වස්සානයෙන් දොර ජනෙල් වැසූ කුටිය තුළ භව නිරෝධයට විවර වූ සිතක්.

“ඔබ තුළ සකස් වන භාවනාව කෙරෙහි දැඩි කැමැත්ත ඔබ තුළ මාන්නය සහ උද්ධච්ඡ භාවය ඇති කොට දෙන බව” බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි, භාවනාවේදී පින්වත් ඔබේ භාවනාව කෙරෙහි කැමැත්ත හෙවත් ඡන්දය ඇතුළතින් හැකිළී යෑමට ඉඩ නොදිය යුතුයි. ඇතුළතින් හකුළන ඔබගේ භාවනාව කෙරෙහි කැමැත්ත ඔබ තුළ ථිනමිද්ධය හෙවත් නිදිමත, ආහාර මතය ඇතිකොට දෙනව. ඒ වගේමයි භාවනාවේදී පින්වත් ඔබේ භාවනාව කෙරෙහි ඡන්දය පිටතට විසිරෙන්න දෙන්න එපා. පිටතට විසිරුණු ඔබගේ භාවනාව කෙරෙහි කැමැත්ත ඔබ තුළ කාමච්ඡන්දයක් ඇති කොට දෙනව. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “පින්වත් ඔබගේ භාවනාව කෙරෙහි ඡන්දය හෙවත් කැමැත්ත වීර්යය ඔස්සේ අධිෂ්ඨානශීලීව විදර්ශනාව උදෙසා ම යොමුකර ගන්නය” කියල. “ඒ තැනයි ඔබගේ සුන්දර භාවනාව තුළින් අර්ථවත්ව සතර ඍද්ධිපාද ධර්මයන්, මහත් ඵල මහානිසංස වෙන්නේ” කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

අද දවසම වැසි අඳුර විසින් ගිල ගත් දවසක්. රාත්‍රි සුළඟ සහ ශීතල නිසාම කුටියේ ජනෙල් සියල්ල ම වසා දමලයි තිබෙන්නේ. කුටියේ දොර ජනෙල් සියල්ල ම වසා දැම්මත් භික්ෂුවගේ සිත විවෘතවයි තිබෙන්නේ. ඒ සිතට සැඟවෙන්න, ඉතා දැඩි කොට ගන්න, ඇතුළතින් හැකිළෙන්න, පිටතින් විසිරෙන්න භික්ෂුව අවස්ථාව දෙන්නේ නැහැ. භික්ෂුව තුළ සකස් වෙන භව නිරෝධය කෙරෙහි කැමැත්ත හෙවත් ඡන්දය, වීර්යය, චිත්තය සහ විමමසාව අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් ය කියල දකින තැන භික්ෂුව භව නිරෝධය දෙසට විවෘතවයි සිටින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “එම විවෘත විදර්ශනාත්මක සිතෙන් දහවල් යම් සේද, රාත්‍රියත් එසේම ගත කරන්න”ය කියල. භාවනා කරන පින්වතා දහවල කායානුපස්සනාවට අදාළව දෙතිස් කුණුප භාවනාව වැඩුවා නම්, රාත්‍රියටත් එසේම දෙතිස් කුණුප භාවනාවෙන් ගත කරන්න ඕනේ. පින්වත් ඔබ දහවල විදර්ශනාත්මක බුද්ධානුස්සතිය තුළ ගත කළා නම් රාත්‍රියත් එසේම ගතකර ගන්න ඕනේ. පින්වත් ඔබ දහවල විදර්ශනාත්මක මෛත්‍රියෙන් ගත කළා නම් රාත්‍රියත් එසේම ගත කරන්න ඕනේ. දහවල භාවනාව කෙරෙහි ඇති කොට ගත් ඡන්දය රාත්‍රියේදීත් එසේම ඇති කොට ගන්න ඕනේ. සමහර පින්වතුන්ලා සමාජයේ ජීවත් වෙනවා, දහවලට ලෝභානුස්සතිය කෙරෙහි ඡන්දය වඩනවා, රාත්‍රියට ත්‍යාගානුස්සතිය කෙරෙහි ඡන්දය වඩනවා. තවත් සමහර පින්වතුන් සිටිනවා දහවලට කේන්තිය වඩනවා, රාත්‍රියට මෛත්‍රිය වඩනවා. තවත් සමහරු දහවලට කායානුපස්සනාව තුළ ගත කරල රාත්‍රියට කාමච්ඡන්දයන් තුළ ගත කරනවා. ඉහත පින්වතුන්ලාගේ භාවනාව කෙරෙහි ඇති ඡන්දය, වීර්යය, චිත්තය විදර්ශනාව දෙසට යොමුවෙන්නේ නැහැ. “එවැනි සිත් තුළ නිරතුරුවම ඡන්දය සකස් වෙන්නේ කුසීතකම, ථිනමිද්ධය සහ කාමච්ඡන්දයන් හෝ මාන්නය දෙසට මයි” කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “දහවල් යම් සේ භාවනාව කෙරෙහි ඡන්දයෙන් ගත කළා ද රාත්‍රියේදීත් එසේම ගත කරන පින්වතුන්ලාට, පින්වත් ඔබගේ ශරීරයේ බාහිර යම් සේද ශරීරයේ අභ්‍යන්තරයත් එසේම යැයි දකිමින් වෙසෙන්නය” කියල. “ශරීරයේ උඩ යම් සේද ශරීරයේ යටත් එසේම යැයි දකිමින් ජීවත් වෙන්නය” කියල. පින්වත් ඔබ එසේ දකින්නේ කෙසේද යත්, ඔබගේ දෙපාවල යටි පතුලේ සිට හිස කෙස් රොද දක්වා ම සමෙන් වටවුණා වූ නන් අයුරින් කෙළ, සෙම්, සොටු, දහදිය, අශූචි, මුත්‍රා පිරුණු මේ කය ප්‍රත්‍යවේක්ෂා කොට දකිනවා. සිහි නුවණින්, කෙළෙස් නොවැඩෙන අයුරින්, විදර්ශනා සිත් වැඩෙන අයුරින් වීර්යය, චිත්තය, විමමසාව කෙරෙහි ඡන්දය වැඩෙන අයුරින් මාගේ මේ අධ්‍යාත්මික රූපය, කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, ඇට, නහර, වකුගඩු, හෘදය ආදී වශයෙන් දෙතිස් කුණුපයන්ගේ එකතුවක්ය කියල නුවණින් මෙනෙහි කරනවා. පින්වත් ඔබ මෙසේ තම රූපය දෙතිස් කුණුපයක් වශයෙන් දකින කොට ඔබේ සිත පිටතට විසිරෙන්න පුළුවන්. ඒ කියන්නෙ කාමච්ඡන්දයන් සකස් වෙන්න පුළුවන්. එවිට එම කාමච්ඡන්දයන්ට අරමුණ වූ බාහිර රූපය දෙතිස් කූණපයන් ගේ එකතුවක් කොට දකින්න.

මෙය සටහන් තබන භික්ෂුවට රූපයේ ආශ්වාදයෙන් මොනවට පෝෂණය වූ බාහිර රූපයක් මතකයට නැගුණොත්, භික්ෂුව එම සුන්දර ආකර්ෂණීය රූපය ඇසෙන් කබ මතු වුණ, කනෙන් කලාඳුරු මතු වුණ, නාසයෙන් සොටු මතුවුණ, මුඛයෙන් කුණු කෙළ වැගුරුණ, ශරීරයෙන් දහදිය, මුත්‍රා, අශූචි මතු වුණ රූපයේ ආදීනවය මතු කොට දකිනවා. රූපයේ ආශ්වාදය තුළ සැඟවුණ රූපයේ ආදීනවය සක්සුදක් සේ මතු කොට දැකීමට හැක්කේ කායානුපස්සනාවෙන් පමණක් මය. පින්වත් ඔබ භාවනාවේ මුල් වටයේදී කායානුපස්සනාව උපයෝගී කොට ගත යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් භාවය ඇති කොට ගැනීම උදෙසාය. “මේ සුන්දර යැයි දකින රූපය සෙම්, සොටු, සැරව, දහදිය, මළ, මුත්‍රා පිරුණු දෙතිස් කූණපයක් මයි” කියල දකින පින්වතා මේ දෙතිස් කුණපය නිසා කේන්ති අරගෙන සම්මා සංකප්ප දුර්වල කොට ගන්නේ නැහැ. මේ දෙතිස් කුණුපය සතුටු කිරීම උදෙසා සිල්පද දුර්වල කොට ගෙන සතර අපායට වැටෙන්න කැමති වෙන්නේ නැහැ. මේ දෙතිස් කුණපය පෝෂණය කරන්න මිච්ඡා ආජීවයේ යෙදිලා අපාය ගාමී වෙන්නේ නැහැ. ඔහු මුල් වටයේදී කායානුපස්සනාව උපයෝගී කොටගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් භාවය උදෙසා මයි. මෙය සටහන් තබන භික්ෂුව කවදාකවත් භික්ෂුව දරා ගෙන සිටින දෙතිස් කුණුපය, සතර මහා ධාතුව, අට්ඨික සංඤ්ඤාව, අනිත්‍ය වූ ඉරියව් පවත්වන කය, මේ මරණානුස්සතිය සතුටු කරන්න මේ මුත්‍රා, අශූචි ගොඩට ආත්ම ගරුත්වය අර ගෙන දෙන්න, මේ පැසවන සැරව ගලන රූපයට සැප ලබා දෙන්න දිවි හිමියෙන්වත් ප්‍රාතිමෝක්ෂ ශීලය දුර්වල කොට ගන්නේ නැහැ. මාගේ සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඤායපටිපන්න ගුණය, සාමීචිපටිපන්න ගුණය දුර්වල කොට ගන්නේ නැහැ.

මේ සුන්දර වස්සානයයි. භික්ෂුව මේ මොහොතේ ගත කරන්නේ වස්සාන සඤ්ඤාවෙන්. අද උදෑසන මහත්මයෙක් කළුතර ප්‍රදේශයට ධර්ම දේශනාවක් ගැන මතක් කළා. භික්ෂුව ඒ මහත්මයාට ප්‍රකාශ කළේ, “මහත්තයෝ කරුණාකරල ධර්ම දේශනා ගැන අහන්න එපා. දැන් ධර්ම දේශනා සඤ්ඤාව නැහැ. වර්තමානයේ භික්ෂුව වැඩ සිටින්නේ වස්සාන සඤ්ඤාවෙන්ය” කියල. අනුනගේ දෙතිස් කුණුපයෙන්, සතර මහා ධාතූන්, මරණානුස්සතියකින් සතුටු කරන්න භික්ෂුව, බුදුරජාණන් වහන්සේ අපට පැවරූ ප්‍රතිපදාවන් දුර්වල කොට ගන්නේ නැහැ. භික්ෂුව ධර්ම දේශනාවක් පවත්වන අවස්ථාවල ධර්ම දේශනා සඤ්ඤාව තුළ උපරිමයෙන් කටයුතු කළා. විෂකුරු සර්පයා වලිගයෙන් අල්ලා ගන්නේ නැතිව එම සර්පයාගේ හිසෙන් අල්ලා ගත්තොත් ඔබට අනතුරක් වෙන්නේ නැහැ. පින්වත් ඔබ උතුම් සද්ධර්මය, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් මතු කොට ගත හොත් ඒ ශ්‍රී සද්ධර්මය හරිම සුන්දරයි.

මේ මොහොතේ භික්ෂුව ගේ මුවින් සිනහවක් මතුවුණා. ඒ සිනහව දකින්න කවුරුවත් ම මනුෂ්‍යයෝ වටපිටාවේ නැහැ. භික්ෂුව ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා ඔය පුටුවේ වාඩි වෙලා ඒ සිනහව මනසින් දකින්න කියල. හැබැයි ඒ සිනහවේ ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන් මුකුත්ම නැහැ. ධර්මයේ හේතුඵල ධර්මයන් ධර්මයේ උපේක්‍ෂාවෙන් දකින සිනහ රැල්ලකුයි ඇඳිලා මැකී ගියේ. කායානුපස්සනාව තුළින් මුල් වටයේ දී තම කුසල් පක්‍ෂය, තම ශීලයේ ශක්තිය වැඩි කර ගන්නා පින්වතා, සමාජය තුළ ජීවත් වන කේන්ති නොගන්න, ආජීව අට්ඨමක ශීලය ආරක්‍ෂා කොට ගන්න සමාජයට පූර්වාදර්ශී, පරමාදර්ශී පින්වතෙක්. ඔහු ධර්මයේ රසය හඳුනා ගත් පින්වතෙක්. ධර්ම මාර්ගයේ පිනට සහ කුසලයට අදාළව ප්‍රතිලාභ නොඅඩුව ලබන පින්වතෙක්. ඉහත පින්වතා තුළයි විදර්ශනාව, භව නිරෝධයට අදාළව වැඩීමට අවශ්‍ය සම්මා සමාධිය සකස් වෙන්නේ. වර්තමාන සමාජය කායානුපස්සනාව කියන අර්ථයට ටිකක් බයයි. මුත්‍රා, අශූචි කියල ලියන කොට ම භික්ෂුවට බණින පින්වතුන් සිටිනවා. රූපය කෙරෙහි සක්කායදිට්ඨියට භික්ෂුව කුමක් නම් කරන්නද..? පින්වත් සත්පුරුෂ ඔබ මේ රූපය කායානුපස්සනාවෙන් දැකලා මේ රූපය මුත්‍රා, අශූචි, සෙම්, සොටු වශයෙන් දැකලා මේ රූපය මරණානුස්සතියක් කොට දැකලා රූපයේ ආශ්වාදය වැඩීම මොහොතක් නවත්වලා රූපය කෙරෙහි සක්කායදිට්ඨිය, පංච උපාදානස්කන්ධය කෙරෙහි සක්කාය දිට්ඨිය සිඳගන්න. රූපය කෙරෙහි සක්කායදිට්ඨිය සිඳ දැමුවාට පසුව පින්වත් ඔබට පුළුවන් මහාමේල පළඳනාවක් වුව ද පළඳින්න. එදාට ඔබ මහාමේල පළඳනාව නිසා අකුසල් වඩන්නේ නැහැ. සිල්පද දුර්වල කොට ගන්නේ නැහැ. එදාට ලස්සනට අඳින පළඳින, ප්‍රණීතභාවය, විසිතුරුභාවය විදර්ශනාත්මකව භුක්ති විඳින සමාජයක ජීවත් වෙන උත්තම පුරුෂයා ඔබයි..!

උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත “අතහැරීම 15” ග්‍රන්ථයෙනි.

උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…