කෙටියෙන් කියනවා නම් සම්මා සතිය යනු සම්මා දිට්ඨියේ සිට සම්මා වායාමෝ දක්වා ධර්මයන්ගෙන් පෝෂණය වූ ධර්මානුකූල ඵලයයි. මේ උතුම් සම්මා සතියයි, පංච නීවරණ තුනී වූ සම්මා සමාධිමත් සිතක් ඔබට ඇතිකොට දෙන්නේ. සම්මා සතියේ අර්ථය නොදන්නා මිච්ඡා සතියෙන් යුත් පාලක පිංවතුන්ලා සකස්කොට ගත් සහ ජනතාවට සකස්කොට දුන් අකුසල් සංස්කාරයන් නිසාම, ඒවායේ ඵලයෙන්, මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ජීවිතයත්, මරණයත් අතර සටනක යෙදී සිටින පිංවත් ඔබේ මාතෘභූමියට සම්මා සතියෙන් යුතු වෛද්‍යවරයෙකුගේ සේවය, ආරක්‍ෂාව, රැකවරණය, ප‍්‍රතිකාරය අත්‍යවශ්‍ය වෙනවා.
පසුගිය කාලපරිච්ඡේදය තුළ පිංවත් මාතෘභූමිය තුළ සිදුවූ බරපතළ විකෘතීන් සහ විනාශයන් දැකලාම, බහුතරයක් පිංවත් ජනතාව තුළ මාතෘභූමිය මේ විනාශයේ දිශාවෙන් වළක්වා ගැනීම සඳහා ධර්මානුකූල පිබිදීමක් වර්තමානයේ ඇතිවෙලා තිබෙනවා. එම පිබිදීම බෞද්ධ ජනතාව උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයෙනුත්, අන්‍ය ආගමික ජනතාව පංචශීලයේ අර්ථයෙනුත් තව තවත් පෝෂණය කොට ගැනීමට දක්‍ෂ විය යුතුයි.
ඉදිරියේදී සම්මා සතියෙන් යුත් නායකයෙක් මාතෘභූමියේ නායකත්වයට පත්වෙන්නේ පිංවත් ඔබලාගේ ධර්මයේ ශක්තීන් නිසාමයි. මේ තීරණාත්මක නිමේෂයේදී අනිත්‍යභාවය උරුම කොටගත් සියලූම යහපත් ධර්මතාවන්, ඊළඟ පරම්පරාවට ආරක්‍ෂාකොට තැබීම සඳහා පිංවත් ජනතාව විසින් ඉටුකළ යුතු පූජනීය වූද, වන්දනීය වූද, ධර්මානුකූල යුතුකමක් මාතෘභූමිය ඔබෙන් බලාපොරොත්තු වෙනවා.
ඒ පූජනීය යුතුකම, ලොව්තුරා බුදුරජාණන් වහන්සේට කර්මය කර්මඵල විශ්වාසයෙන් බුද්ධ පූජාවක් පූජාකළා හා සමාන පූජනීය යුතුකමක් සහ පිංකමක් වෙනවා.
ඒ පූජනීය යුතුකම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන්, සියලූ ලෝකවාසී ජනතාවගේ යහපත උදෙසා චිරාත් කාලයක් ආරක්‍ෂා වේවා යැයි මෛත‍්‍රී සිතින් ප‍්‍රාර්ථනාවක් කළා හා සමාන පූජනීය යුතුකමක් වෙනවා.
ඒ පූජනීය යුතුකම, මේ පින්වත් මාතෘභූමියේ ජීවත්වන බෞද්ධ, ක‍්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් සියලූම සහෝදර ජනතාව අන්තවාදී උසිගැන්වීම් වලින් තොරව සමගියෙන් ජීවත් වේවා යැයි මෛත‍්‍රී සිතක් ඇතිකොට ගන්නා හා සමාන පූජනීය යුතුකමක් වෙනවා.
මේ පිංවත් මාතෘභූමිය අපෙන් බලාපොරොත්තු වන ඒ පූජනීය යුතුකම තමයි පිංවත් ඔබලාට ලැබුණු මේ අවස්ථාව ප‍්‍රයෝජනයට අරගෙන, සම්මා සතියෙන් පෝෂණය වූ වඩාත්ම සුදුස්සා රාජ්‍ය නායකත්වයට තෝරාපත්කොට ගැනීම.
රාජ්‍ය නායකත්වයක් ලැබීමට රාජ යෝගයක් තිබිය යුතුයි. රාජ යෝගයක් කියලා කියන්නේ රජකම දැරීමට අවශ්‍ය පෙර පිනයි. රාජ යෝගයක් කියලා කියන්නේ පටිච්චසමුප්පන්නව රජකම් කොට ඇති සංසාරික පුහුණුවයි. මේ කාරණා දෙකටම මේ ජීවිතයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය එකතු වූ තැන එම පිංවන්ත නායකයා ඉන්ද්‍රීය සංවරයෙන් යුත්, අභියෝගයන් ඉදිරියේ නොසැළෙන විනයගරුක නායකයෙක් වෙනවා.
වර්තමානයේ රටට සිදුකොට තිබෙන විනාශය ඉදිරියේ, ඉදිරි ජනාධිපතිවරණය තවත් ඡන්දයක් බවට ඔබ පත්කොට ගන්න එපා. මෙම වගකීම පිංකමක් බවට පත්කොට ගන්න. වුවමනාවෙන්ම විනාශ කොට දමන සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන්, විනාශකොට දමන සිංහල බෞද්ධ සංස්කෘතිය, බේද බින්න කොට ඇති ජාතික සමගිය යම් පමණකට හෝ ආරක්‍ෂා කොට ගැනීම උදෙසා පිංවත් ඔබ ගන්නා වූ සත්පුරුෂ තීන්දුව, ධර්මානුකූලව මහත්ඵල මහානිශංස පිංකමක්ම වෙනවා.
නමුත් මේ සියලූම සංස්කාරයෝ අනිත්‍යයයි. යම් දවසක වෙනස් වෙලා යනවාය කියන අර්ථය දකිමින්මයි ඉහත පිංකම මහත්ඵල මහානිශංස පිංකමක් බවට ඔබ පත්කොට ගතයුත්තේ. මෙය සටහන් තබන භික්‍ෂුව සෑම විටම සිතනවා භික්‍ෂුව ජීවිතයට ලබාගත් සෑම යහපත් ධර්මතාවයක්ම අනාගත පරම්පරාව ලබත්වා කියලා. එම නිසා තව ටික කාලයකට හරි යහපත් දේවල් ආරක්‍ෂා කොට තබමු.
මේ මාසවල කැලයේ ගස්වල දළඹුවන්ගේ සහ කොළ පණුවන්ගේ ගහනය හුඟාක්ම වැඩිවෙනවා. මේ දිනවල භික්ෂුවගේ කුටියේ බිත්තිවලත් දළඹුවන් දහ දොළොස් දෙනෙක් නිතරම එහා මෙහා යනවා. කැලයේ දළඹුවන්ගේ ගහනය වැඩිවෙනකොට, රිළවුන්ට සහ කුරුල්ලන්ට නම්, එම දළඹුවන් සහ කොළ පණුවන් ප‍්‍රණීත ආහාරයක්මයි.
සමහරක් පිංවතුන් අපිට ඇවිත් කියනවා, ස්වාමීන් වහන්ස අපිට සද්ධර්මයක් ශ‍්‍රවණය කරන්නට වෙලාවක් නැහැ. සූත‍්‍රගත ධර්මයක් කියවන්නට වෙලාවක් නැහැ කියලා. නමුත් මෙය සටහන් තබන භික්ෂුවට මේ රාත‍්‍රියේ අවට කැලයෙන් ගහන පරිසරය සිහිපත්වෙත්දී භික්ෂුව දකින්නේ, භික්ෂුවට සිහිපත් වෙන්නේ, භික්ෂුව කියවන්නේ සුන්දර සූත‍්‍රගත ධර්මයක්මයි.
සංස්කාරයෝ මොනතරම් ආශ්වාද රහිතද, සංස්කාරයෝ මොනතරම් කුරිරුද, සංස්කාරයෝ මොනතරම් දුක්ඛිතද..? මේ දිනවල කැලයේ ජීවත්වන රිළවුන් සහ කුරුල්ලන් ගස්වල සිටින දළඹුවන්ට සහ කොළ පණුවන්ට ලබාදෙන මරණීය දුක දකිනකොට සංස්කාරයන්ගේ කුරිරුභාවයමයි භික්ෂුව දකින්නේ.
පින්වත් ඔබ දැකලා තිබෙනවාද දරුවෙක් තම්බපු බෝංචි කරලක් අතේ තබාගෙන, එය කටින් ඇද, ඇද අනුභව කරන හැටි. රිළවෙක් ගසේ කොළයකින් අතට ගන්නා අඟල් දෙක තුනක් දිගැති කොළ පණුවාව, පණ පිටින්ම කඩ කඩා කන්නේ පින්වත් ඔබ බෝංචි කරලක් අනුභව කරනවා වගේමයි.
කුරුල්ලෙක් තම පාදයට තදකොටගත් පණුවාව, හොටයෙන් අනිමින්, කඩ කඩා කන්නේ එම කොළ පණුවා මරණීය වේදනාවෙන් දඟලද්දියි. සංසාරයේ සිල්පද දුර්වලකොට ගන්න මනුෂ්‍යයෝ, මනුෂ්‍ය ඝාතනයත්, සත්ත්ව හිංසනයත් සිදුකොටගත් මනුෂ්‍යයෝ සහ තිරිසන් සතුන්, පටිච්චසමුප්පන්නව කොළ පණුවන් සහ දළඹුවන්ව ඉපදිලා, තම මරණය වියරුවක් බවටම පත්කොට ගන්නවා. සුන්දර සිල්පද දුර්වලකොට ගන්නා මනුෂ්‍යයකුත්, කොළ පණුවකුත් අතර පරතරය, උපාදාන පච්චයා භවය කියන එකම හේතුඵල ධර්මයේ පරතරයයි.
සෑම නිමේෂයකදීම වියරු අකුසල් සංස්කාරයන් විපාකය පිණිස සකස්වන, පරිසරය දෙස දකිද්දී භික්ෂුව තුළ සකස්වෙන්නේ සංසාර බියක්මයි. සම්මා දිට්ඨිය අහලකවත් නැති අනුවණ මනුෂ්‍යයෝ පොඩ්ඩ වැරදුන තැන මානව හිමිකම් ගැන කතා කරන්නේ, මේ වියරු සංස්කාරයන්ගේ විපාකයන් ගැන අබමල් රේණුවක තරම්වත් දැනීමක් නැති නිසාමයි.
පින්වත් ඔබ තෘෂ්ණාවෙන් උපදින මේ පංච උපාදානස්කන්ධ ලෝකයට ආදරය කරන්න එපා. තවදුරටත් රැවටෙන්න එපා. පින්වත් ඔබ තුළ තෘෂ්ණාව තිබෙනවා නම්, කරුණාකර පංච උපාදානස්කන්ධ ලෝකයෙන් ඔබ සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා. පින්වත් ඔබ අත්විඳින අසාධාරණයන්, ඔබ බලාපොරොත්තුවෙන සාධාරණයන් අනිත්‍ය වූ සංස්කාරයන් අතර දෝලනය වන මිරිඟුවක් පමණක්මයි. තමන්ට සිදුවූ අසාධාරණයන්ට පටාචාරාව ලෝකයෙන් සාධාරණයක් බලාපොරොත්තු වුණේ නැහැ. ඇය සාධාරණයත්, අසාධාරණයත් කියන අර්ථයන් දෙකම කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කළා…!
උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත “අතහැරීම 15” ග්‍රන්ථයෙනි.
උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…