විශුද්ධි ධර්මයන්.

බෞද්ධයාගේ පරම පැතුම නිවන යි. ඒ සඳහා සතර මාර්ග ඤාණ ලබාගත යුතු වෙයි. ඊට ළඟාවීමේ මාර්ගයක් ලෙස මෙම ‘සප්ත විශුද්ධි ප්‍රතිපදාව ‘ හඳුන්වා දිය හැකිය. ‘විශුද්ධිය ‘ යනු පිරිසුදු බවයි. සසර සැරිසරන විට නිරන්තරයෙන් කෙලෙස් නමැති මලවලින් අපිරිසුදු වන පෘථග්ජන සත්වයාගේ සිත විශේෂයෙන් පිරිසුදු බවට පත්කරන ධර්ම ‘විශුද්ධි ධර්ම’ ලෙස හඳුන්වන අතර, එවැනි කාරණා හතක් එහි දැක්වෙයි. මෙය, ‘සප්ත විශුද්ධිය ‘ ලෙස හඳුන්වනු ලැබේ.

මේ විශුද්ධි 7 පිළිවෙලින් සම්පාදනය කිරීම් වශයෙන් විදර්ශනා භාවනාව කල යුතුය.

1. ශීල විශුද්ධිය
2. ච්ත්ත විශුද්ධිය
3. දෘෂ්ටි විශුද්ධිය
4. කාංක්ෂා විතරණ විශුද්ධිය
5. මාර්ගාමාර්ග ඥාන දර්ශන විශුද්ධිය
6. ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය
7. ඥාන දර්ශන විශුද්ධිය

ශීල විශුද්ධිය – දුබල වු සිත් ඇති තැනැත්තා භාවනා කලද නිසරැ බිමක රෝපනය කළ ගසක් මෙන් ඒ තැනැත්තාට සමාධි ප්‍රඥාවන් මැනවින් නොවැඩෙති. එ නිසා, සමාධි වඩා ධ්‍යාන උපදවා ගැනීමට හෝ විදසුන් වඩා මාර්ග පල ලබාගන්නට බලාපොරොත්තුවන කෙනෙක් විසින් ගසක් වවා ගන්නට යන ගොවියා පළමු කොට බිම සකස් කරන්නාක් මෙන් තමා ගිහියෙක් නම් ගිහියෙකුට අනුරෑප පරිද්දෙන්ද, පැවිද්දෙක් නම් පැවිද්දෙකුට අනුරෑප පරිද්දෙන්ද, සිල්වතෙකුවී භාවනාව පටන් ගතයුතුය.

“සීලවිසුද්ධි නාම සුපරිසුද්ධං පාතිමොක්ඛසංවරාදී චතුබ්බිධං සීලං” – සුපිරිසිදු ප්‍රාතිමෝක්‍ෂසංවරාදී සිවු වැදෑරුම් ශීලය ශීලවිශුද්ධි නම් වේ.
1. ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය – ශික්‍ෂාපද ශීලය යි.
2. ඉන්ද්‍රිය සංවර ශීලය – ඇස් කන් නාසාදී ඉන්ද්‍රියයන් ගේ මාර්‍ගයෙන් තමාගේ චිත්තසන්තානයෙහි රාගාදී ක්ලේශයන් පහළ වන්නට ඉඩ නො දී ඉන්ද්‍රියයන් සංවර කැරැ ගන්නා ශීලය යි.
3. ආජීව පාරිශුද්ධි ශීලය – ධාර්මිකාජීවය සඳහා පනවන ලද ශික්‍ෂාපදයන් නො ඉක්මවමින් ඉතා පිරිසිදු වැ ජීවත් වීමෙන් ඇතිවන සංවරය – හීලෑකම – තැන්පත් කම නම් වූ ශීලය ය.
4. ප්‍රත්‍යයසන්නිඃශ්‍රිත ශීලය – සිවුපස පරිභෝග කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය නිසි ලෙස සිතා නිසි ලෙස යොදා ආහාර පානාදිය ගැනීමෙන් ඇතිවන සංවරය යි.

ශීල විශුද්ධිය සම්පූර්‍ණ වීමට චතුපාරිශුද්ධි ශීලයෙන් සිල්වත් විය යුතු බව මෙයින් පැහැදිලි වෙයි. ගිහි අය වුව ද පඤ්ච ශීලයට වඩා උසස් ශීලයෙකින් හා ආජීවයෙකින් යුක්තවිය යුතු ය. භාවනානට බලවත් කැමැත්තක් ඇති ගිහියනට වුව ද එක්තරා ප්‍රමාණයෙකින් හෝ චතුපාරිශුද්ධි ශීලයෙන් සිල්වත්වීම අපහසු නොවනුවා ඇත. අන්තිම ජාතියෙහි වූ කෙනකු හැරැ පඤ්චශීල මාත්‍රයකුදු නැති සාමාන්‍ය අය භාවනාවට කියා ගොස් උසස් ප්‍රතිඵල ලබනුවා යයි කීම නුවණැතියන්ගේ පුදුමයට හේතුවක් වී තිබෙන්නේ මේ නිසා ය. ශීලවිශුද්ධියක් නැත්තකුට චිත්ත විශුද්ධියක් නො ලැබිය හැකි බව රථවිනීත උපමාවෙන් පැහැදිලි ය.

චිත්ත විශුද්ධිය – තද දෙයක් කැපීමට සූදානම් වන තැනැත්තා පළමු කොට සුදුසු පරිදි ආයුධයක් මුවහත් කර ගන්නාක් මෙන් අවබෝධ කර ගැනීමට දුෂ්කර වු නාම-රෑප ධර්මයන්ගේ තත්වයද අවබෝධ කිරීමට සුදුසු වන පරිදි පළමු කොට තමාගේ සිත සකස්කර ගත යුතුය. එසේ සකස් කර ගන්නා ලද චිත්ත නීවරණයන්ගෙන් පිරිසිදු බැවින් ඒ ච්ත්ත විශුද්ධිය නම්වේ.

“චිත්තවිසුද්ධි නාම සඋපචාරා අට්ඨසමාපත්තියො” – උපචාර සහිත අට්ඨසමාපත්තීහු චිත්තවිශුද්ධි නම් වෙති.

උපචාර සමාධි සහ අර්පණා සමාධි යැයි සමාධීහු දෙ වැදෑරුම් වෙති. උපචාර සමාධිය නම් අර්පණා සමාධියට පෙරැ පහළ වන කාමාවචර සමාධිය යි. අර්‍පණා සමාධිය නම් ප්‍රථම – ද්විතීය – තෘතීය – චතුර්‍ථ යන රූපාවචර ධ්‍යාන සතර හා ආකාසානඤ්චායතන යැ, විඤ්ඤාණඤ්චායතන යැ, ආකිඤ්චඤ්ඤායතන යැ, නේවසඤ්ඤානාසඤ්ඤායතන යැ යන අරූපාවචර ධ්‍යාන සතර දැයි කියැවෙන අෂ්ටසමාපත්තීහු ය.

චිත්ත විශුද්ධිය සම්පූර්ණ වීමට අර්පණා සමාධියක් තිබිය යුතු ය. යම්තමින් හෝ චිත්ත විශුද්ධියක් ඇති වීමට අඩුමගානේ උපචාර සමාධියක් වත් තිබිය යුතු ය. උපචාර සමාධි මාත්‍රයක් හෝ ලැබීම එතරම් පහසු ක්‍රියාවක් නො වෙයි. අන්තිම ජාතියෙහි වූ කෙනෙකු හැරැ සාමාන්‍ය අයට නම් චිත්තවිශුද්ධියක් ලබා ගැනීමට ශීලවිශුද්ධියෙහි පිහිටා බොහෝ කාලයක් සමථ භාවනා කළ යුතු වෙයි. රහත් වන්නට පිනැතියවුනට පවා අවුරුදු ගණන් ගෙවාත් මඟපල තබා උපචාර සමාධියක් වත් ලබා ගැනීම දුෂ්කර වූ බව සමහර කථාවස්තුවලින් පෙනෙයි. කිසිදු තැන්පත් කමක් සංවරයක් නැති අය ද භාවනාවට ගොස් දවසෙන් දෙකෙන් දින කීපයෙන් සමාධි වෙනුවා යයි කීම නැණැතියන්ගේ හාස්‍යයට හේතු වී තිබෙන්නේ මේ නිසා ය. චිත්තවිශුද්ධියක් නැත්තකුට දෘෂ්ටි විශුද්ධියක් ලබා ගත නො හැකි වේ.

දෘෂ්ටි විශුද්ධිය – මෙහි කෙටි තේරැම පිරිසිදු ඥානය යනුයි. හෝඩි පොත මැනවින් උගත් කෙනෙකුට මතු ඊළග පොත කියවීමට වැඩි අපහසුවක් නොවන්නාක් මෙන් දෘෂ්ටි විශුද්ධිය හොඳින් සම්පාදනය කරගත්තා හට අපහසුවක් නැතිව ඉතිරි විශුද්ධීන් සම්පාදනය කළගත හැක.

“නාමරූපානං යාථාවදස්සනං දිට්ඨිවිසුද්ධි නාම” – නාමරූපයන් ඇති සැටියෙන් දැනීම, පිරිසිඳැ දැනීම දෘෂ්ටි විශුද්ධි නම් වේ.

දෘෂ්ටි විශුද්ධිය ලබා ගැනීම සීලවිශුද්ධි චිත්තවිශුද්ධි දෙක ලබා ගැනීමට වඩා අතිශයින් දුෂ්කර ක්‍රියාවෙකි. දෘෂ්ටි විශුද්ධිය සම්පූර්ණ වීමට උසස් ධර්ම ඥානයක් තිබිය යුතු ය. අඩුමගානේ නාමරූප ධර්මයන් පිරිසිඳැ ඇති සැටියෙන් දැනැ ගන්නට තරම් වත් ධර්ම ඥානයක් තිබිය යුතු ම ය. නාමරූප ධර්මයන් පිරිසිඳැ දැනැ ගැනීමට තරම් වත් ධර්ම ඥානයක් නැති අය විදර්ශනා භාවනාවට යෑමත්, එබඳු අයට ඉක්මනට ප්‍රතිඵල ලැබෙනුවා යැයි කීමත්, විදර්ශනා භාවනා කරන විට සමාධි නිමිති පෙනෙනුවා යැයි පැවසීමත් නැණැතියන්ගේ සිනාවට කරුණු වී තිබෙන්නේ මේ නිසා ය. දෘෂ්ටි විශුද්ධියක් නැත්තකුට කාංක්ෂා විතරණවිශුද්ධිය ලබාගත නො හැකි වේ.

“අභිධර්මාර්ථ සංග්‍රහය” හොඳින් ඉගෙන තිබෙන තැනැත්තාට දෘෂ්ටි විශුද්ධිය ඇතිකර ගැනීම පහසුය. අඩුම තරමේ ස්කන්ධ පඤ්චකය, ආයතන දොළස, ධාතු අටළොස, ඉන්ද්‍රිය දෙවිස්ස යන ධර්මයන්වත් හොඳින් තේරැම්ගෙන තිබේ නම් දෘෂ්ටි විශුද්ධිය ඇතිකර ගැනීම පහසුය.

කාංක්ෂා විතරණ විශුද්ධිය –
“එතස්සෙව පන නාමරූපස්ස පච්චයපරිග්ගහෙන තීසු අද්ධාසු කඞ්ඛං විතරිත්වා ඨිතං ඤාණං කංඛාවිතරණවිසුද්ධි නාම” – මේ නාමරූපයන්ගේ මැ පහළ වීමට හා පැවැත්මට ද ප්‍රත්‍යය හෙවත් හේතු වූ කරුණු පිරිසිඳීමෙන් තුන්කල්හි පැවැති සැකය දුරු කැරැ සිටි ඥානය කාංක්ෂා විතරණ විශුද්ධි නම් වේ.

දක්ෂ වෛද්‍යවරයා රෝගයක් දැක එහි නිදානය සොයන්නා සේ විදර්ශනාවට බැසැගත් යෝගාවචරයා ද නාමරූප ධර්මයන්ගෙන් හේතු – ප්‍රත්‍යය සෙවීමෙහි යෙදිය යුතු ය. මේ නාම රූප නම් වූ පඤ්චස්කන්ධය සියලු තන්හි සෑම කල්හිම සියල්ලනට සමව නො පැමිණෙන හෙයින් අහේතුක නොවෙයි. ඊශ්වරාදී මැවුම් කරුවකු නැති හෙයින් ඊශ්වරාදී හේතුවකිනිදු හට නො ගැනේ. එහෙයින්ම මේ නාමරූපයනට හේතුප්‍රත්‍යයන් ඇතැයි සලකා ඒ හේතු ප්‍රත්‍යයන් පරීක්‍ෂා කර බැලිය යුතු ය.

මම පෙරත් විසුවෙම්ද? නොවිසුවෙම්ද? විසුවෙම් නම් කොහේ විසුවෙම්ද? මම මේ ඉපදී සිටිනුයේ පළමු වරටමද? නැතහොත් යම් තැනක සිට මෙහි පැමිණියෙම්ද? මම කෙසේ උපන්නෙම්ද? රෑපය මමද? නැතහොත් නාමය මමද? ඒ දෙකම මමද? ඒ දෙකෙන්ම අනෙකක් මමද? මරණයෙන් මම කෙළවර වන්නේද? නැතහොත් නැවතත් උපදින්නේද? උපදිතහොත් කොහේ උපදීද? කෙසේ උපදීද? යනාදීන් කාලාත්‍රය පිළිබඳවම ඇතිවන්නාවු සකල කාංක්ෂාවන් දුරැ කිරීමට සමර්ථ වූ නාම-රෑපයන් ගේ හේතු පිළිබඳ වූ පාරිශුද්ධ ඥානය, දර්ශනය කාංක්ෂා විතරණ විශුද්ධියයි.

එබැවින් කාංක්ෂා විතරණ විශුද්ධිය ඇති කර ගැනීම සඳහා භාවනා කිරීමට ඉතාම හොඳ දෙය පට්ච්චසමුප්පාදයයි. කාංක්ෂා විතරණ විශුද්ධිය නොලැබු කෙනෙක් හට මාර්ගාමාර්ග ඥන විශුද්ධිය නො ලැබිය හැකි වේ.

මාර්ගාමාර්ග ඥාන විශුද්ධිය – “අයං මග්ගො අයං න මග්ගොති එවං මග්ගං ච අමග්ගං ච ඤත්වා ඨිතං ඤාණං පන මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි නාම”

යෝගාවචරයා හට පෙර නොදුටු ආලෝකයන් සමහර යිට දක්නට ලැබේ. සමහර අතිප්‍රණීත ප්‍රීතියක් පහළවේ. එවිට සමහරැන් ‘ මම ලෝකෝත්තර ධරිම ලැබුවෙමී’ කියා රැවටෙන්නේය. එවන් අයට ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට නොහැකි වන්නේය. එසේ නොරැවටීම සඳහා ඇතිකර ගතයුතු වූ මාර්ගය මෙයයි, අමාර්ගය මෙයයි දත හැක්කාවු ඥානය මාර්ගාමාර්ග ඥන දර්ශන විශුද්ධියයි. මෙයට දශවිධ උපක්ලේශයන් ගැන දැනගෑනීම අවශ්‍යය වේ.

1. ️ඔභාස – විදර්ශනා චිත්තයෙන් හටගත් එක්තරා ශරීරාලෝකයෙකි. මේ ආලෝකය උපන් කල්හි සමහරු මාර‍ගපලයනට පැමිණියෙමි යි අමාර්ගය මාර්ගය ලෙස ගෙන එයින් ම සෑහීමට පත්වී විදර්ශනාව ද අත්හරී. මෙය උපක්ලේශයක් බව දැනැ සිටින්නා ආලෝකයට නො රැවටී භාවනා කැරැනු ලැබේ.
2. ඤාණ – නාමරූප ධර්මයන් විමසා බලන්නා වූ යෝගියා හට ඉතා තියුණු වූ විදර්ශනා ඥානය පහළ වෙයි. එය මාර්ගයයි ගත්තා හට නියම මාර්ගය වරදී. එහෙයින් එය ද උපක්ලේශයකි.
3. ‍ප්‍රීති – විදර්ශනා වඩන්නා හට මුළු ශරීරය ම පුරවමින් ප්‍රීතිය උපදී. සමහරු එය මාර්ගයයි ගෙන මුළාවට පත් වෙති. එහෙයින් එය ද උපක්ලේශයෙකි.
4. පස්සද්ධි – විර්ශනාවෙන් ඇතිවන කායචිත්තයන්ගේ සංසුන් බවයි, සැහැල්ලු බවයි. එය ද උපක්ලේශයකි.
5. සුඛ – විදර්ශනා වඩන්නා හට මුළු සිරුර පිණවමින් මීට පෙරැ නොවූ විරූ සුඛයක් උපදී. එය මාර්ගයයි ගත හොත් නියම මර්ගය වළකින හෙයින් උපක්ලේශයෙකි.
6. අධිමොක්ඛ – බලවත් ශ්‍රද්ධාව යි. විදර්ශනා යෝගී හට චිත්ත චෛතසිකයන් අතිශයින් ප්‍රසන්න භාවයට පමුණුවන බලවත් ශ්‍රද්ධාව උපදී. එය ද නියම මාර්ගය මුවා කරන හෙයින් උපක්ලේශයෙකි.
7. පග්ගහ – වීර්යය යි. විදර්ශනාව දියුණු වෙත්ම ළිහිල් නො වූ දැඩි ද නො වූ වීර්ය උපදී. එය ද උපක්ලේශයෙකි.
8. උපට්ඨාන – සිහිය යි. විදර්ශනා කරන්නා හට මනා වැ එළඹ සිටි සිහිය උපදී. ඉතා පැරණි කරුණු පවා සිහියට එයි. මේ විශේෂ ලක්‍ෂණය නිසා මාර්ගය ලැබුනායයි මුළාවට පත් වෙයි. එහෙයින් එය ද උපක්ලේශයෙකි.
9. උපෙක්ඛා – විදර්ශනා යෝගීනට නාමරූප ධර්මය උදයව්‍යය වශයෙන් මනාව පරීක්‍ෂා කිරීමෙන් ඒ පිළිබඳ මධ්‍යස්ථාකාරයෙන් පවත්නා විදර්ශනා උපෙක්‍ෂාව උපදී. එය ද මාර්ග යයි වරදවා ගන්නා හෙයින් උපක්ලේශයෙකි.
10. නිකන්ති – ඉතා සියුම් තෘෂ්ණාව යි. “මින් පෙරැ මට ආලෝකයක් පහළ නො වී ය”. මම ආර්ය මාර්ගයට පැමිණියෙමි යි එහි ආලය කෙරෙමින් පහළ වන සියුම් තෘෂ්ණාවයි. එය ද උපක්ලේශයෙකි

මාර්ගාමාර්ග ඥාන දර්ශන විශුද්ධිය සඳහා කළ යුතු භාවනාව වන්නේ ත්‍රිලක්ෂණ භාවනාවයි. එනම් සියලු සංස්කාරයන්ට අයත්වු ඒ ලක්ෂණ තුනටයි. එනම් අනිත්‍යය, දුක්ඛ සහ අනාත්ම ලක්ෂණයි.

මෙසේ මග්ගාමග්ගඤාණදස්සන විශුද්ධිය සම්පූර්‍ණ වන තුරු ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය ලබා නො හැකි වේ.

ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය –
“අට්ඨන්නං පන ඤාණානං වසෙන සිඛප්පත්තා විපස්සනා නවමං ච සච්චානුලොමිකඤාණන්ති අයං පටිපදාඤාණදස්සන විසුද්ධි නාම”

මාර්ගාමාර්ග ඥාන දර්ශන විශුද්ධිය සම්පාදනය කළ යෝගාවචරයා විසින් පිළිවෙලින් මෙම විදර්ශනා ඥාන නවය ඇතිකල ගතයුතුයි. මෙම ඥාන නවය ලෝකොත්තර මාර්ග ඥානයට පැමිණීමේ ප්‍රතිපත්තිය වන බැවින් ප්‍රතිපදා නම් වේ.

1. උදයව්‍යානු දර්ශන ඥානය – ස්කන්ධයන්ගේ උදයව්‍යය හෙවත් ඇතිවීම නැතිවීම පිරිසිඳ දක්නා නුවනයි.
2. භංගානු දර්ශන ඥානය – ස්කන්ධයන්ගේ භංගය හෙවත් විනාශය නැතිවීම පිරිසිඳ දක්නා නුවනයි.
3. භයතුපට්ඨාන ඥානය – සංස්කාරයන් භය වශයෙන් හටගන්නාවු නුවනයි. සාමාන්‍ය ලෝකයාහට මෙම ඥානය නැති බැවින් අනේක දුක් ගෙන දෙන සංස්කාරයන් මමය, මගේය කියා ඒවාට ඇලුම් කරමින් දුකෙහිම ගැලී සිටිති.
4. ආදිනවානු දර්ශන ඥානය – සංස්කාරයන්ගේ දෝෂ දක්නා ඥානයයි. සංස්කාරයනට පිහිට වන කිසිවක් නැති බව වූ සංස්කාරයන්ගේ මහා ආදීනවද මෙනෙහි කිරිමයි.
5. නීර්වේදානු දර්ශන ඥානය – ඉහත පරිදි සංස්කාරයන්ගේ ආදීනව නැවත නැවත බලන යෝගාවචරයා හට ඒ බැලීමෙන් සංස්කාරයන්ට හෙවත් සසරට කලකිරෙන්නාවු ඥානය පහල වේ.
6. මුංචිතුකම්‍යතා ඥානය – සංස්කාරයන්ගෙන් මිදීම හැර මේ දුකින් මිදීමට අන් ක්‍රමයක් නැති බව දන්නාවු ඥානයයි. මේ ඥානය ඇතිවු කෙනාගේ සිත සංස්කාරයන්ට ඇල්මක් ඇති නොවේ. මොවුන්ට භවයෙන් මිදීමට බලවත් කැමැත්තක් ඇතිවේ.
7. ප්‍රතිසංඛානු දර්ශන ඥානය – සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්ෂණ විස්තර වශයෙන් දක්නාවු ඥානයයි.
8. සංස්කාරෝපේක්ෂා ඥානය – සංස්කාරයන් මධ්‍යස්ත වශයෙන් දක්නා නුවනයි.
9. අනුලෝම ඥානය – මාර්ග චිත්තයනට අනුලෝමවූ නුවනයි. මේ නව මහා විදර්ශනා ඥානයන් පිළිවෙලින් පහලවීමෙන් ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය සම්පූර්න වෙයි.

ඥාන දර්ශන විශුද්ධිය –
“සොතාපත්ති මග්ගො සකදාගාමි මග්ගො අනාගාමි මග්ගො අරහත්ත මග්ගොති ඉමෙසු පන චතුසු මග්ගෙසු ඤාණං ඤාණදස්සනවිසුද්ධි නාම”

සෝතාපත්ති මාර්ග ඥානය, සකෘදාගාමි මාර්ග ඥානය, අනාගාමී මාර්ග ඥානය, අර්හත් මාර්ග ඥානය යන මේ ඥාන සතර ඥාන දර්ශන විශුද්ධියෝය.

තෙරැවන් සරනයි..!