පින්වත් පටාචාරාව සංස්කාරයන්ගේ වියරුවෙන් නිදහස් වුණා. නමුත් පින්වත් ඔබ ඔබට සිදුවන අසාධාරණයන්ට එරෙහිව, තවමත් සාධාරණය බලාපොරොත්තු වෙනවා නේද..? කුරුල්ලකුගේ පාදයට සිරකොටගෙන සිටින කොළ පණුවාව, එම කුරුල්ලා තම හොටෙන් කෑලි කඩාගෙන රස කරමින් අනුභව කරනකොට එම කොළ පණුවා මරණීය බියෙන් දඟලන්නේ ලෝකයෙන් සාධාරණය බලාපොරොත්තුවෙන්මයි. නමුත් එම කොළ පණුවා බලාපොරොත්තු වන සාධාරණය මිරිඟුවක්මයි.
පාසල් වයසේ දරුවෙක් භික්ෂුවගෙන් ප‍්‍රශ්නයක් විමසුවා. ස්වාමීන් වහන්ස, ගිහි පින්වතුන් ආහාර අනුභව කිරීමත්, ස්වාමීන් වහන්සේලා දානය වැළඳීමත් අතර තිබෙන වෙනස මොකක්ද කියලා. ඉහත අර්ථයන් දෙක අතර වෙනස අහසයි, පොළොවයි වගේ පරතරයක් තිබෙන වෙනසක්. නමුත් සම්මා දිට්ඨිය දුර්වල වෙන සමාජයක මේ පරතරය හුඟාක් කිට්ටු වෙනවා.
ගිහි පින්වතුන්ලා ආහාර අනුභව කරන්නේ, තමන් විසින්, එසේත් නැතිනම් තම භාරකරුවන් විසින් උපයා සපයාගත් මිල මුදල් වලින් තමන් විසින්ම උයා පිහාගෙන ගිහි පින්වතුන්ලා ආහාර අනුභව කරන්නේ රූපයේ ආස්වාදය උදෙසා, වේදනාවේ හඳුනාගැනීමේ, ආශ්වාදයන් උදෙසා, ගිහි පින්වතුන් ආහාර අනුභව කරන මොහොතේ කාමච්ඡුන්දයක්මයි සකස්කොට ගන්නේ.
මහා සංඝරත්නය දන් වළඳන්නේ තමන් හරිහම්බ කොටගෙන නොවේ. ගිහි පින්වතුන්ලා සද්දාවෙන්, ගෞරවයෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන්, ප‍්‍රණීතව, සියතින් සකස් කොට දෙන දානයයි. මහා සංඝරත්නය රූපයේ ආශ්වාදය, වේදනාවේ හඳුනාගැනීමේ ආශ්වාදයන් උදෙසා නොවේ දානය වළඳන්නේ, සංඝයා තුළ සකස්වන ආහාර ප‍්‍රත්‍යවේක්ෂාව තමන් ගන්නා වූ සෑම බත් කටක්ම සප්ත බොජ්ඣ`ඕඟ ධර්මයක්මයි සකස්කොට දෙන්නේ.
ආහාරය දකිනකොටම සංඝයා තුළ සතිය පිහිටනවා. මේ ආහාරය මාගේ ශරීරයේ ජවය පිණිස, මදය පිණිස නොවේය කියලා. එම සතිය නිසාම මේ වළඳන්නා වූ ආහාරයත්, මේ ශරීරයත් පිළිකුලෙන්, අසුබයෙන්, අනිත්‍යයෙන් මොහොතක් දකින ධම්මවිජය බොජ්ඣ`ඕඟය සකස් වෙනවා.
ධම්මවිජය බොජ්ඣ`ඕඟය තුළින් ආහාරයෙත්, ශරීරයෙත් ඇත්ත දැකීම නිසාම ප‍්‍රත්‍යවේක්ෂාව කෙරෙහි වීර්යය ශක්තිමත් වෙනවා. ඒ නිසාම දානයට ලැබුණු ආහාරය තුළිනුත් ධර්මයක් දැකීම හේතුවෙන් සිත ප‍්‍රීතියට පත්වෙනවා. ඒ ප‍්‍රීතිමත් සිත සංසිඳුණු සිතක් බවට පත්වෙනවා. සංඝයා තුළ සකස්වන ඇලීම්, ගැටීම් වලින් තොර උපේක්ෂා සහගත සිත මෙතෙක් තම දාන වේල නිසා සකස් කොටගත් සප්ත බොජ්ඣ`ඕඟ ධර්මයන්, විදර්ශනාත්මක සප්ත බොජ්ඣ`ඕඟයන් බවට පත්කොට ගන්නවා.
පින්වත් ඔබට වැටහෙනවාද ගිහි පින්වතුන් ආහාර ගැනීමත්, මහා සංඝරත්නය දානය වැළඳීමත් අතර තිබෙන වෙනස මොනතරම් වෙනසක්ද කියලා. මේ වෙනස සංඝයා වන අපි තේරුම් නොගත්තොත්, අනාගත භවාග‍්‍රයේදී අපිටත්, ප‍්‍රණීත ආහාරයන් හැටියට කොළ පණුවන් සහ දළඹුවන් ආහාරයට ලැබෙන්නට පුළුවන්.
මේ සටහන තබන මොහොතේ භික්ෂුවට සිහිපත් වෙනවා වස්සානයේ සවස ගිලන්පස පූජාවක් ගැන මහත්මයෙක් කියපු කථාවක්. මේ මහත්මයා තම හිතවතියකට කියනවාලූ පන්සලේ ස්වාමීන් වහන්සේ පස් නමක් වැඩ සිටිනවා, සවස ගිලන්පසට රෝල්ස්, කට්ලට් සහ සුප් අරගෙන ඇවිත් පූජා කරන්නය කියලා.
පින්වත් ඔබ කරුණාකර විනය අවිනය කරන්න එපා. අවිනය විනය කරන්න එපා. ධර්මය අධර්මය කරන්න එපා. ගිහි පින්වතුන්ලා එහෙම කළොත් එහි විපාකයන් ධර්මයේ මෙහෙම සඳහන් වෙනවා. මරණ දණ්ඩනයට නියම වූ මනුෂ්‍යයෙක් නහවා පිරිසිදු කොට සුදු ඇඳුම් අන්දවා රතු වද මල් මාලයක් ගෙලට දමා වදක බෙර හඬවා නගරය වටා පැදකුණු කොට හිස ගසා දමන මොහොතේ එම සිරකරුවා යම් තියුණු දුකක් අත්විඳීද, ඊටත් වඩා දුකක්, විනය අවිනය කරන්නාට සංසාරයෙදි ලැබෙනවාය කියලා. සවස ගිලන්පසට රෝල්ස්, කට්ලට්, බිත්තර ආප්ප සංස්කෘතියේ අනාගත වියරු ආදීනවයන් නුවනින් තේරුම් ගන්න දක්‍ෂ වෙන්න.
සියලූ සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. සක්විති රජ කෙනෙක් නැවත කඩියෙක් වෙලා උපදිනවා. බෞද්ධ භික්ෂුවක් නැවත මාළුවෙක් වෙලා උපදිනවා. මේ වෙනස්වීම වේගවත් කරන්නේ අපගේ පංච උපාදානස්කන්ධ ලෝකය තුළ සකස්වන කෙළ හැලෙන තෘෂ්ණාවයි.
රට තුළ ඔඩු දුවන මේ වියරු තෘෂ්ණාවේ තරම ජනාධිපති මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටි අසීමිත අපේක්‍ෂක පින්වතුන්ලා සංඛ්‍යාවෙන්ම ප‍්‍රකට වෙනවා. ලෝකයම හිනස්සන සමාජ විකෘතීන් මේවා. සිංහල බෞද්ධ ජනතාවම ඇයි මේ සිංහල බෞද්ධ සංස්කෘතිය මෙතරම් විහිළුවට ලක්කරන්නේ.
ලැජ්ජාව, බිය ඇති නායකයකුගේ අවශ්‍යතාවය නැවත නැවතත් ප‍්‍රකට කළේ, ලැජ්ජාව බිය වේගයෙන් සමාජයෙන් අතුරුදන් වී යන නිසයි. තෘෂ්ණාවෙන් උපදින පංච උපාදානස්කන්ධ ලෝකය, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව කාටවත්ම නිවැරැුදි කරන්න බැහැ.
සියලූම සංස්කාරයෝ අනිත්‍යව යන පංච උපාදානස්කන්ධ ලෝකයේ ලැජ්ජාව, බිය යන අර්ථයන් දෙකේ ලොකුම සතුරා වෙන්නේ ආශ්වාදයේ මිරිඟුවයි. ජයග‍්‍රහණයේ බලයේ මිරිඟුවයි. පින්වත් ඔබ ජයග‍්‍රහණයේ බලයේ ආශ්වාදයේ මිරිඟුවට රැුවටුණොත් පින්වත් ඔබ ලබන්නා වූ ජයග‍්‍රහණයන්, පරාජයේ ආරම්භයන්ම වෙනවා. මේ ධර්මානුකූල යථාර්ථය සම්මා දිට්ඨියේ අර්ථයන් තුළින් තේරුම් ගත් නායකයාටයි තමන් ලබාගත් බලය සහ ජයග‍්‍රහණයන් දීර්ඝ කාලයක් පවත්වාගෙන යෑමේ හැකියාව ලැබෙන්නේ.
යම් පින්වතෙක් බලය ලබා ගත්තාට වඩා වටින්නේ ලබාගත් බලය ධර්මානුකූලව ආරක්‍ෂා කොට ගැනීමයි. පින්වත් ඔබ ලැබූ ජයග‍්‍රහණයන් ඔබ ආරක්‍ෂා කොටගත යුත්තේ ඔබ තුළම සකස්වන ආශ්වාදයේ වියරුවෙන්මයි.
භික්ෂුව පින්වත් ඔබට මේ සටහන් තබන්නේ සමාජය තුළ ඇවිලී යන වියරු තෘෂ්ණාව යම් පමණකට හෝ පාලනය කොට ගැනීමට පින්වත් රටවැසි ජනතාවට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පූර්වාදර්ශයක් දිය හැකි රාජ්‍ය නායකයෙක්ගේ අත්‍යවශ්‍යභාවය නැවත නැවත පින්වත් ඔබට අවධාරණය කිරීමටයි.
එසේ නැත්නම් භික්ෂූන් වන අපි සමාජයට හොඳ නරක තේරුම් කොට දෙන්න ධර්ම දේශනා කරන එකේ තේරුමක් නැහැ. සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වල පාලක පින්වතුන්ලා විසින් දැන දැනම විනාශ කොට දමන සමාජයක් භික්ෂූන් වන අපිට තනිවම නිවැරැුදි කරන්න බැහැ. එසේ කරන්නට යෑම සෝද සෝදා මඬේ දැමීමක් වෙනවා.
තීරණාත්මක මොහොතක භික්ෂූන් වන අපිට ශාසනික වගකීමක් සහ යුතුකමක් තිබෙනවා මේ උතුම් සිංහල බෞද්ධකමේ ආරක්‍ෂාව උදෙසා අවංකව කැපවන, මේ රටේ ජාතික සමගියට ගරු කරන පින්වත් නායකයෙක් රාජ්‍ය නායකත්වයට පත්කොට ගන්නය කියලා පින්වත් ජනතාවට අනුශාසනා කරන්න. එය එසේම සිදුවූවා.
එසේ අනුශාසනා කිරීම දේශපාලනය කිරීමක් නොවේ. පින්වත් මාතෘභූමියත්, ජනතාවත් අයහපතෙන් මුදා යහපත කෙරෙහි දැනුවත් කිරීම පමණක්මයි. දේශපාලනය උදෙසා ආගමත්, ධර්මයත් අවශ්‍ය නැහැ. දේශපාලනය නිර්ආගමික විය යුතු යැයි පින්වත් ජනතාව මිත්‍යා දෘෂ්ටියෙන් රවට්ටන ප‍්‍රවණතාවයන් වේගයෙන් සමාජගත වෙනවා. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ දේශපාලනයයි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම දේශපාලනය වෙන්නේ.
ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ දේශපාලනය, පින්වත් පාලක පින්වතුන්ලාත්, ජනතාවත් කියන දෙපාර්ශ්වයම මෙලොව සහ පරලොව යන දෙකම ජයග‍්‍රහණය කොට දෙනවා. පින්වත් ඔබ චීනය උදාහරණයට ගන්නකෝ. චීන ජනතාව මෙලොව ධනයෙන් සහ බලයෙන් දින්නත් ඔවුනගේ පරලොව වියරු දුකක්මයි.
ගෞරවනීය පින්වතුනේ, ලෝකයට ආරක්‍ෂාකොට ගැනීමට දෙයක් නැති වුණාට, පින්වත් මේ මාතෘ භූමියේ ජීවත් වන ඔබට ආරක්‍ෂා කොට ගැනීමට ලෝකයේ ස්ථානගත වී තිබෙන අති ශ්‍රේෂ්ඨම නිධානයක් තිබෙනවා. දුර්ලභ නිධානයක්, බෝධිසත්ත්වයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක් දස පාරමී ධර්මයන් පුරා තුන් ලෝකයාටම මතුකොට දුන් නිධානයක්. මනුෂ්‍යයාගේ මෙලොව සහ පරලොව යන දෙකම ජයගන්නා නිධානයක්. ඒ වගේමයි මෙලොවත් පරලොවත් දෙකම නිරෝධය කොට දුකෙන් මිදීමේ මාවත කියාදෙන නිධානයක්. ඒ නිධානය තමයි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය.
මේ උතුම් නිධානයයි මේ නිමේෂයෙදිත් සමස්ත ලෝකයටම ශීලයේ වටිනාකම, මෛත‍්‍රියේ, සමාධියේ, ත්‍යාගයේ වටිනාකම කියලා දෙන්නේ. මේ නිධානයයි මේ නිමේෂයෙදිත් සමස්ත ලෝකයේම මනුෂ්‍ය සන්තාන තුළ යම් පමණකට හෝ ලැජ්ජාව, බිය ආරක්‍ෂා කොටදී තිබෙන්නේ. සමස්ත ලෝකයෙන් අඩක්ම විනාශ වී යන වියරු, ම්ලේච්ඡු තුන්වැනි ලෝක යුද්ධයක් තවදුරටත් පමාකොට දී තිබෙන්නේ මේ ගෞරවනීය නිධානයමයි…!
උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත “අතහැරීම 15” ග්‍රන්ථයෙනි.
උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…