හිමිදිරි උදයේ අවදිවෙලා හැමෝම මහ යුද්ධයක. සමහරු දත් මදිනවා මූණ සෝදනවා. සමහරු උයනවා කෑම පිළියල කරනවා. සමහරු වැසිකිලියේ.සමහරු රෙදි මදිනවා. ළමයි ඉස්කොලෙ වැඩ ඉවර කරගන්න බැරුව දගලනවා. වැඩට යන්න ඉස්කෝලෙ යන්න වාහන ඇවිල්ලා නලා නාද කරනවා. කට්ටිය කෑගහගෙන එහෙ දුවනවා මෙහෙ දුවනවා. ඔය අතරෙ ගුවන් විදුලියෙ රූපවාහිනියෙ යන බණ පිරිත් ආදියත් ඇහෙනවා.
කඩිමුඩියේ බත් කටක් දෙකක් කාලා හරි බඩගින්නේ හරි තම තමන්ගේ වැඩ වලට පිටත් වෙනවා. සමහර දේවල් අමතක වෙනවා. ආයි ආපසු එනවා. වාහන වල යනකොට මාර්ග තදබදය අහුවෙනවා. බස්වල කෝච්චිවල තෙරපෙනවා. තරහ යනවා. වෙලාවට යන්න බැරිවෙයි කියලා බය වෙනවා. ඉගෙන ගන්න අය පොත් කියවනවා ලියනවා. වැඩකරන අය ලිපිලේඛන වල පරිගනක අස්සෙ හිර වෙලා ආයතනයේ ප්‍රශ්න වලට උත්තර හොයනවා. තවත් අය දහඩිය දාගෙන වැඩ කරනවා. ප්‍රධානීන්ගෙන් බැනුම් අහනවා. ප්‍රධානීන්ට හොරෙන් බනිනවා. ඔතාගෙන ආපු දේ කාලා වැඩ කරනවා. වැඩ ඇරිලා මල්ලකට කන්න ඕන දේ ගන්නවා. පඩිය ගත්තා. ඒත් ඔක්කොම ඉවරයි. ගෙදර ඇවිත් ආයි උයනවා. ඊලග දවසට සූදානම් වෙනවා. ප්‍රශ්න කෝටියක් තියනවා.ඔලුව හරි බරයි. හොදටම හෙම්බත් වෙලා ඇදට වැටිලා නිදාගන්නවා. රැකියාවක යනහරි අධ්‍යාපනය ලබනහරි කෙනෙකුගෙ ජීවිතය මෙහෙමයි.
හේනෙ කුඹුරේ ගොවිතැන් කරන අයෙක් නම් තම කය වෙහෙසවලා වැඩ කරලා අස්වැන්න රැක ගන්න මහන්සි වෙනවා. වහීද පායයිද කියලා බය වෙනවා. සතා සිව්පාවන්ගෙන් කරදර වෙනවා. කොහොම වුනත් අන්තිම පාඩු වෙනවා. ලාභයක් නම් කලාතුරකින්. ණයබර හොදටෝම. හැමදාම ප්‍රශ්න ඉවරයක් නෑ.
කොහෙද මේ යන්නේ? මොකක්ද මේ කරන්නේ? ඇයි මේවා කරන්නේ? කියලා ඇහුවෙත් ඔබගේ පිළිතුර වන්නේ බෝහෝවිට ජීවිතය කියන්නේ මේක තමයි කියාය. ඔබේ ජීවිතයේ බලාපොරොත්තු වන්නේ හොදින් සල්ලි හම්බකරන්න, හොද වාහනයක් ගන්න,හොද ගෙයක් හදාගන්න, හොද පවුල් ජීවිතයක් ගතකරන්න, ලාභ කීර්ති ප්‍රසංසා ලබාගෙන සැපවත් ජීවිතයක් ගතකරන්න නේද?. මෙච්චර දුක් විදින්නේ ඒ සදහායි. නමුත් හැමදාමත් අතෘප්තියෙන් ඉවරයක් නැතිව දගලන එක මුලාවක්. බොරුවක්. විදීම් ගොඩක් පමණයි.
නමුත් ජීවිතයේ සැප සොයා යන තවත් පැතිඩක් ඇත. එම සැපය ඇත්තේ ඉහතකී ලෞකික අරමුණු පදනම් කරගත් ජීවිතයක් තුළ නොවේ. එම ජීවිත පැවැත්මෙන් ඔබ්බට ගියා වූ ලෝකෝතතර නිර්වානය තුළයි. සාමාන්‍ය ජීවිතය දුකක් බව අවබෝධකරගත් තැනැත්තා සුවිශේෂ ජීවිතයක් තුළට ගමන් කරයි. ඔහු කැලයකට,ගසක් මුලකට හෝ ශුන්‍යාගාරයකට ගමන් කරයි. එහි තැන්පත් වේ. ඒ මොහොතේ ඔහු ගෙදර දොර කටයුතු,රැකියා කටයුතු තමන්ගේ පවුල, සම්පත් ආදිය සියල්ල අතහැර දමා ඇත. ඒම නිසා හිතේ කයේ දැවෙන ගති මගහැරී ඇත. පුදුම සැහැල්ලුවකි.
සදහටම ගිහිගෙයින් අයින් වූ භික්ෂුවක් නම්, ලැබුන ආහාරය නො ඇලී වළදයි. ආහාර සෙවීමේ තරගයක් නැත. නැවත ආහාර නොලැබුණහොත් අපවත්වන්නට සූදානම්ය. ලැබුන චීවරය නො ඇලී පොරවයි. චීවරයක් නොලැබුනොත් මළ මිනියක් ඔතාදමන පාංශුකූල රෙදිකඩින් සිවුර සකසා ගනී.
ඇදුම් පැළදුම් පස්සේ දුවන්නේ නැත. ලැබුන කුටියක නො ඇලී වාසය කරයි. කුටියක් නොලැබුනොත් ගසක් මුලක වාසය කරයි. රෝගයකට බෙහෙත් ලැබුනොත් වළදයි. නැතිනම් තමන්ගේම මුත්‍රා බෙහෙත් වශයෙන් ගනී. එම භික්ෂුවට දුවන්න තැනක් නැත. අත්පත් කරගන්න දෙයක් නැත. කථාකරන්න දෙයක් නැත. කිසිවකට හදිසියක් නැත. පෝෂණය කරන්න අඹු දරුවන් නැත. මැරුණ අතීතය ගැන කනස්සල්ලක් නැත. අනාගතයේ දකින සිහින නැත. වර්තමානය තුළ එයද අතහරිමින් ජීවත් වේ. දැන් සිතේ බර අඩු වී ඇත. අතහැර දමන ලද ජීවිතයකි. නමුත් ශේෂ්ඨ ජීවිතයකි.
එසේ හුදකලාව තැන්පත් වීමත් සමගම කායික ක්‍රියා නැවතී ඇත. වාචික ක්‍රියා නැවතී ඇත. එනම් ප්‍රණඝාතය, අදත්තාදානය, කාමමිච්ඡාචාරය, මුසාවාදය, පිසුනාවාචය, පරුසාවාචය, සම්ප්‍රප්පලාපය නොමැත. කය සංවරය වචනය සංවරය. දැන් මන සංවර කරගත යුතුය. එනම් අභිජ්ඣා ව්‍යාපාද මිත්‍යාදිට්ඨියෙන් ඉවත් වීමට සම්මා අරමුණක් තෝරාගත යුතුය. ඒ සදහා ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති අරමුණක් තුළ සිහිය පැවැත්විය යුතුය. ආශ්වාසය ප්‍රශ්වාසය හොද අරමුණකි. තවත් එවැනි අරමුණු ඇත.
දැන් තමන්ට ප්‍රශ්නය ඇත්තේ ආශ්වාසය ප්‍රශ්වාසය තුළ සිහිය පැවැත්වීමයි. අනෙක් සියළු ම අරමුණු අතහැරී ඇත. ආශ්වාසය ප්‍රශ්වාසය දිගද කෙටිද සංසිදිලාද යන්න හොදින් දකින විට හිත තැම්පත් වේ.සමාධිගත වේ. සමාධිගත වූ සිතේ නිවන අහුරන ධර්මතා හෙවත් පංච නීවරණ යටපත් වේ. දැන් පළමු දෙවන තෙවන සිව්වන ධ්‍යාන දක්වා සමාධිය නංවාගෙන උපේක්ෂාවක් ඇතිකරගනී. එම උපෙක්ෂාවේ ශක්තිය යොදාගෙන රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනාත්මකව දකින විට සත්තිස් බෝධිපාර්ෂික ධර්ම වැඩෙන්නට පටන් ගනී. විදර්ශනා ඤාණ පහල වේ.
සිත ජීවත් කරවන ආහාර සතර (කබලිංකාර,ඵස්ස,මනෝසඤ්චේතනා,විඤ්ඤාණ) නැති වේ. මොහොතකට හෝ සිත මිය යයි. සිත මියගිය තැන රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයා නොමැත. ජීවත් වීමට ආයුෂය ඇති බැවින් නැවත සිතට පන ලැබේ. නැවත පන ලැබුන සිත සමාධිමත්ය. එයට මාර්ග ඵල සමාපත්තිය කියයි. ඒ අනුව පිළිවෙලින් සෝවාන්,සකදාගාමී,අනාගාමී අරහත් යන මර්ග ඵල තම තමන්ගේ ශක්තිය අනුව ඇතිකරගනී. නිවන සාක්ෂාත් කරගෙන ඇත්තේ බුදු පසේබුදු මහරහතන් වහන්සේලාය. අනෙකුත් මාර්ගඵල ලාභීන්ට නැවත ඉපදීමක් ඇත. ඔවුන්ට තවම දුක උරුමය.
රහතන් වහන්සේගේ සිත ආශ්‍රව රහිතය. එනම් අනාශ්‍රව චිත්තයකින් කටයුතු කරයි. එනම් සෝපදිශේෂ නිර්වානය හෙවත් කෙලෙස්වලින් මිදී ඇති සිතකි. උපාදානය නොවූ සිතකි. ආයුෂය කෙලවර වන තෙක් සංඛාර නොවූ සිතක් තුළ විඤ්ඤාණය බැසගෙන ඇත. ආයුෂ කෙවර වූ පසු කය ද අතහරින විට අනුපදිශේෂ නිර්වානය සිදුවේ. එහි දී සියලූ ම ධාතු වලින් මිදේ. නැවත ඉපදීමක් නැත. දුක අවසන්ය. එය සියල්ලන්ගෙන්ම මිදී පරම සැපයට පැමිණීමය. මේ ආකාරයෙන් නිර්වාණය සාක්ෂාත් කරගැනීම ප්‍රඤ්ඤා විමුක්ත ක්‍රමයයි.
එමෙන්ම රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන යන අෂ්ඨ සමාපත්ති උපදවාගෙන ද විමුක්තිය ලැබිය හැකිය. එහිදී සතරවන ධ්‍යානයෙන් පසු අනන්ත ආකාසය, අනන්ත විඤ්ඤාණය, සංඥාවක් නැති බව, සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති බව අල්ලාගෙන අරූප ධ්‍යාන උපදවා ගනී. නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයේ දී සංඥාව ඉතා සියුම්ය.
එම සංඥාවත් නිරුද්ධ වුවහොත් සංඥා වේදයිත නිරෝධයට හෙවත් නිරෝධ සමාපත්තියට පත්වේ. ප්‍රථමයෙන් වචී සංඛාර(විතක්ක විචාර) දෙවනුව කාය සංඛාර(ආශ්වාස ප්‍රශ්වාස) තෙවනුව චිත්ත සංඛාර(සංඥා වේදනා) නිරුද්ධ වේ. නිරෝධ සමාපත්තිය නිවන නොවේ. එය සංඛත ධර්මයකි. ලෝකය තුළ ලැබෙන ශේෂ්ඨ චිත්ත පාරිශුද්ධියකි. නිවන ලෝකෝත්තරය. අසංඛතය. ආකිඤ්චඤ්ඤායතනයේදී ඉපදවූ ශූන්‍යතාව අනිත්‍ය වශයෙන් නුවණින් දකින විට අනිමිත්ත චේතෝ විමුක්තිය තුළින් නිර්වානය, එම ශුන්‍යතාවය දුක්ඛ වශයෙන් නුවණින් දකින විට අප්පණීහිත චේතෝ විමුක්තිය තුළින් නිර්වානය, එම ශුන්‍යතාව අනාත්ම වශයෙන් නුවණින් දකින විට ශුන්‍යතා චේතෝ විමුක්තිය තුළින් නිර්වාණය සාක්ෂාත් කරගත හැකිය. මෙසේ නිවන සාක්ෂාත් කිරීම උභතෝභාග විමුක්ක ක්‍රමයයි.
ධ්‍යාන වලට අගයක් නොදී ත්‍රිලක්ෂණය වඩමින් ශුෂ්ක විදර්ශකයාට ද නිවන සාක්ෂාත් කරගත හැකිය. ඔහුට ධ්‍යාන ඇති වුවත් ඒවායේ නො ඇලේ.
නිරෝධ සමාපත්තියට යන අයෙකුට සංඥා වේදනා (චිත්ත සංඛාර) වල දැනීමද නැත. ජීවත්වන රහතන්වහන්සේ නමක් සංඥා වේදනා (චිත්ත සංඛාර) දැනගෙන ඒවාට නොඇලී අනාශ්‍රව චිත්තයකින් ජීවත්වේ. ලෝකය අතහැරීමෙන් ලබන සැපය මෙයයි.
ගිහි ගෙය තුළ වාසය කරන ඔබටත් මෙම ශේෂ්ඨ ගමන යම් ප්‍රමාණයකට හෝ යා හැකිය. කල යුත්තේ හුදකලා වීමය. ටික දවසකට හෝ බුදුපියාණන් වහන්සේ දේශනා කළ පරිදි නිවැරදිව කමටහන් ලබාගෙන භාවනා කිරීමට කැලයකට, ගසක් මුලකට හෝ ශුන්‍යාගාරයකට යන්න. ඔබ ලබාගත් මනුෂ්‍ය ආත්මයේ බහුතරයකට විය නොහැකි විශිෂ්ඨයකු වීමට හැකියාව ඔබටත් ලැබෙනු ඇත.
අතිපුජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි.
____________________________________
මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.