පිංවත, භික්ෂුව මේ දිනවල වැඩසිටින්නේ, විදුලි ආලෝකය තිබෙන කුටියක. පැය දෙකක් පමණ විදුලිය විසන්ධි වෙලා තිබිලා, දැන් තමයි ආලෝකය ලැබුණේ. පිංවත් ඔබටත් මේ විදුලි කප්පාදුවේ අත්දැකීම නිතරම ලැබෙනවා නේද? පිංවත, විදුලිය නැති වෙලාවට තමයි ප්‍රඥාවේ ආලෝකයේ අගය දැනෙන්නේ. පිංවත් ඔබ ළඟ ප්‍රඥාවේ ආලෝකය නැති වුණොත්, විදුලිය කැපිල්ල ඔබේ සංස්කාර ගිණුමට අකුසලයේ ආලෝකයක්ම වෙනවා. පිංවත, බලවත් අතීත අකුසල් විපාකයට පැමිණෙන මේ මොහොත, අනුනට බණින මොහොතක් නොවේ. වැරදි කළ අනුන් තුළින්, අපි නිවැරදි වෙන මොහොතක්. පිංවත, අද ඔබ ඇතිකොට ගන්නා වූ කුසල් සිතයි, හෙට දින ඔබගේ ජයග්‍රහණය වෙන්නේ. අද ඔබ ඇතිකොට ගන්නා වූ අකුසල් සිත, හෙට දින ඔබේ පරාජයම වේවි. පිංවත, අපි ඉපදුනේ දිනන්න හෝ පරාජය වෙන්න නොවේ. අනිත්‍ය වී යන ජය සහ පරාජය තුළින් අවිද්‍යාවට තිත තබන්නමයි.
පිංවත, රාජ්‍ය කළමනාකාරිත්වයේ දුර්වලභාවයන් හේතුවෙන්ම, මතුකොටදුන් මේ විදුලි කප්පාදුව තුළින්, පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේව දකින්න. උතුම් ධර්මරත්නය දකින්න. පිංවත, භික්ෂුව නැවතත් සටහන් තබනවා, අද ඔබ මතුකොටගන්නා කුසලයමයි, හෙට ජාතියේම ජයග්‍රහණය වෙන්නේ. පිංවත් ඔබ කෙසේ ද විදුලි කප්පාදුව තුළින් බුදුරජාණන් වහන්සේව සහ උතුම් ධර්මරත්නය දකින්නේ? පිංවත, විදුලි කප්පාදුව තුළින් ධාතු මනසිකාරය මතුකොට දකින්න. පිංවත, ජල විදුලි බලාගාර සහ ඩීසල් බලාගාර, මේවාට අවශ්‍ය කරන සියළුම ජලය, ඩීසල් ඇතුළු අමුද්‍රව්‍යයන් යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතූන්මයි. මේ විනාශයට වගකිවයුතු සියළුම පිංවතුන්ලාගේ රූපයන් යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතූන්මයි. පිංවත, විදුලි කප්පාදුවෙන් පීඩා විඳින ඔබගේ රූපයන් යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතූන්මයි. පිංවත මොහොතක් දෑස් පියාගෙන, කර්මය කර්මඵල විශ්වාසය සිහියට නගා ගන්න. ඒ සිතුවිල්ල සකස් වූ ඔබගේ රූපයන් සතර මහා ධාතූන් හැටියටම දකින්න. ජලය, ඩීසල්, විදුලිය සහ පීඩාවට පත්කරන සහ පීඩා විඳින පිංවත් ජීවිත සියල්ලම ධාතු මනසිකාරය තුළම විසිරුවා අනිත්‍ය යැයි දකින්න. පිංවත, විදුලි කප්පාදුව තුළින් ධර්මය මතුකොට ගන්න. එවිට ඔබේ සිත ප්‍රඥාවෙන් ආලෝකවත් වේවි. පිංවත, දැන් ඉතින් දෑස් ඇර ඔය වාඩිවෙලා සිටින ආසනයෙන් නැගිටලා කාමරයේ විදුලි ස්විචය ළඟට ගිහිල්ලා එය නිවා දමන්න. පිංවත, ධාතු මනසිකාරයෙන් විකසිත වූ ඔබේ විදර්ශනා ප්‍රඥාව ඉදිරියේ දැන් ඉතින් ඔබට මොන අඳුරක් ද? පිංවත, හදවතින්ම සාධු, සාධු කියන්න. මෙයයි ධර්මයේ ස්වාක්ඛාත ගුණය.
පිංවත, මීදුම පරිසරයේ අකීකරුකම් කළ අද උදෑසන, භික්ෂුව පිණ්ඩපාතය කරගෙන කුටියට පෙරළා වඩින ගුරු පාරේ දී, ගමේ මැදිවියේ මහත්මයෙක්, කිලෝ විස්සක් පමණ බරැති පුවක් ගෝනියක් කර තබාගෙන නගරයේ පොළට යනවා. එම ගොවි මහත්මයාගේ මුහුණේ තිබුණ ඉරියව් වලින් එම පුවක් ගෝනියේ බර භික්ෂුවටත් දැනුනා. මේ ගොවි මහත්මයා පෙර අවස්ථා දෙක තුනකදීම භික්ෂුවට පිණ්ඩපාතය පූජා කළා. භික්ෂුවට හොඳටෝම විශ්වාසයි මේ ගොවි මහත්මයා, මේ කර තබාගෙන යන පුවක් ගෝනිය විකුණලා ගන්න මුදලින්, භික්ෂුවට හෙට දින යම් පිණ්ඩපාතයක් පූජා කරනවාය කියලා. පිංවත, මේ අහිංසක මනුෂ්‍යයෝ අපිට දන් පූජා කරන්නේ, කරෙන් බර ඇදලා, කයෙන් දහදිය වගුරුවලා, දෙපයින් ගස් නැගලා. මේ ඇත්ත නිසාමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනාකොට තිබෙන්නේ, දුශ්ශීලව නම් පිණ්ඩපාතය පිළිගන්න එපාය කියලා. බත් කටක්, ගිනි නිරයක් කරන්න දුශ්ශීලභාවයට පුළුවන්. පිංවත, ඔබ තවමත් සිනාසුනාට, ඔබ තවමත් සතුටු වුණාට, ඔබ තවමත් ද්වේශ කළාට, විවේචනය කළාට පංච උපාදානස්කන්ධ ලෝකය හරිම බියකරුයි. දෑස් දෙක පියා ගනිද්දී භික්ෂුවට පෙනෙන්නේ මහා ගිනි ජාලාවක්. පිංවත මේ භව ගින්න, මේ නිමේෂයේදිත් ඔබ අවුළුවන්නේ, ඔබේම තෘෂ්ණාවෙන්.
භික්ෂුව මේ මොහොතේ වැඩසිටින ගමේ ප්‍රාථමික පාසලක් තිබෙනවා. දරුවෝ තිස් පහක් ඉගෙන ගන්නවලු. භික්ෂුව උදෑසන පිණ්ඩපාතයේ වඩින ගුරු පාරෙදි පුංචි දරුවො හත්, අට දෙනෙක්ම ගෞරවයෙන් භික්ෂුවට වන්දනා කරනවා. මේ පුංචි දරුවන්ගේ වන්දනාවන් දකිද්දී, ශාසනයේ හෙට දවස ගැන සතුටක් ඇති වෙන්නේ. ඒත් පුංචි දරුවන් අපිට ලබාදෙන ඒ සතුට අපේම වැඩිහිටි දේශපාලනඥයින් වරින් වර අපෙන් උදුර ගන්නවා. දුප්පත්, අහිංසක පුංචි දරුවන්ගේ මුහුණු පොඩි දකිද්දී, ඒ පුංචි ජීවිතවලට භික්ෂුවකට දෙන්න තිබෙන්නේ, විදර්ශනාමය මෛත්‍රියේ සතුට පමණක්මයි. අද දවසේ පිංවත් දරුවන් ලබනා මේ සතුට අනාගතයේ යම් දවසක් මෛත්‍රිය නොහඳුනන ලෝකය විසින්ම ඔබලාගෙන් යළි උදුරා ගනීවි. පුතේ, සංස්කාර ලෝකය දුප්පත් ඔබටත්, භික්ෂුවටත් බෙදන්නේ එකම හැන්දෙන්මයි. එපා ලෝකයට වෛර කරන්න. දරුවනේ එපා ලෝකයට ආදරය කරන්න. එවිට ඔබ තුළ හේතුඵල ධර්මයන් දකින ධර්මයේ උපේක්ෂාව උපදීවි. පුංචි දරුවන්ට සිතන්න පුළුවන් ද, ඇයි භික්ෂුව ඔබට ලෝකයට ආදරය කරන්න එපා යැයි සටහන් තැබුවේ කියලා. අහිංසක ඔබ ලෝකයට ආදරය කරන්න ගියොත්, ලෝකයෙන් පෙරළා ඔබට ඒ ආදරය නොලැබෙද්දි, පුංචි සිත් යළි රිදේවි. ඔබලාගේ පුංචි සිත් රිදවන්න බුදුරජාණන් වහන්සේ කවදාකවත් කැමති වුණේ නැහැ. ඒ නිසාමයි ධර්මයේ උපේක්ෂාවම ඔබට මතුකොට දෙන්නේ. පුංචි චුල්ලපන්තක හාමුදුරුවෝ, බුදුරජාණන් වහන්සේට පුංචි කමට කියනවා, භාග්‍යවතුන් වහන්ස, මම පැවිදිවුණේ බුදුරජාණන් වහන්සේ උදෙසාමයි කියලා. බුදුරජාණන් වහන්සේව විශ්වාස කරපු චුල්ලපන්තක පුංචි හාමුදුරුවන්ට වැරදුනේ නැහැ. පුංචි දරුවනේ ඔබලාත් බුදුරජාණන් වහන්සේ උදෙසාම ජීවත් වෙන්න. පිංවත් දරුවන්ට කවදාකවත්ම වරදින්නේ නැහැ. පිංවත, අපිට, අපි මෙසේ මුණගැසෙන්නේ අපේම අතීත සංස්කාරයන් නිසාමයි. ඒ අතීත සංස්කාරයන් හේතුවෙන්ම ඔබ භික්ෂුවගෙන් සතුටු වෙද්දි භික්ෂුව ඔබගෙන් ධර්මයේ හේතුඵල ධර්මයන්ම දකිනවා.
පුංචි දරුවනේ, ඔබලා ලස්සන මලක් වගේමයි. පැහැය, මටසිළුටුබව, ලස්සන ඒ මලේ හරි අගේට තිබෙනවා. ඒත් පුංචි ඔබ පෙනුමෙන් මලක් වගේ වුණත්, පුංචි ඔබගේ ඵස්සය නම් මලක් වගේ යැයි භික්ෂුව කියන්නේ නැහැ. ඔය පුංචි සිත්වල ඇලීම් සහ ගැටීම් නිරතුරුවම ඇති වෙනවා. හිරුඑළියට විකසිත වී, හිරු අවරට හැකිළී යන නෙළුමක් සේ පුංචි සිතත් ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවන් තුළින් පංච උපාදානස්කන්ධ ලෝකය, සංස්කාරයන්ගෙන් පෝෂණය කරනවා.
පිංවත, මස් මාංශ වෙළඳාමෙන්, මත්වතුර වෙළඳාමෙන්, අවි ආයුධ, වසවිස වෙළඳාමෙන්, මනුෂ්‍ය සහ සත්ත්ව වෙළඳාමෙන් වැළකී ජීවත්වීම, තරුණ, වැඩිහිටි පිංවතුන්ලාගේ සම්මා ආජීවය වෙනවා. පිංවත් කාන්තාවන්ගේ ශරීරය විකුණා ජීවත් වීමත්, මනුෂ්‍ය වෙළඳාමක් බවටයි පත්වෙන්නේ. වර්තමානයේ සම්බාහන ආයතන නාමයෙන් බහුතරයක් සිද්ධ වෙන්නේ මිච්ඡා ආජීවයන්. පිංවත, ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තරුණ, වැඩිහිටියන්ගේ ලෝකය. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පුංචි දරුවන්ටත් දේශනා කළ සම්මා ආජීවයක් තිබෙනවා. පුංචි ඔබ දන්නව ද ඔබගේ සම්මා ආජීවය කුමක් ද කියලා. ඔබලාගේ පිංවත් දෙමාපියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට කීකරුභාවයෙන් ඒ අය සතුටුවෙන ආකාරයෙන් අධ්‍යාපනය ලැබීම. ඔබ ලබන අධ්‍යාපනය ආත්මාර්ථකාමීභාවයෙන් නොව, පරාර්ථකාමී ධර්මයන් තුළින් පෝෂණය කොටගැනීම සහ ඔබ ලබන අධ්‍යාපනය කෙරෙහි ඇතිකොට ගන්නා වූ අලසභාවයන්ගෙන් දුරුවීම, පිංවත් දරුවන්ගේ සම්මා ආජීවය වෙනවා. පිංවත් දරුවන් නම් ළමා ජීවිත තුළින් පෝෂණය කොටගන්නා ඉහත සම්මා ආජීවයමයි, එම දරුවා අනාගතයේ තරුණ, වැඩිහිටිභාවයන්ට පත්වී, තමා උගත් අධ්‍යාපනයෙන් ශිල්වත්ව ධනය උපයන සැබෑම සම්මා ආජීවයට යොමු කරන්නේ.
පිංවත් දරුවන් ළමා ජීවිතයේදි තම ආදරණීය දෙමාපියන්ව, ගුරුවරුන්ව, වැඩිහිටියන්ව සතුටු නොකරන ආකාරයෙන් අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ නම්, තම අධ්‍යාපනය දුර්වල කොටගන්නේ නම්, ළමා වයසේ දී වැඩිහිටියන්ට අදාළ දේවල් සිදුකරන්නේ නම්, එයම දරුවාගේ මිච්ඡා ආජීවය වෙනවා. මේ අදක්ෂ පිංවත් දරුවාගේ ළමා මිච්ඡා ආජීවයමයි, එම දරුවා තරුණ වැඩිහිටිභාවයන්ට පත් වූ පසුව, බුදුරජාණන් වහන්සේ එපා යැයි අපිට පනවා ඇති, සැබෑම මිච්ඡා ආජීවයන්ට යොමු කරන්නේ. පුංචි ලස්සන දරුවන්, පුංචි මල් වයසේදීම ළමා මිච්ඡා ආජීවයන්ට යොමු වෙන්න එපා. ළමා මිච්ඡා ආජීවය විසින් හරි වැරදි, හොඳ නරක, යහපත අයහපත ඔබට තේරුම් කොටදෙන සම්මා සතිය ඔබෙන් උදුරා ගන්නවා. එවිට පිංවත් ළමා ඔබ ළඟ ඉතිරි වෙන්නේ තෙරුවන් සරණ දුර්වල වී උපදින පංච නීවරණ ගොඩක් පමණක්මයි.
පිංවත, නවීන විද්‍යාව විසින්, තාක්ෂණය විසින් අතීතයේ දුරස්ථව තිබූ ලෝක සිතියමේ ලෝකය, වර්තමානයේ එකම ගම්මානයක් බවට පත්කොට තිබෙන බව ඇත්ත. එම විශ්ව ගම්මානය අනාගතයේ දී එකම “විශ්ව නිවසක්” බවට පත්වෙන බවත් ඇත්ත. මේ ඇත්තට එකම හේතුව ජනතාවගේ පිනයි. ලෝකය නිදහසේ ඉක්මනට විඳින්නට ජනතාව සතු පිනයි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිය දී, ඔබ අත්විඳින විශ්ව ගම්මානයත්, හෙට ඔබ අත්විඳින විශ්ව නිවසත් උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් හේතුඵල ධර්මයන් හැටියට දැක්කා. ඒ වගේමයි ලොවුතුරා බුදුරජාණන් වහන්සේ අතීතයේ දැක්ක තවත් දෙයක් තිබෙනවා. ඒ දෙය තමයි දුරස්ථව තිබූ ලෝකය, තාක්ෂණික දියුණුව විසින් මුලින්ම විශ්ව ගම්මානයක් බවට පත්කරලා, දෙවැනිව තාක්ෂණය විසින්ම එකම විශ්ව නිවසක් බවට පත්කරලා, තෙවැනිව නවීන තාක්ෂණය විසින්ම එකම නිවසක් බවට පත්කරපු පුංචි ලෝකය, නවීන තාක්ෂණයේම පුංචි නිෂ්පාදනයක් තුළින් දවා අළුකොට දමනවා. පිංවත, ඔබ දේවත්වයෙන් පුදන ඔබේ ආදරණීය නවීන තාක්ෂණයත්, බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මහා කරුණා ගුණයත් අතර පරතරය විනාශයත්, නිවී යෑමත් අතර පරතරයක්ම නේ ද? පුංචි ලස්සන, පිනැති, දරුවනි, ඔබලාගේ සම්මා ආජීවයමයි, මේ වියරු විනාශය දිනකින් හෝ අපෙන් ඈත් කරන්නේ.
පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2022.06.05 වන ඉරුදින දිවයින පුවත්පත.