්නේ ය යි කීමද වරදක් නොවේ. ගසේ හටගන්නා ගෙඩිවලට මුලින් රෝපණය කළ ඇටද හේතු වේ. පසුව ඒ ඇටය නිසා හටගන්නා වූ අතු හා මල් ද හේතු වේ. එමෙන් විඥානය රෑප අට විස්සටම හේතු වේ. නැවත ඒවා චක්ෂුරාදී ආයතන පසටද හේතු වේ. එබැවින් නාමරෑපයන් හේතු කොට චක්ෂුරාදි ආයතන පස වේය යි කීමේ දෝෂයක් නැත.
ආයතනයන්ගෙන් සය වැන්න වූ මනායතනය නම්, නාම රෑපයන් ගේ හේතුව වශයෙන් කියන ලද විඥානය ම ය. විඥානය නිසා ඇතිවන නාමරෑපය නිසා නැවත විඥානය ම ඇති වන බව කීම, මව් නිසා දරැවා ඇති වේය යි කියා නැවත දරැවා නිසා මව ඇති වේය යි කීම වැනි නො ගැළපෙන කියුමක් නොවේ ද? යන ප්‍රශ්නයක් ද මෙහි ඇති වේ. එය ද නො ගැළපෙන කියුමක් නො වේ. එය ගෙඩිය නිසා ගස ඇති වී නැවත ගස නිසා ගෙඩිය ඇති වීම සේ තේරැම් ගත යුතු ය. මතු ද මෙබඳු තැන්වල යෙදෙන සැටි කියන ලද්දට අනුව සලකා ගත යුතු.
වරක් කියන ලද ෂඩායතනය මෙහි නැවතත් ගන්නා ලද්දේ කරැණු දෙකක් නිසා ය. නාමරෑපය ඒවාට හේතු වන බව එක් කරැණකි. මතු කිය යුතු ඵස්ස වේදනාදි පටිච්චසමුප්පාදාංගයන්ට විශේෂයෙන් ෂඩායතනය හේතු වන බව එක් කරැණකි.
නාමරෑප නිසා ෂඩායතනය හටගන්නා ආකාරය මෙසේය.
රුපය නිසා ෂඩායතනය හට ගැනීම
අණ්ඩජ හා ජලාබුජ යි කියන මව්කුස උපදනා සත්ත්වයනට ප්‍රතිසන්ධිය සමග ම කායාතනය, මනායතන දෙක පහළ වේ. ප්‍රතිසන්ධිය සමග පහළ වූ කුඩා රූප පිණ්ඩය ක්‍රමයෙන් වැඩෙන්න පටන් ගනී. වැඩීම නිසා කල් යාමෙන් ඇස්, කන්, නාසය, දිව යන මේ අවයවයෝ (රූප) පහළ වෙති. ඒවා පහළ වූ කල්හි ඒ ඒ තැන් වල චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය යන ආයතන සතර පහළ වේ. ඒවාට ස්ථානය වූ ඇස, කණ, නාසය, දිව යන මේවා පහළ නො වීම නම් චක්ඛායතනාදියට පහළ විය හැකි බවක් නැති බැවින්, රෑපය ඒ ආයතන සතර ඇතිවීමට හේතුව ය.
කලින් මදුළු හා ඇට නැත්තා වූ කුඩා කොස් ගැටය වැඩීමෙන් එය තුළ කොස් මදුළු, කොස් ඇට පහළවීම මෙන් ද, කලින් කටුව මදය කියා කිසිවක් නැති ඇට්ටිගෙඩිය වැඩීමෙන් පොල්කටුව හා පොල් මද පහළ වීම මෙන් ද, ප්‍රතිසන්ධිය සමග පහළ වූ රෑපයන් වැඩීමෙන් චක්ඛාදී ආයතන සතර පහළවීම සලකා ගත යුතුය. ප්‍රතිසන්ධිය සමග කායායතනය ඇති වුව ද රෑපයන් වැඩෙන කල්හි ඒ වැඩීම අනුව පසුව ශරීරය පුරා බොහෝ කායායතනයෝ පහළ වෙති. ඒ කායායතනයන් පහළ වනුයේ වැඩෙන්නාවූ රෑපය නිසා ය. එබැවින් උත්පත්තිය සමගම කායායතනයන් පහළ වුව ද රෑප නිසා කායායතනය පහළ වේය යි කියන ලදි. සංසේදජ හා ඕපපාතික සත්ත්වයින්ට වනාහි උත්පත්තිය සමග ම සියලුම ආයතනයෝ පහළ වෙති. ඉන්පසු නාම රූපයන් නිසා පරම්පරා වශයෙන් ඒවා ජීවත් වන කාලය මුළුල්ලෙහි නැවත නැවත පහළ වේ.
නාමය නිසා මානායතනය හට ගැනීම
ෂඩායතනයට හේතු භාවයෙන් කියන ලද නාමය නම් දෙපනස් (52) චෛතසිකයෝ ය. චිත්ත චෛතසික දෙකින් සිත ප්‍රධාන වුවද, යම්කිසි චෛතසික ධර්මයක් වරක් අධික වීර්යයෙන්, අධික වේගයෙන් උත්සන්නත්වයෙන් උපන් කල්හි, ඒ චෛතසිකය නිසා ලක්ෂ ගණන් සිත් උපදී. සත්ත්වයින්ට හමු වන්නාවූ ඇතැම් අරමුණු නිසා ද, සිදුවන්නා වූ ඇතැමි කරණු නිසා ද, සමහර විට අධික වීර්යයෙන් යුක්ත ව, බලවත් ව ලෝභය උපදී, ද්වේශය උපදී, මානය ද උපදී, ඊර්ෂ්‍යාව ද උපදී, මෛත්‍රිය ද උපදී, කරුණාව ද උපදී, ශ්‍රද්ධාව ද උපදී, ප්‍රඥාව ද උපදී, ප්‍රීතිය ද උපදී, තවත් චෛතසිකයෝ ද උපදිති. රාගය යනු ද ලෝභ චෛතසිකය මය.
පුරැෂයකු විසින් ශෝභන කාන්තාවක් දුටු කල්හි සමහර විට ඒ කාන්තාව සම්බන්ධයෙන් බලවත් රාගයක් ඇති වේ. වරක් බලවත් ව උපන් ඒ රාගය නිසා ඉන්පසු ඒ පුරැෂයා කෙරෙහි දුටු ස්ත්‍රිය සම්බන්ධයෙන් රාග සහගත සිත්, සමහර විට දින ගණනක් මුළුල්ලේ ඇති වේ. සමහර විට මාස ගණනක්, වර්ෂ ගණනක් මුළුල්ලෙහි ද ඇති වේ. පසුව ඇති වන්නාවූ ඒ සිත් රාග සංඛ්‍යාත නාමය නිසා ඇති වූ මනායතනයෝ ය. යම්කිසි කරැණක් නිසා වරක් බලවත් ව කෝපය ඇති වුවහොත් ඒ නිසා පසුව සමහරවිට මාස ගණනක්, වර්ෂ ගණනක් ගතවන තුරැ ද ද්වේෂ සහගත සිත් පහළ වේ. පසුව පහළ වන්නාවූ ඒ ද්වේෂ සහගත චිත්තයෝ උත්සන්න භාවයෙන් ඇති වූ ක්‍රෝධ සංඛ්‍යාත නාමය නිසා පහළ වන්නා වූ මනායතනයෝ ය. යම්කිසි කරැණක් ගැන වරක් ප්‍රීතිය බලවත් ව පහළ වුවහොත්, ඉන්පසු ඒ ප්‍රීතිය නිසා ප්‍රීතියට හේතු වූ දෙය අරමුණු කොට බොහෝ චිත්තයෝ පහළ වෙති. ඒවා ප්‍රීති සංඛ්‍යාත නාමය නිසා උපදනා මනායතනයෝ ය. මෙසේ උත්සන්න භාවයෙන් පහළ වන්නා වූ සෑම චෛතසිකයක් ම නිසා මනායතනය ඇති වන සැටි සලකා ගත යුතුය.
ගෙයක ඇතුළේ වෙසෙන්නාවුන් විසින් පිටත බලන්නාවූ ද, පිටත ඇති වස්තූන් හා පුද්ගලයන් ගෙට ඇතුළු කරගන්නාවූ ද, ඇතුළෙහි වූ දෑ බැහැර කරන්නාවූ ද, ස්ථානයන්ය ද්වාරය යි කියනු ලැබේ. චක්ෂුරාදි ආයතන සය ද පිටත පිහිටි රෑප ශබ්දාදී අරමුණු ගැනීමට උපකාර වන ස්ථාන වූයෙන් ද්වාරයන් වැනි නිසා ඒවාට ද්වාරය යයි කියනු ලැබේ. ශරීරය ද්වාර සයක් ඇති ගෙයක් වැනි ය. ශරීරය සැරසී තිබෙන්නේ මේ ආයතන ද්වාර සයෙනි. එය වටිනා කමක් ඇති ඇලුමි කළ යුතු දෙයක් වී තිබෙන්නේ ද, ආයතන ද්වාර නිසා ය. ආයතන ද්වාර නැති කල්හි ශරීරය ක්‍රියා විරහිත වන්නේ ය. මේ ආයතනයන් එකිනෙකට සම්බන්ධයක් නැති, වෙන් වෙන් වූ ධර්ම කොටසක් සැටියට තේරැම් නො ගෙන, ශරීරය හා එක් කොට එකම දෙයක් වශයෙන් වරදවා ගැනීම නිසා භූතෝපාදාය රෑපයන්ගෙන් නිර්මිත වූ මේ ශරීරය මමය – නූඹය – දෙවියා ය – මිනිසාය කියා ගැනීමෙන් නිවනට යා නො හැකි වන සේ සත්ත්වයන් සසර බැඳ තබන්නා වූ සත්කාය දෘෂ්ටිය ඇති වේ.
චක්ඛායතනය නිසා ‘මම දකිමි’ යි සත්කාය දෘෂ්ටිය ඇති වේ. සෝතායතනය නිසා ‘මම අසමි’ යි සත්කාය දෘෂ්ටිය උපදී. ඝාණායතනය නිසා ‘මම ආඝ්‍රාණය කරමි’ යි සත්කාය දෘෂ්ටිය උපදී. ජිවිහායතනය නිසා ‘මම රස විඳිමි’ යි සත්කාය දෘෂ්ටිය උපදී. කායායතනය නිසා ‘මම සුවදුක් විඳිමි’ යි සත්කාය දෘෂ්ටිය උපදී. මනායතනය නිසා ‘මම දනිමි’ යි සත්කාය දෘෂ්ටිය උපදී.
ආයතනයන් ආයතන සැටියට දැන ගැනීම අපාය බීජය වූ, සංසාර බීජය වූ, සත්කාය දෘෂ්ටිය දුරු කර ගැනීමට උපකාර වේ.
අතිපූජ්‍යය රේරුකානේ චන්දවිමල හිමි
____________________________________
මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.