වෙසක් සදේ සිරිය මැදින් කළු වලාවේ යථාර්ථයත් දකී නම්.!

අද අසිරිමත් වෙසක් පසළොස්වක පොහොය දවස, මේ ලෝක ධාතුවට ශ්‍රේෂ්ඨතම උත්තමයෙක් ඉපදුණු දවස, බියෙන් තැතිගත් සත්ත්වයන්ට මිථ්‍යාදෘෂ්ටියේ දුකෙන් තැතිගත් සත්ත්වයන්ට බියෙන් මිදෙන්නට, දුකෙන් මිදෙන්නට උතුම් ධර්ම මාර්ගය දේශනා කොට වදාළ දවස. මේ ලෝකධාතුවට ශ්‍රේෂ්ඨම උත්තමයෙක් බිහිකරන්නට හේතු වූ සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියල තම පිරිනිවීමත් උතුම් මමගල්‍යයක් බවට ම පත්කොට ගත් දවස.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිදුවූ මෙවන් උත්තරීතර දවසක් අද ගෙවී ගියේ බහුතරයක් ජනතාවගේ සිත්සතන් බිය සහ සැකය නමැති පංචනීවරණ ධර්මයන් තුළ දෝලනය කරල. මෙවන් උතුම් වෙසක් මංගල්‍යයක් උදා වූ මේ අසිරිමත් දවසේ අපේ ජීවිත පංචනීවරණයන්ට අයිති වුණේ ඇයි කියල ධර්මානුකූලව නුවණින් මෙනෙහි නොකර ම මේ වෙසක් සතිය ගෙවී ගියොත්, එය අපි හැමෝගේම අවාසනාවක් ම වේවි.

බුදුරජාණන් වහන්සේ අද වැනි දිනක දේශනා කරනවා, “තෘෂ්ණාව හේතුවෙන් සකස් වෙන පංචඋපාදානස්කන්ධ ලෝකය නිරතුරුව ම කැඩී බිඳී විසිරී යනවාය” කියල. බුදුරජාණන් වහන්සේගේ උපාදානය නිරෝධය කළ ආධ්‍යාත්මික රූපස්කන්ධය අද වැනි දිනයක බාහිර සතරමහා ධාතුවට කැඩී බිඳී විසිරී ගියා.

මෙය සටහන් තබන භික්ෂුව දෑස් පියාගෙන මේ නිමේෂයෙදිත් භික්ෂුව දෙපා තබාගෙන තිබෙන මහපොළොව නමැති සතර මහා ධාතුව තුළින් බුදුරජාණන් වහන්සේ ගේ පිරිනිවී ගිය රූපස්කන්ධයත්, බාහිර සතරමහා ධාතුවට මුහු වූ පඨවි ධාතුවත්, එකම ස්වභාවයේ පඨවි ධාතුවක්ය කියල දකිනවා. සියලූ සංස්කාරයෝ අනිත්‍යයි කියන අර්ථයට පූර්වාදර්ශී ධර්මයක් ම එකතු කරල බුදුරජාණන් වහන්සේ ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ පෞරුෂත්වයෙන් හැඩගැන්වී තිබුණු බුදුරජාණන් වහන්සේ ගේ ආධ්‍යාත්මික පඨවි ධාතුව මේ නිමේෂයේදිත් භික්ෂුව දෙපා තබාගෙන සිටින මහපොළොවේ පස තුළින් මතුකොට දකිනවා. භික්ෂුව වැඩසිටින කුටියට යාබදව තිබෙන කැලයේ සතා සිවුපාවා සාපිපාසාව සංසිඳුවා ගන්න ජලයෙන් පිරුණ කුඩා වැවේ ජලයත්, බුදුරජාණන් වහන්සේගේ දෙතිස්මහා පුරුෂ ලක්ෂණයෙන් බබළන රූපකායේ ආධ්‍යාත්මික ආපෝ ධාතුවත්, එකම ස්වභාවයේ ආපෝ ධාතුවක්ය කියල. භික්ෂුව මේ නිමේෂයේදිත් නුවණින් දකිනවා. මේ සුන්දර රාත්‍රියේ භික්ෂුවගේ සිරුරේ දැවටෙන කැලයේ ගහ කොළ සිපගෙන හමා එන සුළං රැලි තුළින් බුදුරජාණන් වහන්සේ ගේ අධ්‍යාත්මික වායෝ ධාතුවේ ස්වභාවයත්, මේ මොහොතේ භික්ෂුවගේ සිරුරේ දැවටෙන වායෝ ධාතුවේ ස්වභාවයත් එකක්ම බව භික්ෂුව නුවණින් දකිනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “සෑම පසළොස්වක පොහොය දිනයකම ශක්‍ර දෙවියන්ගේ ප්‍රධානත්වයෙන්, සතරවරම් දෙවියන්ගේ ආරක්ෂාවෙන් තව්තිසාවේ සුදම් සභාව රැස්වෙනවා”ය කියල. පසළොස්වක සඳ සේ ප්‍රභාෂ්වර “සූර්ය වර්චසි” කියන දිව්‍යාංගනාව තම පිරිවර දිව්‍ය නාට්‍යාංගනාවන් සමඟ සුදම් සභාවේ දෙවිවරුන් දිව්‍ය නර්තනයෙන් ආධ්‍යාත්මිකව සතුටු කරනවාය කියල සූත්‍ර ගත ධර්මයේ සඳහන් වෙනවා. ආලෝකවත් පසළොස්වක පොහොය සඳත්, සුන්දර දිව්‍යාංග නාවනුත් අතර මොනතරම් සමීප සම්බන්ධතාවක් තිබෙනවාද..? මේ සටහන කියවන පින්වත් ඔබට සිතෙන්නේ නැතිද, “අනේ මටත් එවැනි දිව්‍යාංගනාවක් වෙන්න ඇත්නම්” කියල. එසේත් නැතිනම් “අනේ මටත් සඳසේ ප්‍රභාෂ්වරව කැලූම් දෙන, රන් තැඹිලි පැහැ දිව්‍යාංගනාවක් අයිතිකර ගන්න ඇත්නම් කියල.

මේ මොහොතේ භික්ෂුවගේ මුවගට පුංචි සිනහවක් නැඟෙනවා. රන් තැඹිලි පැහැයෙන් බබළන මසින් පිරුණු නව යොවුන් වෙසක් පසළොස්වක පොහොය සඳවතිය දෙස බලනකොට බුදුරජාණන් වහන්සේ අපිට අද වැනි දිනයක මහා කරුණාවෙන් දේශනා කරනවා, “මහණෙනි ඔබ ඔය දකින්නේ රූපයේ ආශ්වාදයයි” කියල. “ඔබ ඔය මනසින් විඳින්නේ කාමයේ ආශ්වාදයයි” කියල. සුන්දර නව යොවුන් වෙසක් සඳවතිය, ඔබ වෙසක් පසළොස්වක පොහොය නිමිත්තෙන් මේ රාත්‍රියේ ආලෝකවත්ව බැබළුණත්, අපි අසිහියෙන් ඇය දෙස බැලුවොත් ආශ්වාදයේ කෙටි මිරිඟුවට මයි බැඳී යන්නේ. සියලූ ම සංස්කාරයෝ අනිත්‍ය බව ධර්මානුකූල සත්‍යයක්. නමුත් මේ සත්‍යය පිළිගන්න නම් අනිවාර්යයෙන් ම උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වූ සම්මා සමාධිමත් සිතක් තිබෙන්නට ම අවශ්‍යයි. කල්‍යාණමිත්‍ර ආශ්‍රය දුර්වල වෙච්ච ලෝකයක අපි කෙසේ නම් සම්මා සමාධියක් සමාජය තුළින් බලාපොරොත්තු වෙන්නද..?

අපි සමාජයට මොනතරම් ධර්මය දේශනා කළත්, ධර්මය සටහන් තැබුවත්, පංචනීවරණ විසින් සමාජය ග්‍රහණය කොට ගෙන තිබෙන්නේ හරිම අවාසනාවන්ත ලෙසින්. මේ අවාසනාව, අහිංසක පාසල් දරුවාගේ ජීවිත පවා බරපතළ ලෙස ග්‍රහණය කොට ගෙන තිබෙනවා. භික්ෂුවට පසුගිය දිනක මුණගැසුණා වයස අවුරුදු පහක පමණ දරුවෙක් සිටින තරුණ තාත්තා කෙනෙක්. බලාපොරොත්තු කඩවුණ ඉරියව් දක්වමින් ප්‍රකාශ කළේ, “ස්වාමීන් වහන්ස අපි නම් වර්තමානයේ තිබෙන ආහාර රටාවත් සමඟ වස විෂ ශරීරගත වෙලා ම තව ටික දවසකින් ලෙඩ වෙලා මැරිල යාවි ඒත් මේ මුකුත් ම නොතේරෙන පුංචි දරුවන්ට අනාගතයේ කුමකින් කුමක් වේවිද” කියල. “අපේ මේ දරුවන් අනාගතයේදී මොන තරම් වියරු, විකෘති සමාජයකට ද පියවර තබන්නේ” කියල.

මේ රටේ ජීවත්වෙන සෑම අම්මා කෙනෙක් ම සෑම තාත්තා කෙනෙක් ම ඉදිරියේ සමාජගතවෙලා තිබෙන තම දරුවන් කෙරෙහි අනාගත බිය, වර්තමානයේ පමණක් නොවේ අතීතයේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේත් රාහුල පුතණුවන් තුළින් මතුකොට දැක්කා. ඒ නිසා මයි, රාහුල පුංචි පුතණුවන් තම පියාගෙන් දායාද ඉල්ලමින් බුදුරජාණන් වහන්සේ පසුපසින් පැමිණෙද්දි තම පුතණුවන්ට දුකෙන් මිදීම උදෙසා ලබාදිය හැකි ශේෂ්ඨතම දායාදය වන උතුම් පැවිදිභාවය ලබා දෙන්නේ. නමුත් වර්තමානයේ අපේ ම අකුසලයේ අවාසනාව කියන්නෙ දරුවෙක් පැවිදිකොට විනයානුකූලව ආරක්ෂා කොට ගන්නවාය කියන කාරණයත් මහා අභියෝගයක් බවට ම පත් වී තිබෙනවා. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය හේතුවෙන් සත්ත්වයාගේ දැනීම් හෙවත් විඤ්ඤාණයත් නිරතුරුව ම ධර්මය සහ අධර්මය දෙක අතර ම දෝලනය වෙන නිසා ම බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා, “අප්‍රමාදීභාවයෙන් අප්‍රමාදයේ වියරුව සහ විකෘතිය පරාජය කොට දමන්න”ය කියල.

රාහුල ස්වාමින්වහන්සේ වයස අවුරුදු විස්ස සම්පූර්ණ වී උතුම් උපසම්පදා ශීලයට පත්වුණත් එතෙක් උන්වහන්සේට උතුම් රහත්ඵල අවබෝධය ලබාගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. රාහුල ස්වාමින්වහන්සේ උතුම් උපසම්පදාව ලබන මොහොතෙත් ප්‍රමාදීභාවය තුළ ජීවත් වුණත් බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාදීභාවය හේතුවෙන් ම රාහුල කුමරුන්ට වයස අවුරුදු හයේදී පමණ උතුම් පැවිදිභාවය ලබාදෙනව. ශ්‍රේෂ්ඨ තාත්තා කෙනෙක්ගේ අප්‍රමාදීභාවය තම ලෙයින් උපන් පුතු සදහට ම දුකෙන් නිදහස් කළා.

වෙසක් පුරපසළොස්වක සඳවතියගේ ප්‍රභාෂ්වර ආලෝකයෙන් අලෝකවත් වී තිබූ කැලෑ පරිසරය එක පාරට ම අඳුරු වෙලා ගියා. භික්ෂුව ආකාශය දිහා බලද්දි මහා කළු වලාවක් ඇවිල්ලා, වෙසක් පසළොස්වක සඳවතිය වසාගෙන. මොන තරම් සුන්දර ධර්මයක් ද භික්ෂුව මේ කළු වලාකුළ තුළින් දකින්නේ..? සෑම සුන්දරත්වයක් පසුපස ම අසුන්දරත්වය සැඟවිලා තිබෙනවා. පින්වත් ඔබ දිවුර දිවුරා පොරොන්දු වෙන, නොකැළැල් නොඉඳුල් ආදරය, ජාති ජාතිත් ඔබ මගේ මයි කියන ආදරය මොන තරම් නම් මිරිඟුවක්ද..? පින්වත් ඔබේ පෙම්වතා මයි, ඔබේ පෙම්වතිය මයි, ඔබේ බිරිඳ මයි, ඔබේ ස්වාමිපුරුෂයා මයි, ඔබේ ඊළඟ පට්ච්චසමුප්පන්න ජීවිතයේදී ඔබට තවත් බිරිඳක්, ස්වාමිපුරුෂයෙක් ලබන්නට අවශ්‍ය සංස්කාර මේ ජීවිතයේදී සකස්කොට දෙන්නේ. වෙසක් සඳවතිය වසාගත් අසුන්දර කළු වලාව මේ මොහොතේ පහව යන්නේ ආදරයේ මිරිඟුව ගැන පුංචි අදහසක් පින්වත් ඔබ වෙනුවෙන් සටහන් තබලා.

අතීතයේ මාරාවේශයත් සමාජගත වුණේ දේශපාලන පින්වතුන්ලාගේ අසීමිත බලතණ්හාවේ තෘෂ්ණාවත්, ඊටම අත්වැළක් වූ පින්වත් ජනතාව තමන් උපන් රට ගැන නොසිතා බඩ ගැන සහ සාක්කුව ගැන සිතීමේ අනුවණභාවයත් නිසා මය. වර්තමානයේ සමාජගත වී ඇති දේශපාලන මාරාවේශයෙන් මිදීමට පින්වත් ජනතාව අනාගතයේදී තවත් දේශපාලන මාරාවේශයකට නම් රැවටෙන්න එපා. දේශපාලනයේ ඇත්ත වෙනුවට තවත් දේශපාලන අනුකරණයක් නැවත සමාජගත වුණොත් නැවතත් රටේ බොරුව රජවෙනවා මයි. අද වැනි අසිරිමත් වෙසක් දිනයක බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට තිබෙනවා, “තෘෂ්ණාවෙන් උපදින මාරාවේශයක් පරාජය කළ හැකි එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණක් මය” කියල. පින්වත් ඔබ අද දවසේ චිත්තයක් ඇතිකොට ගන්න, “අධර්මය ධර්මයෙන් ජයගන්නවා”ය කියල. “ජාතික සමගියේ අත්වැල මෛත්‍රියෙන් ම ශක්තිමත් කොට ගන්නවා” කියල…!

තෙරුවන් සරණයි …!

උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත “අතහැරීම 15” ග්‍රන්ථයෙනි.

උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…